පොසොන් මල්

rashi
By rashi
7 Min Read

පොසොන් නම් මල්ය. පොසොන් මල්, පොසොන් වැසි, පොසොන් පතර වැනි යෙදුම් සිංහලයෙහි සුලබය. මේ පොසොන් මල් පිපෙන පොසොන් මල් පතර විහිදෙන පොසොන් මල් වැසි වසන සමයයි. පොසොන් යන්නෙහි ප්‍රභවය ප්‍රසූත යන්නෙන් ආවේය. පුෂ්ප අර්ථය ලැබේ.

පොසොන් පොහොය බුදුහු සිංහලයනයට අතිශයින් උසස්ය. අතිශයින් උතුම්ය. පොසොන් පොහෝදා බුදු සමය ලැබුණු බැවිනි. මිහිඳු මහ රහත් හිමියන් බුදු දසුනෙන් බුදු දහමෙන් බුදු එළියෙන් බුදු සිසිලෙන් හා නව ලොව්තුරු බුදු සුව සොම්නසින් ලක්දිව පහන් කළේ පොසොන් පුර පසළොස්වක පොහෝ දා නිසාය.

සිංහලයන්ගේ භෞතික ජීවිතය කෙරෙහි මෙන්ම ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි ද ලෞකික ජීවන මාර්ගය කෙරෙහි මෙන්ම ලොව්තුරු ජීවන මාර්ගය කෙරෙහි ද සදාතනික බලයක් පෑ මෙම උත්තරීතර සිද්ධිය නිසා පොසොන් පොහොය සිංහලයනට වෙසක් පොහොය තරම්ම නොඑසේ නම් ඊටත් වැඩි පමණකින් වැදගත් වෙයි. පළමුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දීප භාෂාවෙන් දේශිත සුළු ඇත් පද උවම් සුතුර දම්සක් පැවතුම් සුතුර තරම්ම සදාදරණීය වෙයි. එපමණක් නොව සිංහලයනට ලැබුණු පොසොන් විනය සමාජ විiාත්මක දෘෂ්ටියෙන් ද විචාරණීය වෙයි.

පොසොන් බණ

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් දෙසූ පළමු වන බණයි. හෙළ දිව් බසින් දෙසන ලද එම සුළු ඇත් පද උවම් සුතුර පොසොන් බණ යයි කිව නිරවදය. මැඳුම් සඟියේ එන මෙම බුද්ධ දේශනාව පළමුවෙන් දේශනා කරන ලද්දේ ජානුස්සොනී බමුණාටය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ දී ය. පරිබ්‍රාජක පිලෝතික බමුණා බුදුන් දැක පහන් වී ජානුස්සෝනී බමුණාට නව අරහාදී බුදු ගුණ වනමින් කළ ගුණ කථනය නිසා ජානුස්සෝනි බමුණා ද බුදුන් දක්නට ගියේය. මුල් පිළිසඳරින් පසු බුදුරජාණන් වහන්සේ ඔහුට බණ වදාළ සේක.

යම්කිසි ගැහැවියෙක් හෝ ගැහැවි පුතෙක් හෝ අනෙක් කුලයක උපන් පුද්ගලයෙක් හෝ බුදු බණ අසයි නම් ඔහු ගිහිගෙන් නික්ම ගොස් සස්නෙහි පැවදි වන බවත් පැවිදි වී දස අකුසල් ආදියෙන් වෙන්ව උතුම් ශීල සමුදායයෙන් ද උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් ද උතුම් සතිසම්පජඤ්ඤයෙන් ද යුක්ත වන බවත් ඔහු කාම භව අවිiා යන ආශ්‍රවයන් කෙරෙත් සිත මුදා ගෙන අවසානයෙහි පුනර්භවය නැතිකර ගන්නා බවත් මෙම සූත්‍රයෙහි දැක්වෙයි. අසූහාරදහසක් දහම්කඳින් මෙම සූත්‍රයම මෙරට දී පළමුවෙන් දේශනා කළේ ඇයි දැයි ප්‍රශ්නයක් නැඟීම වැඩි පණ්ඩිතකමක් නොවේ. ආශ්‍රය අනුශය ආදී උපධි සම්පත් බලා දහම් දෙසීම බෞද්ධ ප්‍රතිපත්තියකි. චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් උපමාවකට නඟා කියනු ලබන බණ පද සමාජ ස්තරායනයේ කවර අන්තරයකට හෝ ගැළපෙන හෙයින් මෙම සුතුර දෙසන්නට ඇති බව සිතිය හැකිය. සමාජය හික්මවීමෙහි පිහිටුවා දුසිරිත්වලින් මුදවා සුසිරිත් වඩ වඩා සාධු සම්මත ජීවන ක්‍රමයකට මෙරට වැසියන් යොමු කරවීම මෙයින් අපේක්ෂිත යයි සිතන්නට නොබැරි නොවේ. සිංහල ජාතියේ සංවරයට පාදක වූ එම බණ පද පොසොන් බණ යයි පොසොන් විනය යයි හැඳින්විය හැකිය.

පොසොන් විනය

සුළු ඇත් පද උවම් සුතුර පාදක කොට ගෙන සංස්ථාපිත සිංහලයන්ගේ විනය පද්ධතිය තෙවළා බුදු වදනින් පරිභෝජනය වූවකි. අපේ හැදියාව හැඩ ගැහුණේ ද අපේ සංස්කෘතිය සකස් වුණේ ද අපේ අධ්‍යාපනය ව්‍යාප්ත වුණේ ද අපේ ජීවන ක්‍රමය පෙළ ගැසුණේ ද අපේ සමාජ රටාව ක්‍රමවත් වූයේ ද අපේ නීතිය සැකසුණේ ද බෞද්ධ ප්‍රතිපත්ති මතය. විනය පිහිටුවීම සුචරිත සදාචාර සම්පන්න පරමාදර්ශී සමාජයක සුවිශේෂ ලක්ෂණයකි. මෙම ලක්ෂණය පොසොන් විනය තුළින් පටන් ගෙන තුන් හෙළයේ සෑම කොනම සෑම තැනකම පතල භෞතික වූ ආධ්‍යාත්මික වූ ද ජීවිතය විiමාන වෙයි.

විනය පිහිටුවීම සම්බන්ධයෙන් කොතරම් උද්‍යෝගයක් දක්වා ඇති දැයි ගවේෂණය කිරීමට මූලාශ්‍රයක් ලක්දිව බුදු සසුන පිහිටුවීමේ ආගිය පුවතින් උකහා ගැනීමට පිළිවන. එනම් මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කොට දෙවසරක් ඉක්ම යන්නටත් මත්තෙන් සිංහල භික්ෂූන් ලවා විනය සංගායනාවක් කරවීමට අනුදැන වැදෑරීමය. දීපවංශ මහාවංශ යන වංශ කතාවල සඳහන් නොවෙතත් මෙම තොරතුර සමන්ත පාසාදිකා නම් විනය අටුවාවෙහි දක්නට ලැබේ. මෙයින් පැහැදිලි වන වැදගත්ම ඓතිහාසික සාධකය නම් ඒ වන විටත් මෙරට භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකයෙහි පළපුරුදුකම් ඇති විනයධර විනය විශාරදයන් වූ බවය.

සමන්ත පාසාදිකා, සාරත්ථ දීපනී යන ග්‍රන්ථවලට අනුව මෙම විනය සංගායනාව සිදු කරන ලද්දේ අනුරාධපුර ථූපාරාමයේ දී ය. තුඹරුප් අරමට රැස් වූ අට සැට දහසක් රහතන් වහන්සේලා අතරින් තෝරාගත් අටසැට නමක් විසින් මෙම විනය සංගීතිය පවත්වන ලදී.

මේඝ වර්ණාභය පරිවේණස්ථානයෙහි වෙසෙසින් නිමවන ලද මන්දිරයක විනය සංගායනාව පැවැත්විණ. දකුණු පසට මුහුණලා මිහිඳු මහ රහතන් වහන්සේට ද උතුරු පසට මුහුණලා මහාරිට්ඨ රහතන් වහන්සේට ද අසුන් පනවන ලදී. දෙවන පෑතිස් රජුගේ සහෝදරයා වූ මත්තාභය තෙරුන් ඇතුළු පන්සියයක් භික්ෂූන් වහන්සේලා අරිට්ඨ තෙරුන්ගේ අසුන වටා අසුන් ගත්හ. මිහිඳු මහ රහතන් වහන්සේ ඇණවීමෙන් අරිට්ඨ තෙරුන් වහන්සේ විනය නිධානය දේශනා කිරීමෙන් සංගායනාව පවත්වන්නට පටන් ගත්හ.

කලින් සංගායනාවලදී අනුගමනය කළ ක්‍රමයක් මෙහි දී දක්නට නොලැබීම විශේෂ සිද්ධියක් විය. කුච්ඡා විස්සජ්ජනයක් නොවීම එම විශේෂයයි. කෙලින්ම ධර්ම සංගායනාව පැවැත්විණ. මෙහි දී පැවැත්වුණේ විනය සංගීතියක් පමණක් යැයි සමහර විද්වතුන් කියතත් එය එසේ නොපිළිගත හැකි යැයි වෙනත් ගවේෂකයෝ පවසති. ඔවුන් කියන්නේ සංගායනාවලදී විනය පිටකය සංගායනා කිරීමෙන් පසු සූත්‍ර අභිධර්ම පිටක දෙක සංගායනා කිරීම චාරිත්‍රයක් වූ බවත් ඒ අනුව මෙහි දී ද විනය පළමුවෙන් සංගායනා කොට ඉන් පසුව අනෙක් පිටක දෙක සංගායනා කරන්නට ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම මත සනාථ කිරීමට සාධක නොලැබේ. එසේම තුඹුරුප් විනය සංගීතිය කොතරම් කලක් පැවැත්වුණේ ද කෙසේ අවසන් වීද යනු නිශ්චය කිරීමට ද සාධක නොලැබේ. මේ ලංකාවේ පැවැත්වුණු පළමුවෙනි සංගායනාවයි. මෙහි දී පර්යේෂකයන්ගේ අවධානය යොමුවන්නේ මෙරට බුදු සමය පිහිට වූ අලුත්ම ධර්ම සංගායනාවක් පැවැත්වීමේ විශේෂත්වය ගැනයි. සිංහල සමාජයෙහි සැබෑ සංවර්ධනයක් ඇති කිරීම විනය පිහිටුවීමෙන් අරමුණු කරන්නට ඇතැයි සිතීම අගෝචර නොවේ.

පන්සලයි සැකැසියයි

සංස්කෘතිය සමාජයක ජීවත්වන නොයෙකුත් පුද්ගලයන් හා සමඟ පවත්නා සමාජීය අන්තර් ක්‍රියා තුළින් හදාරනු ලබන්නකි. මානවීය සංස්කෘතිය සමාජය තුළට සම්ප්‍රේෂණය වීමෙන් සමාජානුයෝජනය සිදුවන්නේය. පරපුරෙන් පරපුරට ගෙන යන සංජානනය තුළින් එම දැනුම ලබාගත හැකිය. පරමාදර්ශී සමාජ චර්‍ය්‍යා ධර්මතා ඊට ඇතුළත් වෙයි. හිතන්නා වූ ද කරන්නා වූද දෙවැදැරුම් චර්‍ය්‍යාවලින් එහි සම්බන්ධය සංකීර්ණ වන්නේය. හිතන කියන දෙවග අතර සමාන තැන් ද අසමාන තැන් ද ඇත. එසේ වුවත් සංස්කෘතිය පිළිබඳ නීති හැදෑරීමෙන් මිනිස් චර්‍ය්‍යාව සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකිය.

පොසොන් පොහෝ දා මෙරට පටන් ගත් සංස්කෘතිය පොසොන් සංස්කෘතියයි. එයට මුල පුරන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. එම සංස්කෘතිය හැදෑරීමෙන් ශ්‍රී ලංකාදීප වාසී පුරුවැසියන්ගේ හැදියාව තේරුම් ගත හැකිය. එම සැකසියේ මුල හික්මීමයි. මෙරටට බුදු සමය උරුම කර දුන්නේ ශික්ෂණය මුල් කොටගත් සමාජ ක්‍රමයක් බව ඉදානීන්තනයෙහි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණයෙන් බැලිය යුත්තකි.

විමල් අභයසුන්දර ✍️
 

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *