අතිපූජ්‍ය අඹන්වැල්ලේ ශ්‍රී ධර්මානන්ද අනුනාහිමියෝ

rashi
By rashi
8 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

උපසම්පදාව ලැබීමට පෙර මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝසභාව මඟින් ගිහි පැවිදි පිරිස් ඉදිරියේ උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේ හෙවත් නාගයාගේ දැනුම පරීක්ෂා කිරීම සිරිතයි. අඳුනන හා නාඳුනන පිරිසක් මධ්‍යයේ යන්තම් විසි වයස් සපිරි නාගයා වික්ෂිප්ත ව තැතිගැනීම අරුමයක් නො වේ. සැත්තෑ පස් වසකට පෙර මල්වතු මහා විහාර මංගලෝපෝසථාගාරයේ දී,

“එහෙනම් බලන්නට කියනව සුසුකං වත ජීවාම…”

නාගයා 2-3-4 පදයන් කියා නිශ්ශබ්ද වෙයි. පැනය විචාළ නා සමිඳුන් මුණුපුරෙකුගේ සුරතල් බලන කිරි අත්තකු මෙන්,

“එහෙම නෙවෙයි. මම කිව්ව පදයත් එක්ක කියන්න.”

පියවි ලොවට පැමිණි නාගයා අගේට, තාලයට මිහිරි හඬින් ගාථාව කියයි. තවත් ගාථාවක් දෙකක් හා පිරිත් සූත්‍රයක කොටසක් අසා තතු වටහාගත් උන්වහන්සේ,

“බොහෝ ම හොඳයි. බොහෝ ම හොඳයි. ගුරුවරයාට සැළ කරනවා තමුසෙ ගැන සංඝ සභාව සතුටු උනා කියල, හා දැන් වැඳල නැගිටිනවා”

ය යි වදාරති. හග්ගමුවේ රතනාලංකාර හිමියන් ලියා ඇති අන්දමට තමන්වහන්සේට ම අනන්‍ය වූ කාරුණික ලගන්නා ශෛලියකින් සමණුද්දේසයන් වහන්සේලාගේ දැනුම පරීක්ෂා කොට වදාළ, විසි වැනි සියවසේ සිරිලක සම්බුද්ධ ශාසනභාරධාරී මහා යතිවරයාණන් වහන්සේ නමක වශයෙන් වැඩ හිඳ අනුපමේය මෙහෙවරක් සිදු කළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක වශයෙන් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පදවිය ශෝභාවත් කොට වදාළ අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ ධර්මානන්දාභිධාන අනුනාහිමිපාණන් වහන්සේ සම්භාවනාවට පත් කළ හැකි ය.

කන්ද උඩරට සිහසුන හෙබවූ සෙනරත් මහ රජතුමාගේ අග්‍රාමාත්‍යවරයා වූ යාලේගොඩ මහ නිලමේතුමාගේ පුත්‍ර වූ යාපා මුදලිතුමාණන්ගේ පරපුරට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යටපළාත කෝරළයේ අඹන්වැල්ල ග්‍රාමයේ ඉඩම් වලව්වේ ධනපාල මුදියන්සේලාගේ කේ. ඩබ්ලිව්. ධනපාල නිලමේතුමාගේ සහ මීපනාවේ වික්‍රමසිංහ විජයකෝන් මුදියන්සේලාගේ රන්මැණිකේ කුමාරිහාමි මැතිනියගේ පුත් රුවනක වශයෙන් වර්ෂ 1881 අගෝස්තු මස 21 වැනි දින අනුනාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුට හ. තෙ හැවිරිදි වියේ දී මවුතුමිය කාලක්‍රියා කළ අතර එතුමියගේ අවසාන ඉල්ලීම පරිදි නිසි වයස් එළඹුණු කල්හි දරුවා පැවිදි කොට මවුතුමියට පින් අනුමෝදන් කරවීමට ඤාතීහු තීරණය කළ හ.

නිසි වයස් එළඹුණු කල්හි නිල්දණ්ඩාහින්නේ රජයේ පාසලෙන් අක්ෂරෝද්ග්‍රහණය කොට ස්වකීය ඤාතිවරයෙකු වූ අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1897 අගෝස්තු මස 11 වැනි දින ඌව බෝගොඩ රජමහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාව ලැබූ හ. මෙහි දී උපාධ්‍යායයත්වයට පත් අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක පදවිය හොබවා වදාළ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් වූ එසේ ම මල්වතු මහාවිහාර විංශත්වර්ගික කාරක මහා සංඝසභාවේ ප්‍රථම ලේඛකාධිකාරී පදවියෙන් සම්මානිත ව ද මල්වතු මහාවිහාර පාර්ශ්වයේ දා හත්වැනි මහානායක පදවිය ද හෙබ වූ මහා යතීන්ද්‍රයන් වහන්සේ වූහ.

ආචාර්යයන් වහන්සේ ඇසුරෙහි මූලික බණ දහම් හදාරා දිවිතොටවෙල බුද්ධප්පිය මාහිමියන්ගේ ආධිපත්‍යයේ පැවති බදුල්ල විද්‍යොත්තංස පිරුවනින් අධ්‍යාපනය ලැබීය. මෙම වකවානුවේ විචිත්‍ර ධර්මකථිකයෙකු වශයෙන් කිත් යසස් පතුරවමින් භදන්ත රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය විදුරුපොල පියතිස්ස මහා නාහිමිපාණන් වහන්සේ බඳු පඬිවරුන්ගේ ප්‍රසාදයට පත් විය.

උපසම්පදාව පිණිස අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බැවින් 1903 ජූනි මස 9 වැනි දින අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝසභාව වෙත පාලි, සංස්කෘත ද්විභාෂා ප්‍රබන්ධයක් ඉදිරිපත් කොට මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝසභාවේ ප්‍රසාදයට පත්ව වාහලනාග නාමයෙන් ඉපැරණි ගරු සිරිත් සහිතව අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ හ.

වර්ෂ 1906 ජනවාරි 06 වැනි දින පෙරදිග මහා තක්ෂිලාව වශයෙන් විරුදාවලි ලත් පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරුවනට ඇතුළත් ව සකලවිද්වද්ජනශේඛරායමාන, සාර්වභෞම පණ්ඩිත,

ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ වියත් ඇදුරු මඬුල්ලේ ඇසුර ලබමින් ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සමර්ථ වූහ. ප්‍රාචීන උගතුන් දුලභ එම වකවානුවේ මෙම දක්ෂතාවය කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු වෙහෙරවැසි මහා සංඝයා වහන්සේලා සහ දියවඩන නිළමේතුමා ධම්මානන්ද හිමියන් ලවා දළදා මැදුරේ ධර්මදේශනයක් පවත්වා ප්‍රසාද පූජා පැවැත්වූහ. ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ විසින් අඹන්වැල්ලේ ධර්මානන්ද හිමියන් 1908 වර්ෂයේ විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය පදවියකට පත් කරන ලදහ.

සතර කෝරළයේ බෙලිගම්මන නිළමේතුමා විසින් ස්වකීය ධනව්‍යයෙන් හා කැපකරු දායකත්වයෙන්, නුගවෙල දියවඩන නිළමේතුමා ඇතුළු ගිහි පැවිදි පාලක සභාවක් මගින් පාලනය කරවූ බෙලිගම්මන විහාරය සහ විද්‍යාවර්ධන පිරිවෙන 1901 වර්ෂයේ ආරම්භ කරන ලද අතර එහි පරිවේණාධිපති හිමියන් පත් කරවන ලද්දේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ අභිමතය පරිදි ය. අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ පැවිදි සහෝදර කම්බුවටවන පියදස්සි හිමියන් එහි පරිවේණාධිපති ධුරය හොබවමින් සිට හදිසියේ අපවත් වූ පසු ශ්‍රී ධර්මාරාම නාහිමියන් විසින්,

“යම්කිසි වගකියන වැදගත් වැඩකට කෙනෙකු යවා ඔහු ගැන විශ්වාසය පිහිටුවා සැනසිල්ලෙන් ඉන්ට ලැබෙන නමලා කීදෙනෙකු ගෙන් කීදෙනෙක් අප අතර ඉන්නවා ද? මේ අවස්ථාවෙ දි මේ වැඩේට යන්තමින් වත් පිරිමැහෙන්නෙ අඹන්වැල්ලේ ධර්මානන්ද නමගෙන් පමණ ය” යි වදාරා අඹන්වැල්ලේ ශ්‍රී ධර්මානන්ද හිමියන් 1910 දී එහි පරිවේණාධිපති පදවියට පත් කොට එවූ හ. එහි දැක්වූ කාර්යශූරත්වය හේතුවෙන් බෙලිගම්මන ලේකම්තුමා විසින් විහාරස්ථානයේ සහ පිරුවනේ සියලු හිමිකම් ශ්‍රී ධර්මානන්ද හිමිපාණන් වහන්සේ වෙත පවරා දෙන ලදි.

1912 වර්ෂයේ දී මල්වතු මහාවිහාරයේ කර්මාචාර්ය ධුරයකට ද, 1914 වර්ෂයේ දී අලුත්නුවර විහාරයේ නායක පදවියට ද, 1921 වර්ෂයේ දී ගල්බඩ කිනිගඩ දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියට ද ඒ ඒ වකනානුවල වැඩ සිටි මහානාහිමිපාණන් වහන්සේලා වෙතින් පත්වීම් ලැබූ හ. මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහාවිහාර කාරක සංඝසභික පදවියට 1928 පෙබරවාරි 3 වැනි දිනයේ පත් වූ අඹන්වැල්ලේ ධම්මනන්ද නාහිමියන් ඉන් මසක් ඇවෑමෙන් කාරක මහා සංඝසභාවේ සහකාර ලේඛක පදවියෙන් සම්මානිත වූ හ. එසේ ම 1955 ඔක්තෝබර් මස 28 වැනි දින වැලිවිට සරණංකර අනුනාහිමිපාණන් වහන්සේ මහානායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවිය අඹන්වැල්ලේ ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ වෙත පුද දුනි.

උපාධ්‍යායන් වහන්සේ නමක වශයෙන් සහස්‍ර සංඛ්‍යාත සමණුද්දේසයන් වහන්සේලා වෙත උපසම්පදා අවස්ථාවේ දී සමුපකාරී වී තිබේ. එසේ ම 1950 වර්ෂයේ විද්‍යාලංකාර පිරුවනේ ත්‍රිපිටක ධර්ම සංගායනාව සඳහා දායකත්වය ලබා දුන් හ. 1954 වර්ෂයේ බුරුමයේ ඡට්ඨ සංගායනාව සඳහා ලක්දිව ත්‍රිපිටක ශෝධන මණ්ඩලයේ පාරාජිකාපාලියෙහි පාඨශෝධනය සිදු කරන ලද අතර සංගීතියෙහි සමාප්ති උත්සව අවස්ථාවට ද වැඩමවූ හ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ වයෝවෘද්ධතම හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩ සිටි අඹන්වැල්ලේ ධර්මානන්ද අනුනාහිමිපාණන් වහන්සේ කරහම්පිටිගොඩ සුමනසාර හිමියන් සමග අභිධර්මපිටකයට අයත් පුග්ගලපඤ්ඤත්තිප්පකරණය සිංහලයට නැඟූ හ.

වර්ෂ 1954 දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත් කළ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ ප්‍රමුඛ සාමාජික හිමියන් වූයේ ද අඹන්වැල්ලේ අනුනාහිමිපාණන් වහන්සේ ය. එහි කටයුතු විසඳීම වෙනුවෙන් අනුනාහිමිපාණන් වහන්සේ පතළ කළ විශාරදත්වය හේතුවෙන් මහත් සම්භාවනාවට පත් වූ හ. මෙම කමිටු වාර්තාව 1956 බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාගේ රජය පත් වීමට පසුබිම සකස් කළ බව විද්වතුන්ගේ පිළිගැනීමයි. 2500 බුද්ධ ජයන්තිය සැමරීම පිණිස පත් කළ ලංකා බෞද්ධ මණ්ඩලයේ දළදා මාලිගාව පිළිබඳ කාරකසභාවේ සභාපති පදවිය ද අනුනාහිමිපාණන් වහන්සේ වෙත පැවරුණි.

මල්වතු මහාවිහාරයේ මහානායක හිමිපාණන් වහන්සේලා ගිලන් වූ අවස්ථාවල දී කාරකසංඝසභාව මෙහෙයවීමත් විසඳීමට දුෂ්කර වූ ආරවුල් විසඳීමටත් අනුනාහිමිපාණන් වහන්සේ ක්‍රියා කළ හ. බෝගොඩ පස්සර රජමහා විහාරය, මහනුවර නාගවිමානකන්දේ රජමහා විහාරය, අඹන්වැල්ලේ සද්ධර්මතිලකසීමාරාමය, කුඹල්ගමුවේ සුමංගලාරාමය, බෙලිගම්මන පොත්ගුල් විහාරය, අලුත්නුවර රජමහා විහාරය යන විහාරස්ථානයන්හි ආධිපත්‍යය හොබවා වදාළ අනුනාහිමිපාණන් වහන්සේ අඹන්වැල්ලේ පියදස්සි හිමි, කහවත්තේ සුවණ්ණජෝති හිමි, අඹන්වැල්ලේ මේධංකර හිමි හා හෙම්මාතගම පඤ්ඤානන්ද හිමි යන ශිෂ්‍යවරයන් වහන්සේලා වෙත ආචාර්යයන් වහන්සේ වූ හ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *