පෙර පින් කර ඇති බවැ ආනිසංස ගෙනැහැරපානැ සෝපාක කථා වස්තුව

cmadurawala
11 Min Read

ගා/නාගොඩ, කැප්පිටියාගොඩ ශ්‍රී සුදර්ශනා රාමයේ; කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි

තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි කාලයේ, ඒ නුවරට ආසන්න ගමෙක විසූ සැඩොලියක් සම කූල තරුණයකු හා සරණ බැඳුණාය. ඒ බැඳීමේ ආනුෂංගික විපාක වශයෙන් ඕ පිරිමි දරුවකු ලැබුවාය. මෙසේ දරුවකු ද හා සමග ඇයට කූටුම්බ ජීවිතයක් ගතකරන්න ලැබුණේ සත්වසෙක් පමණි. පත් කිසියම් තත්ත්වයෙක දී ඇයගේ බරුවා පරලොව සැපත් විය. බරුවා මරණයට පත් වුවද ධෛර්යසම්පන්න ඒ බිරිය ගමේ ගොඩේ කිසියම් කුලියක් මලියක් කරගෙන දරුවන් බලා කියාගෙන කටයුතු කරන්නට පෙලැඹුණාය. එහෙත් ඒ එතරම් ලේසි පහසු කටයුත්තෙක් නොවන බව දැනගත්, තවමත් තරුණ විය නොඉක්ම වූ ඒ ගැහැනිය, තම ජීවිතයට සැනසිල්ලක් ලබාගනු පිණිස තව සරණයෙක් කර ගත්තාය. එහෙත් ඒ අලුන් බරුවා කර්මාන්තයෙහි ආසමක් හා උනන්දුවෙක් නැති අයෙකි. ඒ නිසා පෙර සිටිය බරුවා මියයෑමෙන් පසුව ඇය කුලියක් මලියක් කරගෙන ගතකළ ජීවිතය හමාර කර ගැනීමට ඇය අවසරයෙක් නොලැබුවාය. වැඩක් පළක් නොකළත් දරුවා බලා ගන්නවානේ සිතූ ඒ ගැහැනිය තම දරුවාත් මිනිහාට බලාගන්න පවරා සුපුරුදු සේ ගෙදරින් බැහැරව වැඩට පළට ගොස් පවුලේ අගහිඟයන් පුළුවන් සේ පියවා ගනිමින් යුග ජීවිතයෙක් ගතකළාය.

තමා වෙත ඒ දරුවා භාරදී ගිය අනතුරුව ඒ බරුවා, තමාට භාර දී ගිය පොඩි දරුවා ලවා තමාගේ කටයුතු කරවා ගනී. එහෙත් පොඩ්ඩ අතපසු වුණ තැන ඔහු ඒ හිච්චි දරුවාට ගසයි බණියි. “උඹ මේව අම්මට එහෙම කිව්වොත් තෝ මරා දමනවා” යැයි කියමින් තර්ජනය කරයි. ආදරය ප්‍රාර්ථනා කරන වයසේ සිටි ඒ දරුවා තමාට මේ බාප්පාගෙන් ලැබෙන ගැහිලි-බැණිලි-අඩන්තේට්ටම් පිළිබඳව අම්මාට කීවේ නැත. එහෙත් එන්න එන්න මැ බාප්පාගෙන් සිදුවන කරදර-හිරිහැර ඉවසනු බැරිව තම මවගේ උකුළේ රැඳී සිටි ඒ දරුවා; “අනේ! අම්මේ මේ බාප්ප මට හරියට ගහනව, බණිනව, වද දෙනව, මට කරන්න බැරි වැඩත් මා ලවා කරව ගන්නව, අනේ අම්මේ, බාප්පට එහෙම කරන්න එපා කියන්නකො” යැයි මහත් දුකෙකින් කීය. ඒ ඇසූ ඇයගේ හදවත කඩාවැටුණා බඳු විය.

රාත්‍රිය එළැඹිණි. ඔවුහු නිදි යහන් ගතවූහ. එවිට ඔහුව සිප වැළඳගත් ඇය, “ස්වාමීනි, මා මෙය ඔබට කියන්න දවස් ගණනක්ම බලාගෙන හිටිය. අපේ පුංචි පුතා කල දවස ගත කරන්නෙ හරිම දුකෙන් වගේ. අනේ අප්පත් නැති අසරණ පුංචි කොල්ලා අනේ! මං වැඩට ගියාම පුතා හොඳින් බලාගන්න! තවම පුංචි එකානෙ” ඇය කීය. එවිට ඔහු “ඇයි? පුතා කිව්වද මං එයාට ගහනව, බණිනව කරදර කරනව කියල”

“අනේ නැහැ! මම දැක්ක ඌ නිතරම කම්මුලේ අත තියාගෙන හූල්ල හූල්ල ඉන්නව. ඇහුවට මොකද ඔහොම ඉන්නෙ කියල කියන්නෙත් නෑ! ඒකයි මං කිව්වෙ අපේ පුංචි පුතා ආදරෙන් සොයා බලා ගන්න කියල. නැතිව වෙන මුකුත් නෑ”

“ඕකත් කියන්න දෙයක්ද? මං ඒ දරුවව බලා ගන්නෙ මගේම දරුවකු වගේ. ඔබේ පුතා මොකද? මගේ පුතා මොකද? මං ඌව හොඳින් හොයා බලා ගන්නවා! හා! දැන් නිදාගමු” ඔවුහු නිදාගත්හ.

පසුදාට පහන් වේගෙන ආහ – අවදි වූ ඇය මුළුතැනට ගොස් බරුවාටත්, දරුවාටත් දහවලට කන්නත් එක්ක යමක් කමක් උයා පිහා තබා, ළිඳට ගොස් දත මැද මුහුණ සෝදා තමා ගෙදරින් ගෙන ගිය භාජනයට වතුර එකක් පුරවාගෙන විත් පෑළ දොරෙන් ගෙට ඇතුළු වූවාය. ඇතුළු වී මෙහෙයට යන්න සූදානම්ව, ගෙන යා යුතු කළමනා ද මල්ලක අහුරාගෙන තම පුතු තුරුලු කරගෙන “මගේ පුතා දඟ කරන්නෙ නැතිව බාප්පත් එක්ක හොඳින් ඉන්න” කියා දරුවාගේ නළල ආදරෙන් සිප වැළඳ ඉක්මන් ගමනින් වැඩට ගියාය.

ඇය ගෙදරින් පිටව ගොස් හෝරා දෙක තුනක් ගතවිය. නිදි පැදුරෙන් අවදි වූ ඔහු ඇඳිවත ද තද සේ හැඳ පිහියක් රැගෙන බැද්දට රිංගා අඩ හෝරාවෙකින් පමණ යළි ගෙදරට පැමිණියේ සවිමත්, දිගු රැහැන් පටෙක් ද අතැතිවය. ඒ

රැහැන් පට තැන්පත් කර තැබූ ඔහු තමා කෑම සඳහා පාවිච්චි කරන භාජනය ගෙන පුරා බත් වෑඤ්ජන බෙදාගෙන කොටාබෑවේය. ඒ කටයුත්ත නිම වූ ඔහු ගෙතුළ සිටි කුඩා දරු අමතා“සෝපාක මෙහෙවරෙන් මටයි උඹටයි යන්න ගමනක් තියෙනව. ලෑස්ති වෙයන්’

“කොහේ යන්න ද ”

“ඒ පැහිච්චකම් උඹට වැඩක් නෑ. මං කතා කෙරුවම ලෑස්ති වෙයන් යන්න”

කර කියා ගත හැකි කිසිවක් නොවූ සෝපාක ගමනට ලෑස්ති විය. රෑහැන් පට ද අතට ගත් ඒ බාප්පා කුඩා සෝපාක සමග ගමනට පිටත් විය. බැදි මහේ සෑහෙන දුරක් ගමන් කළ ඔවුන් ගමන නතර කෙළේ අමුසොහොනක ය. මෙහෙම ඒ අමුසොහොනට පත් ඒ බාප්පා එහි අතැරදා ගිය තඩි මිනියක් වෙත සමීප විය. එතැනට ඒ පුංචි ළමයා ද ගෙන්වා ගත්තේය. ගෙන්වාගෙන; උඹ උඹේ අම්මට, මං උඹට ගහන, බණින, කරදර කරන හැටි කිව්වේ මට කරවන්නද? හොඳයි! බලපන් අද මං උඹට කරන දේ”යැයි කියා ඒ දරුවා අර මිනියට තබා, තමා ගෙනා රෑහැන් පටින් තද සේ බැඳ ආපසු ගියේය.

අමු සොහොනේ, මළ මිනියක ඈඳී, තදින් ගැටගැසී සිටින මේ දරුවාට කරන්නට හැකිව තිබුණේ හැඬීම පමණි. ඔහු ඒ නොඅඩුව කරමින් පසුවිය. ක්‍රමයෙන් දවල් දවස ගෙවී ගියේය. මේ අමුසොහොනෙහි වූ මිනීමස් කන්න පුරුදුව සිටි මස් කෑමේ ගිජු හිවලුන්, නරියන්, බල්ලන්, වලසුන් වැනි සතුන් එකා දෙන්නා පොරකකා ඒ සොහොනට ළං වෙමින් සිටියේය. ඒ දුටු මේ කුඩා දරුවා අඬමින්, කෑමොර දෙමින් මොරගාන්නට වූයේ මහ කළුවරේම කිමිදෙමිනි. එලෙස ඔහුට ගතකරන්නට වූයේ මඳ වෙලාවෙකි. ඒ ගන අඳුර බිඳිමින්, සිතට ගතට අමුතු සිසිලක් ලබා දෙමින් ඔහු වෙත පත් ආලෝකයෙකි. ඒ සමගම “දරුව, සෝපාකය, භය වෙන්න එපා! සෝක වෙන්න එපා! දැන් ඔබව ඔය මිනියට තබා බැඳ තිබූ බැමි කැඩී බිඳී සුණු විසුණු වී ගොස් ඇත. ඒ නිසා ඔතැනින් නැගිටලා දැන් ඔබට පෙනෙන එළිය දිගේ ඉදිරියට එන්න! මා ඔබ එනතුරු බලා ඉන්නවා!” සෝපාක ඒ බැබළෙන ආලෝකයේ (ඕභාසාලෝකයේ) ආධාරයෙන් ඉදිරියට ගමන් කෙළේය. ගමන් කළේ මඳ දුරෙකි. හේ නිවහනෙක් චෙත පත්විය. එහි අස්නෙක් අරා සිටි උතුමෙකි!

සෝපාකගේ සිත නිවිණ. ඇස නැළවිණ, ගත සැනැසිණ. හේ නැවී ගති. ඒ උතුමාගේ දෙපා මත හිස තබා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කෙළේය.

“දරුව, සෝපාක නැඟී සිටින්න! ගොස් මෙහි පැත්තෙකින් වාඩිවෙන්න!”

“හොඳම යි! උතුමාණෙනි, ඔබතුමා මගේ නමත් දන්නවා. මට අද හරි සතුටුයි” කියමින් පසෙකින් ඈඳිගත්තේය.

“හොඳයි සෝපාක, මා දැන් ඔබෙන් අංක දහයෙක් ගැන ප්‍රශ්න කරනවා! උත්තර දෙන්න පුළුවන් ද බලන්න!”

“හොඳමයි උතුමාණෙනි”

තථාගතයන් වහන්සේ:- ඒක නාම කිං? (එක යනු කුමක්ද?)

සෝපාක:- ‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා (සියලු සත්වයෝ ආහාරය නිසා පවතී)

ත:ව: :- “ද්වේ නාම කිං” (දෙක යනු කුමක්ද?)

සෝ:- “නාමඤ්ච රූපං ච” (දෙක යනු නාමය යි. රූපයයි!)

ත:ව: – “තීනි නාම කිං?” (තූන යනු කුමක්ද?)

සෝ:- “තිස්සෝ වේදනා” (සැප-දුක-උපෙක්ඛා යන වේදනා තුනයි)

ත:ව: “චත්තාරි නාම කිං” (සතර යනු කුමක්ද?)

සෝ: “චත්තාරි අරිය සච්චානි” (දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ විධිය යන උතුම් ඇත්ත හතරයි)

ත:ව: පඤ්ච නාමකිං?” (පහ යනු කුමක්ද?)

සෝ: පඤ්චුපාදානක්ඛන්ධා” (රූපූපාදානක්ඛන්ධය, වෙදනූ’ පාදානක්ඛන්ධය, සඤ්ඤු” පාදානක්ඛන්ධය, සබ්බා රූපාදානක්ඛන්ධය, විඤ්ඤාණුපාදානක්ඛන්ධය යන උපාදානක්ඛන්ධ පහයි)

ත:ව: “ඡ නාමකිං?” (සය යනු කුමක්ද?)

සෝ : “ඡ අජ්ඣත්තිකානි ආයතනානි “(ඇස, කන, නහය, දිව, ශරීරය, මනස යන ආධ්‍යාත්මික ආයතන සයයි)

ත:ව: “සත්ත නාමකිං?” (සත යනු කුමක්ද?)

සෝ: “සත්ත බොජ්ඣඞගා” (සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන බොජඣඞග හතයි.

ත:ව: “අට්ඨ නාම කිං?” (අට නම් කුමක්ද?)

සෝ : “අරියෝ අට්ඨ`ඩ්ගිකො මග්ගෝ” (සම්මා දිට්ඨි, සම්මා සඞකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වයාම, සම්මාන සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාඞගික මාර්ග යන අටයි.

ත:ව: “නව නාම කිං” (නවය නම් කුමක්ද?)

සෝ: නව සත්තා වාසා (නානත්ත කායා නානත්ත සඤ්ඤා, නානත්ත කායා, ඒකත්ත සඤ්ඤා, ඒකත්ත කායා, ඒකත්ත සඤ්ඤා, ඒකත්ත කායා, නානත්ත සඤ්ඤා, ආකාසානඞචායතන, විඤ්ඤාණඞචායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන අසඤ්ඤාසත්ත යන සත්තාවාස නමයයි.

ත:ව: “දස නාමකිං” (දහය නම් කුමක්ද?)

සෝ: “දසහඞගේහි සමන්නාගතෝ අරහාති වුච්චති” (අරිය සම්මා දිට්ඨි, ආරිය සම්මා සඞකප්ප, අරිය සම්මා වාචා, අරිය සම්මා කම්මන්ත, අරිය සම්මා ආජීව, අරිය සම්මා වායාම, අරිය සම්මා සති. අරිය සම්මා සමාධි, අරිය සම්මා ඤාණ, අරිය සම්මා විමුක්ති යන අඞග දහයෙකින් සෑදීගත් අරහත්වය දහයයි.

තථාගතයන් වහන්සේ: සාධු! සාධු!! සාධු!!! සෝපාකයෙනි

තොප මාගේ ශාසනගතව බ්‍රහ්මචරියායෙහි යෙදෙව? දෙසා, ඒ සෝපාක දරුවා වෙත දකුණත දිගු කළ සේක. ඒ අත දිගු කිරීමම “සංයුත්ත චිත්තන” අවධියේ ගතකළ ඒ සෝපාක දරුවාගේ පැවිදිකම, උපසම්පදාව පමණක් නොව සකල කලේශ නිවාරණයෙන් අරිහත් මග ඵල ලබාගැනීම ද වූ බව පතපොතෙහි සඳහනි. මෙබඳු උත්තරීතර සිද්ධි දාමයෙක් ගොඩනැංවීමට උපකාරී පරිසරය කුමක් දැයි විමසා බලමු.

මේ කථා වස්තුවේ කථා නායක වූ සෝපාක සත් හැවිරිදි ය. එසේම ඔහු උපත ලද කුලය නිසා සමාජමය වශයෙන් ගෝත්‍ර යුගයේ ලබතැකි වූයේ අමිහිරි අත්දැකීම්ය. එසේම වයසින් ළාබාලයකු වූ නිසාත් විධිමත් අධ්‍යාපනයක් ලබාගන්න අවස්ථාවෙක් නොවිණ. එසේම සමාජාශ්‍රයෙන් තොරව කුටුම්බයටම සීමා වූ හුදෙකලා දිවියෙක් ගතකළ නිසා අවිධිමත් හා නොවිධිමත් අධාපනයක් ලබන්නත් අවස්ථාවක් නොලැබිණි. එබඳු උරුම කරුම අවාසනාවන්ත දිවියෙක් ගෙවූ මේ කුඩා දරුවා, තථාගතයන් වහන්සේ විමසූ අඞකිත ප්‍රශ්න දහයටම නොපැකිළිව උත්තර දුන්නේ කෙසේ ද. ඒ ප්‍රශ්නයට විඥානවාදීව අපට පිළිතුරෙක් සපයාගත හැක. එනම්, මේ කුඩා දරුවාට මෙතරම් ව්‍යයක්තව ප්‍රශ්න දහයටම පිළිතුරු දීගත හැකි වූයේ ඇයි. පෙර කරන ලද පින් ඇති බවයි. ඔහුගේ පින මුහුකුරා ගොස් තිබුණායිනි. හා! හොඳයි එසේ නම් මෙපමණ හිමිනමකට කුඩප්පාගෙන් ඔපමණ අඩන්තේට්ටම් සිදුවූයේ ඇයි. බෞද්ධ දර්ශනයේ මනස ක්‍රියාකාරීත්වය කර්මයේ අධිකාරිත්වය යටතේම සිදු නොවේ. කර්මය විපාක දීමට හෝ නොදීමට බලපාන සාධක හතරෙකි! එනම්, ගති සම්පත්ති, විපත්ති, උපදි සම්පත්ති, විපත්ති, කාල සම්පත්ති, විපත්ති, පයෝග සම්පත්ති, විපත්ති ලෙසය. මේ සාධක හතරෙන් එකක් හෝ කිහිපයක් ඔහු කෙරෙහි බලපෑවාට සැක නැත!

මේ කුමරුවා කොතෙක් පෙර කරන ලද පින් ඇතියෙකු වුවත්, විමුක්ති මාවතේ නිමාවම දැකගත්තේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇසුරට පත්වීම නිසාය. ඒ එසේමයැ. ඇතැම් බීජ නුසුදුසු තැනගතව කේඬෑරි වෙවී පවතී. එහෙත් එයට සක්‍රීය වීමට උපකාර වූ දිය, පොහොර ලද තැන පැළවේ. ඒ පරිද්දෙනි. ඒ අනුව සෝපාක දරුවාට විමුක්ති මඟ දැන දැන භාවිතා කිරීමට ලැබුණූ බවත් පැහැදිලිය. තථාගතයන් වහන්සේ කෙරෙහිත් ඒ විමුක්තිය පෙන්වීමට උපයෝගී වූයේ, අග්‍ර ශ්‍රාවකයන්ටවත්, අසූ මහා ශ්‍රාවකයන්ටවත්, වෙනත් කිසි පුද්ගලයකුටවත් සාධාරණ නැති, ඒ නිසාම අසාධරණ ඥාණ වශයෙන් නම් කැරුණු;

i ඉන්ද්‍රිය පරෝපරියත්ත, ii ආසයානුසය, iii යමක පාතිහාරිය, iv මහා කරුණා සමාපත්ති, v ආසවක්ඛය, vi සබ්බඤ්ඤුත යන ෂඩ් අසාධාරණ ඤාණයෙකින් හෝ ඒ ඤාණ කීපයෙක සමවායමෙන් බව ඉතා පැහැදිලිය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *