මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
අපේ මනසෙහි සමෘද්ධිය, සංවර්ධනය සහ සාර්ථකත්වය විෂයෙහි හිතකර සිතුවිලි, වචන සහ මනෝරූප ඇතිකරවන ආකල්පයක් ලෙස ධනාත්මක චින්තනය හැඳින්විය හැකි ය. ධනාත්මක චින්තනයකින් ජනතාව පුෂ්ටිමත් වීමෙහි ප්‍රතිඵලය වන්නේ සාර්ථක, සුවදායි සහ ප්‍රීතිමත් ජීවිත ගත කිරීමේ හැකියාව බව සැලකෙයි. ආරම්භයේදී ම “හරි යන එකක් නැහැ, මේක කරන්න බැහැ” වැනි ඍණ සිතුවිලි වෙනුවට “මට මෙය කරන්න පුළුවන්” යැයි සිතමින් නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කරන ලෙස දිරි දෙන ධනාත්මක චින්තනය තුළින් අප සිතන ඕනෑ ම දෙයක් කරගත හැකි බව කියා සිටියි.
සමාජයේ බොහෝ දෙනා උත්සාහ කොට ජයග්‍රහණ හිමි කරගනු වෙනුවට තමන් එතරම් සමතුන් නොවන බව සිතමින් පසුබැසීම නිරතුරුවම දක්නට ලැබේ. සැබෑ තත්වය නම් ඔවුන් තම හැකියාවන් තේරුම් නොගැනීම නිසා දීන මනෝ තත්වයක් ආරෝපණය කරගන්නා බවය. සෑම පුද්ගලයකු වෙතම සහජයෙන් ම අසීමිත දක්ෂතා ඇති බව මනෝවිද්‍යාඥයෝ පැහැදිලි කරති. ධනාත්මක මනෝවිද්‍යාව පාදක කොටගෙන බටහිර උගතුන් විසින් ධනාත්මක චින්තනය ජනප්‍රිය කරන ලද්දේ එවැන්නන් දිරිමත්කොට සෞභාග්‍යය කරා මෙහෙයනු පිණිසය. මේ විෂය පිළිබඳ පොත පත, සඟරා නිතිපතා පළවන අතර එය මැනවින් ග්‍රහණය කරගත් වියත්හු සම්මන්ත්‍රණ සහ වැඩමුළු මගින් ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්නා ආකාරය විධිමත්ව ප්‍රගුණ කරවති.
ජීවිතය දෙස ඍණාත්මකව නොබලා උට්ඨාන වීර්යයෙන් සහ උචිතානුචිත විචක්ෂණයෙන් යුතුව සැලසුම් සහගතව ක්‍රියා කිරීම තුළින් සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකිය. ධනවත්වීම පිළිබඳව පොත් රැසක් ලියූ නැපෝලියන් හිල් ‘සිතින් සිතා අධිෂ්ඨාන කරගත හැකි ඕනෑම දෙයක් සාධනය කරගත හැක’ යනුවෙනි. අවශ්‍ය වන්නේ ‘මට පුළුවන්’ යන සිතුවිල්ල බව හෙතෙම පවසයි. ඒ අනුව යමින් ‘නෙගෙටිව් විදිහට හිතන්න එපා. පොසිටිව් විදිහට හිතන්න’ යැයි මිතුරන්ට උපදෙස් දෙන කල්‍යාණ මිත්‍රයන් අපට නිතර හමුවෙයි. එම වචන දෙක වුවද මහත් ආකල්ප පරිවර්තනයකට හේතු විය හැකිය. දෛනික කටයුතු ධනාත්මක සිතුවිලි හේතුවෙන් වඩාත් විධිමත්, සෞම්‍ය හා සාර්ථක අයුරින් සිදුවන විට ජීවිතය පෙරට වඩා දීප්තිමත් සහ ඵලදායි එකක් ලෙස වැටහෙනු ඇත.
එතකුදු වුවත් ධනාත්මක චින්තන ව්‍යාපාරය සහ එය විශ්වාස කරන්නවුන් අවඥාවට ලක්කරන්නෝ ද වෙති. කැනඩාවේ වෝටර්ලූ සහ බ්‍රන්ස්වික් විශ්වවිද්‍යාලවල කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස 2009 දී පළ කළ වාර්තාවක ධනාත්මක ස්වයං යෝජනා හඳුන්වා ඇත්තේ සමහරුන්ට සෙත සාදන, සමහරුන්ට වළ කපන දෙයක් ලෙසිනි. එසේ වුවද එය සුදුසුකම්ලත් පුහුණු කරන්නකුගේ උපදෙස් අනුව උචිත පරිදි භාවිත කිරීමෙන් ජීවිතයට සෞභාග්‍යය, සන්තුෂ්ටිය සහ ප්‍රබෝධය ලබා දෙන්නා වූත් සමාජ සම්බන්ධතා ප්‍රසන්න ලෙස පවත්වා ගැනීමට උපකාර වන්නා වූත් අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු සාර්ථක කරගැනීම සඳහා අතිශයින් උපකාර වන්නා වූත් ශාස්ත්‍රීය ප්‍රවේශයක් බව එය නිවැරදි ලෙස භාවිත කරන්නෝ පවසති. අටලෝ දහමින් පීඩිතව මුකුලිතව සිටින අවස්ථාවක නව ධෛර්යයකින් නැඟීසිට ගැටලු විසඳා ගැනීමේ කෞශල්‍යය එමගින් ලබාදෙයි.
කෙසේ වුවද ධනාත්මක චින්තනය හුදෙක් බටහිරින් අප වෙත පිරිනමන ලද දායාදයක් නොව ඈත දුරාතීතයේ පටන් පෙරදිග සංස්කෘතියේ ප්‍රශස්ත අංගයක්ව පැවැත්තක් බව අවධාරණය කළ යුතුව තිබේ. භාරතීය උපදේශ කාව්‍ය, නීති ශාස්ත්‍රය උගන්වන පංච තන්ත්‍රය හිතෝපදේශය වැනි කතා පොත් මෙන්ම ශතක සාහිත්‍යය ද ධනාත්මක චින්තනයෙන් පොහොසත්ය.
උද්‍යොගිනං පුරුෂ සිංහමුපෛති ලක්ෂ්මී
දෛවෙන දේයමිති කාපුරුෂා වදන්ති
දෛවං නිහත්‍ය කුරු පෞරුෂමාත්මශක්ත්‍යා
යත්නේ කෘතේ යදි නසිද්ධ්‍යති කෝත්‍ර දෝෂ:
උද්‍යොගි පුරුෂ සිංහයන් වෙත වාසනාවේ දෙවඟන (සිරිකත) පැමිණෙයි. දෛවයෙන් ලැබෙතැයි සිතන්නෝ දුබලයෝය. දෛවය පසෙකලා ආත්ම ශක්තියෙන් වැඩ කරන්න. ප්‍රයත්න දැරූ පසු අසාර්ථක වුවත් එහි වැරැද්දක් නැත.
මෙබඳු දිරිගැන්වීම්වලින් පරිපුෂ්ට සාහිත්‍යයක් අපට උරුම වුව ද ඒ ඇසුරෙන් විධිමත් අභ්‍යාස මාලාවක් ප්‍රගුණ කරවීම මෙතෙක් සිදුනොවූ හෙයින් බටහිර මනෝ විද්‍යානුසාරයෙන් ඉදිරිපත් කෙරෙන පාඨමාලා ප්‍රායෝගික සහ අර්ථ සම්පන්න බව අවංකව පිළිගන්නා අතර බෞද්ධ චින්තනය වෙතින් ඒ සඳහා ලබාගත හැකි ආභාසය ඇගයුම් කිරීම අපේ අභිමතාර්ථයයි.
ධනාත්මක චින්තනය අතින් බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය බටහිර චින්තනයට වඩා කාලය විසින් පැරණි වුවද සංකල්ප අතින් නවීන අතර වඩාත් සමතුලිත බවද පෙනී යයි. ධනාත්මක ස්වයං යෝජනා විවේචනය කරන අය පවා බුදුසමයෙන් ඉදිරිපත් කරන චර්යා – විපර්යකාරක භාවනාමය වැඩපිළිවෙළ දිගුකාලීන ප්‍රතිඵල ලබාදෙන ප්‍රශස්ත ක්‍රියාවලියක් බව පිළිගනිති. බුදුසමය අපේ දුර්වලකම් පුළුල් මනෝවිද්‍යාත්මක සන්දර්භයක් තුළ විශ්ලේෂණශීලීව ප්‍රත්‍යවේක්ෂණය කොට නිවැරදි කරගන්නා ශිල්ප ක්‍රමයක් හඳුන්වා දෙන අතර ජීවිතයේ ප්‍රමුඛතා ප්‍රතිසංයෝජනය කරගැනීමට උපකාරි වෙයි. පසුබට වන්නවුන්ගේ දීන මානසිකත්වය ඔවුන්ගේ සහජ අංගසම දුර්වලතාවක් නොවන බව අතීත චර්යාවන් පිළිබඳ හේතු ඵල විශ්ලේෂණය මගින් හඳුනා ගෙන මානවීය සහ පාරිසරික සීමාවන් තුළ තමන්ට සාධනය කරගත හැකි ඉලක්ක නිර්ණය කරගෙන ඒ වෙනුවෙන් නිරත වනු පිණිස බෞද්ධ චින්තනය ආලෝකය සපයයි.
බොහෝ බටහිර වැසියෝ බෞද්ධ චින්තනය ඇසුරෙන් විනාශක හානිකර අදහස් දුරලා වර්ධනීය සාමකාමී ප්‍රසන්න සිතුවිලිවලින් යුතුව ජීවිතයට මුහුණ දෙති. මෑතකදී අප හමුවට ආ දීප්තිමත් ම නිදර්ශනය ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ය. දැඩි ආතතිය හේතුවෙන් බෙහෙවින් මුකුලිතව සිටි තමන් දැන් පහන් සිතින් යළි ජීවිතයට මුහුණ දෙන්නේ බෞද්ධ චින්තනය නිසා බව ප්‍රකාශ කරන ක්ලින්ටන් ඔහුට භාවනා ප්‍රගුණ කරවීම පිණිස බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පත් කරගෙන සිටියි.
මතුසම්බන්ධයි

