ප්‍රපංචකරණය හා මානසික ගැටලු

rashi
By rashi
8 Min Read

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමිපාණෝ

සියල්ලෝ සැප කැමැති වෙති. දුක පිළිකුල් කරති. ජීවිතය කැමැති වෙති. මරණය අකැමැති වෙති. කැමැත්ත අකැමැත්ත කුමක් වුවත් ධර්මතා වශයෙන් සියල්ලෝ දුකට ද මරණයට ද පත් වෙති. ඒ අතර යම් යම් සුවසොම්නස් විඳගනිති. ඒවා ද නියත නැත. මනුෂ්‍ය සමාජය දෙස පොදුවේ බලන විට මේ පැවැත්ම තුළ සාර්ථකත්වයක් දකින්නේ ඒ සැපයයි සම්මත දේ දිනාගත් පමණටය. දිනාගත් දෙයින් සෑහීමකට පත්වන බවක් වෙනුවට දක්නට ඇත්තේ සමාජගත වශයෙන් ද සන්තානගත වශයෙන් ද ව්‍යාකූල වූ ස්වභාවයකි. එහෙයින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පුද්ගලයා හා බැඳුණු ධර්ම නිර්දේශ සතරක් උදෙසා ඇත.

  1. ලෝකයා ජරාමරණ කරා එළඹෙයි.

(උපනීයති ලොකො අද්ධුවො)

  1. ලෝකයා රැකවරණ රහිත ය. අස්වැසිල්ලක් දෙන්නට ජගතෙක් නැත. (අත්තාණො ලොකො අනභිස්සරො)
  2. ලෝකයාට තමා අයත් දෙයක් නැත. සියල්ල හැරපියා යා යුතු ය. (අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං)
  3. ලෝකයාට හැම දෙයකම අඩුවකි. සෑහීමක් නැත. තෘෂ්ණා දාසත්වයෙන් යුතු ය. (ඌණො ලොකො අතිත්තො තණ්හාදාසො)

ලෝකයාට ආවේණික මේ ධර්ම පිළිබඳ අවධියක් නැති නම්, පැවැත්මේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව නොදන්නේ නම් පුද්ගලයා සන්තානගත වශයෙන් ද සමාජගත වශයෙන් ද නිරන්තරව අවශ්‍ය හේතුඵල සම්බන්ධතාව සකස් වන කල්හි ගැටලු උදාවෙනවා ඇත. ගැටලු සන්තානගත හා සමාජගත යනුවෙන් වෙන්කර කීව ද අවසාන වශයෙන් බලන විට සමාජගත ගැටලු බිහිවන්නේ ද සන්තානගත ප්‍රභවයකින් බව පෙනේ. කය, වචනය දෙක හසුරුවන්නේ මනස විසිනි. පුද්ගලයා ප්‍රත්‍යුත්පන්න වශයෙන් කායිකව, වාචසිකව හා මානසිකව හැසිරෙන්නේ මනා ලෙස වුවත් නොමනා ලෙස වුවත් එය පූර්වකර්මය විසින් නියත කළ දෙයක් නොවේ. (සබ්බං පුබ්බේකතහෙතු). කිසියම් ද්‍රව්‍යමය අධිකාරිත්වයක අභිමතය අනුව නියත වූවක් ද නොවේ (ඉස්සරනිම්මාණහෙතු). කිසිදු හේතුප්‍රත්‍ය සම්බන්ධතාවක් දැක්විය නොහැකි ආකස්මික තත්ත්වයක් ද නොවේ (අහෙතු අප්පච්චයා). අවශ්‍යතාව ඇත්නම් යහපතට යොමුවීම වළකාලන නොවෙනස් කළ හැකි, නියත වූ බාධක කර්ම කිසිවක් නැත. උදාවන තත්ත්වයන්ගේ ප්‍රත්‍ය සම්බන්ධතාව දැකීම නිවැරදිව කටයුතු කිරීමට අවකාශ උදාකරයි. බුදුදහම කටයුතු ආරම්භ කරන්නේ මේ දැක්ම පෙරටු කරගෙනය. එහෙත් අභව්‍ය හේතු ඉදිරියට ගන්නේ නම් කළ යුත්ත නොකළ යුත්ත විනිශ්චය කිරීමට පුද්ගලයාට අවකාශයක් විවෘත නොවේ. එබැවින් වන්නේ මුළාසිහි ඇතිව සදොර අනාරක්‍ෂිතව විසීමටයි. එය ගැටලුවලට විවෘතව විසීමකි. එකල්හි අර්ථවත් ආධ්‍යාත්මික ප්‍රයත්නයකට අවකාශ විවෘත නොවේ. (න හොති පච්චත්තං සහධම්මිකො සමණවාදො).

පැවැත්මේ ධර්ම නියාමතාව දන්නේ නම් ගැටලු බිහිවන්නට ඇති ඉඩකඩ වළකා ක්‍රියා කිරීමේ ස්වතන්ත්‍ර අධිෂ්ඨාන ශක්තිය ද පිබිදේ. සත්ත්වයා සාංසාරික ය. සසර පැවැත්ම දුක්සහගත ය. ඒ දුක නිවා දැමීම බුදුනු පිළිවෙතේ අරමුණයි. යට කී අධිකාරිත්වයන් බැහැර කරන බුදුසමය දුක සකස් වීමත් ඉන් මිදීමත් සිත පිළිබඳ සිද්ධියක් බව අවධාරණය කරයි. මෙය යෝනිසෝමනසිකාරයෙන් යුතුව මිනිස් මනසට තේරුම්ගත හැකි ධර්මතාවකි. හේතුවෙන් ප්‍රභව වන සියලු ප්‍රත්‍යධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළහ. ඔවුන්ගේ නිරෝධය ද වදාළහ. මහා ශ්‍රමණයන් වහන්සේගේ වාදය මෙසේය. (යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතු තථාගතො ආහ, තෙසං ච යො නිරොධො එවං වාදී මහා සමණෝ). යට කී අභව්‍ය හේතු බැහැර කර බුදුරජාණන් වහන්සේ දක්වන හේතුව නම් “මෙය ඇති කල්හි මෙය වේ. මෙය උපන් කල්හි මෙය උපදී. මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ” යන ධර්ම න්‍යායයි. හේතුවෙන් ප්‍රභව වන මේ ධර්ම පච්චධම්මා යනුවෙන් හැඳින්වෙයි. මෙහි ‘මෙය’ ‘මෙය’ යනුවෙන් දැක්වෙන්නේ ප්‍රත්‍යය සම්බන්ධතාවෙන් උපදින ධර්මයි. ඒ ධර්මයන්ගේ නිරුද්ධවීම යනු ‘හේතුප්පභව’ ධර්මයන්ගේ නිරෝධයයි. මේ සමුදය නිරෝධ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නේ අතීතයෙන් සහ අනාගතයෙන් විමුක්ත ප්‍රත්‍යුත්පන්න මේ මොහොතේය.

ඉන්ද්‍රිය ඥාන ක්‍රියාකාරිත්වය

මෙහිදී ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්ම න්‍යාය ඔස්සේ ප්‍රත්‍යුත්පන්න වශයෙන් ප්‍රපංචකරණය දක්වා ප්‍රකල්පන ක්‍රියාවලිය ගොඩනැඟෙන ආකාරය පිළිබඳ ධර්ම විග්‍රහය විමසා බැලිය යුතුය. සියලු සන්තානගත හා සමාජගත ගැටලු බිහිවීමේ ක්‍රියාවලිය එයයි. පළමුව තේරුම්ගත යුතු දෙය නම් පුද්ගල පැවැත්ම යනු සලායතනික සම්බන්ධතාව බවයි. සෑම සසර පැවැත්මක්ම සකස් වන්නේ ආයතනික අත්දැකීම් ක්‍රමයක් හැටියටයි. සත්ත්වයාට අවශ්‍ය කර තිබෙන්නේ ආයතන පිනවා ගැනීමයි. දෙවියන්, මරුන්, බඹුන්, මහණ බමුණන්, දෙවි මිනිසුන් කලහ කරගන්නේ, කාමයෙහි සංයුක්ත වන්නේ, කුකුසට සැකයට පත්වන්නේ, භවවිභව තෘෂ්ණාවන්ට වැටෙන්නේ, නොයෙක් සංඥාවන් අනුසය වශයෙන් සිතෙහි ලැග ගන්නේ මේ ආයතන පිනවා ගැනීමට යෑමේ දීය. එනම් ගැටලු සකස් වන්නේ මේ මොහොතේ දීය. ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්ම න්‍යායට අනුව ය.

වරක් දණ්ඩපාණී ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් ‘ශ්‍රමණයන් වහන්ස, ඔබගේ වාදය කුමක්දැ’යි විමසූ අවස්ථාවේ දී වදාළේ, “ඇවැත්නි, දෙවියන්, මරුන්, බඹුන් සහිත මේ ලෝකයේ, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාවෙහි, යම් දෘෂ්ටි ඇත්තෙක් කිසිවකු සමග කලහ විවාද නොකර සිටියි ද කාමයන්ගෙන් වෙන්ව, කුකුස් සැක සිඳ දමා භව විභව පිළිබඳ තෘෂ්ණා නොකොට වෙසෙන උතුම් පැවිද්දා වෙත සංඥා අනුසය වශයෙන් ලැග ගන්නේ නැති ද මා ප්‍රකාශ කරන්නේ එබඳු වාදයකි” යනුවෙනි.

මේ වචනය ඇසූ දණ්ඩපාණී ශාක්‍යයා හිස පළා, දිව නළවා, නළල රැලිගන්වා යන්න ගියේ ‘එයත් විය හැක්කක් ද’ යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ වචනය නො අදහනසුලු මනසකින් විය හැකියි. එසේ වුවත් මේ මුණගැසීම හා කතාබහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යාවේ දම් සභාවේදී භික්ෂූන්ට පැවසූ කල්හි එක් භික්‍ෂුවක් යට කී ප්‍රකාශයෙහි අරුත කුමක්දැයි උන්වහන්සේගෙන් විමසීය. මෙහිදී දුන් පිළිතුර මෙයයි. “මහණ, යම් හේතුවක් නිසා පපඤ්ච සඤ්ඤා සංඛා පුද්ගලයාව මැඬලනාව ද ඒ කරුණ පිළිබඳව සතුටු විය යුත්තක් නැති නම්, කියා පෑ යුත්තක් නැති නම්, සිතින් ගිලගත යුත්තක් නැති නම් එයම රාගානුසයන්ගේ පටිඝානුසයන්ගේ දිට්ඨානුසයන්ගේ විචිකිච්ඡානු සයන්ගේ මානානුසයන්ගේ භව රාගානුසයන්ගේ අවිජ්ජානුසයන්ගේ කෙළවරයි. දඬු ගැනීම්, අවිගැනීම්, කලහ විග්ගහ, විවාද, බහින්බස් වීම්, කේලාම් කීම්වල ද කෙළවරයි. මේ සියලු පවිටු අකුසල ධර්මයෝ ඉතිරි නොකොට නිරුද්ධ වෙත්.”

බුදුරජාණන් වහන්සේ අනුසය ලැග ගැනීම, අරගලය කෙළවර වන පරිදි පපඤ්ච සඤ්ඤ සංඛ්‍යාවන්ගෙන් නොමැඩී සිටීමේ පිළිවෙත පිළිබඳ යට සඳහන් කළ සංක්‍ෂිප්ත පිළිතුර දී ධර්මාසනයෙන් පෙරළා වැඩියහ. භික්‍ෂූන් වහන්සේලාට එහි විස්තරාර්ථ වැටහුණේ නැත. මහාකච්චායන හිමියන්ගෙන් මේ සංක්‍ෂිප්ත භාෂිතය පිළිබඳ විස්තරාර්ථ විමසූ අවස්ථාවේ ලබා දුන් අදාළ පිළිතුර වෙත දැන් යොමු වෙමු. චක්ඛු සෝතාදී ආයතන සය පිළිබඳවම වෙන වෙනම කළ මේ පැහැදිලි කිරීමේ ඇස පිළිබඳ විග්‍රහය පමණක් මෙහිදී සලකා බලමු. “ඇසත්, රූපයත්, ප්‍රත්‍යය කරගෙන චක්ඛු විඤ්ඤාණය උපදියි. ඇස, රූපය චක්ඛු විඤ්ඤාණය යන තුනෙහි සංගතිය ස්පර්ශයයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වින්දනය වේ. යමක් විඳියි ද එය හඳුනයි. යමක් හඳුනයි ද එය විතර්කණය කරයි. යමක් විතර්කණය කරයි ද එය ප්‍රපඤ්ච කරයි. යමක් පිළිබඳව ප්‍රපඤ්ච කරයි ද එය කරුණු කොටගෙන ඇසින් බලා දත යුතු අතීතානාගත ප්‍රත්‍යුත්පන්න රූපයන්හි ලා ප්‍රපඤ්ච සඤ්ඤා සංඛ්‍යාවෝ පුද්ගලයා අබිබවනය කරත්”, මේ ආකාරයෙන් ආයතන සය පිළිබඳවම සාකච්ඡා කෙරේ.

ප්‍රපඤ්චකරණය

කච්චායන හිමියන් විසින් කළ මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ප්‍රතීත්‍ය සමුත්පාද විවරණය බුදුරජාණන් වහන්සේ ඉහළින් අනුමත කළ බවද සූත්‍රයෙහි සඳහන් වේ. ඉන්ද්‍රිය ඥාන ක්‍රියාකාරීත්වය තුළ ‘වේදනා’ අවස්ථාව දක්වා දරා සිටින්නේ නිෂ් පුද්ගලත්වයකි. නිෂ් පුද්ගලත්වය නිමවෙමින් එතැන් සිට ක්‍රියාවලිය දැක්වෙන්නේ වේදෙති, සංජානාති, විතක්කෙති. ප්‍රපඤ්චෙති යනුවෙන් ප්‍රථම පුරුෂ ක්‍රියාපදවලිනි. එබැවින් හිතාමතා ක්‍රියාත්මක වන කර්තෘත්ව සමාරෝපිත පුද්ගල අවස්ථාවක් මින් ප්‍රකට වෙයි. පුද්ගලත්වය ද සංඥා වශයෙන් සමුදය වන බැවින් ප්‍රතීත්‍ය සමුත්පන්නය. ප්‍රපඤ්ච සංඛා වශයෙන් ක්‍රියාත්මක වන සිතිවිලි ධාරාවට මූලික වන “මම වෙමි” යන සිතිවිල්ල (මන්තා අස්මි) සහමුලින්ම වළකාලිය යුතු යැයි කුවටක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරති. ඒ බව නොදත් අශ්‍රැතවත් පෘථග්ජන බාලයා “මම වෙමි” සිතා සිටින්නේ අවිiාව නිසයි. “මගේ” යැයි ගන්නේ තණ්හාව නිසයි. එබඳු වූ පුද්ගලයා සවිඤ්ඤාණක වූ කයක් උදා කරගෙන, සලායතනික අත්දැකීම් අනුභව කරන කයත් බාහිර නාමරූපත් ප්‍රත්‍යය කරගෙන සලායතනික වශයෙන් ස්පර්ශ ලබමින් සුවදුක් වින්දනය කරයි.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *