කපිල පීරිස්
සත්ත්වයා යනු නාම-රූප ක්‍රියාවලියයි. සත්ත්වයාගේ අභ්‍යන්තර රූප ලෙස ගත හැක්කේ ෂඩ් ඉන්ද්‍රිය ආශ්‍රිත ප්‍රසාද රූපයන්ය. මේ රූප ඇසුරු කරගෙන නාමය එනම් මූලික වශයෙන් ඵස්ස, වේදනා, චේතනා, සංඥා, මනසිකාර පවතියි. මේ නාමධර්ම මගින් මෙහෙයවන චිත්ත වීථි (ඉන්ද්‍රියවලට අරමුණු ගැටුණු විට) එනම් සිත් වැල් ඇති වේ. මේ සිත්වල මේ මූලික නාම ධර්මවලට අමතර ව විවිධ කෙලෙස් ධර්ම ඇසුරු කර ගත් විවිධ දිට්ඨි-සංස්කාර ගොඩනැඟී ඇත. මේ දිට්ඨි (විවිධ කැමැති-අකැමැතිකම් මත නිමැවුණ) පොදියක් ‘මම’ ලෙස සකසාගෙන ඇත. එය සක්කාය දිට්ඨියයි. එලෙස ම මේ පොදිය මගේ ලෙස ද දැක්වේ. තව ද මෙලෙස ගත් විට මේවා ‘මම’ට අවශ්‍ය පරිදි ‘මම’ ගේ වසඟයේ තබා ගැනීමට පෙලඹීම ද සිදු වේ. එනම් ඒවා මගේ ආත්මය ලෙස ද ගැනේ. මේ පසුබිමේ ෂඩ් ඉන්ද්‍රියනට ලැබෙන විවිධ අරමුණු (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනෝ ධර්ම) අවසානයේ මනසින් සැකසී සූක්ෂම වේදනා ඔස්සේ (පළමු උල ඇනීම) විතර්ක (අපට දැනෙන සිතුවිලි, අදහස් හැඟීම්) බවට පෙරළේ. මේ විතර්ක-සිතුවිලි-හැඟීම්, දැනටමත් සිතේ පැළපදියම් වී ඇති විවිධ කැමැති-අකැමැතිකම් මත සැකසුණ දිට්ඨි-සංස්කාර සමඟ ගැටීමේ දී (ඵස්සය) ඒවා ඒ දිට්ඨි සමඟ පෑහෙන විට සුඛ වේදනා ද, නො පෑහෙන විට දුක් වේදනා ද හටගනී. ඒ දෙකේම මිශ්‍රණයක් ලෙස ඇතැම් විට අදුක්ඛමසුඛ වේදනා ඇති වේ. සුඛ වේදනා රාගයෙන් මෙහෙයවී ඒවාට ඇලී ඒ අදාළ දිට්ඨි සංස්කාර තවත් වැඩි කරගමු. තර කර ගමු. දුක වේදනා ද්වේශයෙන් බැහැර කරමින් ඊට ප්‍රතිවිරුද්ධ දිට්ඨි-සංස්කාර ගොඩනඟමු. අදුක්ඛමසුඛ අවස්ථාවේ දී මෝහයෙන් වෙළී විවිධ දිට්ඨි-සංස්කාර කරගමු. මේ ක්‍රියාවලිය යනු අනෙකක් නො ව ‘දුක’ (දෙවැනි උල ඇනීම) යන්න ය. එසේ ම මතු විඤ්ඤාණ පහළ වීමට අදාළ කර්ම-සංස්කාර ගොඩනැඟීම ය. ඉතා කෙටියෙන් ගත් කල පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය යනු මෙයයි. අභිධර්මයේ දැක්වෙන චිත්ත වීථි ක්‍රියාවලිය මෙන්ම මධුපිණ්ඩික සූත්‍රයේ දැක්වෙන ක්‍රියාවලිය ද මෙයම ය. අප මේ මොහොතේ ද දුක් විඳිමින් අනාගතයේ දී මෙවැනි ම දුක් ගොන්නක් සඳහා ඉවහල් වන සංස්කාර-කර්ම ගොඩනඟාගන්නේ මෙපරිදි ය. පටිච්ච සමුප්පාදය යනු ද මෙයයි.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරන්නේ මේ ක්‍රියාවලිය නවත්වා ගැනීම පිළිබඳව ය. ඇත්තට ම මේ ක්‍රියාවලියේ ඉන්ද්‍රිය සහ අරමුණු ගැටීම සමඟ ඇති වන ඵස්සය (අදාළ විඤ්ඤාණය පහළ වී) නිසාය වේදනා හට ගන්නේ. (පංච නියාමය තුළ) අපට දැනෙන්නේ අප විඳින්නේ මේ වේදනාව ය. ඇත්තට ම අපව (මුළු ලෝකය ම) මෙහෙයවන්නේ මේ වේදනාව ය. මේ වේදනාවලට ඇලීම, ගැටීම, මුළාවීම ය අනතුරු ව සිදු වන්නේ. මේ ක්‍රියාවලිය යනු අනෙකක් නො ව දුක යන්නය. මනසිකාර චෛතසිකයට මැදිහත් විය හැක්කේ මේ අවස්ථාවේදී ය. මනසිකාරය යෝනිසෝ මනසිකාරය (වේදනා ඇතිවන අයුරු, එහි උපත මැනවින් දැන) වී, මේ වේදනාවලට ඇලී, ගැටී, මුළාවට පත්වන තත්ත්වය (චේතනා මගින්) මැඩ පැවැත්විය හැකිය. එවිට තව දුරටත් දුක් ඇති වීම (ජවන සිත්වලදී) සහ සංස්කාර-කර්ම ගොඩනැඟීම පාලනය කරගත හැකි ය.
මේ සඳහා උපයෝගි කරගත හැකි එක් සරල ක්‍රමයක් වන්නේ මේ වේදනාවල (මූලික ඉන්ද්‍රිය ඇසුරු කරගත් සහ පසුව ජවන සිත්වල ඇති වන) අනිත්‍යය මෙනෙහි කිරීම ය. එවිට මේ වේදනාවල උපාදාන විය යුතු එනම් ඇලීම්/ගැටීම් මුළාවීම් ඇති කරගත යුතු කිසිවක් නොමැති බැව් පෙනී යනු ඇත. භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වේදනා යනු වහා ඇති වී නැති වී යනු දිය බුබුළු වැනි බව ය. එලෙස ම මෙහි දී සලකා බැලිය යුතු තවත් ඉතා වැදගත් කාරණයක් ඇත. එනම් මේ වේදනා ඇති වන්නේ ඉන්ද්‍රිය ස්පර්ශ ඇසුරු කරගත් විතර්ක සිතේ ඇති දිට්ඨි-සංස්කාර සමඟ ගැටීමේ දී – සැසඳීමේ දී බව යන්න ය. එපමණක් නො ව මේ විවිධ විතර්ක ඇති වන්නේ ද සිතේ ඇති දිට්ඨි-සංස්කාර නිසා ය. විවිධ බාහිර වස්තු, තත්ත්ව, බලවත්කම්, තාන්නමාන්න ආදිය සඳහා ඇති කැමැති-අකැමැති දිට්ඨි පොදියක් අප සිත් තුළ පවතින විට ඒවා ඇසුරු කරගත් අනාගත බිය, අතීතපශ්චාත්තාප, ඒවා ප්‍රමාණවත් නැත ආදි හැඟීම්, වෙනත් කටයුතු කිරීමට ඇති කම්මැලි උදාසීන ගති, ඒවා නැති වීමේ දී වන ද්වේශය, ඒවා වැඩි කරගැනීමට ඇති රාගය, අනෙක් අයගේ ඒවා සමඟ සැසඳීම තුළ ඇති වන මානය පෙරටු කරගත් ඊර්ෂ්‍යාව වැනි අනේකවිධ දුක් දොම්නස් සහිත පීඩාකාරී වේදනා අප තුළ ඇති වේ. අනතුරු ව ඒ ඔස්සේ කයින් වචනයෙන් ක්‍රියාත්මක වී ඒ තුළ තවදුරටත් වචී කර්ම ද රැස් කරගමු. අප ඇත්තට ම එකිනෙකා පෞද්ගලික ව දුක් විඳින්නේ මේ ආකාරයට ම ය. එම දුකේ අති ප්‍රධාන සංරචකය ඇත්තේ චිත්තාභ්‍යන්තරයේ ය.
චිත්තාභ්‍යන්තර විතර්ක-වේදනාවල අනිත්‍යය නො දැන සුඛ වේදනාවල ඇලෙමින්, දුක වේදනාවල ගැටෙමින්, අදුක්ඛමසුඛ ඒවායේ මුළාවෙමින් දිගට ම සුඛ වේදනා හොයමින් පොරකෑම ය, ඇත්ත වශයෙන් ම දුක. ඉතින් මේ විතර්ක-වේදනාවල අනිත්‍යය දකිත හැකි නම් ඒවා අත්හැරිය හැකි ය. එලෙස දුක ඇති වීම අඩු කරගත හැකි ය. එලෙස ම මෙහි දී සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණයක් ඇත. එනම් ඉහත ද සඳහන් කළ පරිදි මේ අපට විවිධ සිතුවිලි-හැඟීම් එනම් විතර්ක ඇති වන්නේ සිතේ පවතින අප දැඩි ලෙස ඇලී සිටින විවිධ කැමැති-අකැමැතිකම් සහිත දිට්ඨි -සංස්කාර නිසා බව ය. මේවා නොමැති නම් ඒවා ඇසුරු කරගත් විතර්ක ඇති නො වනවා පමණක් නො ව ඒ විතර්කවල ගැටීමට සැසඳීමට හේතු සාධක ද නැත. ඒ අනුව මේ දුක ඉපැදීමේ ක්‍රියාවලියේ දී අපේ සිත්වල පවතින කැමැති-අකැමැතිකම් මත පදනම් වූ දිට්ඨි-සංස්කාර ද අතිශය ප්‍රබල ලෙස ඉවහල් වේ. එහෙත් භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ දිට්ඨි-සංස්කාර යනු කෙසෙල් කඳක් වැනි හරයක් නොමැති දැ බව ය. කෙසෙල් කඳක් දිගින් දිගට ම පතුරු ගසාගෙන ගිය හොත් අවසානයේ ඉතිරි වන කිසිවක් නැත.
එලෙස ම මේ චිත්තාභ්‍යන්තර දිට්ඨි-සංස්කාරවල ද දිගින් දිගට ම විශ්ලේෂණය කළ හොත් (ප්‍රඥාවෙන්) කිසිදු හරයක්, හමු නො වේ. ඒවාට අප කැමැති-අකැමැති විය යුත්තේ ඇයි, ඒවා සමඟ අපේ සැප, දුක, සෝමනස්ස බැදී ඇත්තේ කෙලෙසක ද ආදි ලෙස විමසුව හොත් එහි ඇලී/ගැටීමට කිසිවක් නොමැති හිස් දෑ බව පෙනී යනු ඇත. අප මේ හිස් බව නො දැන-නොදැක ඒවා ගලේ කෙටූ පිඹුරුපත් ලෙස ගෙන අපේ සෝමනස්සයන්/දෝමනස්සයන් මේවා සමඟ අත්‍යන්තයෙන් බැඳී ඇත, ඉන් මෙපිට සෝමනස්සයන්/දෝමනස්සයන් නොමැත ආදි ලෙස ගත් විට ඒ දිට්ඨි-සංස්කාර ප්‍රබල වී දුක ඇති කෙරීම තීව්‍ර කරනු ඇත.
ඇත්තට ම මේ දිට්ඨි-සංස්කාර (එනම් විවිධ කැමැති-අකැමැතිකම් මත පදනම් වූ) සහිත මනස් යනු අනෙකක් නො ව තත්වාරෝපිත මනස ය. (conditioned mind) අජාන් ස්වාමින් වහන්සේලාගේ මූලික දේශනාවන් වන්නේ මේ තත්ත්වාරෝපිත මනස නැති කරගැනීම පිළිබඳව ය. (becoming unconditioned mind) එවිට මනසේ විවිධ කැමැති-අකැමැති කම් සහිත එනම් සෝමනස්ස/දෝමනස්ස ගෙන දේ වි යැ යි සිතන දිට්ඨි-සංස්කාර නැත. එවිට විතර්ක මැනීමට මිම්මක් නැත. එවිට කායික වේදනාවලින් ඔබ්බට ගිය මානසික සෝමනස්ස දෝමනස්ස නැත අවේදයිත සුවය යනු එයයි.
මේ දිට්ඨි-සංස්කාරවලින් විනිර්මුක්ත වූ මනස පිරී පවතින්නේ කුසලයෙන් ය. සමස්තයක් ලෙස ගත හොත් සතර බ්‍රහ්ම විහරණයන් ය. එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ෂාවලින් ය. මේවා සංස්කාර නො වේ. මේවා, කැමැති-අකැමැතිකම් අරුත් ගන්වන මාන නො වේ. මේවා අප්‍රමාණ චෛතසික ලෙස හඳුන්වන්නේ ඒ නිසා ය. මේවායින් මනස තත්වාරෝපිත නො වේ. මෛත්‍රිය යනු තත්වාරොපිත නො වූ (කැමති-අකැමැති නො වූ) මිත්‍රත්වයයි. (unconditioned friendship.)
මේ අනුව විවිධ කැමැති/අකැමැතිකම් සහිත දිට්ඨි-සංස්කාරවලින් මිදීම දුකින් මිදීමේ වැදගත් සන්ධිස්ථානයකි. එනම් තත්වාරෝපිත මනසින් මිදීම යන්න ය. මේ සඳහා උපයෝගිකර ගත හැකි වැදගත් ම උපදේශය වන්නේ මේ දිට්ඨි සංස්කාර කෙසෙල් කඳක් වැනි ය යන භාග්‍යවතුන්වහන්සේගේ දේශනාව මෙනෙහි කිරීම ය. තත්වාරෝපිත මනසින් මිදුණු කෙනාගේ මනසේ පවතින්නේ මූලික වශයෙන් සතර බ්‍රහ්ම විහරණයයි. ඊට අමතර ව එදිනෙදා ජීවිතයට අදාළ විවිධ සම්මුති දැනුම් ය. මෙවැනි මනසක අසහනකාරී, පීඩාකාරි විතර්ක ඇති වන්නේ නැත. ඇත්තට ම එවැනි මනසක එවැනි විතර්ක අර්ථවත් වන්නේ නැත. ඉතින් එවැනි සුවයක් තවත් කොයින් ද?
මේ අනුව අපට සෝමනස්සයන්/ දෝමනස්සයන්/අදුක්ඛමසුඛ වේදනාවන් පැමිණි විගස ඒ වේදනාවේ අනිත්‍යය (ඇත්තට ම මනසට ගෝචර වූ ඒ දුර්වල සූක්ෂම නිමිත්ත ඔස්සේ චේතනාව නිසා ගොඩනැඟන වේදනා සංස්කාරවල අනිත්‍යය) මෙනෙහි කළ හැකි ය. එසේ ම ඊට පදනම් වූ විතර්ක අරුත් ගැන්වූ අදාළ මානසික තත්වාරෝපිතය එසේ නොමැති නම් කැමැති/ අකැමැතිකම් මත ගොඩනැඟුණ දිට්ඨි-සංස්කාරයේ හරසුන් (කෙසෙල් කඳේ උපමාව) බව මෙනෙහි කළ හැකි ය. එමගින් ඒ විතර්කය ඔස්සේ දිගින් දිගට ම වේදනාව ක්‍රියාත්මක වෙමින් දුක් විඳිමින් තවදුරටත් කර්ම රැස්වීම මැඬ පවත්වා ගත හැකි ය. මේ සඳහා අවශ්‍ය වන්නේ සිහිය සහ නිවැරදි ධර්ම දැනුම ය. එවිට අදාළ යෝනිසෝමනසිකාරය ක්‍රියාත්මක වේ. මේ සියල්ල සඳහා අපට පිහිට වන්නේ නාම ධර්මයන්හි අඩංගු මනසිකාරය යන චෛතසිකයයි. නිර්වාණාවබෝධය තෙක් අපට සිටිනා එක ම මිතුරා මේ මනසිකාර චෛතසිකයයි.
පංච නියාමධර්ම තුළ ක්‍රියාත්මක ලෝකයේ සතුට පතා අපි විවිධාකාරයට අපගේ මනස් තත්වාරෝපණය (conditioned) කරගෙන සිටිමු. මෙසේ වන්නේ අවිද්‍යාව නිසා ය. (අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර නිමැවේ). මේ තත්වාරෝපණයෙන් අනිත්‍ය වන අතර ඒවා කිසිවක් අපගේ වසඟයෙහි තබා ගැනීම ද කළ නොහැක්කකි. මේ සියල්ලට ම වඩා මේ තත්වාරෝපණ ඇති වූ විගස ඒවා ඇසුරේ අනිත්‍ය වූ විවිධ විතර්ක පහළ වේ. මේ සමඟ ඇති වන සෝමනස්ස-දෝමනස්ස වේදනා ය ඇත්තට ම දුක. ඒ නිසා ඇත්තට ම මේ තත්වාරෝපණවල හරසුන් හිස් බව (කෙසෙල් කොට) සහ ඇසුරේ හටගන්නා විතර්ක සමඟ ඇති වන වේදනාවල අනිත්‍ය දැකිය හැකි නම් මේ අවසානයේ ‘දුක’ උපදවන ක්‍රියාවලියෙන් ක්‍රමයෙන් මිදිය හැකි ය. එයයි දුකින් මිදීම.
පංචනියාම ධර්ම තුළ ක්‍රියාත්මක නාම-රූප සත්ව ක්‍රියාවලියෙහි සවිඤ්ඤාණ සංරචකය තම වේදනා චෛතසිකය සෝමනස්ස කර ගැනීම උදෙසා විවිධාකාරයට මනස තත්වාරෝපණය කරගෙන ඇත. එනම් සොබා දහමේ කොටසක් තම සතුට වෙනුවෙන් තම වසඟයෙහි තබා ගත හැකි ය ලෙස හෝ වෙන් කරගෙන ඇත. ඒ කොටස ‘මම’ වන අතර එය මගේ ද කරගෙන සිටී.
එහෙත් මේ තත්වාරෝපණයන් යනු අවිද්‍යාව නිසා හටගත් හුදු මායාවන් පමණි. මේ තත්වාරෝපණයෙන් මනසට දිගටම සතුට-සෝමනස්ස වේදනා ලද නොහැකි ය. මන්ද මේ තත්වාරෝපණයන් යනු හුදෙක් සොබාදහම් ක්‍රියාවලියට පටහැනි ව ‘මම’ නමැති තත්වාරෝපණය මඟින් කෘත්‍රිම ව නිමවන ලද ඒවා ය. මේ තත්වාරෝපණයෙන් ඇතිතාක් විවිධ විතර්ක ගොඩනැඟෙමින් ඒ තත්වාරෝපණ සමඟ ගැටෙමින් දිගට ම සෝමනස්ස-දෝමනස්ස, මැදහත් වේදනා ඇති කරයි. සෝමනස්ස සඳහා මනස පොරබඳියි. එයයි දුක. තත්වාරෝපණවලින් මිදුණ මනස නිශ්චල ය, ශාන්ත ය. එය පිරී පවතින්නේ තත්වාරෝපණය නො වූ කුසලයෙන් ය. එවිට ඒ උතුමාණන්වහන්සේ තත්වාරෝපණවලින් මිදී එනම් සසරින් මිදී එහෙත් පිරිනිවන්පාන තෙක් මේ ලෝකයේ ජීවත් වේ. ඒ උතුමා සසරේ දුක කෙළවර කිරීම සඳහා වන ලෞකික-ලෝකෝත්තර සියල්ල නිම කර ඇත.
තත්වාරෝපණයන්ගෙන් මිදුණ කෙනා යනු වචනයේ පරිසමාප්ත අරුතෙන් ම විවෘත මනසක් ඇත්තෙකි. කැමැති -අකැමැති දෘෂ්ටිවලින් තොර ව එහා ලෝකය ඉතා නිවැරදි ව, සැබෑ ලෙස ම නිරීක්‍ෂණය කරයි. ඒ අනුව සතර බ්‍රහ්ම විහරණය තුළ කළ යුත්ත කරයි. ‘මම’ට සාපේක්‍ෂ ව කිසිවක් එයට නැත. ‘මම’ සහ ‘මම’ කැමැති-අකැමැති ලෙස වන විකෘති දිට්ඨිවලින් එහා ලෝකය වනසන්නේ නැතෟ ඒ උතුමාට දිට්ඨි නැත. ඒ නිසා මාන (කිසිවක් මැනීමට මිමි නැත) නැත, ඒ නිසා ම ඒවාට තණ්හා වීමට අවශ්‍යතාවයක් නැත.