හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩසිටි දෙවුන්දර වාචිස්සර නාහිමිපාණන් වහන්සේ විසිවන සියවසේ මෙරට වැඩසිටි සම්භාවනීය මහා යතිවරයන් වහන්සේ නමකි.බෝධිසත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අග්‍රසර ශිෂ්‍ය රත්නය වූ ගංගාරාමයෙහි ආධිපත්‍ය හෙබවූ දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමිපාණන් වහන්සේ, වාචිස්සර හිමියන්ගේ ඥාතිවරයකු විය. දක්ෂිණ ලංකාවේ ප්‍රාදේශීය පාලකයකු වූ දාපුළුසෙන් රජුගේ මහානාම නම් අමාත්‍යවරයාගේ පරපුරෙන් පැවැත ආ දොන් පේද්‍රික් අභයවර්ධන මැතිතුමාගේ සහ උඩරට සම්භාවනීය පරපුරකට අයත් වූ දෝන සිසිලියානා අබේසූරිය රත්නායක මැතිනියගේ පුත්රුවනක් වශයෙන් 1902 සැප්තැම්බර් මස 23 වන දින උපත ලද වාචිස්සර මාහිමිපාණන් වහන්සේ තුදුස් (14) වන විය තෙක් පාසල් අධ්‍යාපනය ලැබූහ.
සැදැහැති දෙගුරුන්ගෙන් ලද පෙලඹවීම නිසා වර්ෂ 1916 ජුනි මස 18 වැනි දින හුණුපිටිය ගංගාරාමයේ දී තත් විහාරාධිපති දෙවුන්දර ජිනරතන නාහිමි, විද්‍යොදය පරිවේණාධිපති මහගොඩ ඤාණිස්සර නාහිමි, පසු කලෙක විද්‍යොදය පරිවේණාධිපති ධුරයට පත් කහවේ රතනසාර නාහිමි සහ විද්‍යොදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී හික්කඩුවේ පේමානන්ද නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් පැවිදිබිමට පත්වූහ.
ස්වකීය ප්රාචාර්යයන් වහන්සේ විසින් ආරම්භ කොට, ස්වකීය ආචාර්යපාදයන් වහන්සේලාගේ ආධිපත්‍යයේ පැවැති විද්‍යොදය පිරිවෙනින් වර්ග පටිපාටියෙන් අවසාන වර්ගය දක්වා අධ්‍යාපනය ලද වාචිස්සර නාහිමිපාණන් වහන්සේ 1923 ජුනි මස 23 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
පාරිවේණික අධ්‍යාපනය සාර්ථකව නිම කිරීමෙන් පසු 1928 වර්ෂයේ දී එවක පරිවේණාධිපති කහවේ නාහිමියන් විසින් විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය පදවියකට පත්කළ අතර ඉන්පසු වර්ෂයේ දී කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්යයන් වහන්සේ නමක වශයෙන් ද පත්වී පිරිවෙන සහ පාසල යන ආයතන දෙකෙහි ම දීර්ඝ කාලයක් ඉගැන්වීමෙහි යෙදුණාහ.
ස්වකීය ආචාර්යයන් වහන්සේ වූ ශ්‍රී ජිනරතන නාහිමියන් වැඩ සිටි යුගයේ දී ම ගංගාරාම විහාරස්ථානයේ දර්ශනීය මහා විහාර මන්දිරය ගොඩනැංවූයේ වාචිස්සර හිමියන්ගේ මූලිකත්වයෙනි. ශ්‍රී ජිනරතන නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසු 1954 වර්ෂයේ දී හුණුපිටිය ගංගාරාමය, අවිස්සාවේල්ලේ සුධර්මාරාමය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍යයට පත් වූහ. 1954 වර්ෂයේ අගෝස්තු මස 13 වැනි දින භික්ෂුන් වහන්සේලා විනය කර්ම කිරීමට සූදානම් වූ අවස්ථාවෙහි බේරේ වැව මධ්‍යයේ පිහිටි සීමාමාලකය කඩාවැටුණු අවස්ථාවෙහි අබෞද්ධයකු වූ ඇස්. එච්. මුසාජි මහතාගේ ධනව්‍යයෙන් එය ප්‍රතිසංස්කරණය කරවීය.
මහජන ආධාරයෙන් විහාර භූමිය පුළුල් කරවා ගුරුදේවයන් වහන්සේ අපවත්වීමෙන් පසු 1954 වර්ෂයේ දී ගුරුදේවයන් වහන්සේට උපහාර වශයෙන් ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලයත්, සමානාචාර්යයන් වහන්සේ වූ මහගොඩ ඤාණිස්සර නාහිමියන් අනුස්මරණය කරමින් ශ්‍රී ඥානේශ්වර පිරිවෙනත් ආරම්භ කරවූයේ වාචිස්සර නාහිමියන් විසිනි.
ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යාපන ආයතනයන් සේ ම ජාත්‍යන්තර ධර්ම ප්රචාරක කටයුතු සඳහා ස්වාමීන් වහන්සේලා පුහුණු කරන ආයතන වශයෙන් මෙම ආයතන කීර්තියට පත් විය. වර්තමාන මල්වතු මහ නාහිමියන්, අස්ගිරි විහාරයේ වැඩසිටි ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් ඇතුළු ලක්දිව ප්‍රධාන විහාරස්ථාන රාශියක නායක හිමිපාණන් වහන්සේලා මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබීම එම පිරිවෙනේ සාර්ථකත්වය ප්‍රකාශ කිරීමට මනා නිදර්ශනයකි.
ගංගාරාමයේ මහා විහාර මන්දිරය සේ ම තෙමහල් පිරිවෙන් ශාලාව, භික්ෂු නේවාසිකාගාරය, පුස්තකාලය, අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරය, සීමාමාලකය ආශ්රිත දාගැබ හා සමාධි පිළිමය, ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ශ්‍රී ජිනරතන ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනය ආදී ගොඩනැඟිලි, නාහිමියන්ගේ යුගයේ ඉදිකෙරුණි. සිය ගුරුදේවයන් වහන්සේ පිළිසකර කරවූ බේරේ වැවේ සීමාව 1976 වර්ෂයේ ප්‍රතිසංස්කරණය කරවූයේ වාචිස්සර නාහිමියන්ගේ යුගයේ දී ය.
ශාස්ත්‍රීය ලේඛනයට නැඹුරු වූ දෙවුන්දර වාචිස්සර නාහිමියන් මූල ග්රන්ථ සංස්කරණය කරමින් පාලි ථූපවංසය, සිංහල ස්තූපවංසය, සන්න සහිත පිරිත් පොත, පන්සිය පනස් ජාතක පොත, ධර්මප්රදීපිකා ගැටපද විවරණය, කව්සිළුමිණි භාව සන්නය, කුස ජාතක කාව්‍ය සංග්‍රහය, ලෝවැඩ සඟරාව ආදී ග්රන්ථ මුද්‍රණද්වාරයෙන් එළිදැක්වූහ. ඇමරිකාවේ නිව්යෝක් බෞද්ධ මධ්‍යස්ථානය හා ටැංසානියාවේ බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ ගෞරවය ද වාචිස්සර නාහිමිපාණන් වහන්සේ සතු වෙති.
දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත් මල්වතු මහා විහාරයීය කාරක සංඝසභාව මගින් 1954 වර්ෂයේ දී කොළඹ කඩවත් සතරේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදි. ආරෝහ පරිණාහ දේහධාරී වූ වාචිස්සර නාහිමියන්ගේ ව්‍යක්ත කථිකත්වය බණ්ඩාරනායක අගමැතිතුමාගේ ද ප්‍රශංසාවට ලක්විය. එසේම විලියම් ගොපල්ලව ජනාධිපතිතුමා සහ එම ආර්යාව ද දෙවුන්දර වාචිස්සර නාහිමියන් වෙත මහත් ගෞරවයෙන් කටයුතු කළහ.
අග්නිදිග ආසියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමට වාචිස්සර නාහිමියෝ මහත් රුචිකත්වයෙන් ක්‍රියා කළහ. 1962 වර්ෂයේ නාවික ගමනක් අතරතුර සිදු වූ හදිසි අනතුරකින් දෑස් අන්ධභාවයට පත් වූ පසු ගංගාරාම විහාරස්ථානයත්, නාහිමිපාණන් වහන්සේත් සම්බන්ධ කටයුතු සිදු කරන ලද්දේ වාචිස්සර නාහිමියන්ගේ ශිෂ්‍ය වූ ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් විසිනි.
ලොකු හාමුදුරුවන් ගිලන්ව වැඩසිටි නිසා සැමදෙනා ම පැමිණියේ පොඩි හාමුදුරුවන් කරා ය. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමින් ශ්‍රී ඤාණිස්සර නාහිමියන් ප්‍රසිද්ධ වූයේ ද මේ නිසාවෙනි. ගංගාරාම විහාරය අගනුවර බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ වාචිස්සර නාහිමියන්ගේ නායකත්වය යටතේ පොඩි හාමුදුරුවන්ගේ කාර්යශූරභාවය සහ දක්ෂතාවය නිසා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. අසූදෙවසරකට අධික කාලයක් වැඩසිටි දෙවුන්දර වාචිස්සර නාහිමිපාණන් වහන්සේ 1984 මැයි මස 23 වැනි දින අපවත්වී වදාළහ.
දිමුතු පුන්සර කොළඹගේ ✍️

