ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න
බිනර පෝය දිනය යෙදෙනුයේ වස් කාලයේ මධ්‍යයට ය. වස්සාන කාලයේ වෙනත් කාලවලට සාපේක්ෂව විහාරස්ථානවල උවසු උවසියන් වඩා උනන්දුවෙන් වතාවත්වල යෙදෙන අතර ධර්ම දේශනා පිංකම් ද බහුලව දැකිය හැකිය. එබැවින් ප්‍රකට දහම් පණිවුඩයක් පදනම් කරගෙන රචිත ජනප්‍රිය බොදු බැති ගීයක් අද විමසුමට ලක්කිරීමට තෝරා ගතිමු. සුනිල් එදිරිසිංහයන් ගැයූ කුලරත්න ආරියවංශයන් විසින් රචිත “දුරගමන් යයි – තනිව හැසිරෙයි”… එම ගීතයයි.
දුර ගමන් යයි – තනිව හැසිරෙයි
ඇසට නොපෙනෙන්නේ
එවන් සිතමයි කෙලෙස් ගිනි ගන්නේ
උතුම් සදහම් ඤාණයෙන් සිත නිවාගන්නේ
දුකින් ගැලවෙන්නේ
හද ලෙනේ සැඟවී හිඳින්නේ
සිතන දේ කිසිවකු නොදන්නේ
යනෙන තැන රහසේය යන්නේ
නොමැත දිස්වන්නේ – නොමැත හෙළිවන්නේ
හිතුමතේ දසතේ සරන්නේ
රස පහස සොයමින් ඇදෙන්නේ
නොදැමි වූ සිත රැක නොගත්තේ
දුක වැළඳගන්නේ – මරුට ළංවන්නේ
මෙම ගීතයේ සංකල්පය හා බෙහෙවින් සමාන පදමාලාවකින් යුත් ගීයක් බන්දුල විජේවීර විසින් ද “හිත හීලෑ නෑ – හරිම මුරණ්ඩුයි..” යනුවෙන් ගයා ඇත. අද විමසුමට ලක් කෙරෙන ‘දුර ගමන් යයි’ මෙන්ම ‘හීලා නෑ’ යන ගීත දෙකටම පසුබිම් වී ඇත්තේ ධම්මපදයේ චිත්ත වග්ගයෙහි එන
දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනං
යන ගාථාවය. එහි අදහස මෙසේය.
දුර අරමුණු කරා ගමන් කරන, තනියම වාසය කරන, සිරුරක් නැත්තා වූ, ශරීර ගුහායෙහි නිදන, සිත යම් කෙනෙක් තැන්පත් කර ගනිද්ද ඔහු මාර බැම්මෙන් (සසර පැවැත්මෙන්) මිදෙත්.
මෙම සංක්‍ෂිප්ත අදහස වඩාත් විස්තර කරමින් ඊට සාහිත්‍යමය රසයක් ද එක්කරමින් ගීය රචනා වී ඇත. බුද්ධ ධර්මයෙහි දැක්වෙන ලෙසට සියලු දේ සඳහා මුල් වන්නේ සිත හා සිතිවිලිය. එම කරුණ පැහැදිලි කිරීමට ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර පාඨ හමුවේ. ධම්මපදයේ චිත්ත වග්ගයේ ද ගාථා වෙන්වන්නේ සිත පිළිබඳ පැහැදිලි කිරීමටය.
- ඵන්දනං චපලං චිත්තං (සැලෙන සිත)
- පරිඵන්දතී දං චිත්තං (අරමුණු සොයන සිත)
- අනිවිට්ඨිත චිත්තස්ස (ස්ථිර අරමුණක නොපිහිටි සිත)
ගීතයෙහි දැක්වෙන්නේ එවැනි ස්වභාවයක සිතක් පිළිබඳවය. සිත ස්වභාවයෙන්ම පිරිසුදු බවත් එය විවිධ අරමුණුවලින් දූෂිත වන බවත් අංගුත්තර නිකායේ අසුත්තවා සූත්‍රයෙහි දැක්වේ.
“මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වරය (ඉතා පිරිසිදුය) හෙ ද ආගන්තුක වූ (පසුව උපදනා) රාගාදී කෙලෙසුන් විසින් කෙලෙසන (කිලිටිකරන) ලද්දේය. ඒ (භවාංග) සිත අශ්‍රැතවත් වූ (ධර්මය අසා පුරුදු නැති) පෘථග්ජන තෙම තත්වූ පරිද්දෙන් (ඇති සැටියෙන්) නොදනී. එහෙයින් අශ්‍රැතවත් පෘථග්ජනයා හට චිත්ත භාවනාවත් (සිතෙහි වැඩීමක් හෝ තැන්පත් පැවැත්මක්) නැතැයි කියමි.
එසේ නම් ගීතයට පාදක වී ඇති සංකල්පය තැන්පත් නොවූ හෙවත් අශ්‍රැතවත් වූ සිතක් පිළිබඳව බව පැහැදිලිය. සන්සුන් ලෙස සිටින්නාවූ තැන්පත් පෙනුමැති අයකු දෙස බලන විට පෙනෙන දසුනට වඩා බෙහෙවින් වෙනස් වූ ස්වභාවයක් එකී පුද්ගලයාගේ සිත තුළ පැවතිය හැක. සන්සුන් හා තැන්පත් බාහිර පෙනුම පමණි. සකස් නොකළ සිත තමාට රිසි අරමුණු කරා වහ වහා වෙනස් වෙමින් ක්ෂණිකව ගමන් කරයි. ඒ කිසිවක් බාහිරව දැකිය නොහැකිය. ගීතයෙහි දැක්වෙන්නේ ද ධම්මපදයේ ගාථාවෙහි දැක්වූ අදහසම ය. ගීතයේ ස්ථායි කොටස අවසන් වන්නේ පාලනය කළ හෝ නිවූ සිත නිසාම පුද්ගලයා සුවපත් වන බවය. දූරංගමං ඒකචරං ගාථාව සඳහා අට්ඨකථාව හෙවත් ධම්මපදට්ඨ කථාවෙහි දැක්වෙන්නේ කිසියම් සිත්තැවුලක් පිළිබඳව වැඩිදුරටත් නිමග්නව සිටින භික්ෂුවක් මනැසින් ගොඩනඟාගන්නා සංකල්පයක කොතරම් තදින් බැඳුණේ ද යත් එය මනෝමූල කරුණක් බව අමතකව තමා අසල සිටි තම ඥාති භික්ෂුවගේ හිසට පහරක් එල්ල කළ බවය. එම පුවත ජනශ්‍රැතියෙහි තෙල් කළය හිසතබාගෙන වෙළෙඳාමේ ගිය පුද්ගලයා සිතින් මවාගත් පුවතට පසුබිම වන්නට ඇත. දූරංගමං ගාථාවෙහි දැක්වෙන ලෙසට අකීකරු හෙවත් අශ්‍රැතවත් සිත තැන්පත් කරගැනීම සසර ගමන කෙළවර කිරීමට හේතුවක් ලෙස දක්වන අදහසම ගීතයේ “දුකින් ගැලවෙන්නේ” යනුවෙන් දක්වා ඇත. මෙම කරුණ වඩාත් පැහැදිලි කරන අවස්ථාවක් අංගුත්තර නිකායෙහිම අදත්ත සූත්‍රයෙහි ද දැක්වේ.
“මහණෙනි, යම් සේ සිත දමනය නොකරන ලද්දේ මහත් අනර්ථය (අවැඩ) පිණිස පවතී ද එබඳුම වූ අනික් එකම ස්වභාවයකුද (කරුණකුද) මට (නුවණැසින්) නොමදකිමි. මහණෙනි සිත දමනය නොකරන ලද්දේ මහත් වූ අනර්ථය පිණිස පවතී.
“මහණෙනි, යම් සේ සිත දමනය කරන (හික්මවන) ලද්දේ මහත් අර්ථය (යහපත) පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු (කරුණකුදු) මම (නුවණැසින්) නොම දකිමි. මහණෙනි, සිත දමනය කරන ලද්දේ මහත් වූ අර්ථය පිණිස පවතී. (අංගුත්තර නිකාය – අදත්ත නොහොත් දත්ත සූත්‍රය)
ගීතයේ පළමු අන්තරා කොටසෙහි එන සියලු කරුණු දූරංගමං ගාථාවෙහි එලෙසම ඇතුළත්ය. ගීතයේ “හද ලෙනේ සැඟවී නිදන්නේ යන්න “අසරීරං ගුහාසයං යන්නෙහි අර්ථයම ය. යනෙන තැන රහසේය යන්නේ – නොමැත දිස්වන්නේ යන්න “ඒක චරං” යන්න විස්තර කිරීමකි. එනම් තනිවම ගමන් කිරීම යනු කිසිවකුට පෙනෙන සේ නොකිරීමයි. එය රහසේ ගමන් කිරීමක් මෙන්ම දිස්වීමක් ද නොමැති දෙයකි. එසේම රූපකායක් නොමැති හුදු චිත්තවේගයක් පමණක් බැවින් බාහිර කිසිවකුට නොපෙනේ.
මීට පෙර අදත්ත සූත්‍ර පාඨයෙහි දැක්වූ ලෙසම සිතූ පැතූ අරමුණු කෙරෙහි නොදැමිව යන තැනැත්තාට එම සිතිවිල්ල අනර්ථය හෙවත් සාංසාරික විමුක්තිය ලැබීමට බාධාවක් වන බව යන්න ගීතයේ දෙවන අන්තරා කොටසෙන් තවදුරටත් විස්තර කෙරේ. එවන් වූ නොදැමි සිත කවර තරම් බලවත් ලෙස අනර්ථය පිණිසිම යොමු කරන්නේද හා එම බලවත් අනර්ථ සිත් බුදුන් වහන්සේ විසින් හික්මවන්නේ ද යන්න කදිමට පැහැදිලි කෙරෙන දේශනාවක් සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ සමය සූත්‍රයෙහි එයි.
ඡෙත්‍වා ඛීලං ජෙත්‍වා පලිසං – ඉන්දඛීලං ඌභච්ච මනෙජා
තෙ චරන්ති සුඬා විමලා – චක්ඛුමතා සුදත්තා සුසුනාගා’ති
පසැස් ඇති ශාස්තෲන් වහන්සේ විසින් මනාකොට හික්මවන ලද තරුණ නාගයන් (ඇතුන්) බඳු වූ ඒ භික්ෂූහු (රාග, ද්වේෂ, මෝහ නමැති) කණුව සිඳ (රාග, ද්වේෂ, මෝහ නමැති) කණයම (අගුල) සිඳ, (රාග,ද්වේෂ, මෝහ නමැති) එළිපත (ඉන්ද්‍රඛීලය) උදුරා (එහෙයින් ම තෘෂ්ණා) කම්පන රහිත වූවාහු, උපකෙල නැත්තෝව, නිර්මලව හැසිරෙත්” (සංයුක්ත නිකාය – දේවතා සංයුක්තය – සමය සූත්‍රය) ගීතයෙහි සඳහන් “නොදැමි වූ සිත රැක නොගත්තේ” යන්න වඩාත් අර්ථ සම්පන්න වනුයේ ඉහත සූත්‍ර දේශනාව හා සැසඳීමෙනි. නොදැමි සිතට සූත්‍ර දේශනාවෙහි සමානකර දක්වන්නේ තරුණ මදයෙන් යුත් ඇතුන් විසින් නොසෙල්වෙන ඉන්ද්‍රඛීලය උගුලා දක්වන ආකාරයයි. එහිදී නොදැමි සිත ඉන්ද්‍රඛීලයට උපමා කර ඇත. නොදැමි සිත ඉන්ද්‍රඛීලයට උපමා කර ඇති බැවින් ඉන්ද්‍රඛීලය කෙතරම් බලවත් දැයි සඳහන් කළ යුතුව ඇත. රතන සූත්‍රයේ අටවැනි ගාථාවේ මෙසේ සඳහන්ය.
