යමෙක් බාහිර පවිත්‍රත්වයෙන් ආරම්භ කරනවාද ඒ තැනැත්තා අභ්‍යන්තර පවිත්‍රත්වයට කෙදිනක හෝ පිවිසෙනවා. යමෙක් වාසය කරන තැනකට ගියහම ඔහුගේ මානසික මට්ටම බොහෝදුරට තීරණය කරගන්න පුළුවන්. කෙනෙක් ජීවත්වන කාමරයට ගියහම, කෙනෙක් ඉන්නා කුටියට ගියයින් පස්සෙ, ඔහුගේ මානසික මට්ටම කෙබඳු ද කියලා හිතා ගන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල මම බොහෝ විට අධ්‍යයනය කරලා තියනවා මම ජීවත් වෙන කාමරය, මගේ මනස වික්‍ෂිප්ත වුණු කැළඹුණු බොහෝ දවස්වලට සති ගණන් සමහර වෙලාවට මම කොස්සක් අල්ලා අතුගාලා නෑ. මටම විශාල කලකිරීමක් සමහර වෙලාවට ඇති වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒ පොත් පත් තියලා තියන ආකාරය, මකුළුදැල් බැඳලා තියන ආකාරය, දූවිලි ඉහිලා තියන ආකාරය, දකින දකින පාසා මට සිහිවෙනවා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. මට ඒක ශුද්ධ කරන්න ඕනෑ කමක් නෑ. ඇයි ඕනෑ කමක් ඇති නොවෙන්නෙ? මගේ මනස පවිත්‍ර නැති නිසා. ඒ නිසා මනස සන්සුන් කරන්නට ඕනෑ කියන සිතුවිල්ලක් යම් දවසක මට ඇති වෙනවානම් ඒ හැම මොහොතකම මම ආරම්භ කරන්නේ පළමුව කාමරය ශුද්ධ පවිත්‍ර කිරීමෙන්, මකුළුදැල් ටික කඩලා අතුපතු ගාල ශුද්ධ කරගෙන දෙවනුව තමයි ඒ වැඩ ආරම්භ කරන්නේ.
අවබෝධයෙන් පුහුණු කිරීම පාරමිතාවයි
ඒ නිසා පින්වතුනි බුද්ධ පූජාවක් පවත්වනකොට ඒ තැනැත්තා විශේෂයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මනස පවිත්‍ර කරන්නට ඒ විදිහේ බාහිර ක්‍රියාවන් තුළින් රැස්කර ගන්නා කුසල ශක්තියත්, ඒ හුරුවත් උපකාරී වෙනවා. කුමක්ද පාරමිතාවයි කියන්නේ? පාරමිතා පුරනවා කියන්නේ කුමක් කරනවාද? අභ්‍යාස කරනවා. හුරු කරනවා. පුහුණු කරනවා. කුමක් ද හුරු කරන්නේ? කුමක් ද පුහුණු කරන්නේ? කුමක් ද අභ්‍යාස කරන්නේ? අපේ මනසයි. අපේ සිතයි. ලෝකයෙ නොඇලෙන ආකාරයට,
නොගැටෙන ආකාරයට පවතින්නේ කොහොමද කියන බව නැවත නැවත මනසට පුහුණු කරවන්නට ඕන. ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කළා දන්දීම හුරු කරන්න. ඒ තුළින් ලෝභයෙන් මනස පවිත්‍ර කරන්නට එක්තරා හුරුවක් ඇති වෙනවා. ඒ වගේම නෛෂ්ක්‍රම්‍යය හුරුකරන්න හුරුකරන්න කාමයන්ගෙන් මනස ඈත් කරන්නට එක්තරා හුරුවක් ඇති වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ පටන් මුළු මහත් විශ්වයේ අවකාශය තුළ, අනන්ත අපරිමාණ ලෝකය තුළ අපි යම්තාක් ක්‍රියාකාරකම් කරනවාද, මේ සියලු ක්‍රියාකාරකම් හා බැඳී පවතිනවා අපේ මනස. ඒ නිසා මනස යමකට හුරු කරනවානම්, යම් පමණකට පුහුණු කරනවානම් එය සෑම ක්‍රියාවකටම බලපානවා.
ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ භාවනාව, මේ සතිපට්ඨානය, මේ විදර්ශනාව හැම මොහොතකම කරන්න. හැම ඉරියව්වකම කරන්න. ඉඳගෙනත් මේක කරන්න. හිටගෙනත් කරන්න. නිදාගෙනත් කරන්න. ඇවිදිමිනුත් කරන්න. සෑම මොහොතකම මේ භාවනාව කරන්න, මේ විදර්ශනාව කරන්න කියලා ඇයි බුදුහාමුදුරුවො දේශනා කළේ? මෙයයි ජීවිතය. එය ජීවිතය බවට පත් නොවුණොත් මේ භව ගමන කෙළවර කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
පුනරාවර්ජනය වැදගත්
අර මුලින් සඳහන් කළ ආකාරයට නැවත නැවත දැළි කුණු තැවරුණු ඒ වළං බාන රෙදි කෑල්ල දවසකට විනාඩි පහක් වැය කරලා සබන් ටිකක් දාලා පිරිසිදු කරන්නට නම්, අපේ මනසේ ඒ සඳහා උත්සාහයක් ඇති වියයුතුයි. අන්න ඒ වගේ සෑම මනුෂ්‍යයෙකුම දවසකට විනාඩි දහයක්, පහළොවක්, පැය භාගයක්, පැයක් තමන්ට පුළුවන් හැටියට දවස පිළිබඳව ආවර්ජනා කළ යුතුයි.
මගේ මනස කිළුටු වුණේ අද කොයි කොයි තැන්වලද?
මගේ මනස අපවිත්‍ර වුණේ කොහොමද?
මට ද්වේෂය මතු වුණේ කොහොමද?
මට රාගය මතු වුණේ, මට ලෝභය මතු වුණේ, මම ඊර්ෂ්‍යා කළේ කුමන අවස්ථාවලද?
අද උදේ අවදි වූ තැන් පටන් මේ මොහොත දක්වා මගේ දවස ගත වුණේ කොහොමද?
කියලා මනස පිළිබඳව දවස අවසානයේ පුනරාවර්ජනයක් කරන්න තරම් අපි ශක්තිමත් විය යුතුයි. යම්කිසි කෙනෙක් මේ හුරුව දිගින් දිගට පවත්වාගෙන යනකොට තව තවත් මෙය හුරු කරනකොට ඒ තැනැත්තාට දවස අවසානයේ පමණක් නෙමෙයි වරද සිද්ධවෙන සිද්ධවෙන සෑම මොහොතකම මෙය වරදයි කියලා මැනවින් දකින්නට සිතේ එක්තරා හුරුවක් ඇති වෙනවා. අභ්‍යාසයක් වෙනවා. එය පුරුද්දක් බවට පත් වෙනවා. මෙය පුරුදු වුණා වූ ඒ තැනැත්තාට පුළුවන්කම තියනවා සිත අනුව නැවත නැවත නුවණින් විමසා බලන්න. දැන් මේ පැයක් මුළුල්ලේ මම කිව්වේ චිත්තානුපස්සානවට එන්නට මාර්ගයයි.
චිත්තානුපස්සනාව
දැන් එහෙනම් අපි බලමු කොහොමද චිත්තානුපස්සනාව කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කළේ
“චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා”
“සතිමා” කිව්වේ සිහියෙන් යුක්තව, “සම්පජානෝ” කිව්වේ නුවණින් යුක්තව
“චිත්තේ චිත්තානුපස්සී විහරති” සිත අනුව විමසා බලනවා.
“සරාගිකං වා චිත්තං සරාගිකං චිත්තන්ති පජානාති”
මේ විදිහට සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවො දේශනා කළා, රාගී සිතක් මට ඇති වුණානම් මේ රාග සිතයි කියලා දැන ගන්නවා. ද්වේෂ සිතක් ඇති වුණා නම් මේ ද්වේෂ සිතක් ඇතිවුණාය කියලා දැන ගන්නවා. “මට රාග සිතක් ඇති වුණා රාග සිතක් ඇති වුණා” කියලා හිත හිතා හිටියොත් හරියයි ද පින්වතුනි. කිසිදාක නෑ. මෙනෙහි කිරීමයි කියලා කියන්නේ මෙය ඇති වුණා ඇති වුණා කියලා හිත හිතා ඉන්න එක නෙමෙයි. පින්වතුන් කුස්සියට ගිහිල්ලා අද වළං බාන රෙදි කෑල්ලේ දැලි ගොඩාක් ගෑවිලා තියනවා, ගොඩාක් ගෑවිලා තියනවා කියලා සිය දහස් වරක් කිව්වත් හිතුවත් ඒ වස්ත්‍රය පිරිසිදු වෙයිද? එහෙම වෙන්නේ නෑ. තේරුම් ගන්නට ඕනෙ වෙලා තියෙන්නෙ මොකද්ද කියලා. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. තේරුම් ගන්නට ඕන. ඒක ඉවත් කරන්න කළ යුත්තේ මොකක්ද කියලා තේරුම් අරගෙන එය කරන්න ඕන. ගෑවිලා තියෙන්නෙ දැලි. දැලි හෝදන්න පුළුවන් සබන් දැම්මොත්. සබන් කෑල්ලක් තියනවා ළඟ. සබන් ගාලා සෝදලා වේලලා පිරිසුදු කර ගන්න. ක්‍රියාව එපමණයි. වස්ත්‍රය පවිත්‍රයි. එහෙමනම් රාගයක් ඇති වුණා, ද්වේෂයක් ඇති වුණා කියලා හිත හිතා ඉන්න එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. දැනගන්නවා කියලා බුදුහාමුදුරුවො දේශනා කළේ නුවණින් දැන ගන්නවා.
නුවණින් සිහි කළ යුතුයි
ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් සිහි කරනවා. හේතුඵල අනුව සිහි කරනවා.
කුමක් නිසාද මට රාගය ඇති වුණේ?
ඇයි මගේ සිත කෙලෙසුනේ?
ඇයි මගේ සිතට දැඩි දාහයක් ඇති වුණේ?
ඇයි මගේ සිත ගැටුණේ?
ඇයි මේ කියාපු කාරණය ගැන මම වික්‍ෂිප්ත වුණේ?
මෙහෙම හිතන්නට ඕන. මෙහෙම හිතනකොට තමන්ට තේරෙනවා මම ගැටුණෙ මේ නිසයි. මම ඇඬුවේ මේ නිසයි. මට රාගය උපදින්නේ මම මෙහෙම හිතපු නිසයි. මේ විදිහට සොයා බලාගෙන යනකොට කවදා හෝ පින්වතුන්ට තේරෙයි කුමන කාරණයක් නිසාද ඒ රාගය ඇති වුණේ. ඇයි මගේ සිත කිලිටි වුණේ. ඇයි ඒ සිතට දාහයක් ඇතිවුණේ කියලා. කවදා හෝ පින්වතුන්ට තේරුම් ගන්නට පුළුවන් වේවි ඒ ඇලීම් ගැටීම් සියල්ලම මතුවෙලා තියෙන්නේ එම කාරණය පිළිබඳව අපි හිතන ආකාරය මතයි කියලා. අපි හිතන ක්‍රමයේ වරදයි. ඒ පැමිණි ගැටලු පිළිබඳව හේතුව වරදවා හිතනවා. වැරදි ආකාරයෙන් හිතනවා. වැරදි ආකාරයෙන් හිතන නිසා, වැරදි සංඥාවක් ගන්න නිසා, සංඥාවේ විපරිත බව නිසා වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා.
විපරීත සංඥා
දැන් තවදුරටත් පැහැදිලි කර ගනිමු. රාත්‍රියේ කළුවරේ එළියට යනකොට පරඬලාපතක් හෙළවෙනවා දකිනවා. ඒ දැකලා අපි හදිස්සියෙන් තැති ගෙන යටිගිරියෙන් කෑ ගහලා ගෙට පනිනවා, හොල්මනක් කියලා. තව කෙනෙක් විදුලි පන්දමක් අරගෙන එළියට බහිනවා හොල්මන බලන්න, කවුද ආවේ කියලා. කෙනෙක් නෑ. ගස් කොළන් ඒ ආකාරයෙන් තියනවා. මද හඳ එළිය වැටිල තියනවා. ඊට අමතරව වෙන මොකවත් නෑ. නමුත් මොහු බයවෙලා. මොහුගේ මනස වික්‍ෂිප්ත වෙලා. භීතිය කියලා කියන්නේ ද්වේෂයේ එක් මුහුණුවරක්. මේ ද්වේෂය හෙවත් භීතිය මේ තැනැත්තාගේ මනසේ හටගන්නේ කොහොමද? විදුලි පන්දම අරගෙන එළියට බැහැපු තැනැත්තාගේ මනස භීතියට පත් නොවෙන්නටත්, මොහුගේ මනස භීතියට පත් වෙන්නටත් හේතුව මොකක්ද? මොහු වරදවා වටහා ගත්තා දුටු දර්ශනය. කෙසේ හෝ වරදවා තේරුම් ගත්තා. වරදවා තේරුම් ගැනීමෙන් මනස කැළඹුණා.
එහෙම නම් රාගය ඇති වෙන්නේ, ද්වේෂය ඇති වෙන්නේ මෝහය, ඊර්ෂ්‍යාව ක්‍රෝධය මාන්නය මේ සකල විධ පාප ධර්මයෝම අපේ මනසේ හට ගන්නේ වරදවා වටහා ගැනීමෙන්මයි.
මට වැරදුනේ කොතනද? ඊළඟට සොයන්න ඕන.
කුමක් ගැනද මම වැරදි ආකාරයෙන් හිතුවෙ?
කුමන ධර්මතාවය පිළිබඳව ද මම අධාර්මිකව හිතුවෙ?
නොමනා ආකාරයෙන් ධර්මයට පටහැනිව, නුවණින් තොරව මම කල්පනා කළේ කුමක් පිළිබඳව ද?
මෙන්න මේ කාරණය ගැන මේ අයුරින් හිතපු නිසයි මට මේ තත්ත්වය ඇති වුණේ. එහෙම නම් මම මින් මතුවට එසේ නොසිතා සිටිය යුතුයි. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. තමන් ඒ ටික නොසිතා ඉන්නවා කියලා සිතන කොටම නැවත වතාවක් එයම අරමුණු වෙනවා. ඒ සැණින්ම, නෑ නෑ මම හිතන්නේ නෑ කියලා හිතන කොටම තව වතාවක් ඒකම වෙනවා.
ඇලුණත් ගැටුණත් බැඳෙනවා
මේකත් එක්කලා මහා අරගලයක් අපට කරන්නට සිද්ධ වෙනවා. කලක් මේ අරගලය යනකොට තමන්ට වැටහෙනවා මෙය දුරු කරන්න නම් මේකත් එක්කල පොර බදන එක නෙමෙයි කරන්න ඕනෑ වෙන්නේ, අරමුණ වෙනස් කිරීමයි කළ යුත්තේ. අපි ඒක සමග නැවත නැවත පොර බදනවා කියන්නේ අල්ලා ගැනීමක්. එය ඉවත් කරන්නට අවශ්‍යයි, එයින් නිදහස් වෙන්නට අවශ්‍යයි කියන තැන අපි ගැටුමක් හදා ගන්නවා. ගැටුමක් හදාගෙන එතන ඉඳලා පොර බදනවා. අල්ලා ගත්තත් ගැටුණත් අපි දෙකෙන්ම කරලා තියෙන්නේ කුමක්ද? බදා ගැනීමයි.
ආචාර්ය කුකුල්පනේ සුදස්සි හිමිපාණෝ ✍️

