“උජුපටිපන්නෝ
භගවතෝ
සාවක සංඝෝ”
භගවතෝ සෝ
සාවකසංඝෝ
ඉතිපි උජුපටිපන්නෝ
භාග්‍යවතුන් වහන්සේගේ සංඝ ශ්‍රාවකයෝ මේ මේ කරුණෙන් උජුපටිපන්නයහ. ඒ ඒ කරුණු මෙසේය: “මජ්ඣිමාය පටිපදාය අන්තද්වයං අනුපගම්ම පටිපන්නත්තා කාය, වචී, මනො වඕක කුටිල ජිම්හ දොසප්පහානාය පටිපන්නත්තාව උජුපටිපන්නෝ” (විසුධිමග්ග සංඝානුස්සති) මධ්‍යම ප්‍රතිපදාවෙන් කාමසුඛල්ලිකානු යෝගය අත්තකිලමථානු යෝගය යන අන්තද්වයට නොපිළිපන් හෙයින් ද, කාය වචී මනෝ වඩ්කයන් නසනු පිණිස ඍජු වූ ආර්ය මාර්ගයට පිළිපන් හෙයින් ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සංඝ ශ්‍රාවකයෝ උජුපටිපන්නයහ.
මෙහි ප්‍රකාශ වුණු මධ්‍යම ප්‍රතිපදාව අංග අටකින් යුක්ත වේ. උජුපටිපන්න විස්තරයට ඒ අංග අට වෙන වෙනම ගත යුතුවේ. ඒ මෙසේය:
භගවතෝ සෝ සාවක සංඝෝ දුක්ඛෙ ඤාණ සම්මාදිට්ඨිං මජ්ඣිමං පටිපදං පටිපන්නත්තා ඉතිපි උජුපටිපන්නෝ – භාග්‍යවතුන් වහන්සේගේ ඒ සංඝ ශ්‍රාවකයෝ දුක්ඛෙ ඤාණ සම්මාදිට්ඨි නම් වූ ප්‍රතිපදාවට පිළිපන් බැවින් ද උජුපටි පන්නයහ. මෙසේ සම්මා සංකප්පය ද ගෙන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප, යන අංග තුනම ගෙන උජුපටිපන්නතාව සලකා බැලිය යුතුය.
එසේම සම්මාවාචා ද ගෙන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්පථ අවිහිංසා සංකප්ප යන අංග තුනම ගෙන උජුපටිපන්නතාව සලකා බැලිය යුතුය.
එසේම සම්මාකම්මන්ත ද ගෙන පාණාතිපාතා වෙරමණි, අදින්නාදානා වෙරමණි, අබ්‍රහ්මචරියා වෙරමණි, මිච්ඡා ආජීවා වෙරමණි යන සතර ම ගෙන උජුපටිපන්නතාව සලකා බැලිය යුතුය.
එසේම සම්මාවායාමය ද ගෙන නූපන් අකුසල ධර්මයන් නූපදනා පරිදි, උපන් අකුසල ධර්මයන් ප්‍රහානය වන පරිදි, නූපන් කුසල ධර්මයන් උපදනා පරිදි, උපන් කුසල ධර්මයන් බහුල වන පරිදි ද උජුපටිපන්නතාව සලකා බැලිය යුතුය.
එසේම සතර සතිපට්ඨාන වශයෙන් උජුපටිපන්නතතා ගුණය සැලකිය යුතුය. කායානුපස්සනා වශයෙන්ද, වෙදනානුපස්සනා වශයෙන් ද, චිත්තානුපස්සනා වශයෙන්ද, ධම්මානුපස්සනා වශයෙන් ද, සංඝ ශ්‍රාවකයෝ උජුපටිපන්න නම් වන්නාහුය.
එසේම සතර ධ්‍යාන වශයෙන් ද, උජුපටිපන්න ගුණය සැලකිය යුතුය. ප්‍රථමධ්‍යානයේ සම්මාදිට්ඨිය වශයෙන්ද, ද්විතීයධ්‍යානය වශයෙන් ද, තෘතීයධ්‍යානය වශයෙන් ද, චතුර්ථධ්‍යානය වශයෙන්ද, සංඝ ශ්‍රාවකයෝ උජුපටිපන්න නම් වන්නාහු ය.
එසේම සතර මාර්ග ඵල වශයෙන් ද, උජුපටිපන්න ගුණය සැලකිය යුතුය. සොතාපත්ති මාර්ග ඵල වශයෙන්ද, සකෘදාගාමි මාර්ග ඵල වශයෙන්ද, අනාගාමි මාර්ග ඵල වශයෙන්ද, අර්හත් මාර්ග ඵල වශයෙන්ද, සංඝ ශ්‍රාවකයෝ උජුපටිපන්න නම් වන්නාහු ය.
“භගවතො සො සාවක සංඝො කාය වචී මනො වංක කුටිල ජිම්හ දොසප්පහානාය මජ්ඣිමං පටිපදං පටිපන්නත්තා ඉතිපි උජුපටිපන්නො”
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කායද්වාර, වාග්ද්වාර මනොද්වාරයන්හි වංක කුටිල ජිම්හ දෝෂයන්ගේ ප්‍රහානය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් බැවින් ද උජුපටිපන්න නම් වන්නාහු ය.
“බුදුරදුනො” වදන් අස්නා බැවින් බුත් සවුන් වූ
දිටු සිල සඟුළුෑයෙන් එක් බඳුයෙන් සඟත් වූ
ඉදුමග පිළිපන් තුන් වක් පියෝයෙන් නොවක් වූ
වඳිම් සඟුරුවන් මම් තුන් දොරින් සාදු! සාදු!!”
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි ✍️

