ලෝකයෙහි ඇති උතුම් පැරණි බුදු පිළිම දෙක තුනෙන් එකක් අනුරපුරයෙහි ගස් සෙවණෙහි ඇත. අවුරුදු දහසකට වැඩි කලක් අව්, වැසි, සුළං ආදී විනාසකයන්ට හසුවුව ද පැරණි ශිල්පීන්ගේ ශ්‍රේෂ්ඨත්වය කියන ලකුණු දැනුදු ඒ පිළිමයෙහි රැඳී ඇත. කැඩී ගිය නාසය තනන්ට සිතූ සුදු මිනිසෙක් නූගත් සිංහල මිනිසකු ලවා පොල්පිත්තක් වැනි අලුත් සිමෙන්ති නාසයක් ඒ පිළිමය මුහුණෙහි තැබ්බීය. ශාන්ත සිතට කැඩපතක් බඳු ඒ මුහුණ කැත කරන ඒ නාසය, වම දකුණ යන දෙපැත්තෙන් කවර පැත්තකින් වුවද ගනු ලබන ඡායාරූපයකට ආරූඪ වෙයි. ඒ නාසයෙහි වරද බුදුරුව ඉදිරියෙහි සිටගෙන ගනු ලබන ඡායාරූපයකට නම් හසු නොවේ.
අනුරපුර බුදු පිළිමය පෙරදිග මෙන් අපරදිග ද කලා විචාරකයන්ගේ පැසසුමට භාජන වූවකි. දෙඅත කැඩී ගිය ඉතා පැරණි බුදුරුවක් ඉන්දියාවෙහි ජාතික කටුගෙයි ඇත. ‘මථුරා ප්‍රතිමාව’ නමින් හැඳින්වෙන එය ඉන්දියාවෙහි බුදු පිළිමයන්ගෙන් ශ්‍රේෂ්ඨතම එක ලෙස කල්කටා විශ්වවිiාලයෙහි කලා අංශයෙහි මහාචාර්ය පදවිය ඉසිලූ ස්ටැලා ක්රාම්රික් මැතිනිය හඳුන්වයි. එය ශ්‍රේෂ්ඨතම ප්‍රතිමා කර්මයක් බව සැබෑය. එහෙත් බුදු සමය හා බෞද්ධ සංස්කෘතිය විසින් තරකොට හික්මවනු ලැබූ ප්‍රතිමා කලාව අනුව සලකතොත් පළමු වන තැන දිය යුත්තේ අනුරපුර සමාධි පිළිමයටයි. බුදු සමයත් වෛදික සමයත් හොඳින් දත් කලා විචාරකයන් අතුරෙන් අනුරපුර බුදු පිළිමය හොඳින් ම පරීක්ෂා කළේ ආනන්ද කුමාරස්වාමි මහතා ය. ඔහු ඒ පිළිමය උසස්ම තැන තබයි.
ඇතැම් උගත් බෞද්ධයන් පමණක් නොව භික්ෂුන් වහන්සේ ද තම තමන්ගේ ගෙදරවලටත් විහාරස්ථානවලටත් කැඳවන්නේ රූප රැජනකගේ මුහුණ හෝ බොළඳ තරුණයකුගේ මුහුණ හෝ සිහිකරවන මුහුණු ඇති ‘ලස්සන’ බුදු පිළිම පමණි. පිටරටින් ගෙන්වනු ලබන ඔපමට්ටමින් බැබළෙන බෝනික්කන් බදාගන්නා දරුවන් මෙන් අපි අපේ පුරාණ ශිල්පීන්ගේ උතුම් නිෂ්පාදනයන් බැහැර කොට රූප රැජනන් සේ ලස්සන බුදු පිළිම දෝතින් පිළිගනිමු.
