මිහින්තලා කඳු මුදුනේ දී

rashi
By rashi
3 Min Read

එදා ලක්වැසියන් ගේ මනා උත්සව දිනයෙකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන්හට දිය කෙළි විධාන කොට තමා මුව දඩයමට යෑමට පිටත්ව හතළිස් දහසක් සෙනඟ පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයෙහි අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝණකු ගේ වේසය මවා ගෙන තණ පඳුරක් කමින් සිටින්නා සේ දැක්වීය. කෑම කමින් සිටින සතාට විදීම හොඳ නැතැයි සිතූ රජතුමා ගෝණාට ඇසෙන්නට දුනු දිය ශබ්ද කළේය. ගෝණා එය අසා පර්වතයේ අනෙක් පැත්තට දිව්වේය. තමා ලුහුබැඳ ආ රජතුමා මිහිඳු හිමියන් දකිනවිට ගෝණා අන්තර්ධාන විය.

හැමදෙන එකවර දුටුවහොත් රජු වැඩියක්ම භය වෙතැයි සිතූ මිහිඳු හිමියෝ පළමුව තමන් වහන්සේ පමණක් රජුට දැක්වූහ. උන්වහන්සේ පමණක් දැකීමෙන්ද රජතුමා භයට පත්විය. “එන්න, තිස්ස” යැයි කියූ මිහිඳු හිමියන්ගේ වචනය ඇසූ රජතුමා ඒ යක්ෂයෙකැයි සිතා වඩාත් භයට පත්විය.

“මහ රජාණෙනි, අපි ධර්මරාජ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ”යි මිහිඳු හිමියෝ වදාළහ. රජුගේ භය පහ විය. තමාගේ මිත්‍රයා වන අශෝක රජතුමන් විසින් එවන ලද පණිවුඩය ද රජුට සිහි විය. මේ වනාහි අශෝක රජුගේ ලියුමෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙක් යැයි නිශ්චය කරගත් රජතුමා දුනු හී බිම දමා තෙරුන් වහන්සේට ළංව හිඳ ගත්තේය.

රජතුමා සමග ගිය පිරිස ද අවුත් රජු පිරිවරා ගත්තාය. මිහිඳු හිමියෝ ද තමන් සමග පැමිණි අනෙක් සදෙනා දැක්වූහ. රජතුමා උන්වහන්සේලා දැක,

“මොහු කවදා ආවෝ දැ”යි විචාළේය.

“මා සමග යැ”යි තෙරුන් වහන්සේ වදාළහ.

“මෙ බඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත්දැ”යි රජතුමා ප්‍රශ්න කෙළේය.

“මහ රජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේය. එහි වනාහි ත්‍රිවිද්‍යාධාරී, සද්ධිබලධාරී, පරසිත් දන්නා, දිව්‍ය ශෝත්‍රලාභී මහරහතන් වහන්සේලා බොහෝ හ”යි මිහිඳු හිමියෝ වදාළහ.

“වැඩියේ කුමකින් දැ”යි රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු හිමියෝ “ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ”යි පිළිතුරු දුන්හ. අහසින් වැඩි බව රජතුමා දැන ගත්තේය.

රජුගේ නුවණ විමසීම.

මෙසේ ටික වේලාවක් පිළිසඳර කථාවෙහි යෙදී සිටි පසු මිහිඳු මා හිමියෝ රජතුමන් නුවණැති බව දැන දැනම තවදුරටත් සෝදිසි කරනු පිණිස ප්‍රශ්න කළහ. ඇසූ ඇසූ පැනයට රජතුමා ව්‍යක්ත ලෙස පිළිතුරු දුන්නේය.

“මහරජ, මේ ගසේ නම කුමක්දැ”යි ළඟ තිබුණු අඹ ගසක් දැක්වූ මිහිඳු හිමියෝ රජුගෙන් විචාළහ.

“ඒ අඹ නම්” යි රජතුමා පිළිතුරු දුන්නේය. ඊළඟට වූ ප්‍රශ්නෝත්තර මාලාව මෙසේය.

මිහිඳු හිමියෝ: “මේ හැර තවත් අඹ ගස් තිබේද?”

රජතුමා: “බොහෝ අඹ ගස් ඇත.”

මි: “මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද”

ර: “ස්වාමිනී, බොහෝ ගස් ඇත. ඒ ගස් අඹ නොවේ.”

මි: “ඒ අඹත් නො අඹත් හැර තවත් ගස් තිබේද?”

ර: “ ස්වාමිනී, මේ අඹ ගහ”

මි: “මහ රජ, තෙපි පණ්ඩිතයෙහි”

මි: “මහ රජ, තොපගේ නෑයෝ සිටිත්ද?”

ර: “ස්වාමිනී, බොහෝ දෙනෙක් සිටිති.”

මි: “නො නෑයෝත් සිටිත්ද?”

ර: “ස්වාමිනී, බොහෝ නො නෑයෝත් සිටිති.”

මි: “ඒ නෑයනුත් නො නෑයනුත් හැර අනෙකකුත් සිටියිද?”

ර: “ඇයි, ස්වාමිනී, මම”

මි: “මහරජ, තෙපි පණ්ඩිතයෙහි”

තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව දැනගත් මිහිඳු හිමියන් වහන්සේ රජහට චූලහත්‍ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි රජතුමා හතළිස් දහසක් පිරිස සමග තිසරණයෙහි පිහිටියේය.

මහාවංශය ඇසුරිනි

කල්ප ලොකුවිතාන ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *