පූජ්‍ය වතවන සිරිසුමන නාහිමිපාණෝ

rashi
By rashi
6 Min Read

සටහන – පිටකෝට්ටේ නිල්මිණි ගාල්ලගේ

2025 පෙබරවාරි මස 8 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි ශ්‍රී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී “මංගල ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම” අභිධානයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලද කොළඹ 06, වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමාධිපති, ශාස්ත්‍රපති වතවන සිරිසුමන ස්වාමීන් වහන්සේ ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සටහනකි.

අ.වි. අප්පුහාමි සහ ඩබ්.ජී. දයාවතී දෙපළ ගාල්ල, ඉමදූව – වතවන ග්‍රාමයේ දිවි ගෙවූ, නිරහංකාර, අහිංසක අඹු සැමි යුවළකි. ඉතා සාමකාමී දිවියක් ගත කළ මෙම යුවළට දූවරු තිදෙනෙක් ද, පිරිමි දරුවන් තිදෙනෙක් ද වූහ. එම පිරිමි දරුවන් අතුරින් දෙචැන්නා ලෙස සුමනසිරි කුමරුවා වර්ෂ 1958 බක් මස 15 වෙනි දින අවුරුදු සුවඳ මධ්‍යයේ උපත ලද්දේ ය.

නිසි කල දී පාසල් දිවිය ඇරඹූ සුමනසිරි දරුවා ගාල්ල,මාවැල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් 4 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා වර්ෂ 1968 දී මංගල ධර්මකීර්ති ශ්‍රී වතවන ශ්‍රී ධර්මාභිධාන කොළඹ පළාතේ ප්‍රධාන සංඝ නායක හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට වයස අවුරුදු 10 දී පැවිදි බිමට පත්වූහ. මෙහි දී අපූරු සිදුවීමක් සිදු විය. පැවිදි කිරීමේ පින්කමෙහි දේශනය සඳහා එහි වැඩමවා වදාළ මහාචාර්ය ගරු පූජ්‍ය කොටගම වාචිස්සර නා හිමිපාණෝ සුමනසිරි කුමරු ගේ නම දෙපිට පෙරළා “සිරිසුමන” නමින් නම තැබූහ. ඒ අනුව උන්වහන්සේ එතැන් පටන් වතවන සිරිසුමන නම් වූහ. අනතුරුව වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයෙහි වැඩ වසමින් අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු පිරිවෙනකට ඇතුළත් වන තෙක් වූ කෙටි විරාම සමය තුළ බුද්ධ ගජ්ජය, සකස්කඩය යනාදිය මනාකොට වනපොත් කළහ.

නොබෝ කලෙකින් දෙහිවල ශ්‍රී සුමනතිස්ස මූලික පිරිවෙනට ඇතුළත් කරවනු ලැබූ සිරිසුමන හිමියෝ මූලික පිරිවෙන් අධ්‍යාපනයේ සිට පිරිවෙන් අවසානය දක්වා එකී පිරිවෙනෙහි ඉතා හොඳින් අධ්‍යාපනය ලෑබූහ. පසුව හුනුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේෂ්වර පිරිවෙන ට ඇතුළත්ව උසස් පෙළ හදාරා කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ට ඇතුළත් ව වර්ෂ 1984 දී ශාස්ත්‍රපති උපාධිය ට හිමිකම ලැබූහ. වර්ෂ 1985 දී උන්වහන්සේ ට රජයේ පාසල් උප ගුරු පත්වීමක් ලද බැවින් අනුරාධපුර දිස්ත්‍රික්කය ට වැඩම කළහ. ඒ අනුව එක් එක් කාලයෙ හි පදවිය, තන්තිරිමලය, නොච්චියාගම,විල්පත්තුව හා තලාව යනාදී ප්‍රදේශවල පාසල් කිහිපයක ඉගැන්වීමේ යෙදුණහ. ඉනික්බිති වර්ෂ 1990 ජනවාරි මස කොළඹ නාලන්දා විද්‍යාලය ට ස්ථාන මාරුවක් ලබා වැඩම කර එහි ධර්මාචාර්ය වරයෙකු ලෙස සේවය කළහ. එහි පුරා වසර 28 ක සේවා කාලයකින් පසුව සහකාර විදුහල්පතිවරයකු ලෙස ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ.

එවකට විහාරාධිපති ධුරය දැරූ මංගල කීර්ති ශ්‍රී වතවන ශ්‍රී ධර්මාරාම නා හිමිගේ අපවත්වීමෙන් පසු එම භාරදූර තනතුරට සිරිසුමන හිමි පත්වූයේ වර්ෂ 1992 දීය. එයින් පසු උන්වහන්සේ දෙස් විදෙස් සංචාරවල යෙදෙමින් ශාසනික කටසුතුවල ද යෙදුන හ. සංචාරය කළ විදෙස් රටවල් වූයේ ඉන්දියාව, එංගලන්තය, ජපානය, අමෙරිකාව, ඔස්ටේ්‍රලියාට හා කැනඩාවයි.

පූජ්‍ය වතවන සිරිසුමන හිමියෝ තම දායක කාරකාදීන් ගේ ගැටලු පිළිබඳව සංවේදී වන කාරුණික හදවතකින් යුක්ත වන්නා හ. එනිසා ම ගැටලුවක් සමග උන්වහන්සේ හමුවට එළැඹෙන ඕනෑම අයෙකු ආපසු පිටවන්නේ සාධනීය පිළිතුරක්,සහනයක් ලබා සිතේ සැහැල්ලුවෙනි.

