වෑතරට ආලෝකය ගෙනා පිංබිම

cmadurawala
11 Min Read

ශ්‍රී ලාංකික ජනසමාජයේ හා ශිෂ්ටාචාරයේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කරන පොසොන් මාසයේ බෞද්ධ අපගේ ජීවිත එදා ආධ්‍යාත්මිකව සරු සාරවත් කළ, අදටත් කරන අගනා පුණ්‍ය භූමියක් පිළිබඳව වටිනා තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමටයි, මේ ලිපියෙන් අදහස් කරන්නේ.

මේ පුණ්‍යභූමිය පිහිටා තිබෙන්නේ, කොළඹ සිට පිළියන්දල හරහා පොල්ගස්ඕවිට පසුකළ විටයි. වෑතර නමැති ග්‍රාමයේ සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි මෙම පුදබිමට කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කි.මීටර් 25 කි.

වෑතර ගමේ ඉතිහාසය

වෑතර, පුරාණ ශ්‍රී සුධර්මාරාමය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට පෙර වෑතර ග්‍රාමය හා ඒ අවට ප්‍රදේශය සම්බන්ධයෙන් කෙටියෙන් හෝ කරුණු සඳහන් කළහොත් එය ප්‍රස්තුත මාතෘකාවට ආලෝකයක් වෙතැයි හැඟේ.

වෑතර ගම පිළිබඳව ඇති ඓතිහාසික මූලාශ්‍ර ඉතා සීමිත වන අතර, එය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියනෑ කෝරළේ උඩුගහපත්තුවට අයත් ගමකි. සියනෑ කෝරළේ ඉතිරි පත්තු තුන නම් 1. ගඟබඩ පත්තුව 2. අධිකාරි පත්තුව හා 3. මැද පත්තුවයි. යාබද රයිගම් කෝරළයට අයත් උඩුගහපත්තුවක් පිළිබඳව ද සඳහන් වෙන අතර එය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි.

ග්‍රාමීය සුළු වාරිමාර්ග භාවිත කොට කෘෂිකාර්මික කටයුතු කිරීමේ ක්‍රමවේදය අනුරාධපුර යුගයේ සිට පැවත එන බව පුරාවිද්‍යාත්මකව තහවුරු කර තිබේ.

උඩුගහපත්තුවේ ද සුළු වාරිමාර්ග භාවිතා කොට ගොවිතැන් කළ බවට විශ්වාස කළ හැකි තොරතුරු තිබේ. ‘වෑතර’ යන නම සෑදුණු ආකාරය පිළිබඳව මත දෙකක් පවතී, ඉන් එක් මතයක් අනුව ‘වැව්තෙර’ පිහිටි ගම වෑතර වූ බව පිළිගැනීමයි. අනෙක් මතය නම් ‘වැව් අතර’ ගම උච්චාරණයේ පහසුව සඳහා වෑතර ලෙස ව්‍යවහාරයට පත්වූ බවයි.

මේ ප්‍රදේශයේ වැවක් තිබූ බවට විශ්වාස කළ හැකි එක් සාධකයක් ලෙස, දශක තුනකට වැඩි කාලයක් වෑතර වසමේ සේවය කළ ග්‍රාම නිලධාරිවරයා දැනට වෑතර ජාතික පාසල පිහිටා තිබෙන උස්බිම පෙන්වා දෙයි. ඔහුගේ මතයට අනුව ඒ උස්බිම පැරණි වැව් බැම්ම පිහිටි ප්‍රදේශයයි. හොරණ පාරේ දකුණු පසින් පිහිටා තිබෙන, වර්තමානයේ සමගි මාවත ලෙසින් හඳුන්වන කොටස, වැම් බැම්මේ වම් පැත්ත බව පැරැන්නන්ගේ විශ්වාසයයි. ‘අක්කර පහ’ ලෙස අදටත් හඳුන්වන බිම් ප්‍රදේශය වැවෙන් පෝෂණය වූ කෙත් යාය යැයි විශ්වාස කළ හැක.

ශ්‍රී සුධර්මාරාමයේ ඓතිහාසික පසුබිම සෙවීමේදී පූජ්‍ය තොටිගල ධම්මසේන ස්වාමීන්වහන්සේ විසින් සම්පාදනය කළ ‘මුල්ලේගම සඟ පරපුර’ (2022) පොතේ සඳහන් පරිදි අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය කළ ලම්බකර්ණ ගෝත්‍රයට අයත් දෙවැනි දප්පුල රජු සමයේ (ක්‍රි.ව. 815-831) වෑතර වැව් තාවුල්ලේ රෝපණය කළ බෝධි අංකුරය කේන්ද්‍ර කොටගෙන වෑතර ශ්‍රී සුධර්මාරාමය ආරම්භ වූ බව ජනප්‍රවාද මතයයි. සුධර්මාරාමය යන නාමය භාවිත නොකළත් වනවාසි භික්‍ෂූන් වහන්සේලා පොල්අතු සෙවිලි කළ කුටියක් සාදාගෙන සරල ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළ බවට මුඛ පරම්පරාවෙන් පැවැත එන තොරතුරු අනුව විශ්වාස කළ හැක.

පුරාණ ආරාමයක් නම් පුරාවිද්‍යාත්මකව පිළිගත හැකි සාක්‍ෂි කිසිවක් නැත්තේ මන්දැයි කෙනකුට ප්‍රශ්නයක් මතුකළ හැක. ආරණ්‍යවාසී යෝගාවචර භික්‍ෂුන් වහන්සේලා විහාරාරාම ඉදිකිරීම සහ අනෙකුත් භෞතික සම්පත්

රැස්කිරීම පිළිබඳව උනන්දුවක් නොදක්වති. ඒ නිසාදෝ මේ ස්ථානයේ පැරණි ගොඩනැගිලි, හෝ ගරා වැටුණු විහාරාම කිසිවක් දක්නට නැත. ආරණ්‍යවාසී, පිණ්ඩපාතික භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය නොඇලෙන, නොරැඳෙන ස්වභාවය නිසා ආරාමයක භෞතික දියුණුව කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. ආරාමය හඳුනාගැනීමට තිබූ එකම සාධකය වූයේ පුරාණ බෝධීන් වහන්සේත් 1980 වර්ෂයේ ස්වාභාවිකව සිදුවන දිරාපත්වීමේ ක්‍රියාවලිය නිසා අභාවයට පත් වූ බව අතිපූජ්‍ය කලවානේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

ක්‍රි.ව. 1812 (බු.ව.2356) දී අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර ඤාණසාමි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මියන්මාරයේ (බුරුමයේ) රාමඤ්ඤ ප්‍රාන්තයෙන් උපසම්පදාව ලබා පිහිටුවාගත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට අයත් සුපේෂල ශික්‍ෂාකාමී, වනවාසී භික්‍ෂූන්වහන්සේලා වෑතරට වැඩම කරවා වස් වසවා ගැනීමට එදා මේ ප්‍රදේශයේ සිටි බෞද්ධයෝ පියවර ගත් බව රාමඤ්ඤ වංශ කතාවේ සඳහන් වෙයි.

එදා මේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ භික්‍ෂූන් වහන්සේලාගේ විනයගරුක, අපිස්ගුණ නිසා ඇති වූ පිබිදීමේ ප්‍රතිඵලයක් වශයෙන් අතුරුගිරියේ මුල්ලේගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ වැඩසිටි ස්වාමීන්වහන්සේලාගේ ඇසුර නිසා වෑතර ආරාමයේ ආගමික කටයුතුවලට උන්වහන්සේලාගේ අවවාද, අනුශාසනා හා මඟපෙන්වීම් නිරතුරුව ලැබී ඇත. ඒ අනුව කාලයාගේ ඇවෑමෙන් වෑතර ආරාමය ශ්‍රී සුධර්මාරාමය නමින් ප්‍රචලිත විය.

මුලින්ම ඉදිකර ඇත්තේ උපෝසථාගාරයයි. ඒ ක්‍රි.ව. 1919 වර්ෂයේදී. මෙයින් ගම්‍යවන්නේ එදා ස්වාමීන්වහන්සේලා පොහොය විනය කර්මවලට කොතරම් වැදගත් කමක් දුන්නා ද යන වගයි.

විහාර මන්දිරය ඉදිකොට තිබෙන්නේ 1930 දීය. ධර්මශාලාව පැරණි විහාර සම්ප්‍රදායට ගැළපෙන අයුරින් 1956 දී ඉදිකර ඇත. සර්‍වඥධාතු තැන්පත් කොට ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේ ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ පුද සත්කාරවලට ලක්වූයේ ක්‍රි.ව. 1981 නොවැම්බර් මාසයේ සිටයි. මෙම උතුම් කාර්යය සඳහා මඟ පෙන්වීම හා දායක – දායිකාවන්ගේ සහභාගිත්වය, සම්බන්ධීකරණය සිදු කළ එවකට විහාරාධිපති ධුරය දැරූ අතිපූජ්‍ය ශාස්ත්‍රපති කලවානේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ කළ කැපවීම මෙතෙකැයි කිව නොහැක.

වෑතර ආරාමය මුල්ලේගම ශ්‍රී බෝධිරුක්ඛාරාමය හා ගොඩනැගෙන සබඳතාවය 1890 ක්‍රි.ව. දක්වා දිවෙන බව ඉතා පැහැදිලියි. හේතුව වෑතර පන්සලට මුල්ලේගම සඟ පරපුරෙන් සම්බන්ධවන මහා ස්වාමීන් වහන්සේ අතිපූජනීය මුල්ලේගම ශ්‍රී පඤ්ඤාසේන ස්වාමිපාදයාණෝය. උන්වහන්සේගේ අනුශාසනා හා මඟ පෙන්වීම යටතේ ක්‍රි.ව. 1919 වෑතර පන්සලේ උපෝසථාගාරය ඉදිකරන්නට ඇති බවට විශ්වාස කිරීමට හේතු දෙකක් පෙන්වා දිය හැක.

ඉන් එක් හේතුවක් නම් අතිපූජ්‍ය මුල්ලේගම ශ්‍රී සීලාලංකාර ස්වාමීන්වහන්සේගේ අධිශීලසංඛ්‍යාත උපසම්පදාව සිදු වී ඇත්තේ ක්‍රි.ව. 1909, මාතර නිල්වලා නදියේ උදකුක්ඛේප සීමාමාලකයේදී. ක්‍රි.ව. 1916දී උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩ විසූ ශ්‍රී ධම්මාරාම මාහිමිපාණන් වෙත ගොස් සංස්කෘත ව්‍යාකරණ හා තර්ක ශාස්ත්‍ර හැදෑරූ බව උන්වහන්සේගේ චරිතාපදානය කියවීමේදී දැකගත හැකිවිය.

උපෝසථාගාරයක් සම්මත කර ගැනීම වැනි භාරදූර විනය කර්‍මයකදී, ජ්‍යෙෂ්ඨ භික්‍ෂුන්වහන්සේ නමකගේ මැදිහත් වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ අනුව මුල්ලේගම ශ්‍රී පඤ්ඤාසේන ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ මේ කාර්යයේදී ප්‍රධානත්‍වය ගත් බවට සැකයක් නොමැත.

එදා මෙදාතුර වෑතර ශ්‍රී සුධර්මාරම විහාරස්ථානයේ වැඩසිටි සුපේෂල ශික්‍ෂාකාමී, විනයධර භික්‍ෂුන් වහන්සේලා අතර පහත නම් සඳහන් ගෞරවණීය සඟරුවන පිළිබඳව තොරතුරු සොයාගත හැකි විය.

● අතිපූජ්‍ය මුල්ලේගම ශ්‍රී පඤ්ඤාසේන ස්වාමීන්වහන්සේ (1831 – 1939)
● අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්‍රී සීලාලංකාර ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝනායක (1883 – 1966)
● අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ සුගතිස්ස ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය ඔරුවල අභයතිස්ස ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය මුල්ලේගම ධම්මතිලක ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය කළුදෑවල ගුණරතන ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය නාම්පමුණුවේ පඤ්ඤාරංසි ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය අතුරුගිරියේ ක්‍දාණවිමල ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය තොරණකඩ සිරි සුමේධානන්‍ද ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය ඕවිටිගමුවේ සංඝසෝභන ස්වාමීන්වහන්සේ
● අතිපූජ්‍ය ශාස්ත්‍රපති කලවානේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දියුණුවට හා සිල්වත් සඟ පරපුරක් පවත්වාගෙන යෑමට විශාල කැපවීමක් මෙන්ම සේවාවක් කළ අතිපූජ්‍ය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශ මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ හා අතිපූජ්‍ය පණ්ඩිත මාතර ඤාණරාම ස්වාමින් වහන්සේලා දෙනමගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගත් කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ භික්‍ෂූන් වහන්සේලා වෑතර විහාරස්ථානයට වැඩම කොට වාසය කළ බවට තොරතුරු තිබේ.

ක්‍රි.ව. 1984 සිට 2007 දක්වා වෑතර ශ්‍රී සුධර්මාරාමයේ විහාරාධිපති ධුරය හෙබවූ අතිපූජ්‍ය ශාස්ත්‍රපති කලවානේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ යුගයේදී විහාරස්ථානයේ නව පිබිදීමක් සිදුවිය. ඊට හේතුපාදක වූයේ පහත දැක්වෙන පියවර බව කිව හැක.

● උඩමළුව සකස්කොට චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකොට නිමා කිරීම – 1981 නොවැම්බර්
● ශ්‍රී සුගත ඥානෝදය දහම් පාසල ආරම්භ කිරීම. 1982 මාර්තු 28
● ඥානෝදය පදනම පිහිටුවීම. – 1991.06.10

එම පදනමේ විධායක අධ්‍යක්‍ෂ පදවිය හොබවන්නේ අතිපූජ්‍ය ශාස්ත්‍රපති කලවානේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ
වර්ෂ 2007 සිට මේ දක්වා විහාරාධිපති ධුරය උසුලන්නේ පූජ්‍යපාද දර්ශනපති අතුරුගිරියේ පියනන්ද ස්වාමීන්වහන්සේ විසිනි. උන්වහන්සේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයයි. වසර 2007 සිට මේ දක්වා ගරු පියනන්ද ස්වාමීන්වහන්සේ විහාරස්ථානයේ දියුණුව උදෙසා පියවර ගණනාවක් ගෙන තිබේ. ඒවා අතර විශේෂයෙන් සඳහන් කළ යුතු කාර්යයන් කිහිපයක් තිබේ.

පුස්තකාලය සහිත බෞද්ධ පර්යේෂණ ආයතනයක් ඉදිකිරීමට මුල්ගල් තැබීම, දැනට මෙම ගොඩනැගිල්ලේ බිම් මහල තනා ඇත.

● අලංකාර රන්වැට සහිත බෝධිප්‍රාකාරයක් ඉදිකිරීම.
● සංඝමිත්තා කුටිය ඉදිකිරීම.
● බුදු මැඳුර ඉදිරිපිට තාප්පය ඉදිකිරීම.
● දොළොස්මහේ පහණක් ස්ථාපනය කිරීම.
● විහාර සංවර්ධන සමිතිය පිහිටුවීම.
● ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල ආරම්භ කිරීම.
● විහාරස්ථානයේ මළු, සැලැස්මකට සංවර්ධනය කිරීම.
● පෙහෙවස් සමාදන් වන උපාසික-උපාසිකාවන්ට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම.
● විහාර මන්දිරයේ හා ආවාස ගෙයි වහල ඇතුළු අනෙකුත් පහසුකම් ප්‍රතිසංස්කරණය කොට වැඩි දියුණු කිරීම.

විහාරස්ථානය කේන්‍ද්‍රකොටගෙන සිදුකරන ආගමික සාමාජික සේවාවන්

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ප්‍රතිපත්ති ගරු කරමින් ඒවා රැකගත හැකි භික්‍ෂූන්වහන්සේලා පුහුණු කොට ශාසනයට දායාද කිරීමට අවශ්‍ය පියවර ගත් අතිපූජ්‍ය කලවානේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ ගුණවත්, නැණවත් ස්වාමීන් වහන්සේලා කීප නමක්ම සූදානම් කරලීමට අමතක නොකළහ. උන්වහන්සේලා ශ්‍රී සුධර්මාරාම සෙවනේ වැඩී, ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කොට ලංකාවේ විවිධ ප්‍රදේශවල වැඩ වාසය කරමින් විශාල ආගමික හා සමාජ සේවාවල ව්‍යාප්තව සිටිති. මේ අතර ප්‍රධාන තැනක් ගන්නා කැපී පෙනෙන සේවාවල නිරත වී සිටින ස්වාමීන්වහන්සේලා පිළිබඳව සඳහන් කළහොත්;

● අතිපූජ්‍ය දර්ශනපති අතුරුගිරියේ පියනන්ද ස්වාමීන්වහන්සේ, වර්තමාන විහාරාධිපති හිමි. (කො/පිළියන්දල ජාතික පාසලේ ධර්මාචාර්‍ය)

● අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී, මනෝවිද්‍යා උපදේශක, අනුරාධපුර සද්ධානන්ද ස්වාමීන්වහන්සේ, විහාරාධිපති – දේවගොඩ ශ්‍රී විජයාරාම පුරාණ විහාරය (ශ්‍රී විජයාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය්‍ය හා නැණරට තරුණ සභාවේ ප්‍රධාන අනුශාසක)

● අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වීරකැටියේ චන්ද්‍රානන්ද ස්වාමීන්වහන්සේ, විහාරාධිපති, මත්තේගොඩ, ශ්‍රී ජයසුමනාරාමය (කැස්බෑව සිරිනන්ද පිරිවෙනේ ආචාර්‍ය‍ය)

● පූජ්‍ය ශාස්ත්‍රවේදී කිරල්දෙණියේ සුධම්මානන්ද ස්වාමීන්වහන්සේ.
ප්‍රධානචාර්‍ය්‍ය, කලවාන මීපාගම මව්පිය සෙවන දහම් පාසල හා ඤාණෝදය පදනමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

● පූජ්‍ය මොල්ලිගොඩ විමලධම්ම ස්වාමීන්වහන්සේ, ප්‍රධානාචාර්‍ය්‍ය, ශ්‍රී සුගත ඤාණෝදය දහම් පාසල, වෑතර. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක.

● පූජ්‍ය අගලවත්තේ අනුරුද්ධ ස්වාමීන්වහන්සේ, උප ප්‍රධානාචාර්‍ය්‍ය, මීපාගම දහම් පාසල. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක

මේ දැන උගත් භික්‍ෂූන් වහන්සේලා තම ගුරුදේවයන්වහන්සේ ගේ අඩිපාරේ ගමන් කරමින්, නිරතුරුව තම තමන්ගේ විහාරාස්ථාන කේන්ද්‍ර කරගෙන සිදුකරන සේවාවන් කොටස් කීපයකට බෙදා වෙන්කළ හැක.

1. ආධ්‍යාත්මික සංවර්ධනය සිදුකරගනිමින් තම ශාසනික ප්‍රතිපදාව ආරක්‍ෂාකරමින් කරන ධර්‍මදූත සේවාව

2. ථෙරවාදී බුදුදහම හැදෑරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය භික්‍ෂූන් වහන්සේලාට (මියන්මාර්, බංග්ලාදේශ. කාම්බෝජ) ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා සිව්පසය සැපයීමෙන් ජාත්‍යන්තරව බෞද්ධ රටවල් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම.

3. සදාචාරාත්මක මාර්ගෝපදේශනය : බෞද්ධ ජනතාව තුළ සාමය හා විනය ආරක්‍ෂා කිරීමට පියවර ගැනීම. පොහොය දින වැඩසටහන් සංවිධානය කොට ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට බෞද්ධයින් යොමු කිරිම.

4. සමාජ සේවා හා සුබ සාධනය

ශ්‍රී සුධර්මාරාමය මූලස්ථානය කොටගෙන පිහිටුවන ලද (1991) ඤාණෝදය පදනම මඟින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන 4 ක් තිබේ.

4.1 කලවාන මීපාගම මව්පිය සෙවන (1997)

4.2 කොට්ටාව හිරිපිටිය පිරිමි ළමා නිවාසය (2005)

4.3 හොරණ, කුඹුක නන්දා දසනායක ළමා නිවාසය (2008)

4.4 කලවාන, මීපාගම ළමා නිවාසය (2007)

4.5 වෑතර ශ්‍රී සුධර්මාරාමයට අනුබද්ධ සංවිධාන 3 ක් තිබේ.

4.5.1 ශ්‍රී සුධර්මා කුළඟන සමිතිය

4.5.2 විහාර සංවර්ධන සමිතිය

4.5.3 ඤාණෝදය සුභ සාධක හා අවමංගල්‍යාධාර සමිතිය

මෙම ආයතන හරහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය අතුරුගිරියේ පියනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ අනෙකුත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා හා මඟපෙන්වීම යටතේ දහස් සංඛ්‍යාත බෞද්ධ ජනයාගේ ආධ්‍යාත්මික හා සදාචාරාත්මක සංවර්ධනය වෙනුවෙන් කරන මඟ පෙන්වීම අතිවිශාලය. එය මිල කළ නොහැක.

තමන්ගේ ස්වයං විනය ආරක්‍ෂා කරගනිමින් ආදර්ශමත් දිවි පෙවෙතක් ගෙවන ස්වාමීන්වහන්සේලා වැඩ සිටින ශ්‍රී සුධර්මාරාම පිංබිම පොල්ගස්ඕවිට, වෑතර සමස්ත ප්‍රදේශයටම මහා පහන් ටැඹක් බඳුය.

මෙබඳු ස්ථාන සුරක්‍ෂිත කොට අනාගත පරම්පරාවට ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරගෙන සාර්ථක ජීවිතයක් ගොඩනැගීම සඳහා පවත්වාගෙන යෑමට වගබලා ගැනීම ශාසනස්ථිතිකාමි අප සැමගේ වගකීම නොවේද?

එස්. එම්. කේ. බී. නන්දරත්න, ඥානෝදය පදනමේ ප්‍රධාන ලේකම්  ✍️
M.A. (සමාජ විද්‍යාව), M.A. (බෞද්ධ අධ්‍යයනය හා පාලි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *