අශෝක භද්‍ර
පෙළ :
නිධීනංව පවත්තාරං – යං පස්සේ වජ්ජ දස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ
(ධම්මපද පණ්ඩිත වග්ග පළමුවන ගාථාව)
පදාර්ථ
යං – කිසියම්ත වජ්ජදස්සිනං – වැරදි පෙන්වා දෙනසුලුත නිග්ගය්හවාදිං – වරදෙහිදී තරවටු කොට අවවාද කරනසුලුත මේධාවිං – සත්පුරුෂයකුත නිධීනංව පවත්තාරං පස්සේ – නිධානයක් පෙන්වා දෙන්නකු මෙන් දකින්නේ නම්ත තාදිසං පණ්ඩිතං භජේ – එවැනි නුවණැත්තා ඇසුරු කළ යුතු වේ. තාදිසං භජමානස්ස – එවැන්නකු ඇසුරු කරන්නාටත සෙය්‍යෝ හෝති – යහපතක් වේ. න පාපියෝ – අයහපතක් නොවේ.
භාවය
“නිධන් කියා පාන්නකු වැනි වූ ඇති දොස් විමසා බලන, තරවටු කොට අවවාද කරන ස්වභාවය ඇති, එවැනි සත්පුරුෂයකු නිතරම සේවනය කටයුතු. එවැන්නකු සේවනය කරන්නහුට යහපතෙක්ම වේ. අයහපතෙක් නොවේ.”
නිධාන කතාව
සැවැත් නුවර රාධ නම් වූ එක් දුගී බමුණෙක් විසීය. දුකින් මිදෙන අදහසින් ඔහු ජේතවනාරාමයට ගොස් භික්ෂූන් ඇසුරෙහි කල් ගෙවීය. භික්ෂූන්ට ඇප උපස්ථාන කරමින් ගෙමිදුල් ඇමදීම, ආවාස පිරිසිදු කිරීම වැනි කටයුතුවල යෙදුණේය. භික්ෂූහු ඔහුට කරුණාවෙන් සැලකූහ. ආහාර පානාදියෙන් සංග්‍රහ කළහ. එහෙත් ඔහු පැවිදි කළ යුතු යැයි කිසිවෙක් නොසිතූහ.
එක් උදෑසනක මහා කරුණා සමාපත්තියෙන් ලොව බලන ජගත් ගුරු සනරාමර බුදු පියාණන්ගේ දැක්මට මේ බමුණා හසු විය. බුදුහු ආවාස පිරික්සීමේ යෙදෙන අතර අහම්බෙන් මුණ ගැසුණාක් මෙන් රාධ බ්‍රාහ්මණයා ඉදිරියේ නතර වී ඔහුගෙන් තොරතුරු විමසූහ. තම වගතුග ජගත් ගුරුන්ට පැවසූ බමුණා භික්ෂූන් තමන්ට කරුණාවෙන් සලකන බවත් එහෙත් තමා පැවිදි කර දුකින් මිදෙන මඟ පෙන්වා දීමට ඉදිරිපත් නොවන බවත් මහත් දුකින් පැවසීය. පෙරළා වැඩි තථාගතයාණෝ මේ කරුණ මුල්කර ගෙන ජේතවනාරාම වැසි භික්ෂූන් රැස් කළහ.
“මේ බ්‍රාහ්මණයා කිසියම් දවසක තමන්ට කළ උපකාරයක් මතක ඇති කිසිවෙක් මේ පිරිසෙහි සිටිනවා දැයි” විමසූහ. සෙසු භික්ෂූන් නිහඬව සිටිය දී සැරියුත් තෙරණුවෝ නැඟී සිටියහ. ජගත් ගුරුන්ට නමස්කාර කර මෙසේ පැවසූහ.
“ස්වාමීනී මා දිනක් පිණ්ඩපාත චාරිකාවේ හැසිරෙන අවස්ථාවක මේ රාධ බ්‍රාහ්මණතුමා මගේ පාත්‍රයට බත් හැන්දක් බෙදුවා.”
“ශාරිපුත්‍රයිනි, ඒ කළ උපකාරයට ප්‍රත්‍යුපකාරයක් හැටියට මේ තැනැත්තා පැවිදි නොකරන්නේ මන්ද” යි බුදුපියාණෝ ඇසූහ.
සැරියුත් තෙරණුවෝ තථාගත වචනය පිළිගෙන රාධ බමුණා පැවිදි කළහ. දාන ශාලාවට ගියවිට මේ නවක භික්ෂුවට අසුන් ගන්නට සිදු වූයේ කෙළවරම අසුනේය. සැදැහැතියන් භික්ෂූන්ට පිළිවෙළින් දන් පිළිගන්වමින් කෙළවර අසුනට එනවිට ඉතිරි වන ආහාර ප්‍රමාණය අල්ප විය. නැතහොත් දන් බඳුන් හිස්ව තිබිණ. මේ නිසා රාධ සාමණේරයන්ට නිසි අහරක් නොලැබුණු අවස්ථා ද විය.
සාමණේරයන්ගේ ගුරුවරයා වූ සැරියුත් තෙරණුවෝ මේ කරුණ නිරීක්ෂණය කළහ. වස් කාලය අවසන්ව චාරිකාවේ හැසිරෙන සමය එළැඹිවිට උන්වහන්සේ තම ශිෂ්‍යා ද ජනපද චාරිකාවේ කැඳවා ගෙන ගියහ. මේ චාරිකාවේදී ගුරුවරයා තම ශිෂ්‍යයාට පැවිද්දකු විසින් සිතිය යුතු පිළිවෙළ ද, ඇවතුම් පැවතුම් සකසා ගතයුතු ආකාරය ද ගැන නිරන්තරයෙන් උපදසේ දුන්නේය. අඩු පාඩුවක් දුටු කළ දැඩිව අවවාද කෙළේය. විටෙක සානුකම්පිකව තරවටු ද කෙළේය.
රාධ සාමණේරයෝ මේ කිසිවකින් ගුරුවරයා කෙරෙහි අමනාප සිතක් ඇති කර නොගත්හත ලැබුණු තාක් අවවාද අනුශාසනා හිස් මුදුනින් පිළිගත්හ. මේ නිරන්තර මඟ පෙන්වීම නිසා නවක භික්ෂුව තුළ තම ආචාර්යවරයා කෙරෙහි පැවති භක්තිය තව තවත් තීව්‍ර වූවා සේය. වයසින් වැඩිහිටියකු වූ මේ නවක භික්ෂුව ඇදුරු තුමන්ගේ මග පෙන්වීම් අනුව විදර්ශනා වඩා නොබෝ කලකින් රහත් විය.
ජනපද චාරිකාවේ අවසානයේ සැරියුත් තෙරණුවෝ තම ශිෂ්‍යා ද කැටුව ආපසු ජේතවනාරාමයට වැඩම කළහ. දෙදෙනා වහන්සේ ම බුදු පියාණන් බැහැ දකින්නට ගියහ. තථාගතයාණෝ පිළිසඳර කථා කොට “ඔබේ සද්ධි විහාරිකයා කොතරම් දුරට සුවච දැයි තම අග්‍ර ශ්‍රාවකයාණන්ගෙන් විමසා සිටියහ.
“ස්වාමීනි මේ සද්ධි විහාරිකයා ඉතා සුවචයි. වරදක් පෙන්වා දුන් කිසිම අවස්ථාවක කෝපයට පත් වුණේ නෑ.” සැරියුත් තෙරණුවෝ පැවසූහ.
“එබඳු සද්ධි විහාරිකයන් ලැබෙනවා නම් කී දෙනෙක් භාර ගන්නට ඔබ සූදානම්ද?”
“ස්වාමීනී, මෙබඳු සද්ධි විහාරිකයන් ලැබෙනවා නම් ඒ හැම දෙනාම භාර ගන්නට ලෑස්තියි.”
සැරියුත් තෙරණුවන්ගේ කෘතවේදී බවත්, රාධ සාමණේරයන්ගේ සුවච කීකරු බවත් ගැන ජේතවනාරාමයේ වැඩ සිටි භික්ෂූන් අතර කතාබහක් ඇති විය. දිනක් දම් සභා මණ්ඩපයට වැඩම කළ සනරාමර ජගත් ගුරු බුදු පියාණෝ මේ බව දැන මේ කරුණ මුල් කරගෙන භික්ෂූන්ට ධර්ම දේශනා කළහ. ධම්මපද පාළියේ පණ්ඩිත වග්ගයේ ඇතුළත් වන ඉහත සඳහන් ගාථාව ඒ ධර්ම දේශනාවේ හරයයි.
විවරණය
ශාසනය තුළ ගුරු – ශිෂ්‍ය සම්බන්ධය කෙසේ පැවතිය යුතු ද යන්න පිළිබඳ අදහසක් මේ දේශනාවේ ගැබ් වෙයි. ශාසනික ව්‍යවහාරය අනුව ගුරුවරයා, ‘ආචාර්ය’ හා ‘උපාධ්‍යාය’ යන නම්වලින්ද, ශිෂ්‍යයා ‘අන්තේවාසික’ හා ‘සද්ධිවිහාරික’යන නම්වලින් ද හැඳින්වේ. ශාසනයේ චිර පැවැත්ම තීරණය වන්නේ ගුරු – ශිෂ්‍ය සම්බන්ධය අනුවය. ගුරුවරයා තම ශිෂ්‍යයා කෙරෙහි දරු සෙනෙහසින් කටයුතු කළ යුතු බවත්, ශිෂ්‍යයා ගුරුවරයා කෙරෙහි පිය සෙනෙහසින් සිතිය යුතු බවත් ධර්මයෙහි සඳහන් වේ. මේ අයුරින් ගුරුවරයා තම ශිෂ්‍යයා සේවකයකුගේ තත්ත්වයෙන් නොසලකා ආදරයෙන් රැක බලා ගත යුතු අතර ශිෂ්‍යයා තම ගුරුවරයා පාලකයකු ලෙස නොව මඟ පෙන්වන්නකු ලෙස සැලකිය යුතුය. අන්‍යොන්‍ය ගෞරවය දෙපක්ෂය තුළින් ම පිළිබිඹු වූව මනාය.
සැබෑ ගුරුවරයා (ශාසනික ව්‍යවහාරය අනුව ආචාර්ය හෝ උපාධ්‍යාය) තුළ පැවතිය යුතු ලක්ෂණ හතරක් මේ ගාථාවෙන් පැවසේ. ඔහු ශිෂ්‍යයාගේ වැරදි හඳුනා ගන්නකු විය යුතුයත ඍජුව වරද පෙන්වා දෙන්නකු විය යුතුයත සත්පුරුෂයකු (මේධාවිං) විය යුතුයත ඇසූ පිරූ තැන් ඇති ප්‍රාඥයකු (පණ්ඩිතං) විය යුතුය. මෙබඳු ගති ලක්ෂණ ප්‍රකට කරන සැබෑ ගුරුවරයා දුගියකුට නිධානයක් දක්වන්නකු වැනි වෙයි.
කෙනකුගේ වැරදි සෙවීම දෙයාකාරයකින් සිදු වෙයි. එක් ආකාරයක් නම් නින්දා අපහාස කිරීමේ අරමුණින් අඩු පාඩු සෙවීමයි. එවැන්නකු හැඳින්වෙන්නේ “රන්වී ගවේසී “(සිදුරු සොයන්නා) යනුවෙනි. අනෙක් ආකාරය, මඟ පෙන්වීමේ අරමුණින් යමකුගේ අඩු ලුහුඬුකම් නිරීක්ෂණය කිරීමය. මෙය කරුණා පෙරදැරිව සිදු වන්නකි. සැබෑ ගුරුවරයා තම ශිෂ්‍යයන්ගේ වැරදි දකින්නේ මේ දෙවන ආකාරයෙනි. හුදෙක් සිදුරු සෙවීමේ අදහසින් නොවේ.
ශිෂ්‍යයාගේ වරදක් දුටුවිට එය පෙන්වාදීම සැබෑ ගුරුවරයාගේ කාර්යයි. ශිෂ්‍යාගෙන් තමාට ලැබෙන ඇප උපස්ථාන, ගරු සැලකිලි තව දුරටත් නොලැබෙනු ඇතැයි සිතමින් නිහඬ වීම එවැන්නකුගේ පිළිවෙත නොවේ. කිසියම් ශිෂ්‍යයකු තම වරද නොපිළිගන්නේ නම් හෝ නොතකා හරින්නේ නම් ඔහුට දැඩිව අවවාද කිරීමත්, අවශ්‍ය නම් තරවටු කිරීමත් අපේක්ෂා කළ යුතුය. එහෙත් එය සිදු කළ යුත්තේ ද්වේෂ සහගත සිතින් නොවේ.
මෙසේ, ශිෂ්‍යයන් හික්මවන ගුරුවරයා ඔවුන්ට හිංසා පීඩා නොකරන, දඬුවමින් බිය ගන්වා ඔවුන් තම වසඟයෙහි තබා ගැනීමට වෑයම් නොකරන සත්පුරුෂයකු වුවමනාය. අනෙක් අතට, ශිෂ්‍යයකු තම අඩුපාඩුකම් පෙන්වා දෙනවිට ඒවා
පිළිගැනීමට තරම් ගුරුවරයා නිහතමානී වුවමනාය. මෙබඳු පරමාදර්ශී ගුරුවරු ශිෂ්‍යයන්ගේ විශ්වාසය දිනා ගැනීමෙහි සමත් වෙති. තම ශිෂ්‍යයන්ගේ පමණක් නොව ඇසුරු කරන හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙති.
සැබෑ ගුරුවරයා තම ශිෂ්‍යයන්ට වඩා ඇසූ පිරූ තැන් ඇති, ජීවිත පරිඥානයෙන් යුත් ප්‍රාඥයකු වීම මැනවි. සමාජයට වැඩ ඇති ව්‍යක්ත ප්‍රතිබල ශිෂ්‍යයන් බිහි කිරීමට සමත් වන්නෝ එබඳු ගුරුවරුය. අනෙක් අතට දියුණුව කැමති ශිෂ්‍යයා ද ගුරුවරයාගේ බල දුබලකම් තේරුම් ගෙන ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කරන සුවච කීකරු තැනැත්තකු වීම අපේක්ෂිතය.
මේ අර්ථයෙන් ගත් කල සැබෑ ගුරුවරයා නිධානයක් පෙන්වා දෙන්නකු වැනිය. ධනය නොමැතිව දිවි මඟෙහි මං මුළා වූ කිසිවකු දකින සත් පුරුෂයෙක් සැඟවූ ධනය ඇති තැනකට ඔහු කැඳවා ගෙන ගොස්, එතැන නිධානයක් ඇති බව පවසා, එය ගොඩගෙන සුව සේ ජීවත් වන්නැයි උපදෙස් දෙයි. අතරමං වූ තැනැත්තා ඔහු කෙරෙහි විශ්වාසය තබා මහන්සියෙන් වැර වෑයම් කොට නිධානය තමන් සතු කරගනී.
සම්බුද්ධ ශාසනයෙහි යහ පැවැත්ම තීරණය වන්නේ සංඝ සමාජය තුළ මෙබඳු ගුරු – ශිෂ්‍ය සබඳතා ගොඩනැඟෙන විටය. එය පැවිදි සමාජයට පමණක් නොව ගිහි සමාජයට ද එක සේ අදාළය.