මීට අවුරුදු තිහ හතළිහකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්වවිiාලයෙහි ඉංග්‍රීසි සාහිත්‍ය අංශයෙහි මහාචාර්යවරයාව සිටි හෙරීෆ්රිඩ් නමැති දේවගැතිතුමෙක් ජර්මන් බසට නඟන ලද ථෙරි ගාථාවලියක් කියවා එයින් ලත් ආස්වාදයෙන් මාගේ හද කම්පනය වී යැයි ප්‍රකාශ කළේය. උපනිෂද් ග්රන්ථයන්ගෙන් හා ථෙරි ගාථා ඇතුළු බෞද්ධ කාව්‍යයෙන් ද ආස්වාදයක් හා එළියක් ලැබූ බව තාගෝර්තුමා නොමසුරුව කීය. ඒ කාව්‍යයන්ගෙන් ඔහු ලැබූ ආස්වාදය ඔහුගේ ඇතැම් රචනයන්ගෙන් හෙළිවෙයි.
අපි ථෙරි ගාථා ඇතුළු සමහර බෞද්ධ කාව්‍යයන් බැහැර කොට පිරිහුණු ඉන්දියාවෙහි පහළ වූ ඇතැම් හින්දු පඬිවරයන්, සරුවපිත්තලයෙන් සරසා මිණි කිකිණි එල්ලීමෙන් බබළවන මණ්ඩප වැනි කොට අලංකාරයෙන් අලංකාරය ගටා කරන ලද සකු කවිය මේ විසිවන සියවසයෙහි ද මුදුනෙන් පිළිගනිමු.
තාගෝර් කවියාගේ පi හා ගi පාඨ ඇතැම් වංග පඬිවරයන් කල්කටා විශ්වවිiාලයෙහි ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නපත්‍රවලට ඇතුළු කරන ලද්දේ වියරණ වැරදි බැහැර කොට ඒ පi හා ගi පාඨ ශිෂ්ට වංග භාෂාවෙන් ලිය යුතු යැයි නියම කරමිනි. සියරට උගතුන් විසින් මෙසේ නින්දා කරනු ලැබූ තාගෝර්තුමාගේ කවිත්වය වගු බස නොදත් බටහිර විචාරකයන්ගේ සැලකිල්ලට භාජන විය. ඔහු උසස් කවියකු ලෙස ඒ වගු පඬුවන් අකැමැත්තෙන් වුවද පිළිගත්තේ ඔහුට නෝබල් තෑග්ග පිරිනමනු ලැබූ පසුයි.
ජාතක කතාවල ශ්‍රේෂ්ඨත්වය බටහිර උගතුන් විසින් පෙන්වනු ලැබ අපේ ඉංග්‍රීසි උගත් ලොකු මිනිසුන්ගේ ද සැලකිල්ලට භාජන වනතුරු ප්‍රාචීන පඬිවරයන් පිළිගනිතියි සිතිය නොහැක. බටහිර සාහිත්‍යයෙහි හරය නොව හර නැති දේම උකහා ගැන්මට අවුරුදු දෙසීයකට වැඩි කලක් පුහුණු කරනු ලැබූ අප රට පොදු උගත්තු ජාතක කතා ගම්මැදි හෑලි ලෙසත් ථෙරි ගාථා ගැමි කවි ලෙසත් පැරණි ප්‍රතිමා ‘ලස්සන නැති’ දේ ලෙසත් සලකා බැහැර කරති.
මෙය බොළඳ සිනමා සිත්තම්, රූප රැජනන් හා යන්තරයෙන් ඔපමට්ටම් කිරීමෙන් ඇද පලුදු බැහැර කොට නිපදවන ග්‍රාම්‍ය දේත් අපගේ සිත්ඇදගන්නා කාලයකි. එහෙත් අප බැහැර කරන පෙරදිග හා අප්‍රිකාවෙහි පැරණි මිනිසුන් නිපදවූ ප්‍රතිමා කර්මයන්ගෙන් ආස්වාදයත් එළියත් ලබන බටහිර ප්රතිමාකාරයෝ අධ්‍යාත්මය හෙළි කෙරෙන බාහිර ඔපයෙන් තොර ප්‍රතිමා නිපදවති. එහි උසස් කවීහුත් නවකතාකාරයෝත් මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්මය හෙළි කරන පැරණි කතා වස්තු බීජ කොටගෙන පද්‍ය කාව්‍යයන් හා නවකතා ද රචනා කරති. එහෙත් අපි බටහිර සාහිත්‍ය කලා සයුරෙහි පාවී එන කුණු රොඩු අවුලමින් ඒවා තැන්පත් කරනු පිණිස සිංහල සමාජ ලෝකයෙහි දෙවොල් මඩු තැනීමට වෑයම් කරමු.
සිංහල ජාතක කතා සංග්රහයෙහි හා එහි භාෂා රීතියෙහි ද උසස්කම වටහා ගැනීමට තුලනාත්මක විචාර බුද්ධියක් වුවමනාය. උසස් බටහිර නවකතා පිළිබඳ දැනුමත් ඒ කතා විවේචනයෙන් තියුණු කොටගත් විචාර බුද්ධියත් ඇතැම් ජාතක කතාවල උසස්කම වටහා ගැනීමට බෙහෙවින් උපකාර වෙයි. බටහිර රටවල සුලභ පහළ පන්තියේ විනෝද කතා කියවීමෙන් ලත් ආස්වාදයත් දැනුමත් ජාතක කතාවල උසස්කම වටහා ගැනීමට බාධා කරයි.
අජාසත් රජ්ජුරුවෝ තම මයිලණුවන් සමග නිරතුරුව යුද්ධ කරන්නෝ ඇතැම් දවසක දිනති. ඇතැම් දවසක පරදිති. දිනූ දවසෙහි ඔහු නුවරට එන සැටි ජාතක කතාවකින් හඳුන්වන්නේ මෙලෙසිනි. ඒ රජ්ජුරුවෝ ‘ගැස්සුම් පිම්බුම් ඇතිව නුවරට එති’.
මෙය චමත්කාරජනක වර්ණනයකි. මේ කියුමෙන් බෙර ගැස්සීම හා නළා, හොරණෑ පිඹීම පමණක් නොව රජුගේ ගැස්සුම් පිම්බුම් ද එකවිට වර්ණනය වෙයි. සකු රීතිය අනුව වැඩුණු සිංහලයෙන් මෙවැනි කියුම් කිය නොහැකිය.
සිංහල භාෂාව අවුරුදු දෙදහසකටත් වඩා පැරණි වුව ද සාහිත්‍යය අවුරුදු හත් අට සීයකට වඩා පැරණි නොවේ. අප අතර නොනැසී පවතින පැරණි සිංහල ගi පi ග්රන්ථ රාශියකින් පිළිබිඹු වන්නේ බුදු සමය හා බෞද්ධ සංස්කෘතිය අතුරුදන් වූ කාලයෙහි ඉන්දියාවෙහි පහළ වූ සකූ කවි සමය හා රීතියයි. මේ සිංහල ගi පi කාව්‍ය වස්තු විසින් බෞද්ධ වුවත් රීති විසින් බුදු සමයටත් බෞද්ධ සංස්කෘතියටත් පටහැනි වෙයි.
ජීවිතයෙහි කටුක භයංකර පක්ෂය විදහාපාන පුවත් ඇසීමට විනෝදය සෙවූ රජවරුත් ඇමතියෝත් කැමැති නොවූහ. එහෙයින් රජ ඇමැතියන්ගේත් ඔවුන්ගේ කතුන්ගේත් ජීවන ප්රවෘත්ති පමණක් මහා කාව්‍යයන්ට වස්තු විය යුතුය යන සකූ කව් නීතිය පිරිහුණු ඉන්දියාවෙහි පහළ විය. ලොකු මිනිසුන්ගේ විසිතුරු ජීවිතය වර්ණනා කරනු පිණිසම උචිත විසිතුරු පදමාලාවක් නිපදවාගත් සකූ කවීහු ඒ පදමාලාවට රන් අලෙව් දෙනු පිණිස අලංකාර නමැති සායම් නිපදවීමට වට්ටෝරු පොත් වැලක් සම්පාදනය කළහ.
බුදුන් වහන්සේ කතා කීවේත් බණ කීවේත් ගාථා රචනා කළේත් රජුන් ඇමැතියන් පමණක් නොව ඔවුන් ඇතුළු මුළු ජනකායගේ ආධ්‍යාත්ම ජීවිතය සකස් කරනු පිණිසය. එහෙයින් බුදුන් වහන්සේගේ භාෂා රීතිය විසිතුරු පාටින් බැබළෙන සකූ රීතිය වැනි නාඩගම් ඇඳුමක් නොවීය. එය ජීවන සයුරෙහි පතුල අතගා එයින් උකහා ගත් දුර්ලභ තොරතුරු ඊට උචිත සුන්දර වර්ණනයෙන් මෙන් අසුන්දර භයංකර වර්ණයෙන් ද දැක්වෙන සිත්තම් පටක් විය. උන්වහන්සේ තමන්ගේ කතාවස්තු හා උපමා රූපක බෙහෙවින්ම උකහා ගත්තේ බමුණන් හා රජුන් පිළිකුල් කොට බැහැර කළ පොදු ජනයාගේ ජීවිතයෙනි.
බුදුන් වහන්සේ තමන් වලට වැද කයට වද දුන් කාලයෙහි කළ දෑත් දෙපා බිම ඔබා ගොස් ගව දෙනගෙන් කිරි උරා බීම, සෙලුවෙන් වනයෙහි විසූ සැටි යන ආදී ක්‍රියා පවා නොසඟවා වර්ණනා කෙළේ තමන් වාසය කළ වනය, ගම ආදියත් එහිදී ඇසූ, දුටු දේත් උපමා රූපකවලට හුරුවීමෙනි. උන්වහන්සේ තම අත්දැකීම් ඊට උචිත උපමා රූපක සහිත නිර්ව්‍යාජ රීතියකින් කීහ.
පාලි ජාතක කතා පොදු ජනයා උදෙසා සිංහලයට නැඟූ භික්ෂුන් වහන්සේ සකූ රීතිය නමැති නාඩගම් ඇඳුම බැහැර කොට සිංහලයන්ගේ කට බසට ළංවන සේ සකස් කරනු ලැබූ රීතියක් වහල්කොට ගත්හ. ජාතක පොතෙහි භාෂාවෙහි දක්නා ලැබෙන්නේ එකම රීතියක් නොවේ. එහි බෙහෙවින් දක්නා ලැබෙන්නේ ව්‍යවහාර භාෂාවට හුරු බසින් ලියන ලද කතාවස්තු වෙයි. ජාතක පොතෙහි බස මා ගිය අවුරුද්දෙහි වෙසක් කලඹකට ලියූ ලිපියකින් මඳක් විවේචනය කළ බැවින් මම මෙහිලා මීට පෙර මා විභාග නොකළ ජාතක කතා වස්තු කිහිපයක් සලකා බලන්ට වෑයම් කරමි.
ජාතක කතා සිංහලයට නැඟූ භික්ෂූන් බහාලු බණ පද, පැරණි කතා කලාව අනුව ආඛ්‍යානයෙන් වෙන් නොකළ සංවාද හා ඒ සංවාද නිසා බහුල වූ පුනරුක්තයෝ ද ජාතක කතා කියවන්නන් වෙහෙසෙති. ආයාසය හා වෙහෙස නොතකා විචාර බුද්ධියෙන් හොඳම ජාතක කතා තෝරාගෙන නැවත නැවතත් කියවන්නකුට ආස්වාදයක් පමණක් නොව ජීවිතය පිළිබඳ අත්දැකීමක් හා පරිත්‍යාගයක් ද ලැබිය හැකිය.
ඇතැම් ජාතක කතා අද්භූත සිද්ධීන්ගෙන් තොර නොවෙයි. සක් රජු පමණක් නොව අනික් දෙවිවරු ද මෙලොවට බසිති. සත්පුරුෂයන්ටත් සැදැහැතියන්ටත් උදව් කරන දේවතාවෝත් යක්කුත් ජාතක කතාවල හිඟ නොවෙත්. ලොකු දළ ඇති රකුසෝ ඇතැම් ජාතක කතාවල වීරයෝ වෙති.
ඉසුරු දෙවියන් ඇදහූ කතාකාරයා තමාගේ කතාව ගොතනු පිණිසත් එහි හින්දි ගළපනු පිණිසත් දේව බලය වහල් කරගත්තාක් මෙන් භික්ෂුන් වහන්සේ ද කතා කියනු සඳහා කර්මවාදය ශිෂ්ට ප්‍රයෝගයක් කරගත්හ. එහෙත් බටහිර උසස් නවකතා කියැවීමෙන් ලත් තැන්පත් නුවණැත්තකුට මේ යල්පැනපු ප්‍රයෝග ජාතක කතාවෙන් ලැබිය හැකි ආස්වාදයත් ජීවිතය පිළිබඳ අත්දැකීමක් ලැබීමට බාධකයක් නොවේ.
ලංකාවෙහි පමණක් නොව බටහිර රටවල ද අව්‍යක්ත නවකතාකාරයන් තමන්ගේ විනෝද කතා කීමෙහිදී දුෂ්කරතා ජයගන්නේ කතා නායකයා හෝ නායිකාව මොටෝ රියෙන් අනික් පෙදෙසකට යැවීමෙනි. නොඑසේ නම් අහස් නැවින් පිටරටකට යැවීමෙනි. ඇතැමකු ප්රතිනායකයා ටික කලකට කතාවෙන් බැහැර කරන්නේ ඔහු මොටෝ රියට හසුකොට ඉස්පිරිතාලයට යැවීමෙනි. නොඑසේ නම් ගඟෙහි මුහුදෙහි පැන්නීමෙනි.
අතීතයෙහි මොටෝ රිය හෝ අහස් නැව හෝ නොවීය. එහෙත් එකල අද්භූත කතා ලියූවන්ට අහසේ දිවෙන දිව්‍ය රථ, දඬුමොනරය නමැති කල්පිත අහස් නැව් විය. එහෙයින් පැරණි කතාකාරයන් ඔවුන්ගේ නායකයන් හා නායිකාවන් අනික් තැන්වලට යැව්වේ අහසිනි. ප්රතිනායකයා කර්මය හෝ යකකු හෝ ලවා මැරවීය.
කාව්යයෙහිදී හෝ නවකතාවෙහිදී හෝ සත්‍යය ස්වාභාවිකත්වය, තාත්ත්විකත්වය යන නම්වලින් හැඳින්වෙන්නේ විiාත්මක සත්‍යය, ස්වාභාවිකත්වය, තාත්ත්විකත්වය නොවන බව සමහරු නොමතක කරති. කාව්යයෙහිත් නවකතාවෙහිත් සත්‍ය හා ස්වාභාවිකත්වය විනිශ්චය කරනු ලබන්නේ රසවාදය නොහොත් කාව්‍ය ශාස්ත්‍රය අනුවයි.
පැරණි බටහිර නවකතාකාරයන් පමණක් නොව වර්තමාන නවකතාකාරයෝ ද දේව කතා රීතිය අනුව උසස් නවකතා ලියූහ. අද්භූත – අභූත සිද්ධි නමින් හැඳින්වෙන්නේ එවැනි නවකතා ලියූවන් තමන්ගේ කතා ගෙතීමට වහල් කොටගත් නොසිදුවිය හැකි ප්රවෘත්ති නොවේ.
නොසිදුවිය හැකි පුවත් ඇසුරෙන් නිපදවන ලද ජාතක කතා කිහිපයක් මෙතැන් සිට මා විවේචනය කරන්නේ ඒ කතා ආදි කාලීන දේව කතා හෝ ජනකතා හෝ නොවන බව පෙන්වනු පිණිස ය.
මාර්ටින් වික්‍රමසිංහ ✍️

Leave a comment
