සුමංගල මාතා තෙරණින් වහන්සේ

cmadurawala
9 Min Read

ලොව්තුරා බුදු රුවන ලොව පහළ වන්නේ ත්‍රිලක්‍ෂණ දහම ද මඟ නොමඟ ද හෙළි කොට පෙන්නා ආස්වාදයෙහි මුළා ව සසරෙහි අතරමං ව දුකෙහි ම ගිලී සිටින භවගාමී සත්ත්වයා නිර්වානස්ථානය නමැති ක්‍ෂේම භූමියට එතෙර කරවීම උදෙසා ය. දීපංකර මුණින්ද්‍රයාණන් ශ්‍රීපාද මූලයේ දී එක බණ පදයක් ශ්‍රවණය කළ ඇසිල්ලෙහි සිව්සස් දහම අවබෝධ කොට නිවන් සුව අත් විඳින්නට තරම් පිං මහිමයක් හා ප්‍රඥාා මහිමයක් ඇති ව සිටි සුමේධ තාපසයාණන් වහන්සේ තනි ව ම නිවන් සුවය භුක්ති නො විඳ කඨෝර වූ සංසාර සාගරයට වටුයේ ඔබ මා වැනි අසරණ සත්ත්වයන් කෙරෙහි වූ මහා කරුණාව නිසාවෙනි.

නියත විවරණ ලබාගත් මහා බෝසතාණන් වහන්සේ එතැන් පටන් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නා තුරු ම එළඹි සියලු දුක් ගැහැට මහත් වූ වීර්යයෙන් හා කරුණාවෙන් ඉවස ඉවසා පාරමිතාවන් පුරාලූයේ අසරණ ලෝක සත්ත්වයා වෙනුවෙනි. එහි ප්‍රතිඵලය ලෙස සූවිසි අසංඛ්‍යයකටත් වඩා පිනැති සත්ත්වයෝ සිව්සස් දහම අවබෝධ කොට දුක්බර වූ සසර කතරින් එගොඩ වූ හ. එසේ ම උන්වහන්සේලා සම්බුද්ධ ශාසනය ද අනාගත ලෝකය ද බබුලුවා ලූ හ. ඒ අතර භික්ෂුන් වහන්සේ පමණක් නො ව එපමණක් භික්ෂුණීන් වහන්සේ ද බොහෝ වූ හ. එපමණක් නො ව උපාසක උපාසිකාවෝ ද බොහෝ වූ හ. පැවිදි උතුමන් වහන්සේ සේ ම ගිනිගත් ගිහි ගෙයි වෙසෙන්නෝ බොහෝ වූ හ.

සංසාරය නම් ඉඳුරා ම දුක හෝ සැප පමණක් ඇති ස්ථානයක් නො වේ. උපන් සත්ත්වයා සසරට ඇලී බැඳී සිටින්නේත් අවබෝධයට පත් නො වන්නේත් ඉඳහිට ලැබෙන අල්ප වූ සුඛාස්වාදයෙහි මුළාවට පත් වන නිසා ය. ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් දකින්නට සිත නො වඩන නිසා ය. එය එසේ වුව ද ආස්වාදයෙහි කොතෙක් මුළා වුවත් සිහිනෙන් ගෑ සුවඳක් සේ දැනෙන දහම් ආලෝකය ඔස්සේ සත්ත්වයාට සසර ඉම සුව සේ ම දැකිය හැකි ය. එය එසේ වන්නේ එයින් මතු එම නැණවත් පිංවතා තම ජීවිතය නිවැරැදි ව හැඩ ගස්වාගෙන සදහම් මඟෙහි හැසිරෙන නිසා ය.

දුක සේ නමුත් සසර ඉම දුටුවොත් එය ම මහත් සැපයකි. සියලු දුක් කරදර නිමා වීම ම සැපයකි. සහනයකි. සියලු අනාගත අපේක්‍ෂාවන් ද අතීත මතක පීඩාවන් ද සියල්ල ම නිමා වෙයි. එවිට මුළු ලොවට ම සැනසීම සතුට දෙන උදාන ගී ගැයිය හැකි ය. සිත සැනසිල්ලේ උදාන ගී ගැයුවෝ නම් රහතන් වහන්සේ ම ය. රහත් භූමිය නම් ලොව සුපිරිසිදු ම වූ නිර්මල ම ස්ථානයයි.

සසර කෙළවර කරන පිංවත්තු පවා අරහත්වයට පත් වන තම අවසන් භවයේ දීත් නොයෙක් දුක් කම්කටොලුවලට මුහුණ දෙති. සසරෙහි අනිටු ස්වභාවය නම් එසේ ය. කුසල් අකුසල් අතර දෝලනය වන චිත්ත සන්තාන ඇති සත්ත්වයා දුක සැප දෙකට ම නිරන්තරයෙන් ම මුහුණ දේ. ඒ එසේ වුවත් සසර පුරා කරන ලද පින් කුසල් බල මහිමයෙන් කඨෝර වූ සංසාර ගමනෙහි නිමාව දකින්නේ නම් එය කොතරම් සුන්දර අත්දැකීමක් ද?

අද අප වෙසෙසා ගුණ දක්වා ලන සුමංගල මාතා රහත් තෙරණින් වහන්සේ ද පෙර බොහෝ බුද්ධ ශාසනයන්හි බලවත් ව තෙරුවනෙහි සිත් පහදවා කරන ලද මහා කුසල් සම්භාරයක් හා බලවත් ප්‍රාර්ථනාවන් ද ඇත්තී ය. එසේ වුව ද මේ බුද්ධ ශාසනයෙහි සැවැත් නුවර එක්තරා දිළිඳු කුලයක උපන්නා ය. සංසාරයෙහි පවතින පළිබෝධ දොස් සහිත බව නම් එසේ ය. ඇගේ විවාහය සිදු වූවේ ද එබඳු ම දුප්පත් බටපොතු වියන්නෙකු සමග ය. එම විවාහ දිවියෙන් ඇය අන්තිම දේහධාරී පිංවත් පුත් රුවනක් ලැබුවා ය. මේ පුතු සුමංගල නම් වූයෙන් මවු තුමෝ සුමංගල මාතා නමින් ප්‍රකට වූවා ය.

එම පිංවත් පුත් කුමරු බුදුසසුනෙහි උතුම් පැවිදි භාවය ලබා අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන නම් සිවිිපිළිසිඹියා සහිත මහ රහත් භාවයට පත් ව සුමංගල ස්ථවිර යන නමින් ප්‍රකට වූ හ.

හීන වූ ගිහි භාවයෙහි උකටලී ව කලකිරීමට පත් ව සිටි සුමංගල මාතාවන් ද භික්‍ෂුණීන් සමීපයෙහි පැවිදි ව විදසුන් වඩමින් පිළිවෙතෙහි හැසිරෙන්නී තම ජීවිතයෙහි ඇය විසින් අත්විඳින ලද සියලු දුක් කරදර ආවර්ජනා කරමින් සංවේගයට පත් වූවා ය. ජීවිතයට එළඹෙන දුක් ගැහැටවල නො ගැටෙමින් දුක යනු සසරට අයත් දෙයක් බවත් සංසාර ස්වභාවය එය ම බවත් ලෝකය දුක මත ම පිහිටා ඇති බවත් (දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා) සියලු දුක්, ඉපදීම ප්‍රත්‍ය කොට පවතින බවත් මෙනෙහි කිරීම හෙවත් විශේෂයෙන් දැකීම විදර්ශනාව නමි. සුමංගල මාතා තෙරණින් වහන්සේ ද තමන්ට ජීවිතයේ උරුම වුණු මහත් වූ දුක් කඳ වෙසෙසින් ම විදර්ශනාවට ලක් කළ හ. සම්මා සම්බුදු රුවන ලොව පහළ වන්නේ මෙම ත්‍රිලක්‍ෂණ දහම අසරණ ලෝක සත්ත්වයාට දේශනා කොට සත්ත්වයා සසර කතරින් එගොඩ කරලීම උදෙසා වන මහා කරුණාවෙනි.

ගිහි ජීවිතයේ තමන් විසින් විඳින ලද සියලු දුක් කරදර ආවර්ජනා කරමින් සසර ස්වභාවය වන නිස්සාර බව ම උන්වහන්සේ මෙනෙහි කළ හ. බඹයක් පමණ වන මේ ශරීරය තුළ ලෝකය පනවන බවට වන බුදු පියාණන් වහන්සේගේ දේශනාව ද, එසේ ම සිතෙහි වෙනස් වෙමින්, ඇති වෙමින් නැති ව යන සංස්කාර ලෝකය ද බුද්ධාවවාදයට අනුව යමින් මැනැවින් අවබෝධ කළ මෙහෙණින් වහන්සේ කෙලෙස් ධර්මයන් මැඬලමින් ප්‍රහාණය කිරීම උදෙසා සිය සිත බොහෝ කොට භාවිත කළ හ. සතර සම්‍යක් ප්‍රධන් වීර්යයෙන් යුතු ව කෙලෙස් කහට සෝදා ලන්නටත්, පින් කුසල් උද්දීපනය කරගන්නටත් වෙර වැඩූ හ. උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත්, නූපන් අකුසල් නූපදවීම පිණිසත්, උපන් කුසල් වැඩීම පිණිසත්, නූපන් කුසල් උපදවා ගැනීම පිණිසත් වෙර වැඩීම සතර සම්‍යක් ප්‍රධන් වීර්යය යනුවෙන් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ සේක.

සුමංගල මාතා තෙරණින්වහන්සේ සසර දොස් හේතුවෙන් දිළිඳු ව උපන් නමුත් සසර පුරාවට බොහෝ බුදු සසුන්හි පින් කුසල් කරමින් භාවිත කළ පින් සිතක් ද ඇත්තී හිරි ඔතප් ධර්මයන් මැනවින් රැක ගත්තා ය. අවසන් ගිහි ජීවිතයේ දී ද ස්වභාවයෙන් ම කාමයන්හි නො ඇලුණු සිත් ඇත්තී ය. කාමයන්හි ගිජු නො වුණු සිත් ඇත්තී ය. කාමයන් වරන ලද චිත්ත සන්තාන ඇත්තී ය.

ඕතොමෝ ගිහි ජීවිතයේ දී යමක් විශේෂයෙන් පිළිකුල් කරන ලද ද ගිහි ගෙයින් නික්මී ඉන් නිදහස් වීම ම විමුක්තිය ලෙස දක්වන්නී, මෝල් ගහෙන් ද, කුල්ලෙන් ද, සැමියා විසින් ජීවිකාව සරි කරගැනීම සඳහා කළ කූඩ සෑදීම ද, සැමියාගේ අහිරික අනෝප්තප්ත ස්වභාවය ද පිළිකුල් කළ බවත් ඒ සියල්ලෙන් ම නිදහස් වූ බවත් පවසමින් උදන් ඇණුවා ය.

සුමුත්තිකේ සුමුත්තිකේ
සාධු මුත්තිකාම්හි මුසලස්ස

අහිරිකෝ මේ ඡත්තකං වාපි
උක්ඛලිකා මේ දෙඩ්ඪුහං වාති

රාගඤ්ව අහං දෝසඤ්ව
චිච්චිටි චිච්චිටීති විහනාමි

සා රුක්ඛමූලමුපගම්ම
අහෝසුඛන්ති සුඛතෝ ඣායාමී ති

සුමුත්තිකා – ඔබ මෝල් ගහෙන් මැනැවින් මිදුණෙහි ය. මගේ සැමියා නිර්ලජ්ජිත ය. කූඩය ද නො රිසියෙමි. මගේ බත් පිසින මුට්ටියෙන් ද දියබරි ගඳ වහනය වෙයි.

මම රාගය හා ද්වේශය ‘චිටි චිටි’ යන අනුකරණයෙන් පුලුස්සා දැමීමි. ඕතොමෝ රුක් මුලකට එළඹ සැපතක මහත යැ යි සුව විසින් විඳිමින් භාවනාවෙහි යෙදෙමි යි යන ගාථා ප්‍රකාශ කළා ය.

සුමංගල මාතා තෙරණින් වහන්සේ සියලු දුක් ගැහැටවලින් මැනැවින් ම මිදුණ බව ‘සාධු මුත්තකම්හි’ යන යෙදුමෙන් ප්‍රකාශ වෙයි. ක්ලේශ ධර්මයන්ට දෙටු වූ රාගය හා ද්වේශය ‘චිටි චිටි’ යන අනුකරණයෙන් වනසා දැමූ බවත් දුරු කළ බවත් සිය උදානයෙන් උන්වහන්සේ හෙළි කළ හ.

ඕතොමෝ සසුනෙහි ලද සම්පත් දැක (එනම් ගිහි පළිබෝධයන් ගෙන් මිදුණ බව) ‘සුමුත්තිකේ’ යනුවෙන් ‘මැනවින් මිදුනෙමි… මැනවින් මිදුනෙමි…’ යන නිදහස් අදහස් පළ කළ හ.

බොහෝ දිගු සසර සැරිසරන්නී මේ ජීවිතයේ දී පමණක් නො ව ගිහි භාවයෙහි නො ඇල්මෙන් මහත් වූ කුසල් කරමින් දස අකුසල්හි ආදිනවයන් දකිමින් සිය සිත විදර්ශනාවෙහි හුරු කොටගෙන ම භාවිත සිතක් ඇති ව සුමංගල මාතාවන් දිවි ගත කළ බව ම පැහැදිලි වේ.

සුමංගල මාතා තෙරණින් වහන්සේ මේ සා කුරිරු වූ කටුක වූ සංසාරයෙන් මිදී ගිය හ. ඒ උදෙසා එතුමින් වහන්සේ විශේෂයෙන් විදර්ශනාවට ලක් කළේ ඇය විසින් ගිහි ජීවිතයේ දී විඳින ලද දුක් කරදර කම්කටොලු රැසයි. එයින් ඇගේ සිත කෙලෙස් ධර්මයන් ගෙන් නිදහස් ව පාරිශුද්ධත්වයට පත් ව දුක්බර වූ සංසාර ගමන නිමා කොට ගත්තා ය. අපිදු අපගේ ජීවිතවලට සම්මුඛ ව ඇති සියලු දුක් ගැහැට යෝනිසෝමනසිකාරයෙන් විදර්ශනාවට ලක් කොට සසර කතරින් එතෙර වන්නට අදිටන් කොට වෙර වැඩිය යුතු බව ම මෙනෙහි කරමු.

සැමට තෙරුවන් සරණ වේ වා!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *