පුජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
නූතන යුගයේ මිනිසා පුද්ගල ජීවිතයේ පුරුෂාර්ථයන් ධර්මයෙන් බැහැර වූ කරුණු ලෙස බහුලව සිතන බව පැහැදිලිව ම පෙනෙන්නට තිබේ. මිනිසා අධ්‍යාත්ම විද්‍යාවෙන් පිරිහෙනවිට භෞතික සාරයන් ලුහුබැඳීම සාමාන්‍ය ස්වාභාවයයි. එබැවින් බුදුරජාණන් වහන්සේ ලොවට හඳුන්වාදුන් සදහම් මඟට පුද්ගල ජීවිතය පිවිසෙන්නේ කෙලෙස ද යන්න අද අමතක වී තිබේ. එනිසාම ගෘහස්ථ ප්‍රව්‍රජිත භේදයකින් තොරව සදහම් මඟට පිවිසීමට අවශ්‍ය මූලික කරුණු කවරේ ද යන්න මෙහිදී පැහැදිලි කරගත යුතුය.
‘පෘථග්ජන’ යන ව්‍යවහාරය සමග ම බෞද්ධ කමක් තිබේ යැයි අවිවාදයෙන් බොහෝදෙනා පිළිගෙන සිටින බවක් සමාජයෙහි පෙනෙන්නට තිබේ. එබඳු පිළිගැනීමකට වැටී තිබෙන්නේ ‘බෞද්ධකම යන කවර අයුරකින් අර්ථවත් කරගත යුතු වේ ද යන්න පිළිබඳව ඇති අනවබෝධය නිසයි. ඒ නිසා යුග ජීවිතය, සමාජ ජීවිතය, ආර්ථික ජීවිතය සමග බැඳී සිටින ගෘහස්ථ කාමභෝගී පුද්ගලයාට සිය ජීවිතය උදෙසා ධර්මානුකූල වටිනාකමක් ලබාදිය නොහැකි යැයි බොහෝ දෙනා කල්පනා කරති. සමාජ ජීවිතයක් ගතකරන පුද්ගලයා හැමවිටම පෘථග්ජනයෙකි’ යි බුදු සමය සලකන්නේ නැත. එහෙත් අද යුගයේ සමාජ ජීවිතය දැහැමි වටිනාකමකින් තොර එකක් ලෙස සැලැකීම නිසා ජීවිතයට ධර්මය සමීප කරගන්නා පුද්ගලයන් අඩුවී තිබේ.
ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි විවිධ ප්‍රබල ජනමාධ්‍යවලින් මිනිසාට ධර්මය සන්නිවේදනය කෙරේ. එහෙත් ඒ දේශනා පැවැත්වෙන තරමට, මිනිසා ගුණ දහමින් සම්පූර්ණ වන බවක් පෙනෙන්නට නැත. කොතෙක් ධර්මය ප්‍රකාශ වුණ ද මිනිසා ධර්මයෙන් ඈත් වනුයේ, එහි ඉගැන්වෙන කරුණු මනුෂ්‍ය ජීවිතය හා ප්‍රායෝගික නොවන නිසා යැයි මෙහිදී කෙනකු සිතන්නට පුළුවන. බණ කියන තරමට සමාජය සැකසෙන්නේ නැතැයි කනස්සලු වීමට හැම දෙනාම සූදානම්ය. එහෙත් තමා තුළින් ධර්මය දකින්නට ඇති සූදානම බෙහෙවින් අඩුය. සමාජයට දොස් නඟා නිහඬ වීම වෙනුවට ආගමික බව තමා තුළ පිබිදීම ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. අද බොහෝදෙනා බුදු සසුන සංස්කෘතික ඇගයුම්වලින් පමණක් හෙබි ආගමික සංවිධානයක් පමණක් ලෙස සිතන්නේ දහම් පිළිවෙත හා ජීවිතය අතර ඇති සබඳතාව නොදන්නා බැවිනි.
බුදුදහම ආගමික ජීවිතය ප්‍රව්‍රජිත ජීවිතයක් ලෙසම නොදක්වයි. ගෘහස්ථ ජීවිතයට ද ආගමික වටිනාකමක් ලැබිය හැකිය. එය කෙසේ වන්නේ ද යන්න පැහැදිලිව වටහා ගත යුතුය. විවිධ දුර්මත හමුවේ මෙවැන්නක් සාකච්ඡා කිරීම හා තේරුම් ගැනීම බෙහෙවින් අභියෝගාත්මක වූවකි.
බුදු දහම නියම වශයෙන් අර්ථවත් කරනු ලැබූ කල ගෘහස්ථ කාමභෝගී පිරිසටත්, ගෘහස්ථ බ්‍රහ්මචාරී පිරිසටත්, ප්රව්රජික බ්‍රහ්මචාරී පිරිසටත් ඵල දැරිය හැකි දහමක් බව වැටහෙනු ඇත. බුදුදහම ‘මැනවින් ප්‍රකාශිත දහමක් (ස්වාක්ඛාත) ලෙස හැඳින්වෙන්නේ මිනිස් දිවිය හා ප්‍රායෝගික වන බැවින්ය. එහෙයින් මේ කරුණු වඩාත් පැහැදිලිව තේරුම් ගතයුතුය.
මේ සඳහා මජ්ඣිම නිකායේ දෙවන කොටසේ එන මහා වච්ඡගොත්ත සූත්‍රයෙන් පළමුව කරුණු ගෙන බලමු. මෙහි ඇතුළත් වී තිබෙන්නේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ සංවාදයකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතය සමග සම්බන්ධ වීම පිළිබඳව කොතරම් බලාපොරොත්තු තැබිය හැකි ද යන වග ඒ සූත්‍රය අනුව පැහැදිලි වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළ හෝ එයට පිවිසි පුද්ගලයන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අර්හත් යනුවෙන් එවැනි උතුමෝ හඳුන්වනු ලබති. මේ තත්ත්වයන්ට පැමිණි භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා ශාසනයෙහි එක් අයෙක් හෝ සිටිත් දැයි වච්ඡගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේය. එහිදී එක්කෙනකු දෙන්නකු නොව බොහෝදෙනකු සිටින බව බුදුරජාණන් වහන්සේ වදාළහ.
අනතුරුව අනාගාමී, සකදාගාමී, සෝතාපන්න ගිහි උපාසක උපාසිකාවන් පිළිබඳව වච්ඡගොත්ත ප්‍රශ්න කර ඇත. ගෘහස්ථ ජීවිත ගතකරන අයට මේ කරුණ ඉතාමත් වැදගත් වන්නකි. සදහම් මඟෙහි ගමන් කර ඇති ප්‍රමාණය අනුව ධර්මානුකූල කොටස් දෙකකට, මේ සූත්‍රයේදී උපාසක උපාසිකාවෝ බෙදනු ලබති.
- ගිහි ඕදාතවසනා බ්‍රහ්මචාරී (කාම රාගයත්, පටිඝයත් ප්රහාණය කර ඇති බැවින් අනාගාමී වූ බඹසර වසන, සුදු රෙදි හඳින ගෘහස්ථ උපාසක උපාසිකාවෝ)
- ගිහි ඕදාතවසනා කාමභෝගී (සෝතාපන්න හා සකදාගාමී අවස්ථාවන්ට පත් කාමභෝගී, සුදු රෙදි හඳින ගෘහස්ථ උපාසක උපාසිකාවෝ)
මෙයින් අද යුගයේ මනුෂ්‍යයාට බෙහෙවින් වැදගත් වන්නේ දෙවැනි කොටසයි. සුදු රෙදි හඳින, කාමභෝගී ගෘහස්ථයන්ට ද උචිත ශාසනික මුහුණුවර එයින් කියැවේ. ශාසනික කාර්යයෙහි නියුක්ත (සාසනකරො), තථාගත අවවාදය ක්‍රියාවට නඟන (ඔවාදපතිකරො), කුශලයෙහි සැක නැති කළ (තිණ්ණවිචිකිච්ඡො), අන්‍ය ශාසනයන්හි සාරයක් ඇත්දැයි කුහුලට නොපැමිණෙන (විගතකථංකථො), විශාරද භාවයට පත්වූ (වෙසාරජ්ජප්පත්තො) මේ ශාස්තෲ ශාසනයෙහි ම තහවුරු වූ (අපරප්පච්චයො සත්ථුසාසනෙ) එනම් සෝතාපන්න හෝ සකදාගාමි හෝ උපාසක උපාසිකා පිරිසක් ශාසනයට අයත් වෙති. මේ ශාසනික මුහුණුවර දැක්වූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඔබ වහන්සේ සඳහන් කරන මෙබඳු වූ උපාසක උපාසිකාවෝ ඔබ වහන්සේ ශාසනයෙහි එක අයෙක් හෝ සිටිත්දැයි ප්‍රශ්න කළේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ එක් අයකු දෙන්නකු නොව, සිය ගණනක් නොව බොහෝ ගණනක් සිටින බව සඳහන් කරති.
මේ අනුව පෙනෙන වැදගත් කරුණක් නම් ආර්ය මාර්ග ප්‍රවේශයට ගිහි පැවිදි භේදයක් නොමැති බවයි. ප්‍රව්‍රජිත පක්ෂයට මෙන්ම ගෘහස්ථයන්ට ද මාර්ග ඵල ලබාගැනීමට ඉඩකඩ ඇත. එහෙත් මෙහිදී පැවිද්දා ගෘහස්ථයාට වඩා වේගවත් වනු ඇත.
සිඛි යථා නීලගිවො විහංගමො
හංසස්ස නොපෙති ජවං කුදාචනං
එවං ගිහි නානුකරොති භික්ඛුනො
මුනිනො විචිත්තස්ස වනම්හි ඣායතො
සූත්‍ර නිපාතයේ මුනි සූත්‍රයෙහි එන මෙම ධර්ම පාඨයෙන් කියනු ලබන්නේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ වේගය අතින් ගෘහස්ථයාට වඩා පැවිද්දා වැඩි බවය. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා යොදා ඇති උපමාව ද ඉතා වැදගත්ය. මොනරා ජව වේගය අතින් සලකා බලනවිට හංසයා පසු නොකරයි. මේ පක්ෂීන් දෙදෙනාගේ රූප ස්වභාවය අනුව ද මේ උපමාව ඉතා හොඳින් ගැළපේ. මොනරා වර්ණවත් විසිතුරු සතෙකි. හංසයා බෙහෙවින් චාම් සංවර බවක් පෙන්නුම් කරයි. ගෘහස්ථයා මොනරා මෙනි. පැවිද්දා හංසයා මෙනි. හංසයා ජවයෙන් මොනරාට වඩා ඉදිරියෙන් සිටින්නාක් මෙන් පැවිද්දා ආර්ය මාර්ගයේ දී ගෘහස්ථයාට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. වෙනස එයයි. එහෙත් මාර්ගය පැවිද්දාට මෙන්ම ගෘහස්ථයාට ද එක සේ විවෘතව පවතියි. එබැවින් මෙය තේරුම් ගැනීම ඉතා වැදගත්ය. සදහම් මඟ පුද්ගල ජීවිතයට මුලින්ම සම්බන්ධ වන්නේ කුමන අයුරකින් ද යන වග මූලික වශයෙන් වටහා ගෙන සිටිය යුතුය.
“යෙ තෙ භික්ඛු ධම්මානුසාරිනො සද්ධානුසාරිනො සබ්බෙ තෙ සම්බොධිපරායනා”
අලගද්දූපම සූත්‍රයෙහි අන්තිම කොටසේ සඳහන් මේ ධර්ම පාඨයෙන් කියනු ලබන්නේ ශාසනයේ ළාබාලම පුද්ගලයන් දෙදෙනකු පිළිබඳවයි. මේ දෙදෙනා සද්ධානුසාරි, ධම්මානුසාරි යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ ධර්ම පාඨයෙහි අදහස සද්ධානුසාරි හා ධම්මානුසාරි යනුවෙන් හැඳින්විය හැකි යම් භික්ෂු පිරිසක් වන්නේ නම් ඒ හැම දෙනාම නිවනට යොමුවූ අයය’ යනුයි.
මෙහි භික්ෂු පිරිස පිළිබඳව සඳහන් වන නමුත් ගිහි පිරිස ගැන සඳහන්ව නැති බැවින් සද්ධානුසාරි බව හා ධම්මානුසාරි බව පැවිද්දන්ට පමණක් ඇති කරගත හැකි විශේෂත්වයක් ලෙස කෙනකුට සිතෙන්නට පුළුවන. මේ අදහස දුරු කිරීම සඳහා ඉහත කී ධර්ම පාඨය අර්ථවත් කිරීමේදී වෙනත් සූත්‍ර උපයෝගී කර ගැනීම අවශ්‍ය වේ. සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තියේ සරකානි සූත්‍රය මේ කරුණෙහි ලා වැදගත් වේ. ජීවිතයේ යම් යම් වැරදි සහිතව සිටි සරකානි ශාක්‍ය පුත්‍රයා මියගිය අවස්ථාවේ ඔහු සෝතාපන්නයකු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වැරදි සහිත පුද්ගලයකු සෝතාපන්නයකු වන්නේ කෙසේ ද යන ගැටලුව ශාක්‍යයන් තුළ ඇති විය. මෙහිදී බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයන්ගෙන් පටන්ගෙන රහතන් වහන්සේ දක්වා කරුණු ප්‍රකාශ කර ඇත. දිගු කලක් තිස්සේ තෙරුවන් සරණ ගොස් සිටි සරකානි දුගතිගාමී නොවන බව බුදුරජාණන් වහන්සේ එහිදී පවසති.
මෙහිදී අප තේරුම් ගතයුතු වැදගත් කරුණ මෙයයි. සෝතාපන්න ගෘහස්ථයන් සිටිනවා නම් ඊට වඩා ළාබාල අවස්ථාව වන සද්ධානුසාරී, ධම්මානුසාරී ගෘහස්ථයන් නොවීමට කිසිම හේතුවක් නොවන බවයි. සෝවාන් භාවය පමණක් නොව සකදාගාමී භාවය පවා ගෘහස්ථ කාමභෝගී ජීවිත ගත කරන අයට ළඟා කර ගත හැකිය. අනාගාමී, අර්හත් අවස්ථාවල දී තව දුරටත් කාමභෝගියෙක් නොවේ. අනාගාමී ගෘහස්ථයා බ්‍රහ්මචාරියෙකි. අනාගාමී අවස්ථාවේ දී ‘කාමරාග සංයෝජනය ප්රහාණය වී ඇති බැවින් බ්‍රහ්මචාරී ජීවිතයට නිරායාසයෙන් පැමිණේ. ඒ වනවිට කාමභෝගී ජීවිතයෙන් ඔහු මිදී සිටිනු ඇත.
මේ කරුණ තේරුම් ගැනීමට වැදගත් වන සූත්‍රයක් හැටියට මිගසාලා සූත්‍රය දැක්විය හැකිය. අංගුත්තර නිකායේ එන මේ සූත්‍ර දේශනාවෙන් සාකච්ඡා වන ප්රශ්නය අද යුගයේ මිනිසාට දහම් මඟට බැසීම සඳහා ඉතා වැදගත් වේ. මිගසාලා උපාසිකාවගේ ගෙදරට ආනන්ද ස්වාමින් වහන්සේ වැඩම කළ අවස්ථාවක ඇය විසින් උන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක් මෙහි ඇතුළත්ව ඇත. ‘ස්වාමීනි, පුරාණ යනු මගේ පියාය. ඔහු මියයනවිට ගතකරමින් සිටියේ බ්‍රහ්මචාරී ජීවිතයකි. ම පියා මියගිය පසු බුදුරජාණන් වහන්සේ ඔහු සකදාගාමී අයකු බවත් තුසිතකායිකව උපත ලබා තිබෙන බවත් පැවැසූහ. මෙයින් පසුව මගේ සුළු පියා ද මියගියේය. ඉසිදත්ත නම් වූ ඔහු ගතකරමින් සිටියේ කාමභෝගී ජීවිතයකි. (කාමභෝගී) හේ බඹසර වසමින් සිටියෙක් නොවේ (අබ්රහ්මචාරී) ස්වකීය බිරිඳ හා සතුටු වෙමින් සිටි අයෙකි. (සදාරසන්තුට්ඨ) ඔහු මියගිය පසුද බුදුරජාණන් වහන්සේ ඔහු සකදාගාමී පුද්ගලයකු බවත්, තුසිතකායිකව උපත ලබා ඇති බවත් වදාළහ. මෙසේ මේ දෙදෙනා ස්වරූප දෙකකට ජීවත් වී තිබිය දී සකදාගාමී බව මේ දෙදෙනාටම සමාන කොට වදාළේ ඇයි දැයි මිගසාලා උපාසිකාව අනඳ හිමියන් වෙතින් විචාළාය.
මිගසාලා උපාසිකාව විසින් අසනු ලැබූ මේ ප්රශ්නය තථාගතයන් වහන්සේ විසින්ම විසඳිය යුතු කරුණක් වන බැවින් උන් වහන්සේ විසින් එය බුදුරජාණන් වහන්සේ වෙත යොමු කරන ලදී. මෙහි දී වැදගත් වන්නේ බඹසර විසුවා ද නැද්ද යන්න නොව සදහම් ඇසීමත්, බොහෝ කොට සදහම් ඇසීමත්, සම්‍යක් දෘෂ්ටික වීමත්, සද්ධර්ම මනසිකාරයෙන් ප්‍රීති ප්රමෝදයට පැමිණීමත් බව උන් වහන්සේ වදාළහ.
මතුසම්බන්ධයි

