(පඤ්ච නීවරණ ධර්ම 03)
ව්‍යාපාද නීවරණය
පඤ්ච නීවරණ ධර්මයන්ගේ දෙවැන්න ව්‍යාපාද නීවරණයයි. නීවරණයක් මෙන්ම සංයෝජන ධර්මයක් ද වේ. ඕරම්භාගීය සංයෝජනයක් වන මෙය සඳහන් වන්නේ “පටිඝ” යන නමිනි.
ව්‍යාපාදය යනු කුමන් ද?
“ව්‍යාපාදය” යන පදයට අර්ථවිවරණ රාශියක් දක්නට ලැබේ. විභංග ප්‍රකරණයේ දී “සිතෙහි යම් ආඝාතයක්, පටිඝයක්, පටිඝාතයක්, විරෝධයක්, කෝපයක්, දෝසයක්, ප්‍රදෝසයක්, සම්ප්‍රදෝසයක්, සිතෙහි ව්‍යාප්තියක්, මනෝපදේශයක්, ක්‍රෝධයක්, ක්‍රෝධාකාරයක්, කිපුණබවක්, ද්වේෂයක්, දූෂිතාකාරයක්, දූෂිත බවක්, ව්‍යාප්තියක්, ව්‍යාපාද ආකාරයක, චණ්ඩ බවක්, අසම්පූර්ණ වචන ඇති බවක්, සිතේ නොසන්සුන් බවක්වේද එය ’ව්‍යාපාද ලෙස දක්වා ඇත.
මෙම විග්‍රහයම ධම්ම සංගීණී ප්‍රකරණයේ ද දක්නට ලැබේ.
අංගුත්තර අටුවාව වන මනෝරථපූරණියෙහි ”ව්‍යාපාදය යනු ද්වේෂයයි” යනුවෙන් සඳහන් වේ. ද්වේශය අකුශල මූලයක් බව මජ්`ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වේ.
අකුසල සිත් 12ක් පවතින අතර ද්වේෂ මූලික සිත් දෙකෙහි ව්‍යාපාදය උපදී. මෙම සිත්දෙක පටිඝසම්පයුක්ත සිත් ලෙස දැක්වේ. පටිඝසම්පයුක්ත වීමට හේතු සතරක් (4ක්) සම්පූර්ණ වියයුතුය.
- ක්‍රෝධශීලී බව
- අදූරදර්ශී බව
- මූඪ ස්වභාවය
- අප්‍රිය වස්තු සමග එක්වීම
යනු එම සතරයි. මෙම සිත්වල දෝමනස්ස සහගත බවක් ඇත. දෝමනස්ස යනු අපිරිසිදු සිතයි. දෝමනස්සය වේදනාවකි. (විඳ ගැනීමකි) වේදනාවේ ප්‍රභේද කීපයක් ඇත. සුඛ, දුක්ඛ, උපේක්ඛා සහ සෝමනස්ස, දෝමනස්ස යනු එම ප්‍රභේද වේ. දෝමනස්ස වේදනාවක් සිතෙහි ඇතිවනවිට පටිඝය උපදී.
ද්වේෂය තනිව නූපදී
ද්වේශය තවත් චෛතසිකයක් සමගම උපදී. එසේ උපදින චෛතසික සතරක් ඇත. මේ නිසා “දෝස චතුෂ්කය” ලෙස මෙය ධර්මයේ නම්කොට ඇත.
- මෝහය සමග එක්වී ද්වේෂය හටගනී (දොස මෝහ)
- ඊර්ෂ්‍යාව සමග එක්වී ද්වේෂය හටගනී (දොස ඉස්සා)
- මසුරුකම සමග එක්වී ද්වේෂය හටගනී (දොස මච්ඡරී)
- කුකුස සමග එක්ව ද්වේෂය හටගනී (දොස කුක්කුච්ච) (මෙහි කුක්කුච්ච යනු පසුතැවීමයි)
රූප ශබ්ද ආදී අරමුණු ශුභවශයෙන් ගැනීම නිසා ලෝභය ඇතිවේ. යම් අවස්ථාවක එම අරමුණ තමාට අයත් කරගෙන එහි රස විඳීමට නිසියම් බාධාවක් ඇතිවුවහොත් එහිදී උපදින්නේ ද්වේෂයයි. එම ද්වේෂයට හේතු වූයේ ලෝභයයි. කලක් තමා ආදරය කළ ආදරවන්තියක් යම් දිනෙක එම ආදරය ප්‍රතික්‍ෂේප කළහොත් එහිදී උපදින්නේ ද්වේෂයයි. ඇයව මරා දැමීමට පෙළඹෙන්නේ එසේ උපන් ද්වේෂයයි. එබඳු සිදුවීම් සමාජයේ අසන්නට දකින්නට ලැබෙයි.
