නිදහස සොයා ගිය ගමන :-
ගාථාව
පාණිම්හි චෙ වණො නාස්ස
හරෙය්ය පාණිනා විසං
නාබ්බණං විසමන්වෙති
නත්ථි පාපං අකුබ්බතො
(ධම්මපද පාපවග්ග 124 වන ගාථාව)
පදාර්ථ
චෙ – ඉදින් ත පාණිම්හි වණො නාස්ස – අතේ තුවාලයක් නැති නම් ත විසං පාණිනා හරෙය්ය – විෂක් අතින් ගත හැකිය. අබ්බණං විසං න අන්වෙති – තුවාල නැති අතට විෂ ඇතු`ථ නොවේ. අකුබ්බතො – (චේතනාන්විතව) අකසල් නොකරන්නාට ත නත්ථි පාපං – පාපයක් නැත.
භාවය
අත්ලෙහි වණයක් නැත්නම් අත්ලෙන් විෂ හැර ගන්නේය. (විෂ අල්ලන්නේය.) විෂය වණයක් නැත්තහු අනුවැ නොයයි. (එසේම) පව් නොකරන්නහුට පවෙක් නැත.,
නිදාන කතාව
රජගහ නුවර සිටු මැඳුරක විවාහ විය යුතු වයසේ දියණියක් සිටියාය. ඇය උඩුමහලේ තම කාමරයේ සේවිකාවක සමග හුදෙකලා ජීවිතයක් ගතකළාය. ව්‍යාපාරිකයකු වූ ඇගේ පියා නිවසේ රැඳුණේ කලාතුරකිනි. මව සේවක සේවිකාවන් වැඩපළවල යොදවමින් අවිවේකී ජීවිතයක් ගතකළාය. තම දියණිය ගැන සෙවීමට ඇගේ දුක සැප සොයා බැලිමට ඇයට කාලයක් නොතිබිණ. කලාතුරකින් මිස නිවසින් බැහැර නොගිය සිටු දියණියට ඇසුරට නිසි යෙහෙළියෝ ද නොවූහ.
ළඟදීම තම දෙමාපියන් සිය වත්පොහෙසත්කම්වලට ගැළපෙන සිටු පුත්‍රයකුට තමා විවාහ කර දෙන බව ඇය දැන සිටියාය. එහෙත් යස ඉසුරු මැද ගෙවන නීරස අලස ජීවිතයට ඇගේ කිසි කැමැත්තක් නොතිබිණ. තමාට ආදරය කළ හැකි, තමාගෙන් ආදරය ලැබිය හැකි, නිදහසේ ඇසුරු කළ හැකි ස්වාමිපුරුෂයකු ගැන ඇය සිහින මැව්වාය.
එක් සැන්දෑවක ඇය උඩුමහලේ සීමැඳුරු කවුළුවෙන් පහළ වීදිය දෙස බලා සිටියාය. ප්‍රභූ නිවාස පිහිටා ඇති මේ පෙදෙස සාමකාමීය. සාමාන්‍යයෙන් පාළු ස්වභාවයක් උසුලයි. අස් රිය හෝ මගීන් හෝ වීදියේ ගමන් කරනු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඈත කඳු මතින් බැස යන හිරුගේ මළානික එළිය පරිසරය වසා පැතිරෙයි. ආත්මානුකම්පාවෙන් ඇගේ දෑස් තෙත් විය.
හදිසියේම ගොනුන්ගේ ගෙල බඳින ගෙජ්ජි වැලක හඬ ඇසෙන්නට විය. හඬ ආ දෙසට ඇය තම දෑස් යොමු කළාය. ටික වේලාවකින් වීදි කෙළවරින් කරත්තයක් මතුවිය. ඇය වුවමනාවෙන් ඒ දෙස බැලුවාය. ආරෝහ පරිණාහ දේහයකින් යුත් – හිස රැවුළු ඇදුණු තරුණයෙක් කරත්තයේ අඹරාව මත වාඩිවී ගොනුන් ඉදිරියට මෙහෙයවමින් සිටියේය. කරත්තය වඩ වඩා ළං වත්ම තරුණයාගේ හැඩරුව වඩාත් හොඳින් දැකගත හැකි විය. ඔහු යළි යළිත් බැලිය යුතු කඩවසම් පෙනුමකින් හා මනා පෞරුෂයෙන් හෙබි මිනිසෙකැයි ඇයට සිතිණ.
තරුණයා දකිත්ම තරුණියගේ සිතෙහි මහත් ප්රහර්ෂයක් ඇති විය. හදවතෙහි පැනනැඟුණු කිසියම් නුහුරු හැඟීමකින් මුළු ගතම වෙළී යන්නා සේ ඇයට හැඟිණ. දිව ගොස් තරුණයාගේ දෙපා වැළඳ හිස ඔසවා ඔහුගේ මුව මඬල දෙස බලා සිටින්නට ඇත්නම් යැයි සිතිණ. ඇය වහා තම සේවිකාව කැඳවා කරත්තකරු පෙන්වා, ඒ කවුදැයි ඇගෙන් ඇසුවාය. ඔහු ඈත පිටිසරක සිට නගරයට මස් වෙළෙඳාමේ එන තරුණයකු බවත් මසකට දෙතුන් වතාවක් ඔහු මෙසේ නගරයට පැමිණෙන බවත් ඇය කීවාය.
ඉක්මනට ගිහිං එයාව මුණගැහෙන්න. මේ මුදල් එයා අතට දීලා එයා ආපහු යන වෙලාව දැනගෙන එන්න කියමින් ඇය දාසිය මහමගට යැව්වාය.
ඔහු ඈත පිටිසර වනගත ගම්මානයක වෙසෙන නේසාද කුලයට අයත් තරුණයෙකි. ජීවිකාව සරි කර ගන්නේ වනයේ උගුල් අටවා මුවන් වැනි සතුන් අල්ලා මරා නගර වැසියන්ට මස් විකිණීමෙනි. එදා රෑ නගරයේ නැවතී පසුදා උදේම උතුරු දොරටුවෙන් පිටත්වී ගම රට බලා යෑම ඔහුගේ අදහසය.
දාසිය ගෙනා මේ තොරතුරු කන වැකුණු තැන් පටන් ඔහු හා පලා ගොස් අලුත් ජීවිතයක් ඇරඹීමේ බලවත් වුවමනාවක් කුමරිය තුළ ඇති විය. තමා වෙසෙන මේ සිරගෙයින් නිදහස් විය හැකි එකම මග එපමණක් යැයි ඒ මොහොතේ ඇයට සිතිණ.
එදා රෑ ඇය සේවිකාවට හොරෙන් තම ඇඳුම්, ආභරණ ආදී ගෙන යා හැකි වටිනා දේවල් පොදියක් කොට බැඳ ගත්තාය. පසුදා උදෑසනින් අවදි වී සේවිකාවට නොදැනෙන සේ බඩු පොදිය ද රැගෙන බිම් මහලට බැස වැලක වනා තිබුණු දාසියකගේ ඇඳුමින් සැරසුණාය. හිස් කළයක් සොයාගෙන ඇඳුම් හා අබරණ පොදිය ඒ තුළ බහා, දාසීන් පැන් ගෙනෙන්නට පැන්තොට බලා යන විට ඔවුන්ගෙන් එකියක මෙන් කළය උකුළේ තබාගෙන, ඔවුන් අතරට වැදී, සිටු මැඳුරෙන් නික්මුණාය. එතෙක් අඳුර පහව නොගියෙන් කිසිවකුටත් ඇය හඳුනාගත නොහැකි විය.
පැන්තොටට ළං වෙද්දී ඇය දාසීන් මගහැර කළය ද ගෙන වහ වහා උතුරු දොරටුව දෙසට පියමැන්නාය. දොරටුව තවම වැසූ ගමන්ය. ඇය දොරටුපාලයන්ට නොපෙනෙන සේ අසල පඳුරකට මුවා වී බලා සිටියාය. මඳ වේලාවකින් කරත්තය එන හඬ ඇසෙන්නට විය. එය දොරටුව අසල නතර කෙරිණ.
දොරටුව ඇරුණු වහා මීදුම කපාගෙන කරත්තය ඉදිරියට ඇදෙන්නට විය. ඇය සැඟවුණු තැනින් ඉදිරියට පැමිණ ඒ පසුපස යන්නට වූවාය. නගරය තවම අවදි වී නැත. කරත්තයත් ඒ පසුපස ඇදෙන තරුණියත් හැර මහමග හිස්ය. වටින් ගොඩින් එළිය වැටෙන විට කරත්තය පසුපස කිසිවකු එන බව තරුණයාට දැනිණ. හැරී බැලූ ඔහු කළයක් උකුළේ තබාගෙන කරත්තය පසුපස ඇදෙන දාසියක දැක්කාය. ඔහු කරත්තය නවතා නුඹ කාගේ කවුද කියා මං දන්නේ නෑ. මගේ කරත්තය පස්සෙන් වැටිලා එන්නේ ඇයි? යනුවෙන් ඇසුවාය.
තමුන් මට එන්න කීවෙ නෑනෙ. මං එන්නෙ මගෙ වුවමනාවටයි. ඒ හින්දා මං ගැන හිතන්නෙ නැතුව තමුන්ගෙ පාඩුවෙ යන්න. තරුණිය පිළිතුරු දුන්නාය.
තරුණයා කිසිවක් නොකියා ඉදිරිය බලා රිය පදවන්නට විය. තවත් දුරක් ගොස් ගැහැණිය තවම සිටින්නී දැයි දැනගන්නට පසුපස හැරී බැලුවේය. ඇය තවම කරත්තය පසුපස ය. ඇය නිසා තමා කිසියම් කරදරයක වැටෙතැයි සිතූ තරුණයා මෙවර තරමක දැඩි ස්වරයෙන් ඇයට කතා කළේය. තමා පසුපස නොඑන ලෙස තරවටු කළේය.
තරුණිය එයින් පසුබට වූයේ නැත. අබරණ පොදිය කළයෙන් ඉවතට ගෙන ඔහුට පෙන්වූ ඇය, වාසනාව පස්සෙන් එන කොට ඒකට පයින් ගහන්නෙ මොන මිනිහා දැයි සන්සුන් ස්වරයෙන් ඇසුවාය.
ඇය සිය කැමැත්තෙන්ම තමා තෝරාගෙන ඇති බව තේරුම් ගත් තරුණයා ඇය තම කරත්තයට නංවා ගත්තේය.
දියණිය නිවසේ නැති බව දෙමාපියන් දැනගත්තේ හෝරා කීපයකට පසුවය. බෙහෙවින් කලබලයට පත් වූ ඔවුහු මැඳුර තුළත්, වත්තේත්, මැඳුර අවටත්, නගරය මුළුල්ලේත් ඇයව සෙවූහ. එහෙත් ඇය තබා, ඇය ගිය තැනක් ගැන හෝඩුවාවකුදු සොයා ගත නොහැකි විය. පුරා සතියක් මුළුල්ලේ ඇය සෙවූ ඔවූහු ඇය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර දැමූහ. ගතවූ දිනවල ඇය කිසියම් කලකිරීමකින් පසුවූ බව සේවිකාවගෙන් දැනගෙන සිටි ඔවුහු ඇය ගඟට පැන දිවි තොර කර ගන්නට ඇතැයි සිතා, ආගමානුකූල කටයුතුවල යෙදී ඇයට පින් පෙත් පැමිණවූහ.
කාලය කෙමෙන් ගෙවි ගියේය. තරුණයාත් තරුණියත් එක ගෙයි වසන්නට වී දැන් සැලකිය යුතු කාලයක් ඉකුත්ව ගොසිනි. දැන් දෙදෙනාම මැදිවියට පත්ව සිටිති. ඔවුන්ගේ පුත්තු ද දැන් විවාහකය. මේ හැමදෙනාම එකම ගෙවත්තේ නිවෙස් තනාගෙන ජීවත් වෙති. පවුලේ ජ්‍යෙෂ්ඨයා තම පැරණි රැකියාව අත්නොහැර කරගෙන යයි. සිටු මැඳුරක සැපවත් ජීවිතය හැර දමා, ඔහු හා සහවාසයට පැමිණි පිය බිරිය පෙර සේම ඔහු ආදරයෙන් රැක බලා ගනී. දඩයම් සඳහා යන විට දුනු ඊතල, දැල් ආදිය නිසි ලෙස සපයමින් ඔහුගේ වෘත්තියට උදවු උපකාර කරයි.
දිනක් මහා කරුණා සමාපත්තියෙන් නැගී ලෝකය දෙස බලන තථාගතයන් වහන්සේට මේ නේසාද පවුල පෙනිණ. පවුලේ හැමදෙනාම සසර පින් පිරූ සෝවාන් මගපල ලැබීමට තරම් නුවණ මේරූ අය බව දුටහ. අනතුරුව මේ පිරිස මුණගැසීම සඳහා හිමිදිරි උදයේ හුදෙකලාවම ගමන් ඇරඹූහ.
මුනීන්ද්‍රයාණන් වහන්සේ වැඩම කළේ ඔවුන් වසන නිවසට නොවේ. දඩයක්කරුවා සතුන් අල්ලා ගැනීම සඳහා උගුල් අටවන දඩබිමට ය. එදින එකම සතකුවත් මළපුඩුවල බැඳී සිටියේ නැත. බුදු පියාණන් වහන්සේ මළපුඩු අසල තම පා සටහන් ඉතිරි වන්නට ඉඩහැර මඳක් ඉවතට වැඩම කොට උසට වැඩුණු පඳුරුවලින් සෙවණ වූ තැනක බිම භාවනා ඉරියව්වෙන් වැඩ සිටියහ.
දඩයක්කරු පුරුදු වේලාවට දඩබිමට ආවේය. කිසියම් අමුත්තක් ඇති බව ඔහු දුර තියාම දැක්කේය. එකද සතකු හෝ මළපුඩුවට ගෙල දී නැත. මෙය මීට පෙර කිසිදාක සිදු නොවූ දෙයකි. ඔහු උගුල් අටවා තිබුණු තැනට ළං වී පිරික්සා බැලුවේය. ඒ අවට කිසිවකුගේ පා සටහන් දක්නට ලැබෙයි. නිසැකයෙන්ම තම සතුරකු කල් ඇතිව පැමිණ උගුල්වල හිරවූ සතුන් මුදා හරින්නට ඇතැයි ඔහු නිගමනය කළේය. ඔහු කෝපයෙන් ඉහවහා ගියේය. එය පාලනය කරගත නොහැකි තරම් බලවත් විය.
ඔහු දුනුදිය මානාගෙන අවට සිසාරා බැලුවේය. කහවත් හැඳගත් මිනිසෙක් මදක් ඔබ්බෙන් තුරු සෙවණැල්ලේ හිඳ සිටිනු ඔහු දුටුවේය. සතුන් මුදා හරින්නට ඇත්තේ මොහු විය යුතුය. ඔහු කවරකු වුවත් ඔහුට සමාවක් දිය නොහැකිය. කුක්කුටමිත්ත නම් දඩයක්කරුවා දුනු හී මානාගෙන තථාගතයන් වහන්සේට මුහුණලා සිටගත්තේය.
ඔහු ඊසරයක් යවන්නට සැරසුණා පමණය. ඔහුට ද අදහා ගත නොහැකි ආශ්චර්යයක් සිදු විය. ඔහුගේ ඉළ ඇටවලත් බාහුවේත් ඉසිලිය නොහැකි වේදනාවක් ඇති වූ අතර තම අත අප්‍රාණික වී යන්නාක් මෙන් දැනිණ. ඔහු හුන් තැනම ගල්ගැසුණේය.
වෙනදා තම සැමියා ආපසු එන වෙලාව ඉක්ම ගොස් බොහෝ කල් ගතවුවත් ඔහු ආපසු නොපැමිණි නිසා බිරිඳ කලබලයට පත් වූවාය. ඔහු ගැන සොයා බලන්නැයි ඇය තම පුතුන් පිටත් කළාය. ඔවුන්ගේ පැමිණීම ද පමා වනු දුටු කල ඇය තමාම සැමියා සොයා ගෙයින් එළියට බැස්සාය. පුතුන්ගේ බිරින්දූවරු ද ඇය පසුපස වැටුණාහ. ඔවූහු වනාන්තරයේ මළපුඩු අටවන තැන සොයා ගියහ.
එහි ළඟා වුණු කාන්තාව මුලින්ම දුටුවේ ගස මුල වැඩ සිටි ශ්රමණයන් වහන්සේය. උන්වහන්සේ දෙසට දුනුදිය මානාගෙන නිසලව සිටින සැමියා හා දරුවන් දුක්කේ ඉන් පසුවය. ශ්රමණයන් වහන්සේ දුටු පමණින්ම ඇය උන්වහන්සේ හඳුනාගත්තාය.
මේ ශ්‍රාවක සංඝයා සමග තම දෙමාපියන්ගේ නිවසේ දානය පිළිගැනීමට වැඩම කළ ගෞතම සර්වඥයන් වහන්සේ නොවේ ද? එකල ඇය තරුණ වියට එළැඹෙමින් සිටි දැරියකි. එදා දන් වළඳා අවසානයෙහි මහා ශ්රමණයන් වහන්සේ අනුමෙවනි බණ දෙසන විට ඇය සකසා බණ ඇසුවාය. දේශනාව අවසානයෙහි තම සිතෙහි කිසියම් ආකාරයක පෙරළියක් ඇති වූ බව ඇයට දැනෙන්නට විය. සිටු මැඳුරේ ගෙවූ ජීවිතය පිළිබඳ කලකිරීමක් ඈ තුළ ඇති වූයේ ද මේ බණ ඇසූ දවසේ සිටය.
ඇය හඬාගෙන ශාස්තෲන් වහන්සේගේ දෙපා මුල වැටුණාය. අනේ මගේ පියාණන්ට කරදරයක් කරන්න එපා. අනේ මගේ පියාණන්ට කරදරයක් කරන්න එපා. කියමින් විලාප නගන්නට වූවාය.
ඇගේ විලාපය කන වැකෙන විට කුක්කුටමිත්තගේ සිතෙහි මහත් වරදකාරී හැඟීිමක් ඇති විය. තමා මේ විද මරන්නට ඇරසුණේ තමාගේම මාමණ්ඩිය නොවේ ද? පුතුන් තුළ ද මේ හැඟීමම ඇති විය. මේ පැමිණ සිටින්නේ තම මවගේ පියාණන් වහන්සේය.
බුදු පියාණන් වහන්සේ මෙත් සිත පතුරුවමින් මහා කරුණා ඇසින් පිරිස දෙස බැලූහ. තමන් බැඳී සිටි බන්ධනය ඉවත් වී ඔවුනට සැහැල්ලුවක් දැනිණ. සියළුදෙනාම දුනු හී ඉවත දමා බුදු පියාණන් වහන්සේගේ දෙපා මුල වැටී සමාව අයැද සිටියහ. දහම වටහා ගැනීමට තරම් ඔවුන්ගේ සිත් මුදු වී ඇති බව වටහා ගත් සර්වඥයන් වහන්සේ, එම ස්ථානයේදීම පිරිසට ධර්ම දේශනා කළහ. ඒ දහම ඇසූ දඩයක්කරුවාත් ඔහුගේ පුත්තුත් පුතුන්ගේ බිරින්දූෑවරුත් සෝවාන් වූහ. ඔවූහු යළි කිසි දිනක ප්‍රාණඝාතය සිදු නොකරන තෙරුවන් සරණ ගිය උපාසක – උපාසිකාවන් පිරිසක් බවට පැමිණියහ.
බුදු පියාණන් වහන්සේ පෙරළා ආරාමයට වැඩම කළ විට ,ස්වාමීනි ඔබවහන්සේ මෙපමණ වේලාවක් කොතැනකට වැඩි සේක්දැ යි ආනන්ද හිමියෝ ප්‍රශ්න කළහ. තමා කුක්කුටමිත්ත නේසාද පුත්‍රයා සොයා ගිය බවත් ඔහු ද ඔහුගේ දරුවන් ද ලේළිවරුන් ද සෝවාන් වූ පුවතත් තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන්ට හා රැස්ව සිටි භික්ෂු පිරිසට පැවසූහ.
මේ පුවත ඇසූ එක් භික්ෂුවක් ,ස්වාමීනි ඔහුට බිරිඳක් නැද්දැ,යි විමසා සිටියේය.
ඔහුට බිරිඳක් ඉන්නවා. ඇය තම සැමියා ළඟට එන්නටත් පෙර කුලකුමරියකව සිටි අවධියේම සෝවාන් වූ උපාසිකාවක්, යනුවෙන් බුදුන් වහන්සේ ඇගේ ස්වභාවය පැහැදිලි කළහ.
මෙම පැහැදිලි කිරීම ඇතැම් පාථග්ජන භික්ෂූන් තුළ කුතුහලයක් ඉපිදවීය.
කුක්කුටමිත්තගේ බිරිඳ සෝවාන් වූ උපාසිකාවකි. එහෙත් ඇය දඩයමේ යන තම සැමිියාට ඒ සඳහා උදව් උපකාර කරයි. දිනපතා ඔහුට අවශ්‍ය දුනු ඊතල වැනි කළමනා සකස් කර දෙන්නේ ඇයයි. සෝවාන් වූවෝ ප්රණඝාතයේ යෙදෙත් ද?,
දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා අතර මේ ගැන සාකච්ඡා ඇති විය. එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේලා මේ ගැන විමසූහ. එහිදී තථාගතයන් වහන්සේ දුන් පිළිතුර මේ ගාථාවෙහි ගැබ්වෙයි.
අකුසල කර්ම (හෝ කුසල කර්ම) සිදු වන්නේ චේතනාව මුල්කරගෙන ය. චේතනා උපදවා ගෙන සිතින් කයින් හෝ මනසින් කර්ම සිදු කරයි. (චෙතනා හං භික්ඛවෙ කම්මං වදාමි. චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා) සොතාපන්න ශ්‍රාවිකාවක වූ කුත්කුටමිත්තගේ බිරිඳ තුළ ප්‍රාණඝාත චේතනාවක් නොවීය. ඇය සිය සැමියාට දුනු ඊතල සපයා දුන්නේ ඔහු ලවා ප්‍රාණඝාත අකුසලය සිදු කරවීමේ අදහසින් නොව හුදෙක් සැමියාගේ කර්මාන්තයට උපකාර කිරිමක් වශයෙනි. සැමියාගේ කර්මාන්තයට උපකාර කිරීම සුවච කීකරු බිරිඳකගෙන් අපේක්ෂා කළ
සත්ක්රියාවක් වූ අතර එය ශාස්තෲන් වහන්සේ පවා අනුදැන වදාළ බව ඇතැම් සූත්‍ර දේශනාවලින් පෙනේ. කුක්කුටමිත්තගේ බිරිඳ අතින් පාපයක් සිදු නොවූ බව පැහැදිලි කිරීමට බුදුපියාණෝ අපූරු උපමාවක් ගෙනහැර දක්වති. තුවාලයක් සහිත අතකින් විෂක් ඇල්ලූ විට විෂ ශරීරගත වෙයි. අත්ලෙහි තුවාලයක් නැති කල විෂ අතින් ගත්ත ද එය ශරිරයට ඇතු`ථ නොවේ. එමෙන් චේතනාන්විතව පාප ක්‍රියාවන්හි නොයෙදෙන්නාට පව් සිදු නොවේ.
අශෝක භද්‍ර

