ජීවිතය කොහොමටත් අභියෝගාත්මක ය. සිතන පතන දේ ඒ අයුරින් ම ඉටු නො වීමටත්, නො සිතූ දෙයක් ම වීමටත් තිබෙන අවස්ථාව වැඩි ය. ඇති හැකි නැති බැරි භේදයක් නැති ව ම කොයි කාගෙත් ජීවිත නොයෙක් අවදානම්වලට, ආපදාවලට ලක් වේ. බුදුදහමට අනුව නම් කර්ම විපාක පල දීම් ද ඒ අතර තිබිය හැකි ය.
නව වසරේ මේ තීරය අශුභවාදී ව ආරම්භ කරන්නේ යැ යි නො සිතුව මැනවි. මේ ඇති තතු ය. අප මොන තරම් ධනාත්මක ව සිතන්නට උත්සාහ කළත් ජීවිතය ජීවිතය ම ය. එය මොහොතින් මොහාත දුකට ජරාවට පත් වේ. ඒ හරහා අත්විඳින පීඩාවන් දරාගත හැක්කේ නුවණැති ව කල්පනා කර කළ යුතු දේ කිරීමෙන් හා නො කළ යුතු දෙයින් වැළකීමෙන් මිස පටු තීරණ ගැනීමෙන් හා සිහින ලෝකවල, මායාවන්හි අතරමං වී තමන් ම රවටා ගැනීමෙන් නො වේ.
කළ යුතු වැදගත් ම දෙයක් වන්නේ හැම මොහොතක ම සතියෙන් සිටීම ය. එවිට මෙතෙක් නො දුටු නො වැටහුණු බොහෝ වැදගත් දේ අපට පෙනෙන්නට, දැනෙන්නට ගනියි. බුද්ධිමත් ව කටයුතු කරන්නට නිරායාසයෙන් අප යොමු වෙයි. එය කියන තරම් පහසු නැති බව සැබැවි. අඩු තරමින් ඒ සඳහා බලවත් ඕනෑකමක් අප ඇති කරගන්නේ නම් ඒ ද නව වසරේ උතුම් අදිටනකි.
අපේ රට සැලකුව හොත් මේ වසර ජනතාවට පෙරටත් වඩා දුෂ්කර එකක් වන බව පැහැදිලි ය. මෙවැනි වටපිටාවක් යටතේ ජනතාව කෙරෙන් බලාපොරොත්තු විය හැකිකේ ජීවිතයේ ඇති තතු දෙස සන්සුන් ව නැවතිල්ලේ බැලීමට යොමු වීමක් නො ව සිහි විකල් වූවන් සේ හැසිරීමක් ය. බොහෝ අය තමන් ගෙන් සමාජයට ඉටු විය යුතු වගකීම් තඹයකට මායිම් නො කර තමන්ගේ අවශ්‍යතා ගැන පමණක් ම අවධානය යොමු කරති. මෙවැනි දුෂ්කර වකවානුවක ඔවුන්ගේ ඒ හැසිරීම් උත්සන්න වනු ඇත. එහි ප්‍රතිඵලය සමාජ පීඩාවන් තවදුරටත් ඉහළ යෑම ය.
අප බලාපොරොත්තු වන භෞතික සම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වසරේ අපට අහිමි ව යන්නට ඉඩ තිබේ. තිබෙන දේවලින් සැලකිය යුතු කොටසක් ද අපට අහිමි ව යනු ඇත. එනිසා උදා වූ වසර අප ගත කළ යුත්තේ කෙසේ ද යන්න ගැන මීට වඩා බැරෑරුම් ලෙස අපි සිතිය යුතු වෙමු.
ජීවිත අභියෝග හමුවේ අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න ගැන බුදුදහම හොඳින් ම විග්‍රහ කරයි. මේ වකවානුව එක්තරා ආකාරයකින් අප්‍රිය සම්ප්‍රයෝගයක් හා ප්‍රිය විප්‍රයෝගයක් ලෙස අපට විග්‍රහ කරගත හැකි ය. අනෙක් අතට අට ලෝ දහම් චක්‍රයේ ලාබ යට ගොස් අලාබ ම ඉස්මතු වන සමයකි. මෙවැනි විටක ඉතා වැදගත් කටයුත්තක් වන්නේ පෙර සඳහන් කළා සේ සිහිය පිරිහී යා නො දී පවත්වා ගැනීම ය. ඒ සිහිය අවශ්‍ය වන්නේ කළ යුතු මොනවා ද නො කළ යුතු මොනවා ද යන්න දහමට අනුකූල ව තෝරා බේරාගැනීමට ය. වෙදාටත් වඩා අරපරෙස්සමින් අපේ අවශ්‍යතා කළමනාකරණය කිරීමට මෙන්ම දැහැමි ලෙස අපේ ඉපැයීම් වැඩි කරගැනීමේ අවස්ථා ගවේෂණය කිරීමට ද අපට මනා සිහියක් අවශ්‍ය ය. ලෞකික වශයෙන් පමණක් නො ව ආධ්‍යාත්මික වශයෙන් ද විශ්වසනීය ව අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව ලැබෙන්නේ එවිට ය.