කෙනකුගේ දියුණුවට, සැප සම්පත්වලට, ලාභ ප්‍රයෝජනවලට, ගරු නම්බු ආදියට ඇති නොකැමැත්ත ඊර්ෂ්‍යාවයි. මෙම ඊර්ෂ්‍යාව නිසා ද ද්වේශය උපදී. එය “දොස ඉස්සා” ලෙස ධර්මයේ ඉගැන්වේ.
තමා සතු සම්පත් සඟවා ගන්නා ස්වභාවය මසුරුකමයි. මසුරුකමත්, ලෝභකමත් එකක් ලෙස ඇතැම්විට අදහස් කළත් මේ පාපී සිතුවිලි දෙකකි. ලෝභකමේ ලක්‍ෂණය වන්නේ අනුන්ට දීමට ඇති නොකැමැත්තයි. මසුරුකමේ ලක්‍ෂණය අන් අයට දීමට නොකැමති වනවා මෙන්ම තමාද ප්‍රයෝජනයට නොගැනීමයි. මසුරු පුද්ගලයාගේ අභිමතය වන්නේ සම්පත් ගොඩගසාගෙන ඒවා සඟවා තබාගැනීමයි. එබඳු පුද්ගලයකුගෙන් පුණ්‍ය කටයුත්තකට හෝ සමාජ සද්කාර්යකට හෝ යමක් ඉල්ලූවිට ඔහු තුළ ඇතිවන්නේ ද්වේෂයකි. මසුරුකම මුල්කොට ඇතිවන නිසා මෙම ද්වේෂය “දොස මච්ඡරී” ලෙස හැඳින්වේ.
කුක්කුච්චය යනු පසුතැවීමයි. තමා අතින් සිදුවූ වැරදි පිළිබඳවත්, කරගැනීමට නොහැකි වූ යහපත් දේ පිළිබඳවත් සිතා පසුතැවිලි වීම කුක්කුච්ච යයි. තමා කළ පාපයක්, වරදක්, අසාධාරණයක් පිළිබඳව සිතීමේදී ඇතිවන පසුතැවිල්ල නිසා ද්වේෂය උපදී. එසේම කරගැනීමට නොහැකිවූ යහපත් දෙයක් පිළිබඳව සිතීමේදී ද ද්වේෂය උපදී. මෙය “දොස කුක්කුච්චය” ලෙස ඉගැන්වේ.
මෙසේ මෙම කරුණු මුල්කොටගෙන ද්වේශය උපදී, ක්‍රෝධය, පටිඝය ආදී පදවලින් හැඳින්වෙන මෙම ව්‍යාපාදය අන්ධකාරයක් වැනිය. අන්ධකාරයේ සිටින කෙනකුට අක්‍ෂියත්, ධර්මයක් නොවැටහේ. අක්‍ෂිය යනුවෙන් දැක්වෙන්නේ හේතුව පිළිබඳ ඥාන යයි. ධර්මය ලෙස දැක්වෙන්නේ ඵලය පිළිබඳ ඥාන යයි. යම් කෙනකුට ක්‍රේධය ඇති වූ විට අන්ධභාවයට පත් වනවිට හේතු-ඵල හඳුනාගැනීමට නොහැකි වේ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ “බුද්ධෝ අත්ථං ජානානී – බුද්ධෝ ධම්මං න පස්සතී” යනුවෙන් දේශනා කර ඇත.
පටිඝය යන අයහපත් මනෝභාවයට සමග තවත් කෙලෙස් රාශියක් උපදී.
ව්‍යාපාදය, ක්‍රෝධය උපනාභය (බද්ධ වෛරය), මක්ඛ (ගුණමකු බව), පලාස (එකට එක කිරීම), ඉස්සා (ඊර්ෂ්‍යාව)
ව්‍යාපාද ඇතිවීමට හේතු
අංගුත්තර නිකායේ “ආඝාත වත්ථු” නමින් නවක නිපාතයේ සූත්‍රයක් සහ දසක නිපාතයේ සූත්‍රයක් ද වශයෙන් සූත්‍ර දෙකක් ඇත. පළමු ආඝාත වත්ථු සූත්‍රයේ ව්‍යාපාදය ඇතිවීමට හේතු නවයක් දක්වා ඇත.
- අසවලා මට අනර්ථයක් කළේය, කරයි, කරන්නේය.
- අසවලා මගේ ප්‍රියයාට අනර්ථයක් කළේය, කරයි, කරන්නේය.
- අසවලා මගේ අප්‍රියයාට අනර්ථයක් කළේය, කරයි, කරන්නේය.
මෙම හේතු නවයට “අට්ඨානෙව කොපො” (අස්ථානයේ කෝපවීම) එක් වූ විට හේතු දහයක් ඇතිබව අනෙක් සූත්‍රයේදී පෙන්වා දී ඇත.
තමාට සහ තමා ප්‍රියකරන අයට අයහපතක් කිරීමේදී පමණක් නොව තමා නොකැමති අයට යහපතක් කළ විට ද කෝපය ඇතිවන බව පැහැදිලි වේ.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දී ව්‍යාපාදය ඇතිවීමට හේතුව පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් බැලීම බව දක්වා ඇත.
ධම්මපදයේ දී ව්‍යාපාදය හෙවත් වෛරය ඇතිවීමට හේතු ලෙස පෙන්වා දෙන්නේ
“අක්කොච්චි මං අවධි මං – අජිනි මං අභාසි මෙ
යෙතං උපනයිහන්ති – වේරං තේසං නසම්මති”
අසවලා මට බැන්නේය, මට පහර දුන්නේය, මා පැරද වූයේය කියා නැවත නැවත සිතන්නේ නම් ඔහුගේ වෛරය නොසන්සිඳෙන බවයි.
ව්‍යාපාදය නැතිකර ගන්නේ කෙසේ ද?
අංගුත්තර නිකායේ “ආඝාත පටිවිනය” නමින් සූත්‍ර දේශනා දෙකක් ඇත. එය ප්‍රථම – දුතිය වශයෙන් නම්කර ඇති අතර පළමුවැනි සූත්‍රය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවකි. ආඝාතය හෙවත් ව්‍යාපාදය නැතිකර ගැනීම සඳහා කරුණු පහක් පළමු සූත්‍රයේදී පෙන්වා දී තිබේ.
- මෛත්‍රීය ඉපදවීම
2 කරුණාව ඉපදවීම
- උපේක්‍ෂාව ඉපදවීම
- අසති අමනසිකාරය (අමතක කර දැමීම)
- කම්මස්සකතා පච්චවෙක්ඛන්තා
(කර්මය ප්‍රත්‍යවේක්‍ෂණය කිරීම)
මෙහි මෛත්‍රීය, කරුණාව ඉපද වීම පැහැදිලිය. උපේක්‍ෂාව ඉපදීම නම් තමාට සිදුකළ අයහපත් ක්‍රියාව පිළිබඳව සම සිතින් ඉවසා සිටීමයි. අසති අමනසිකාරය නම් එම සංසිද්ධිය අමතක කර දැමීමයි. කර්මය ප්‍රත්‍යවේක්‍ෂණය කිරීම නම් ඉලක්ක පුද්ගලයාට තමා මේ ජීවිතයේ දී යම් වරදක් කර නැතත් පෙර කළ අකුශල කර්මයක් නිසා මෙසේ වන්නට ඇතැයි සිතා කෝප නොවීමයි.
දෙවැනි සූත්‍රය සැරියුත් මහරහතන් වහන්සේගේ දේශනාවක් වන අතර එහිදී ද උපමා මාර්ගයෙන් කරුණු පහක් දේශනාකර ඇත.
- අදාළ පුද්ගලයාගේ පිරිසිදු වාග් කර්ම ගැන සිතීමෙන්,
- අදාළ පුද්ගලයාගේ පිරිසිදු කාය කර්ම ගැන සිතීමෙන්,
- අදාළ පුද්ගලයාගේ පිරිසිදු මනෝකර්ම ගැන සිතීමෙන්,
- අදාළ පුද්ගලයාගේ යහපත් පැවතුම් සියල්ල ගැන සිතා කෝපය නැතිකර ගැනීම.
මේ කරුණු පැහැදිලි කිරීම සඳහා දීර්ඝ උපමා සහිත විස්තර පෙන්වාදී තිබේ. (ඒවා දැක්වීමට ඉඩකඩ මදය)
පටිඝය වළක්වා ගැනීම සඳහා නිතර සිහි කළයුතු අවවාදය ලෙස දක්වා ඇත්තේ “කකචූපම අවවාදයයි”
ව්‍යාපාදය දුරු කරලීම සඳහා ප්‍රධාන උපකාරක ධර්මය මෛත්‍රියයි. මෛත්‍රීය වැඩීම සඳහා කරුණු සයක් උපකාරක ධර්ම ලෙස පවති.
- මෛත්‍රී භාවනාව සඳහා කමටහන් ඉගෙනීම
- මෛත්‍රී භාවනාවේ යෙදීම
- කම්මස්සකතාව මෙනෙහි කිරීම
- සංස්කාරයන්ගේ ස්වභාවය මෙනෙහි කිරිම
- කල්‍යාණ මිත්‍ර සේවනය
- සප්පාය කථා
අනුරපුර උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝරදුන් අබියස “ සන්නිපාත ශාලාවේ” සෑම පුර පසළොස්වක පෝදාකම පස්වරුවේ ගිහි පැවිදි උගත් පඬිවරුන් එක්ව සිදුකරන දහම් සාකච්ඡාවේ දී පඤ්ච නීවරණ ධර්ම පිළිබඳව විශ්‍රාමික ගුරු උපදේශක, ශාස්ත්‍රපති, ධර්මාචාර්ය වඩුගේ කරුණාරත්න සූරීන් විසින් පැවැත්වූ දේශනය අළලා බුදුමඟට යොමු කළේ සෙනරත් පොන්නම්පෙරුම මහතාය.