යථින්දඛීලෝ පඨවිං සිතොසියා
චතුබ්බිවාතේහි අසම්පකම්පියො….
(යම් සේ පොළොව තුළ වැදගෙන සිටි ඉන්ද්‍රඛීලය සිවු දිගින් සමාන සුළඟින් සෙලවිය හැකි නොවේවිද?) මහාමේරු පර්වතය ද ඉන්ද්‍රඛීලය මෙනැයි ද මතයක් පවතී. මෙම සියලු අර්ථ සමස්තයක් ලෙස ගත් කල චංචල බවට පත්වීමට කිසිසේත් ඉඩක් නොමැති ස්ථිරසාර යන බවය. සමය සූත්‍රයෙහි මනාකොට නොහික්මවන ලද හෙවත් නිරන්තරයෙන් තනිව ගමන් කරන සිත එවැන්නකි. ශාස්තෲන් වහන්සේගේ ධර්මයෙන් නිසලව, හික්මවනු ලබන්නේ එවන් සිතකි. ගීතයෙහි ආරම්භයේ දැක්වෙන “උතුම් සදහම් ගුණයෙන් සිත නිවාගන්නේ” යනුවෙන් සඳහන් යෙදුම ආදේශ වන්නේ ඒ අනුවය. සිතෙහි ස්වභාවය දැක්වීමට ගීතයෙහි යෙදුම් හා දේශනා පාඨ උපුටා දක්වනු ලැබුව ද මෙම ගීතයට ඍජුවම පසුබිම් වූ දූරං ගමං ඒකචරං යන ධම්මපද ගාථාව, ධම්මපදට්ඨකතා හි දක්වා ඇති අර්ථය ගීතයට වඩාත් සමීප බව පෙනේ.
එහි දූරං ගමං යනු සිතෙන් මකුළු නූලක දෙයක් හෝ පෙරදිග ආදී දිසාභාගවල යෑම නැත. කෙනෙක් දුරක වුවද තිබෙන අරමුණ දැනගනී යන අරුතින් දූරංගමං නම් වෙයි. සිත් හත අටක් කැණිමඬලක පරාල මෙන් පොකුරට එක් ක්ෂණයක උපදින්නට සමාර්ථ නැත. උපදින විට එකම සිතක් උපදී. එය නිරුද්ධ වූ පසු නැවත එකක් නැවත එකක් උපදී. එහෙයින් ඒකචරං නම් විය. සිතට ශරීර සටහනක් හෝ ශීලාදී වශයෙන් වර්ණ භේදයක් හෝ නැතැයි අසරීර නම් විය. ගුහානම් චතුර්මහාභූත ගුහා වෙයි. මේ හිත ද හදය රූපය ඇසුරුකොට පවත්නා හෙයින් ගුහාසය යන නම ලැබීය. සෙ චිත්තං යනු යම් කිසි පුරුෂයෝ හෝ ස්ත්‍රීහු හෝ ගිහියෝ හෝ පැවිද්දෝ හෝ නූපන් කෙලෙස්වලට උපදින්නට නොදෙමින් සිහියෙන් උපන් කෙලෙස් හැරදමන්නාහු වෙත් නම් “චිත්තං සඤ්ඤමෙත්සන්ති සායතං අවිඛිත්තං කරිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනාති” යනු ඒ සියලු ක්ලේශයන්ගේ අභාවයෙන් මාරබන්ධන සංඛ්‍යාත ත්‍රිභූමක සංස්කාර පැවැත්මෙන් මිදෙන්නෝ වෙත්. (ධම්මපදට්ඨ කථා – 200 පිටුව)
බුදු ගුණ ගී බෙහෙවින් අල්ප ලෙස රචනාවන මෙම යුගයේ ඍජුවම ධම්මපදය පාදක කරගෙන සරල ලෙස ගැඹුරු දහම් කරුණක් මනා සංයමයෙන් යුතුව ගැයුණු ප්‍රශස්ත ගීයක් ලෙස මෙම ගීතය හඳුන්වා දිය හැකිය.