එසේම උන්වහන්සේ සතු පරහිතකාමී ගුණය අප්‍රමාණ වේ. මේ බව සනාථ කරවන කරුණු රැසකි. ඉන් පසුගිය කොරෝනා වසංගත සමයේ උන්වහන්සේ කටයුතු කළ අයුර විශේෂිත ය.

එසමයෙ හි විහාරයේ ප්‍රධාන ප්‍රවේශ දොරටුව වසා දැමීමට උන්වහන්සේ අකමැති වූහ. දුකට පත් දායකයෙකු ට තම දුක නිවාගැනීම, භාර හාර වීම යනාදිය සඳහා දැඩි නිරෝධායන උපදෙස් ද අනුගමනය කරමින් විහාරස්ථානය විවෘත ව තැබීමට එතුමෝ කටයුතු කළහ. එමතු ද නොව දෙස් විදෙස් හි එකල මියගිය ලක් වැසියන් බොහොමයක ගේ පාංශුකූල කටයුතු නව මාර්ගස්ථ තාක්ෂණය ඔස්සේ සිදු කරමින් මහඟු ශාසනික සේවයක් ඉටු කළහ.

ශ්‍රී ලංකා පදනම් ආයතනය යටතේ ළමා මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ පශ්චාද් උපාධිධාරී අප අනු නායක හිමියෝ බම්බලපිටිය ජාතික නිවාස සංගමයේ හා වැල්ලවත්ත තරුණ බෞද්ධ සංගමයේ ගරු අනුශාසක ධුරය දරති. ගාල්ල, පිළාන ශ්‍රී මහා විහාරය හා කොළඹ, පාමංකඩ ශ්‍රී මහා විහාරය යන උභය විහාර සඟ පරපුර ට අයත් උන් වහන්සේ සිනමා කලා ක්‍ෂේත්‍රයට ද දායකවීමට වරම් ලදහ. ඒ මීට වසර කිහිපයක ට පෙරාතුව මෙරට අති සාර්ථක ව තිරගත වූ, භාරත නළු නිළි දෙපළක් ප්‍රධාන චරිත පණ පෙවූ, නවීන් ගුණරත්න මහතාගේ නිෂ්පාදන සැළසුම්කරණයෙන් නිර්මාණය වූ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” සිනමා පටය වෙනුවෙන් පිහිටුවන ලද උපදේශක මණ්ඩලයේ ගරු සාමාජිකත්වය ලැබීමෙනි.

සිය ආදරණීය මව් පිය දෙදෙනා තම විහාරස්ථානයේ නේවාසිකව තබා ගනිමින් ඔවුන ගේ දිවි නිමවන තෙක් සියලු ඇප උපස්ථාන සියතින් ම ඉටුකරමින් අති මහත් ආදර්ශයක් දීම ට වතවන සිරිසුමන ස්වාමීන් වහන්සේ කටයුතු කළේ උදාර කෙළෙහි ගුණ දත් දරුවකු ලෙස සමාජයට ආදර්ශයක් දෙමින් ය.

පුරා වසර 56 ක සුපේශල ශික්ෂාකාමී පැවිදි ජීවිතයක් හිමි, වසර 46 ක උදාර පැවිදි උපසම්පදා ශීලෝපේත අප අනුනා හිමිපාණන් වහන්සේ සිය විහාරස්ථානය අවට අසල්වාසී ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව අතර ඉතා සුහදශීලීව හා සහජීවනයෙන් වාසය කිරීම ප්‍රශංසනීය.

සාහිත්‍ය චක්‍රවර්ති දිවංගත ඩබ්.ඒ. සිල්වා පදනමේ ගරු සභාපති ධුරන්ධර අප අනුනා හිමියෝ සිල්වා මහතා ජීවත් වූ නිවසෙහි වත්මන් හිමිකාරිත්වයෙන් පුද ලබන්නට තරම් පින් මහිම ලද්දා හ. වත්මන එම නිවසෙහි “ඩබ්.ඒ. සිල්වා අනුස්මරණ භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරය” එහි පිහිටුවා සිංහල සාහිත්‍යාම්භරය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් උන්වහන්සේ ඉටුරති.

විහාරස්ථානයේ වත්මන් දියුණුවට අප්‍රතිහත ධෛර්යයෙන් හා සතර පේරුවේ දායක කාරකාදීන්ගේ සහයෙන් උන්වහන්සේ සසුන වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළහ. ඉටු කරමින් සිටිති. මෙවන් වූ ගුණ සමුදායකින් හෙබි අනුනා හිමිපාණන් වහන්සේ ට කෝට්ටේ කල්‍යාණි ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ, කොට්ටේ විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝ නායක මංගල ධර්ම කීර්ති ශ්‍රී ධර්මාරාම ගරු පූජ්‍ය වතවන සිරිසුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ශතවර්ෂයාධික කාලයක් ජාතික, ශාසනික සේවාවක් ඉටුකිරීම ට ත්‍රිවිධ රත්නයේ පූර්ණ ආශිර්වාදය ලැබේවා! යි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනය කරමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *