සුපටිපන්නො

cmadurawala
9 Min Read

අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද මහානාහිමි

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ” භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න ය. සුපටිපන්න ගුණය යනු නිවන් මඟට පමුණුවන මනහර ප්‍රතිපත්තියක් පිරීමය. මෙවන් ප්‍රතිපත්තීන් පුරන්නෝ තථාගත ශ්‍රාවකයෝ වන්නාහ. එබන්දෝ නම් කලණ පුහුදුන් භික්ෂූන් වහන්සේ හා ශෛක්ෂයෝ වෙති. මේ අය යහපත් ප්‍රතිපත්ති පූරණය කරමින් සිටින බැවින් සුපටිපන්න නම් වෙති. රහතන් වහන්සේ ද මේ ප්‍රතිපාදවන් අවසාන කොට සිටින නිසා සුපටිපන්න යනුවෙන් හඳුන්වති.

මෙහි දී ප්‍රතිපත්ති වශයෙන් ගැනෙනුයේ අසුවල් දෙය කරමියි අසුවල් දෙය නොකරමියි කියා අදිටන් කරගැනීම් වශයෙන් නැතිනම් සමාදන් වීමෙන් පිහිටි සිරිත් ලෙසින් හෝ පවත්වා ගෙන යනු ලබන ක්‍රියාවෝයි. මේ ප්‍රතිපදාවන් තුළ ද සමහරෙක් නිෂ්ඵල ප්‍රතිපදාවෝ වෙති.

සමහරෙක් අපායමුඛයට පමුණුවන ප්‍රතිපදාවෝ වෙති. තවත් සමහරෙක් සුගතිගාමීත්වයට හා නිර්වාණගාමී ප්‍රතිපදාවෝ වෙති. සුගතිගාමී ප්‍රතිපදාවෝ සම්‍යක් ප්‍රතිපදාවෝයි. අපාය මුඛයට පමුණුවන ප්‍රතිපදාවෝ මිථ්‍යා ප්‍රතිපදාවෝ නම් වෙති.

ප්‍රතිපදාවන් අතර ඉතා ම දුක් සහිත වූත් දුකින් පරිපූරණය කළ යුතු වූත් දැඩි ප්‍රතිපදාවන් ඇත. එමෙන් ම සුවසේ පිරිය හැකි ප්‍රතිපදාවන් ද ඇත. ධර්මය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති අය පිරීමට අපහසු දැඩි ප්‍රතිපත්තීන් උතුම් ප්‍රතිපත්ති ලෙසත් එබඳු ප්‍රතිපදාවන් පූර්ණය කරණු ලබන අය උතුම් පුද්ගලයන් ලෙසත් කෙලෙසුන් නැසූ පුද්ගලයන් ලෙසත් සලකති. ප්‍රතිපදාවක් පිරීමට අපහසු දැඩි වූ පමණින් යහපත් ප්‍රතිපදාවක් නොවේ. එබඳු දැඩි ප්‍රතිපදාවන් පූරණ සමහර අයෙක් මරණින් මතු අපාය මුඛයට පමුණුවන ප්‍රතිපදාවෝ වෙති. තීර්ථකයන් විසින් පුරනු ලබන ප්‍රතිපදාවන් තුළින් මෙලෝ වශයෙන් දුක් විඳ මරණින් මත්තෙහි අපාය ගාමීත්වයට හේතුවන බව චුලධම්මසමාදාන සූත්‍රය (ම.නි. මූල පණ්ණාසක) පෙන්නුම් කරයි.

එම සූත්‍රධර්මය අනුව ඇතැම් තීර්ථකයෝ ඉතා දුෂ්කර වූ දුක් සහිත වූ ප්‍රතිපත්ති පුරති. ඉන් සමහරෙක් නම් දුක් විඳීමේ ප්‍රතිපත්තියක් වශයෙන් ගෝවුත පූරණය කරති. තවත් අයෙක් කුක්කුටය ව්‍රතය අනුගමනය කෙරෙති. ගෝව්‍රත යනුවෙන් අදහස් කරන්නේ ගවයකු හැසිරෙන අයුරින් තණ බුදීම ආදියෙන් ජීවත් වීමයි. කුක්කුර ව්‍රතය සුනඛයකුගේ ආකාරයෙන් හැසිරීමයි. අප භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෝලිය නම් ජනපදයෙහි නියම් ගමෙක් හි වැඩ වසන සමයෙක්හි ගෝව්‍රතය අනුගමනය කරණ පූර්ණ නම් අයකු සහ කුක්කුර ව්‍රතය පුරණ කේනිය නම් අයෙක් ද විසූහ.

මේ දෙදෙනා බුදුන් වහන්සේ වෙත ගොස් ගෝව්‍රතය අනුගමනය කරන පූර්ණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කරයි. ඔහු ප්‍රකාශ කරන්නේ සේනිය විසින් පුරනු ලබන දුෂ්කර ප්‍රතිපත්තිය දිගු කලෙක පටන් පූරණය කෙරෙමින් එයි. ඔහුගේ ඒ ව්‍රතයේ අවසාන ප්‍රතිඵලය කවරේ ද? මරණින් මත්තේ ඔහුගේ උපත කොතැන්හි දැයි බුදුරජාණන් වහන්සේ අතින් විචාළේය. තථාගතයන් වහන්සේ මෙබඳු ප්‍රශ්න නොවිචාළවයි එය ප්‍රතික්ෂේප කළ සේක. අවස්ථා තුනකදී ම විචාළ කල්හි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

යමෙක් මෙබඳු පහත් නිරර්ථක ව්‍රත අනුගමනය කිරීම තුළින් පහත් උපතක් ලබයි. එහෙත් ඔහුට මේ ව්‍රතයෙන් හෝ තපසින් හෝ උසස් හැසිරීමක් යැයි සිතා දිව්‍ය බ්‍රහ්මාදී වෙමියි අපේක්ෂා කරයි නම් එය වැරදි අවබෝධයකි. එබඳු වැරදි අවබෝධයෙන් ක්‍රියා කරන්නට නරකය, තිරිසන් යෝනිය යන උපත දෙකින් එකක් අයත් වේ. ඒ ආකාරයෙන් කුක්කුර ව්‍රතය සමාදන් වූ අයගේ එය සම්පූර්ණ වූයේ නම් සුනඛ බවට පත් වේ. සම්පූර්ණ නො වූයේ නම් නරකයට පමුණුවනු ලබයි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ ආකාරයෙන් වදාළ සුනඛ ව්‍රතය පූරණ සේනිය නමැත්තා සෝකයට පත් ව ගෝව්‍රතය සමාදන්ව සිටි පූර්ණගේ අනාගතය බුදුරජාණන් වහන්සේ ගෙන් විචාළේය. උන්වහන්සේ කලින් මෙන්ම ඒ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කර තෙවරක් ඇසූ කල්හි පෙරසේ ම වදාළ සේක. ඉන් අනතුරුව මේ දෙපොළ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය දැන තමන් විසින් පෙර පුරන ලද මිථ්‍යා ප්‍රතිපදාවන් හැර දමා තථාගතයන් වහන්සේගේ සසුනෙහි පැවිදි බිමට පත්වී යහපත් ප්‍රතිපදාවන් සපුරා සියලු කෙලෙසුන් දුරුකොට රහත් වූහ.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ කවර කලෙකවත් නොවරදින පූරණය කළොත් ඒකාන්තයෙන් නිවන් මඟට සපැමිණෙන යහපත් ප්‍රතිපදාවන් ය. එබඳු යහපත් ප්‍රතිපදාවන් පූරණය කරනු ලබන නිසා බුද්ධශ්‍රාවකයන් වහන්සේ සුපටිපන්න නමින් හඳුන්වනු ලැබෙති. උන්වහන්සේගේ ඒ යහපත් ප්‍රතිපත්තීන් මහාසකුළුදායි සූත්‍රයේ (ම.නි. මජ්ඣිම පණ්ණාසක) පැහැදිලි කොට දක්වා ඇත. එහි ප්‍රකාශ කරන්නේ:

“උදායි මා විසින් ශ්‍රාවකයන්ට දුකින් මිදී නිවන් ලබාගැනීම සඳහා පිළිපැදිය යුතු ආකාරය කියා දී ඇත්තේ ය. මා විසින් කියා දී ඇති පරිදි පිළිපදින්නා වූ මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් භාවනා කෙරෙති. උදායි, මේ ශාසනයෙහි මහණ තෙම බලවත් වීර්යයෙන් යුක්තවූයේ සංස්කාරයන්ගේ ඇති සැටිය දැකීමට සමත් යහපත් නුවණින් යුක්ත වූයේ භාවානාරම්මණය නැවත නැවත සිතට නඟා දෙන යහපත් සිහියෙන් යුක්ත වූයේ තිර නැත්තාවූද, දුක් වූද, ආත්ම නොවන්නා වූද, ශුභ නොවන්නා වූද, මේ කය තිර නැතියක් දුක් ගොඩක් ආත්ම නොවන්නක් අශුභයක් වශයෙන් සිතින් බලමින් වෙසේ ද එසේ කිරීමෙන් ලෝකයයි කියනු ලබන මේ පඤ්චස්කන්ධයක සම්බන්ධයෙන් ඇති විය හැකි ඇලීම හා ද්වේෂය දුරු කෙරේ.”

මේ අයුරින් ප්‍රතිපත්ති පූරණය කිරීම තුළින් සියලුම ආශ්‍රවයන් දුරුකොට අර්හත්ඵලය ලබාගැනීමය යන මේවා තථාගතයන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා පුරුදු පුහුණු කරන ලද යහපත් ප්‍රතිපත්තිහු ය. සතිපට්ඨාන භාවනාදියේ යෙදීම සීලයෙහි පිහිටා කළ යුත්තක් බැවින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, ප්‍රත්‍යය සන්නිශ්‍රිත සීලය යන සිව්පිරිසිදු සීල ද ඒ යහපත් ප්‍රතිපදාවන්ට අයත් වේ. බුද්ධශ්‍රාවකයින්ගේ ශ්‍රමණ ප්‍රතිපත්තීන් නොයෙක් අයුරින් බොහෝ සූත්‍රවල දේශනා කර ඇත. සමහර සූත්‍රවල දේශනා කර ඇති ශ්‍රමණ ප්‍රතිපදාවන් මෙසේ දැක්විය හැකිය.

ගෘහස්ථ දිවිය අත්හැර පැවිදි බිමට පත් වූ අයකු විසින් අන්‍යයන්ට කරදරකාරී වන අයුරින් ප්‍රයෝජනයට ගන්නා දඬු මුගුරු ආදී ආයුධ පාවිච්චිය හැර පරපණ නැසීමෙන් වෙන් ව පාපකාරී ක්‍රියා කිරීමෙහි ලජ්ජා ඇතිව සත්වයන් කෙරෙහි මෙත් සිත් ඇති ව කාරුණික ව විසිය යුතුය. අයිතිකරුවන් විසින් නොදුන් දෙය ගැනීමෙන් වැළකී දුන් දේ පමණක් ගෙන සොර සිතින් තොර පිරිසිදු සිත් ඇත්තකු ව විසිය යුතුය. එමෙන්ම ළාමක හැසිරීමෙන් වැළකී පිරිසිදුව සිටිය යුතුය. මුසාවෙන් වැළකී සත්‍යයම ප්‍රකාශ කරන අනුන් නොරවටන ස්ථීර ප්‍රකාශ ඇත්තා වූත් කථාව විශ්වාස කළහැකි පුද්ගලයෙකු විය යුතුය.

සමගිව වාසය කරන අයගේ සමගිය නැති කරනු පිණිස තැනක කී දෙය අසා තවත් තැනකට ගොස් කීමෙන් වැළකී භේද වූවන් සමගි කරන සමගිව සිටින අයගේ සමගිය වැඩි දියුණු කරන සාමාග්‍රියට ප්‍රිය කරන අයෙකු විය යුතුය. අසා සිටින්නවුන්ගේ සිත් රිදෙන පරුෂ බස් කීමෙන් මිදී අසා සිටින්නවුන්ගේ සිත් ප්‍රබෝධවත් වන ආකාරයේ යහපත් බස් ප්‍රකාශ කරන කෙනෙකු විය යුතුය. දෙලොවටම පලක් නැති හිස් බස් හෙවත් සම්පප්‍රලාපය හැර දෙලොවම යහපතට හේතු වන අර්ථ සහිත කථා පමණක් සුදුසු අවස්ථාවෙහි දී කරන්නෙකු විය යුතුය.

නොවියළි ගස් වැල් කැපීම ගින්නෙන් පිළිස්සීම ආදී දේ කිරීමෙන් වැළකී සිටියව යුතු ය. විකල් බොජුනෙන් වැළිකී එක් වේලක් පමණක් අහර ගන්නෙකු බවට පත්විය යුතුය. ගී නැටුම් බැලීම සදහම් මඟට විරුද්ධ හෙයින් විවිධාකාරයේ ක්‍රීඩා කිරීමෙන් හා කරවීමෙන් වැළකිය යුතුය. සුවඳ විලවුන් ඇඟ ගෑම හා නොයෙක් ආකාරයේ ආභරණ පැලඳීමෙන් වෙන් විය යුතුය. සැපවත් අයුරින් සකසන ලද අසුන්වලින් මිදිය යුතුය. මිල මුදල් භාවිත නො කළ යුතුය. අමු ධාන්‍ය හා මස් වර්ග පිළිගැනීමක් කාන්තාවන් කුමාරිකාවන් පිළිගැන්මත් දාස දාසීන් පිළිගැන්මත් නො කළ යුතු ය.

මේ ආදී ලෙසින් තථාගත ශ්‍රාවකයන් වහන්සේ විසින් වීරමනය විය යුතු දෑ බොහෝය. ඒ සියලු දෙයින් මිදී තම උදාර පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීම පිණිස ප්‍රතිපත්තීන් පුරන ශ්‍රාවකයෝ සුපටිපන්න නමැති ගුණයෙන් යුක්ත වූවෝ වන්නාහ. පියාඹා යන කුරුල්ලාට තමන් යන යන තැන තමන්ගේ පියාපත් ගෙන යෑමට හැකි වන්නාක් මෙන් සුපටි පන්න ගුණයෙන් යුත් භික්ෂූන් වහන්සේට ද අපහසුවක් නොමැතිව තමන් යන යන තැනට තමාගේ පරිෂ්කාරය ගෙන යා හැකි විය යුතුය. මේ උතුම් සීල ගුණයෙන් යුක්ත වූවාහු නිරවද්‍ය සැපයි විඳිත්. ඉහත සඳහන් කරන ලද ආර්ය ශික්ෂාවේ පිහිටි බුද්ධශ්‍රාවක තෙමේ ඇස් කන් ආදී පසිඳුරන් සංවර කළ යුතු ය. ඇසින් රුවක් දුටුවිට එහි ස්වභාවය ගැන මෙනෙහි කොට නිමිති ලෙස නොගත යුතුය. එසේ ඉඳුරන් සංවරයෙන් වාසය කරන්නහුට අභිධ්‍යා ව්‍යාපාද ආදී පාප ධර්මයන් නූපදී. මේ ආර්ය ඉන්ද්‍රිය සංවරය ඇත්තා වූ බුද්ධ ශ්‍රාවකයාට ස්වසන්තානය රාගාදී ක්ලේශයන්ගෙන් වෙන් වීමේ සුවය ලැබේ.

තථාගත සසුනෙහි සියලු බුද්ධශ්‍රාවකයෝ සමාන පිළිවෙත් පුරන්නෝ නො වෙති. ඇතමෙක් ජීවිතාශාව පවා හැර ලාභාපේක්ෂාවක් නොමැති ව සිව්පිරිසිදු සීල ගුණයේ පිහිටා ප්‍රතිපත්ති පූරණය කෙරෙති. ඇතැම්හු ශික්ෂා පද කඩ කෙරෙමින් අසම්පූර්ණ කොට ප්‍රතිපත්ති පුරති. මෙසේ තම තමන් විසින් පුරණ ප්‍රතිපත්තීන් අනුව ඇතමෙක් රහත්හූ වෙති. ඇතැමෙක් අනාගාමී ඵලයට පැමිණෙති. ඇතැම්හු සකෘදාගාමී සෝවාන් ආදී ඵලයට පැමිණෙති. ඇතැම්හු ධ්‍යාන පමණක් ම ලබති. තවත් අයෙක් කිසිදු විශේෂත්වයක් නොලබා මරණින් මතු ස්වර්ගගාමී වෙති. සමහරෙක් ඒ කර ගැනීමට ද සමත් නොවෙති.

මෙසේ විවිධාකාරයේ තත්ත්වයන්ට පත් වන්නා වූ සියලු බුද්ධශ්‍රාවකයන් වහන්සේලා විසින් පූරණය කරණු ලබන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒකාන්තයෙන් නිවනට පමුණුවන යහපත් ප්‍රතිපත්තීන් මය. එසේ හෙයින් ලිහිල් ලෙස ප්‍රතිපත්ති පුරණ තත්කාලීන් පුහුදුන් භික්ෂූන් වහන්සේ ද සුපටිපන්නයන් බව සැලකිය යුතු ය. අතීතයේ ජීවිත පරිත්‍යාගයෙන් ඉතා උග්‍ර ලෙස පිළිවෙත් පිරූ බුද්ධශ්‍රාවකයෝ විශාල සංඛ්‍යාවක් වූහ. උන්වහන්සේලා ඉතා උසස් අන්දමින් පිළිවෙත් පිරූ බැවින් සුපටිපන්න ගුණයෙන් යුක්ත වූ උත්තමයෝ වූහ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *