අශෝකා අබේවර්ධන
බුද්ධ මාතාවක් වීම යනු ස්ත්‍රීත්වයේ උපරිම මහඟු ඵල නෙළා ගැනීමකි. ඉතා ම දුර්ලභ වූ එම තනතුර ලැබුවෝ නම් අල්ප ම ය. සෑම බුදුවරයකුට ම වැදූ මවුන් හා වැඩූ මවුන් යැ යි බුද්ධ මාතාවන් දෙපළක් ම ලැබීම ධර්මතාවයකි.
බුදුරදුන් බිහි කළ මාතාව සත්දිනකින් කළුරිය කළ පසුව මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ අසිරිමත් වූ බුද්ධ මාතාව බවට පත් වූවා ය. අප බුදුන් වහන්සේගේ සුළු මවුන් වහන්සේ වූ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ පියුමතුරා බුදුරදුන් සමයෙහි සැදැහැති කුල ස්ත්‍රියක ව ඉපිද නිතර ම දන් පින් දෙමින් බණ අසමින් පින් වඩමින් දිවි ගෙවූවා ය. එකල එම බුදුන් වහන්සේගේ සුළු මවුන් වහන්සේ පැවිදි ව සිට සිව්වනක් පිරිස මැද චිරරාත්‍රඥ මෙහෙණින් වහන්සේ අතුරින් අග්‍ර වන්නී ය යි භික්‍ෂුණී සාසනයට ප්‍රධාන වූ ස්ථානාන්තර පුද ලද්දී ය. නිතර ම බණ අසන්නට යන ගෝතමීන් වහන්සේ මෙම ස්ථවිරීන් වහන්සේගේ අග්‍ර වූ පින් මහිමය දැක තමන්ටත් එබඳු ම පින් අසිරි ලබනු රිසි වූවා ය. පළිරෝධ ගහණ වූ ස්ත්‍රීත්වයෙහි සියලු පළිබෝධ කම්කටොලු සිඳ මහත් අසිරිමත් පින් ඵල ලැබූවෝ නම් මෙබඳු ස්ත්‍රීහු ම ය. ඇය රූ ඇතියන් අතරෙහි ද අග්‍ර වූවා ය. රජෙකු හට අග මෙහෙසින් ද වී බුදු කෙනෙකුටත් මවු වූවා ය. භික්‍ෂුණී සාසනයට ගුරු වූවා ය. ඍද්ධිමතුන් අතරෙහි ද අග්‍ර වූ මෝ තොමෝ අමා මහ නිවන් සුවය ද ලද හ. මෙසේ එක් ජාතියක දී පඤ්චස්ථානයකින් ම අග්‍ර වූවා ය. මෙබඳු සිරිමත් ශ්‍රී විභූතියක් “මට ද වී නම් යෙහෙකැ යි” පත පතා ම ඒ බුදුන් වහන්සේ නිමන්ත්‍රණය කොට සත් දවසක් ම මිහිරි මධුරාහාරයෙන් ලක්‍ෂ ගණන් ශ්‍රාවකයන් හා බුදුරදුන් වළඳවා සිවුරු පිරිකර ද පූජා කොට තමන්ට ද එම තනතුරු ලැබෙනුයේ නම් යෙහෙකැ යි බුදුරදුන් සිරිපාමුල වැඳ වැටුණා ය.
ඒ බුදුරදුන් ද මේ පිනෙන් ඔබ ද මතු රජකුලයක ඉපිද දිව්‍ය සමාන රූ සම්පත් ලබන බවත්, සුද්ධෝදන මහ රජුන් හට අග බිසොවුන් වන බවත්, එකල උපදනා ගෞතම නම් බුදුන් වහන්සේට චුල්ල මාතාව වී එම සසුනෙහි මහණ ව භික්‍ෂුණී සාසනයට අග්‍රවන්නී ය යි විවරණ ශ්‍රී ලබා දුන් සේක. ඉන් මහත් සේ ප්‍රමුදිත වූ සිත් ඇති ව මහත් වූ සොඳුරු පිං කොට සතර අපා බිමක් ඇසින් නො දැක දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් සදෙව් ලොව දෙව්මහ රජවරුන්ට ද මිනිස්ලොව සක්විති රජවරුන්ට ද අග මෙහෙසින් වෙමින් සසර මහත් වූ පින්ඵල අත්විඳිමින් මහ පින්කම් කරමින් පැමිණි ඇය අපගේ ගෞතම නම් වූ බුදුරදුන් සමයෙහි කෝලිය නුවර මහා සුප්‍රබුද්ධ නම් වූ අංජන ශාක්‍ය රජ්ජුරුවන්ගේ දියණියක ව උපන්නා ය. එතුමින්ට නම් තබන මඟුල් දා “මේ කුමාරිකාවෝ මතු පුතෙකු ලදොත් ඔහු සක්විති රජ වන්නේ ය. දුවක ලදොත් සක්විති රජ හට අග බිසෝ වන්නී ය. අනෙක් උත්තම කුසෙකින් උපන් පුතෙකු ද මෙතුමින්ගේ ඔරෙහි (උකුලෙහි) වැඩී ඒ පුතු දෙව් බඹුන් අතින් ද වැඳුම් පිදුම් ගන්නා තරම් මහත් වූ පින් ඇති වෙයි.” මේ මේ කාරණයෙන් මෙතුමී ඉතා මහත් වූ පුත්‍ර ප්‍රජාවට පතිවන පින්වත් කෙනෙකැ යි වෙනත් නමක් නො ව “මහා ප්‍රජාපතී ගෝතමී” ය යි නම් තබා ගිය හ. මෙතුමී නම් පිවිතුරු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක කුස දරා හුන් මහ මායා බිසොවුන්ගේ නැඟණියයි.
ඔවුහු දෙදෙන ම ඔවුනොවුන් පරයන පඤ්චකල්‍යාණ රූ සිරි ඇතිය හ. සිද්ධාර්ථ කුමාරයාණන් බිහි කළ මහමායා දේවිය සත් දිනකින් ආයු කෙළවර කොට තුසිත භවනෙහි පහළ වීමෙන් අනතුරු ව ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ තමන්ට උපන් නන්ද පුත් කුමරු කිරි මවුනට පවරා නො ඉඳුල් වූ කිරි දහරෙහි අග්‍රඵලය බුදු සිරුර පෝෂණය කරන්නට පූජා කළේ අනන්ත සසර පුරා පිරුවා වූ ප්‍රාර්ථනා පාරමිතාවන් සඵල කර ගනිමිනි. එතැන් පටන් ඇගේ ළය මඬලෙහි උණුසුම ලැබුවෝ මහ බෝසත් සිදුහත් කුමාරයාණන් වහන්සේ ම ය.
බුද්ධත්වයෙන් මාස කිහිපයක ඇවෑමෙන් බන්ධු සංග්‍රහය උදෙසා කිඹුල්වතට වැඩි බුදුපියාණන් වහන්සේ රජ ගෙයි දී වදහළ අනු මෙවෙනි බණ අසා ගෝතමීන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටි බව සඳහන් ය.
බුද්ධානුභාවයෙන් ශාක්‍ය වංශයට නිවන් මඟ හෙළි විය. සසර මඟ දී උත්කර්ෂයෙන් ගන්නා ඥාති බන්ධන ඔවුන් අතින් ගිළිහිණ. නන්ද පුත් කුමරු සහ රාහුල භද්‍රයන් වහන්සේත් බුදු පා සෙවණේ සසුන් වැද පැවිදි ව සිටිය හ. කලක් ඇවෑමෙන් සුද්ධෝදන පිය මහ රජ්ජුරුවන් වහන්සේ ද රහත් ඵලයෙන් අමා නිවන් සුව අවබෝධ කොට පිරිනිවන් පෑමෙන් පසුව මාළිගාව තුළ වූවේ මහත් පාළුවකි. හිස් බවෙකි. මේ හිස් පාළු මාළිගයෙහි කිසි ම සැනසුමක් නැතැ යි ද හරසුන් බවක් දැනෙන්නේ ය යි ද ළතැවිල්ලෙන් පසු වූ ගෝතමිය සසර පැවැත්මේ ඇති නිස්සාරත්වය පිළිබඳව නිතර සිත යොමු කළා ය. මාළිගය තුළ කොතෙක් සැප සම්පත් තිබුණ ද හතර අත ම හිස් බවක් දකින්නී බුදුන් වහන්සේත් නන්ද හා රාහුල පුතුන් දෙදෙනාත් ලබාගත් අමා නිවන් සුවය තමන්ටත් ලබාගැනීමේ මහත් අභිරුචියකින් පසුවූවා ය.
පන් සියයක් ශාක්‍ය – කෝලිය කුමාරිකාවන් හා එක් ව බුදුන් වහන්සේ වෙත එළඹ ගිහිගෙයි විසීමෙන් ඵලක් නැත, මහණ වෙනු කැමැත්තෙමැ යි මහණවරය ඉල්ලා සිටියා ය. ගෝතමීන්ගේ පැවිද්දෙන් ස්ත්‍රීනට මහත් සෙත් වන බව දැන නමුදු ඉල්ලීම් මාත්‍රයෙන් ම පැවිදි බව ලබා දුන හොත් මතු මත්තෙහි ඇති විය හැකි පළිරෝධ බොහෝ වන බව මැනැවින් දත් බුදුන් වහන්සේ “ගෝතමියෙනි එසේ පැවිදි බවට උත්සහ නො කරවැ” යි අවවාද කළ හ. දෙවැනි තුන්වැනි වරටත් කළ එම ඉල්ලීම බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ හ.
කවරෙකු විසින් වුවත් යම් බඳු උතුම් ඉල්ලීමක් වුවත් සතරවනුව ඉදිරිපත් කළ නොහැකි බව බුද්ධානුභාවයෙන් ම සිදුවන්නකි. දරුවන් විසින් හෝ මාපියන් විසින් හෝ එසේ සතරවනුව ඉල්ලීම් නො කරන බව රට්ඨපාල සූත්‍රය වැනි සූත්‍ර ධර්මයන් ද දෙස් දේ. එසේ වුව ද ගෝතමීන්ගේ පැවිදි අපේක්‍ෂාව ද මැඬලිය හැක්කක් නො වේ. එබැවින් වෙනත් දිනක ආයාචනා කොට ස්ථීර ව ම පැවිදි බව ලබමි යි යන අදිටනින් යුතු ව පෙරළා මාළිගයට ගියා ය.
පසු දිනෙක පන් සියයක් කුමාරිකාවන් කැඳවා “තුන් වරක් ම පැවිදි බව නුදුන් හෙයින් මහණ ව ගොසින් බුදුන් වහන්සේ බැහැදැක අනුකම්පා උපදවා ගනිමු යැ,” යි ගිවිසාගෙන, ඔවුහු හැම මෙහෙණ වරය ලබා ගැනීම උදෙසා කෙස්වැටිය කපා සිවුරු පොරවා මැටි පාත්‍ර ගෙන විසාලා මහනුවර බලා පිටත් වූ හ.
ප්‍රජාපතීන් වහන්සේ මහණ ව මාළිගයෙන් නික්මුණ බව අසා කම්පා වුණ සිත් ඇති ශාක්‍ය කෝලිය දෙනුවර රජදරුවන් පන් සියයක් රථ ගෙන පෙර මඟට පැමිණ රථවලින් වැඩිය මැනව යි ආරාධනා කළ හ. “අපි දැන් රථවල නැඟී අලංකාරයෙන් බුදුන් දකින්නට ගියෝ නම් එය බුදුන්ට කරන ආදරයකුත් නො වෙයි. එසේ ම තපසට අංගයක් ද නො වන්නේ යැ” යි පයින් ම ගොස් බුදු කරුණාව උපදවා මහණවරය ලබා ගනිමු යි කුමරියන්ට ඔවා දී සියලු ම දෙනා පයින් ම නික්මුණා හ.
උපන් දා පටන් ම උඩු මහලින් පාත මාලයට බහින කල පවා බුමුතුරුණු අහස් වියන් සමග ම ඔප්නැංවූ බිම පවා රන් මිරිවැඬි පය ලා ඇවිද ගිය අති සුකුමාල ශ්‍රීවන්ත කුලස්ත්‍රීන් බැවින් එම පා ගමන හැම දෙනාට ම මහත් වූ පීඩා ගෙන දෙන්නක් විය. මොළොක් පා ඉදිමී තුවාල වී බොහෝ කාය ව්‍යසන වී ය. එහෙත් අධිෂ්ඨානයත් වීරියත් ප්‍රබල වී සිත්වල දිරිය ම වී ය.
ප්‍රජාපතීන් වහන්සේ හා පන් සියයක් බිසෝවරුන් මහණ ව බුදුන් දකින්නට නික්මුණ බවත්, පාගමනින් ම යන බවත් දඹදිව බොහෝ තැන්වල සැළ විය. රජදූන් පිරිස්හි රූ සිරි අසිරි බලන්නට දසදිගින් දිව ආ ජනපද වැසියෝ මෙහෙණ වෙස්ගත් පන් සියයක් පිරිස දස දෙස වටපිට නො බලා සන්සුන් ගමනින් වඩිනා සිරි අසිරි දැක හිස් මුදුන් අත් දී වැඳ වැටුණා හ. නොයෙක් දානෝපකරණ ගෙනවුත් “ආර්යාවෙනි, අපට අනුග්‍රහ කළ මැනව. නුඹගේ බුදු පුතණුවන් වහන්සේ ද මේ මඟ වඩිනා සේක් අපට අනුග්‍රහ කළ සේක. අප ගෙන් දන් වැළඳූ සේක. නුඹ වහන්සේ ද අපෙන් වැළඳුව මැනව” යි ආයාචනා කළ හ.
එසේම ඉදිමීගිය පැලීගිය ලේ වැකුණු පතුල් දැක ඇත් අස් රථ වාහන ගොනවුත් මෙයින් වැඩිය මැනවැයි කියමින් මග දෙපස රැස්ව සිටි පිරිස මෙතෙකැයි කිව නොහැක.
එහෙත් කිසිඳු යානයකට නොනැඟී උත්තමාවිය කූටාගාර ශාලාව වෙත පයින්ම පැමිණ වෙහෙර තුළට නොපිවිස පිටතම ඉඳ සිටියාය.
තෙවරකදීම පැවිද්ද නොලද බවත් අදද එය ලැබීම නොලැබීම නොදන්නා බවත් තමන් ආ බව බොහෝ තැන සැළව ගිය බවත් බොහෝ දෙනා දන්නා බවත් මෙනෙහි කළ ගෝතමිය අද ද බුදුන් දැක ද පැවිද්ද නොලැබුවේ නම් එය බුදුන්ට සේම තමන්ට ද නින්දාවකි. එහෙයින් පිටත සිට කිසිවකු අතින් පැවිදි බව ඉල්ලා යවමි. වරය ලද නම් ඇතුළට ගොස් බුදුන් වඳිමි. නොලැබුණි නම් බුදුන් නොදැකම ආපසු යමියි සිත සිතාම පිටතම රැඳී සිටියාය.
මෙවේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ දොරටුවෙන් පිටත ඉඳ සිටියා වූ සුළු මවුන් වහන්සේ දැක කරුණු විචාරා දැන සිත් සනසවා බුදුන් වහන්සේ වෙත එළඹ වන්දනා කොට සියලු පුවත් පවසා ගෝතමියට පැවිදිවරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහ. එහෙත් බුදුන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළ සේක.
කිසිවෙකුටත් එකම ඉල්ලීම තෙවරකට වැඩිකොට ඉල්වාලිය නොහැකි මුත් බුදුරඳුන් හා එකදා උපන් ආනන්දයන් වහන්සේ බුදුන් වහන්සේට හිත පක්‍ෂපාතී ගරු පක්‍ෂපාතී බැවින් ද යළි පැනයක් විචාරණ කැමැත්තෙමැයි පවසා “ස්වාමීනි ස්ත්‍රීන් පැවිදි බව ලැබුවාහු නම් මාර්ගාධි ගමනය සිදුවීම විය හැක්කක්ද නොවිය හැක්කක්දැයි”විමසූහ.
“ආනන්දයිනි ස්ත්‍රීන්ටද මඟඵල ලබන බව සිදුවිය හැක්කක්ම” බව පැවසූහ.
“එසේ නම් ස්වාමීනි පුරුෂයන් පමණක් සංසාර සාගරයෙන් එගොඩ කරලීම සඳහා ලොව්තුරා බුදුවරු පහළ වන්නේදැයි” විමසූහ. “නැත ආනන්දයිනි එක් බුදු සසුනෙකම මඟඵල ලත් අසංඛ්‍ය ගණන් සත් හැවිරිදි ළදැරියෝම වෙතැයි” වදාළ හ. බුදුවරු උභය ලෝකයා උදෙසාම පහළ වෙති.
සූවිසි බුදුවරුන්ගෙන්ම ඛේමා – උත්ඵලවන්නා යන අග්‍ර ශ්‍රාවිකාවන් ලබන්නේ යයි විවරණ ශ්‍රී ලබාගත් බව ඔබ වහන්සේම දේශනා කොට වදාළ බවත්, සිහිකොට දුන් ආනන්දයන් වහන්සේ ගෝතමියන් වහන්සේ විසින් මහමායා බුද්ධ මාතාවන් කළුරිය කළ පසු ඔබවහන්සේ පණමෙන් රැකගත් මෑණියන් වහන්සේ නේ දැයි මව්ගුණ සිහිපත් කළහ. ලොව සෙසු කුඩා මෑණිවරුන් හා සම නොවන්නී තම පුත් නන්ද කුමරුන් වෙනුවෙන් කිරි දහර තම පුතුට ඉඳුල් කරන්නට වත් නොදී ඔබ වහන්සේටම පොවා ඔබ වහන්සේ රැකගත් මෑණියන් වහන්සේ නේ දැයි මව් ගුණ කී සේක.
ඉක්බිත්තෙන් අනන්තා පරියන්ත වූ බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් ගරු කොට පූරණය කළාවූ ද මාගේ සසුන්වන් මාගමයන් විසින් දිවිහිමියෙන් ඒකාන්ත කොට රක්‍ෂා කළ යුතු වූ ද ගරු ධර්මයන් අටෙකි. එය පිළිගනිත් නම් ඒකරුණින්ම ඔවුනට පැවිදි උපසම්පදාව වන්නේ යයි වදාළහ. ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ නියරක් බැන්දා ස්ත්‍රීන්ගේ අභිමාන ශූන්‍ය වන්නා වූ ද ඔවුනටම මහත් වැඩදායක වන අෂ්ඨගරු ධර්මයන් පහදා දුන් සේක.
- සියක් වස් ගියා වූ භික්‍ෂුණියක් වූවත් අද උපසම්පදා වූ සත් හැවිරිදි භික්‍ෂුන් වහන්සේ නමක් දැක හුණස්නෙන් නැගිට පෙර මඟට ගොස් ගරු බුහුමන් කළ යුතුය.
- භික්‍ෂුන් වෙසෙන අරමකට අඩ යොදුනකට වඩා දුර නොවූ අරමක විසිය යුතුය.
- දෙපෝයකට වරක් කඩ නොකොට භික්‍ෂුන් වහන්සේ වෙත එළඹ අවවාද අනුශාසනා ලබාගත යුතුය. ( අඩ මසකට වරක්)
- වස් අන්තයෙහි උභතෝ සංඝයා ඉදිරියෙහි වස් පවාරණය කළ යුතුය.
- ගරුක ආපත්තියක් සිදුවූ විට එයින් මිදී උභතෝ සංඝයා ඉදිරියෙහි වත්මානත්පුරා අබ්භාන නම් විනය කර්මය කළ යුතුය.
- උපසම්පදාපේක්‍ෂක භික්‍ෂුණියක දෑවුරුද්දක් සික්ඛමානා ධර්මයන් පුරා උභතෝ සංඝයාඉදිරියෙහි උපසම්පදාව ලබාගත යුතුය.
- කවර කරුණක් නිසාවත් භික්‍ෂූන්ට අක්‍රෝෂ පරිභව නොකළ යුතුය.
- එසේම භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු අතර, භික්‍ෂුන් වහන්සේගේ අවවාද ලබා පිළිගත යුතුය.
ආනන්දයන් වහන්සේ ඒ ගරු ධර්මයන් විමසා දැන ගෝතමිය ඇතුළු පිරිසට දැන්වූහ. සුවඳ පැනින් ස්නානය කොට සිටි නව යොවුන් තරුණියකට සුවඳවත් නෙළුම් මල් මාලාවක් සමන්මල් මාලාවක් ලද කලෙක සේ සතුටට පත් ගෝතමීන් වහන්සේ බුදුරදුන් දිසාවට හැරී නමස්කාර කොට ගරු ධර්මයන් පිළිගනිමි, පිළිගනිමි, පිළිගනිමියි’ තෙවරක්ම පැවසුවාය.
එම පිළිගැනීම සමඟම සියලු දෙනාටම සාසන ප්‍රවුජ්‍යාවද කෝටියක් සංවර සීලයෙන් යුතු උපසම්පදාව ද ලැබුණි. සියලු දෙනා වහන්සේම කූටාගාර සාලාවට පිවිස මහත් වූ ප්‍රීතීන් පින පිනා බුදුන් ශ්‍රී පා පද්ම වැඳ එකත් පසෙක හිඳි සේක.
මෙයින් මත්තෙහි “බුද්ධ මාතාවෙනි අප්‍රමාද වව්. ස්ත්‍රී ලෝකයාට තෙපි නිසාම මහත් වූ සෙත සැළසෙයි. මාගේ භික්‍ෂුණී සාසනයට තෙපිම ප්‍රධානියහ. තෙපිම රත්‍රඥයහයි” ස්ථානාන්තර හා මෙහෙණි සස්න පවරා දී චර්යානුකූලවූ කර්මස්ථාන ඉගැන්වූ සේක.
නොබෝ දිනකින්ම භාවනා කොට විදර්ශනා වඩා පඤ්චාභිඥා අෂ්ඨ සමාපත්ති උපදවා සිව් පිළිසිඹියා පත් මහ රහත් භාවයට පත් වූහ.
සෙසු පන්සියයක් මෙහෙණින්නෝ ද නන්ද තෙරුන් වහන්සේට නන්දකෝවාද සූත්‍රය දේශනා කරනු අසා සියලු කෙළෙස් නසා අමා මහ නිවන් දුටහ. එතැන් පටන් ගෝතමින් වහන්සේම මුල් කොට සසුන් වැද මහණව අමා මහ නිවන් දුටුවා වූ ශ්‍රාවිකාවන් මෙතෙකැයි පමණ කළ නොහැකිමය.
සියලු කෙලෙස් සිඳ අමා නිවන් අවබෝධ කළ කල්හි ළාමක වූ ස්ත්‍රීත්වය පළිරෝධයක් නොවේ. සියලු රැකවරණ සැලසී තිබේ. ඔබද මාද ඇතුළු සියලු ස්ත්‍රීන්ම රහත් මෙහෙණින් වහන්සේ පා නැමද ඒ අමා නිවන් සුවයම ප්‍රාර්ථනා කරමින් පාරමිතා මඟට පිවිසය යුත්තේය.
සැමට තෙරුවන් සරණ වේවා !
(පූජාවලිය 26 වන පරිච්ඡේදය ඇසුරිනි)