දෙනගම සිරිවර්ධන
වේදය දැනුමෙන් ඔහු අගතැන් ගත්තේ ය. ඒ ිපිළිබඳ ලියැවුණු කියැවුණු හැම වැකියක්ම, අකුරක්ම, ඔහුගේ මතකයේ තිරව සටහන්ව තිබිණ.
රජගහනුවර වච්ඡගොත්ත බ්‍රාහ්මණ ගෝත්‍රයේ උපන් ඔහු වච්ඡගොත්ත නමින්ම ප්‍රකට විය.
ශිෂ්‍යයකුව සිටයදී ද ඔහුගේ සිත වේදයේ ඉගැන්වීම් පිළිබඳව සැකමුසු විය. ගුරුවරුන්ගෙන් ඔහු ප්‍රශ්න කෙළේ ය. ගුරුවරු නළල රැලිගන්වා “ප්‍රශ්න එපා පිළිගන්න” යි කී හ.
ඔහු යමක් නිකම්ම පිළිගන්නා කෙනෙක් වූයේ නැත. පියාගේ කැමැත්ත වූයේ වේදයෙහි පරතෙරට ගිය පුතකු දැකීම ය. ඒ නිසාම ඔහු, පියා සතුටු වන පරිදි වේදය හැදෑරුවේ ය.
ඇතැම් ස්තෝත්‍රවලට ඔහු සිනාසුණේ ය. මෙය මෙසේ විය හැකිදැයි යාග හෝම පවත් වන මහ බමුණන්ගෙන් ඇසුවේ ය. ප්‍රථම විශ්ව හෝම පූජාව විස්තර කැරෙන “ආදි පුරුෂයාගේ ස්තෝත්‍රය” නම් වූ වේද මන්ත්‍රය ඔහු උපහාසයට ලක්කෙළේ ය.
“ඔවුහු පුරිසා බෙදද් දී ඒ
කොටස් කීයක් කර බෙදු දෝ
ඔහු ගෙ මුව, අත් කුමක් වී දෝ
වටොර හා පා කුමක් වීදෝ?
ඔහු ගෙ මුව වූයේය බමුණා
බාහුයෙන් කැත් කුලය මැවිණි
වෙස කුලය වටොරන් ය මැවුණේ
සුදුරු කුල පාදයෙන් උපනී”
“මෙස් කුල හතරකට බෙදා මේ සමාජය භේදභින්න කළේ මහා බ්‍රාහ්මයා නම් ඔහු, අසත්පුරුෂයෙක්. ඇයි අපි ඔහු අදහන්නේ?
මේ යාගහෝම හිංසාවක් – ඇයි අපි අහිංසක සතුන් දහස් ගණන් මරා ලේ වගුරුවන්නේ? සීලාචාර සමාජයකට මේවා ගැළපෙන්නේ නැහැ. මගේ මුත්තා, පියා ඒවා කළ නිසා මාත් ඒවා කළ යුතු නැහැ.
වච්ඡගොත්ත සිය මිතුරන් සමග කීවේ ය.
“ඉතින් නුඹ මේ ආගම අත්හරින්නද හදන්නේ?” මිතුරෝ ඇසූහ.
“ඔව්, මා සත්‍යය සොයා පරිබ්‍රාජකයකු වෙනවා. මුළු දඹදිවම සංචාරය කරනවා……”
“නුඹට සත්‍යය සොයාගත හැකිද?”
“මා තුළ ඒ ශක්තිය තිබෙනවා. නැතත් සත්‍යය දුටු කෙනකු මට මගදී හමුවිය හැකියි. යමකු සත්‍යය දුටුවා නම් මට එය සත්‍යයක් ද අසත්‍යයක් ද කියා හඳුනාගත හැකියි.”
වච්ඡගොත්ත පරිබ්‍රාජකයකු වී සැරිසරන්නට විය. ඔහුට මගදී බුදුරජාණන් වහන්සේ හමුවිය. දහම් දෙසුමකට කන් දීමට ඔහුට හැකි විය.
“මා සෙවූ සත්‍යය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබෙනවා. මා තවදුරටත් පරිබ්‍රාජකයකු වියයුතු නැහැ. මා එතුමා ළඟ පැවිදිවෙනවා.”
ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විය. විදසුන් වැඩීම ඇරැඹූ වච්ඡගොත්ත හිමියෝ වැඩි කලක් නොගොස් ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ නමක් වූහ.
උන්වහන්සේ ගිහි ජීවිතය සිහි කළහ.
මම තේවිජ්ජ බ්‍රාහ්මණ නමින් ද ප්‍රකට වීමි. ත්‍රිවේදයෙහි පරතෙරට ගියහෙයිනි ඒ. ඒ ත්‍රිවේදය හිස් ධර්මයෙකි. ගත යුත්තක් නැත.
අද මම බුදුරජාණන් වහන්සේ නිසා පූර්වේනිවාසානුස්සති ආදී විiා තුනක් දිනා ගතිමි. දැන් නම් මා ඒ තේවිජ්ජ යන නමට ගැළපෙනවා.
මෙසේ සිතමින් සිටි උන්වහන්සේ දිනක් සිය උදානය මෙසේ පළ කළහ.
තෙවිදු දිනූයෙමි, ධ්‍යාන ලැබූයෙමි.
සිත් දැමුමෙහි මහ සපනෙක් වූයෙමි.
උතුම් රහත් බව හිමිකැර ගත්තෙමි.
සාදු සාදු බුදු මග මම දිටියෙමි.

