අනාථපිණ්ඩික සිටුතුමාගේ පිතෘ ගුණය

thilina
By thilina
8 Min Read

වර්තමානයේ දරුවන් විවිධ ඇබ්බැහිවීම් හා අපචාරයන්ට යොමුවීම නිසා ඇතිවන අවාසනාවන්ත සිදුවීම් නිතර අසන්නට ලැබේ. මෙවැනි අවස්ථාවල දෙමාපියන් හා වැඩිහිටියන් කෙසේ ක්‍රියා කළ යුතුදැයි නොදැන ක්‍රියා කිරීම නිසා එම අසානාවන්ත තත්ත්වයන් ඛේදාන්තයන් බවට පත්වන අවස්ථා දුලභ නොවේ. එම නිසාම එවැනි අවස්ථාවල දරුවන්ගේ මානසිකත්වය අවබෝධ කරගෙන ඔවුන්ව නිවැරදි මගට යොමු කිරීමෙහි විශේෂ හැකියාවක් සහිත වූ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් අපට බොහෝ දේ උගත හැකිය. බෙහෙවින් සෙල්ලක්කාර දිවියක් ගතකළ කාල නම් වූ පුත්‍රයාව ඔහුගේ දුර්වලකමම උපයෝගි කරගෙන ධර්ම මාර්ගයට යොමු කිරීමට සිටුතුමා සමත් වූ ආකාරය පසුගිය ලිපියෙහිදී සඳහන් කරන ලදි.

එහිදී සිටුවරයා සිය සෙල්ලක්කාර පුත්‍රයා වැඩියෙන්ම අගය කරන මුදල්ම ලබාදී ඒ ඔස්සේ ඔහුව පෙහෙවස් සමාදන් වීමට යොමු කිරීමට සමත් විය. පෙහෙවස් රකිනු වෙනුවට විහාරයෙහි නිදා සිට පැමිණි සිය පුත්‍රයාට පෙහෙවස් සමාදන්වූවකුට කරන සැලකීමම කරමින් තම දරුවාව විශ්වාස කරන බව ඒත්තු ගැන්වීය. එසේම කාල සිටුපුත්‍රයා කහවනු ලබාදෙන තුරු ආහාර ගැනීම ද ප්‍රතික්ෂේප කළ විට, එය ලබා දී සිය පොරොන්දුව ඉටු කළේය. කහවනු පොදිය අල්ලාගෙනම ආහාර බුදින සිය පුත්‍රයාගේ ක්‍රියාකලාපයෙන් නොසැලුණු සිටුවරයා, තමා දෙන මුදල වැඩිකර එනම්, වෙහෙරට ගොස් එක් දහම් පදයක් ඉගෙනගෙන පැමිණියහොත් කහවනු දහසක් දෙන බව පවසා දෙවන වරටත් සිය පුත්‍රයාව වෙහෙරට යැවීමට සමත් විය. මෙසේ සිය පුත්‍රයාට සෝවාන් පලයට පත් වීමට අවස්ථාව උදාකර දුන් සිටුවරයා බුදුරජාණන්වහන්සේ සමඟ සිය නිවසට පැමිණි පුත්‍රයාට සුදුසු අවස්ථාවක් බලා තමා පොරොන්දු වූ මුදල ලබාදීමට ද ක්‍රියා කළේය. මෙසේ තමා වූ පොරොන්දු ඉටුකරමින් විශ්වාසවන්ත පියකුගේ වගකීම ඉටු කිරීමට සිටුතුමා ක්‍රියා කළේය.

එහිදී සිටුතුමා ක්‍රියාකළ ආකාරය වර්තමානයේදී වුව ද යොදාගත හැකි උපක්‍රමයකි. දරුවන්ගේ දුර්වලතාවලදී ඔවුනට බැණවැදීම් දඬුවම් පැමිණවීම්, ඔස්සේ ඔවුන්ව මර්දනය කිරීමට යොමු නොවී, ඔවුන්ගේ එම දුර්වලතාව ඔස්සේම යහමඟට ගතහැකි ආකාරයන් සොයාබැලීම හා ඒවා ඔස්සේ දරුවාගේ මානසිකත්වය යහපත් දිසාවට යොමු කිරීමට උත්සාහ කළ හැකිය. නිදසුනක් ලෙස විද්‍යුත් තිරයනට හෝ පරිගණක ක්‍රීඩාවනට ඇඛ්බැහි වූ දරුවකුට පරිගණකය හෝ ජංගම දුරකථනය නොදී සිටීම තරවටු කිරීම, බැණවැදීම කරනු වෙනුවට, එම උපකරණ ඔස්සේම නව දැනුම සොයා යාමට නව නිර්මාණකරණයට අවස්ථා උදාකරගත හැකි ආකාර හදුන්වා දී, ඇඛ්බැහිවීමට හේතු වූ දෙයම දරුවාගේ සංවර්ධනයට උපකාර වන මෙවලමක් කරගත හැකිය.

එක් එක් දරුවා තුළ පවතින විවිධත්වය වටහාගෙන එම දරුවාට උචිත ආකාරයට ක්‍රියාකිරීමට දෙමාපියන් දක්ෂ විය යුතුය. දරුවන්ව මර්දනය නොකර එක් එක් දරුවාට ගැළපෙන ආකාරයට ක්‍රියාකිරීම මෙන්ම සෑම දරුවකුම ලැබෙන හැම අවස්ථාවකදීම ධර්මයට යොමු කිරීමට උත්සාහ කිරීම අනාථපිණ්ඩික සිටුතුමාගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. සිය දියණියන් තිදෙනාව සංඝ උපස්ථානයට යොමු කිරීම මෙයට එක් නිදසුනකි.

භික්ෂු සංඝයාගේ රුචි අරුචිකම් අනුව දානය පිළියෙල කිරීමට දක්ෂ නිසා සැවැත්නුවර වැසියන් තම නිවෙසවල පවත්වන දානයන්ට උපදෙස් ලබාගැනීමට අනාථපිණ්ඩික සිටුතුමාට කරන ආරාධනා නිසා කාර්යබහුල වූ සිටුතුමා සිය දියණියන් තිදෙනාගෙන් දෙටු දියණිය වූ මහා සූභද්‍රාව සිය නිවසෙහි පවත්වන දන්වැට සංවිධානය කිරීමටට යෙදවීය.

භික්ෂුන්වහන්සේලාගේ වතාවත් කරමින් ධර්ම ශ්‍රවණය කරමින් සිය පියාණන් පැවරූ කාර්යයන්හි යෙදුණු මහා සුභද්‍රාව සෝවන් තත්ත්වයට පත් වූවාය. මහා සුභද්‍රාවන් පතිකුලයට ගිය පසු සිටුතුමා විසින් සිය දෙවන දියණිය වූ චූල සුභද්‍රාව ඒ සඳහා යොමු කරවන ලදි. එලෙස සංඝ උපස්ථානයෙහි යෙදෙමින් ධර්මය ශ්‍රවණය කිරීමෙහි අවස්ථාව ලද චූල සුභද්‍රාව ද සෝවන් තත්ත්වයට පත්වූවාය. චූලසුභද්‍රාව උග්ග සිටුවරයාගේ පුත්‍රයා හා විවාහ වී උග්ග පුරයෙහි වාසයට ගිය පසු සිටුතුමා විසින් සිය නිවසෙහි දන්වැට පැවැත්වීමෙහි හා සංඝෝපස්ථානයෙහි වගකීම අනාථපිණ්ඩික සිටුතුමාගේ කනිටු දියණය වූ සුමනා සිටු දියණියට පවරා දෙන ලදි. භික්ෂුන්වහන්සේලාගේ වතාවත් කරමින් ධර්ම ශ්‍රවණය කරමින් සිය පියාණන් පැවරූ කාර්යයන්හි යෙදුණු සුමනාව සකෘදාගාමි තත්ත්වයට පත් වූවාය.

දරුවන්ගේ සිත් තේරුම් ගැනීමේදී තාර්කික බුද්ධියට වඩා සංවේදන හැකියාව පැවැතීම වැදගත්ය. එනම් දරුවාගේ මානසිකත්වය තේරුම් ගෙන දරුවාගේ ලෝකයට පිවිසීමෙහි හැකියාව දෙමාපිය වැඩිහිටියන් ප්‍රගුණ කළ යුතුය. අනාථපිණ්ඩික සිටුතුමාට දරුවන් තේරුම් ගැනීමට හා ඔවුන්ගේ ලෝකයට පිවිස ක්‍රියා කිරීමට පැවැති හැකියාව වර්තමානයේ ජීවත්වන අපට ද මඟපෙන්වීමක් ලබාදෙයි. සිටුතුමාගේ මිනිපිරියකගේ බෝනික්කකු සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව එතුමන් විසදූ ආකාරය මෙයට කදිම නිදසුනකි. සිටුතුමාගේ මිනිපිරියකට ඇයගේ කිරිමව පිටියෙන් කළ බොනික්කු දී මේ ඔබගේ දියණියයි පවසා එම බෝනික්කා සමඟ සෙල්ලම් කරන ලෙස පැවසුවාය.

දැරිය ද, එම බෝනික්කා කෙරෙහි තමාගේ දියණිය යැයි හැඟීම ඇති කරගෙන ක්‍රීඩා කළාය. දිනක් දැරිය මෙම බෝනික්කා සමඟ සෙල්ලම් කරන අතරතුර බිමවැටී කැඩිණි. එය දුටු දැරිය, සිය දියණිය වැටී මියගියේ යැයි හැඟීම ඇති කරගෙන හඩන්නට පටන්ගත්තාය. දැරිය සනසාලීමට නිවසේ කිසිවකුත් අසමත් විය. මෙම අවස්ථාව වනවිට අප මහා බුදුරජාණන්වහන්සේ ද අනාථපිණ්ඩික සිටු නිවසෙහි වැඩසිටි සේක. අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාණන්වහන්සේ සමීපයෙහි සිටින අවස්ථාවෙහි දැරියගේ කිරිමව දැරිය ද රැගෙන සිටුතුමා සමීපයට ගෙනගියාය. දැරිය හැඬීමට හේතුව විමසූ සිටුතුමාට බෝනික්කා බිඳීම නිසා දැරිය හඬන බව පවසා, සිදුවීම විස්තර කළාය.

සිටුතුමා සිය මිනිබිරිය ඇකයෙහි හිඳුවාගෙන ‘ඔබගේ දියණිය වෙනුවෙන් දානයක් දෙන්නට මම කැමැතයි’ යැයි පවසා දැරිය සනසා, බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට පසුදින දානය සඳහා ආරාධනා කළේය. බුදුරජාණන්වහන්සේ නිහඬවම එම ආරාධනය පිළිගත් සේක. පසුදින දානය සඳහා සිටු නිවසට වැඩි බුදුරජාණන්වහන්සේ දානය අවසානයෙහි අනුමෝදනා බණ කියන අවස්ථාවෙහි නොමසුරු පුද්ගලයා කුමක් හෝ අරමුණක් සොයාගෙන දන් දෙන බවත්, කුමන අරමුණකින් වුවද දෙන දානය නිෂ්ඵල නොවන බවත්, පවසා එම දානය අගය කළ සේක. එසේම සිය ඥාතියකු මියගිය විට හඬා වැලපීම නිරර්ථක බවත්, දන් දීමෙන් දන් දෙන පුද්ගලයන්ටත්, සෙසු බොහෝදෙනාටත් යහපතක් වන බවත් පැවසූ සේක.

නොමසුරු තැනැත්තේ යම්කිසිවක් අරමුණු කොට, දන් දෙන්නේය, පෙර කලුරිය කළවුන් හෝ නැතහොත් ගෙවතු ආදියට අරක්ගත් දෙවියන් අරබයා හෝ දන් දෙන්නේය.

වෛශ්‍රවණ ය, ධ්‍රතරාෂ්ට්‍ර ය, විරූපාක්ෂ ය, විරූඪ ය යන යශස්වී ලෝකපාලක සිවුවරම් දෙවියන් අරබයා හෝ දන් දෙන්නේය. ඔවූහු පුදන ලද්දෝ වෙත්, දායකයෝ ද නිෂ්ඵල නොවන්නෝ වෙත්.

මළවුන් සඳහා හැඬීමක් හෝ ශෝකයක් හෝ එයින් අන්‍ය වූ විලාප කීමක් හෝ නොකළ යුතුය. කලුරිය කළවුන්ට ඒ ඇඬීම් ආදිය ප්‍රයෝජන පිණිස නොවෙයි. එහෙත් එසේ කරන මඳ නුවණැති නෑයෝ ද සිටිති.

දායකයා විසින් දුන් මෙම දානය සංඝයා කෙරෙහි මනාව පිහිටියේය. මේ ප්‍රේතයා හට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස දාන විපාකය එකෙනෙහිම පැමිණේ.

ඛුද්ධක නිකාය, පේතවත්ථුපාලි, උරග වග්ගය,පිට්ඨිධීතලික පේතවස්තුව මෙසේ දානය දීම නිසා බෝනික්කා අහිමි වූ දැරිය සැනසුන බව දුටු සිටු බිරිඳ හා සෙසු ඥාතීහු සිටුවරයා අනුව යමින් පසුදින පටන් බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට දන් දුන්හ. මෙලෙස බිඳුණු බෝනික්කා අරමුණු කරගෙන ඇරඹි දානය මාසයක් පුරාවට අඛන්ඩව පැවතිණි. සිය රජමැඳුරට මාසයක් පුරා භික්ෂු සංඝයා නොපැමිණීමට හේතු විමසූ කොසොල් රජතුමා කාරණය දැන තවත් මසක් බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට දන් දුන්නේය. මෙලෙසින් සිටුතුමා සිය මිනිබිරිය සනසාලීමට ආරම්භ කළ දානය මාස දෙකක්ම බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂුසංඝයාට දන්දීමෙහි නිමිත්ත විය (පරමත්ථදීපනී පිට්ඨිධීතලිකා පේතවස්තු වර්ණනාව)

කුඩා දරුවන් සමග ක්‍රියා කිරීමේදී දරුවන්ගේ මානසිකත්වය වටහාගැනීම වැදගත්ය. දරුවන්ගේ ලෝකයේ දී ඔවුන් ඇසුරු කරන සියලු අජීවී වස්තු ඔවුනට දැනෙන්නේ ජීවී දේ ලෙසය. බොහෝ දෙමාපියන් මෙවැනි අවස්ථාවල සිතන්නේ දරුවනට යථාර්ථය කියාදීම වඩා සුදුසු බවය. එවිට දරුවාට දැනෙන්නේ සිය දෙමාපිය වැඩිහිටියනට තමාව නොවැටහෙන බවය. නමුත් මෙහිදී සිටුතුමා කරන්නේ දරුවන්ගේ ලෝකයට ඇතුළුවී යථාර්ථය ඒත්තුගැන්වීමෙන් ඔබ්බට ගොස් තමන්ට සමීප කෙනකු අහිමි වූ විට ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි දැරියට කියාදීමට අවස්ථාවක් උදා කර ගැනීමය. එමනිසා පිටියෙන් කළ බෝනික්කාට පණ නැති බවත්, හඬා වැටීමෙන් ඵලක් නැති බවත් පැවසීම හෝ, බිඳුණු බෝනික්කා වෙනුවට ඊට වඩා හොඳ බෝනික්කකු දෙන බව පැවසීමට වඩා, තමන්ට සමීප කෙනකු අහිමි වූ විට කළ යුතු වඩාම සුදුසු දෙය කුමක් දැයි කියාදීමය. එම නිසාම බුදුරජාණන්වහන්සේ ද සිටුවරයාගේ ක්‍රියාව අගය කළ සේක.

මේ ආකාරයට දෙමාපිය වැඩිහිටියන් තම බලය පෙන්වා හෝ පාණ්ඩිත්වය පෙන්වා දරුවන් මර්දනයට හො පාලනයට උත්සාහ කරනු වෙනුවට, ඔවුන්ගේ ලෝකයට පිවිස ඔවුන් සිටින තත්ත්වය වටහා ගැනීමට උත්සාහ කරන්නේ නම්, අද නිරතුරුව අසන්නට ලැබෙන අවාසනාවන්ත සිදුවීම් බොහෝමයක් වළක්වා ගත හැකිය. දෙමාපිය වැඩිහිටියන් ලෙස අප ද අනාථපිණ්ඩික සිටුතුමා මෙන් දරුවන් වටහාගෙන ඔවුනට වඩා සමීප වෙමින් දරුවන් ධර්ම මාර්ගයට යොමු කිරීමට උත්සාහ කරමු.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
ආචාර්ය නිශාදිනී පීරිස්

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *