මහානාම ශාක්‍යයෝ

rashi
By rashi
9 Min Read

නිශාදිනී පීරිස්

මහානාම ශාක්‍යයන් යනු බුදුරජාණන්වහන්සේගේම කුලයෙහි උපන් උන්වහන්සේගේ ඥාතියෙකි. එහෙත් මහානාම ශාක්‍යයන් අපට වැදගත් වන්නේ එතුමාගේ බුදුරජාණන්වහන්සේට පැවැති ඥාතිත්වය නිසා නොවේ. එතුමන් ගෞතම බුදු සසුනෙහි ප්‍රණීත රසදෙන්නවුන් අතුරින් අග තනතුර දරන ආර්ය ශ්‍රාවකයකු වන නිසාය. එතුමන් මෙම තනතුර ප්‍රාර්ථනා කරන්නේ පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙහි එම තනතුර උවසුවකුට ලබාදෙනු දැකීමෙනි. අනතුරුව එම තනතුර ප්‍රාර්ථනා කර කල්ප ලක්ෂයක් තිස්සේ එම තනතුර අපේක්ෂාවෙන් පින් දහම් කරමින් දෙව් මිනිස් ලොව සැරිසැරීමෙන් අනතුරුව කුසල් සම්පූර්ණ කළ ඔහු, අප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කපිලවත්ථු පුරයෙහි ශාක්‍ය කුලගෙයක මහානාම යන නමින් උපත ලබා හැදී වැඩුණි. මෙතුමන් බුදුරජාණන්වහන්සේ හා වූ පළමු හමුවේදීම බුදු සසුනෙහි පැහැදී සෝවාන් ඵලයෙහි පිහිටියේය (මනෝරථපූරණි, මහානාමසක්ක වස්තුව).

බුදුරජාණන්වහන්සේ වේරංජාවෙහි සිට නීග්‍රෝධාරාමයට වැඩ එහි වැඩවසන සමයක, උන්වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍යයෝ, උන්වහන්සේට භික්ෂු සංඝයා වේරංජාවෙහි පිඩුසිඟා හැසිරීමෙන් වෙහෙසට පත්වූ බව තමන් ඇසූ බව පවසා, එම නිසා එම භික්ෂූන්ගේ වෙහෙස නිවෙන තෙක්, ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කිරීමට අවසර ඉල්ලා සිටියහ. බුදුරජාණන්වහන්සේ එම ඉල්ලීම පිළිගත් සේක. පසු දිනයෙහි පටන්ම, භික්ෂු සංඝයාට රසවත් ආහාර හා චතුමධුර ආදියන් සංග්‍රහ කළෝය. පළමුව සිවු මසකට මෙසේ භික්ෂු සංඝයාට සංග්‍රහ කිරීම භාර ගත්හ. දෙවනුව ඉතිරි අට මසට භික්ෂු සංඝයාට සංග්‍රහ කිරීම භාර ගත්හ. මේ ආකාරයට මුළු වසර පුරාම භික්ෂු සංඝයාට ප්‍රණීත දෙයින් සංග්‍රහ කිරීම සිදු කළහ. මහානාම ශාක්‍යයන්ගේ මෙම ගුණය මුළු දඹදිව පුරා පතළ විය.

මහානාම ශාක්‍යයෝ අපට වැදගත් වන්නේ එතුමන්ගේ දන්දීමේ ගුණය නිසාම පමණක් නොවේ. එතුමන් ලද සෑම අවස්ථාවකම බුදුරජාණන්වහන්සේ හමුව තමනට ඇතිවූ ගැටලු විසඳා ගනිමින් තමන්ව වඩ වඩාත් ධර්ම මාර්ගය තුළටම යොමු කරගැනීමට උත්සුක වූ නිසාය.

බුදුරජාණන්වහන්සේ කිඹුල්වත්පුරයෙහි නීග්‍රෝධාරාමයෙහි වැඩවසන අවස්ථාවල උන්වහන්සේ වෙත පැමිණ මහානාම ශාක්‍යයෝ තමාට පැහැදිලි කරගත යුතු වූ කරුණු විමසා සිටියහ. සංයුත්ත නිකායෙහි, මහාවග්ගයෙහි, සොතාපත්ති සංයුත්තයෙහි, පුඤ්ඥාභිසන්ද වග්ගයෙහි මහානාම සූත්‍රය හා අංගුත්තර නිකායෙහි, අට්ඨක නිපාතයෙහි, ගහපති වග්ගයෙහි, මහානාම සූත්‍රය තුළ දැක්වෙන මුල් කරුණු බෙහෙවින් සමානය. නමුත් අවසන් කරුණුවල වෙනසක් දැකිය හැකිය. එම නිසා එම ධර්ම කරුණු පහත ගොනුකර දැක්වේ.

මෙතුමන් එහිදී පළමුව කොපමණකින් උපාසකයකු වන්නේ දැයි විමසා සිටියහ. එයට පිළිතුරු දෙන බුදුරජාණන්වහන්සේ යම් වේලාවක පටන් තෙරුවන් සරණ ගියේ වෙයි ද, එතැන් පටන් උපාසකයෙක් වන බව ප්‍රකාශ කළහ.

එවිට මහානාම ශාක්‍යයෝ බුදුරජාණන්වහන්සේගෙන් තවත් පැනයක් විමසූහ. ඒ කොපමණකින් උපාසක තෙමේ සීලයෙන් යුක්ත වේද යන පැණයයි. උපාසකයකු පන්සිල් රැකීමෙන් සිල්වතකු වන බව බුදුරජාණන්වහන්සේ පැවසූහ.

එවිට මහානාම ශාක්‍යයෝ කොපමණකින් උපාසක තෙමේ සැදැහැවත් වේද යන පැනය විමසූහ. භාග්‍යවතුන් කෙරෙහි ගුණ සිහිකර අවබෝධයෙන් ශ්‍රද්ධාවත් නම් එම උපාසකයා සැදැහැවත් බව පැවසූහ.

කොපමණකින් උපාසක තෙමේ ත්‍යාගයෙන් යුක්ත වේද යන පැනය අනතුරුව විමසා සිටියහ. ත්‍යාගය සදහා මුදන ලද සිත් ඇති, දීමෙහි අත් ඇති ත්‍යාගයෙහි ඇලුණු ඉල්ලීමට සුදුසු දීමෙහිත්, බෙදාදීමෙහිත් ඇලුණු මසුරු මල පහව ගිය සිතින් යුතුව ගිහිගෙයි වෙසෙන උපාසක තෙමේ ත්‍යාගයෙන් යුක්ත වේ යැයි බුදුරජාණන්වහන්සේ මහානාමයනට පැහැදිලි කළහ.

කොපමණකින් උපාසක තෙමේ නුවණින් යුක්ත වේද යන පැනය විමසූහ. තියුණු අවබෝධයෙන් යුක්තව, මනාකොට සියලු දුක් නැති කිරීම පමුණුවන, ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුතු නැණවතෙක් වන උපාසක තෙමේ නුවණින් යුක්ත වේ යැයි බුදුරජාණන්වහන්සේ මහානාමයනට පැහැදිලි කළහ.

මහානාම ශාක්‍යයෝ කොපමණකින් උපාසක තෙමේ අනුන්ගේ හිත පිණිස නොව තමාගේ හිත පිණිස පිළිපන්නේ වේද යන පැනයත්, මහානාම ශාක්‍යයෝ කොපමණකින් උපාසක තෙමේ අනුන්ගේ හා තමාගේ හිත පිණිස පිළිපන්නේ වේද යන පැනයත් විමසූහ.

යම් දිනක පටන් උපාසක තෙම්, තමා ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, සම්පත්තියෙන් යුක්ත වන්නේ ද, තමා භික්ෂූන් දැකීමට, සද්ධර්මය ඇසීමට, ඇසූ ධර්මයන් ධාරණය කර ගැනීමට කැමති වන්නේ ද, දරාගත් ධර්මයෙහි අර්ථය මෙනෙහි කරන්නට, ධර්මාර්ථය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ ද, අනුන්ව එම කාරණාවල නොයොදවන්නේ ද එම උපාසක තෙමේ අනුන්ගේ හිත පිණිස නොව තමාගේ හිත පිණිස පිළිපන් බවත්, ඉහත කරුණුවල තමනුත් යෙදෙමින් අන් අයවත් යොදවා ද එම උපාසක තෙමේ අනුන්ගේ හා තමාගේ හිත පිණිස පිළිපන්නේ වේ යැයි බුදුරජාණන්වහන්සේ මහානාමයනට පැහැදිලි කළහ.

(සංයුත්ත නිකාය, මහාවග්ගය, සෝතාපත්ති සංයුත්තය, පුඤ්ඥාභිසන්ද වග්ගය, අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වග්ගය, මහානාම සූත්‍රය).

චීවර කර්මය නිමවා තුන් මසක් ඇවෑමෙන් බුදුරජාණන්වහන්සේ කිඹුල්වත්පුරයෙන් පිටත වඩින බව දැනගත් මහානාම ශාක්‍යයෝ බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ නොයෙක් විහරණවලින් යුක්ත වූ තමන් කිනම් විහරණයකින් වාසය කළ යුතුදැයි විමසා සිටියහ. මහානාම ශාක්‍යයන් ඇසූ පැනය අගය කළ බුදුරජාණන්වහන්සේ එතුමනට, ශ්‍රද්ධාව, වීර්යය, සිහිය, සමාධිය හා ප්‍රඥාව යන පංච ධර්මයෙහි පිහිටා, බුද්ධානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, ශීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවාතානුස්මෘතිය යන ධර්ම හය වැඩීමට උපදෙස් දුන් සේක (අංගුත්තර නිකාය, එකාදසනිපාතපාලි, අනුස්සතිවග්ගය, දුතීය මහානාම සූත්‍රය).

සංයුත්ත නිකායෙහි මහාවග්ගපාලියෙහි සෝතාපත්ති සංයුත්තයෙහි සරකානිවග්ගයෙහි පඨම මහානාම සූත්‍රය මෙයට නිදසුනකි. බුදුරජාණන්වහන්සේ කිඹුල්වත්පුරයෙහි නීග්‍රෝධාරාමයෙහි වැඩවසන සමයක උන්වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පසෙක හිඳි මහානාම ශාක්‍යයෝ තමාට ඇතිවූ ගැටලුවක් බුදුරජාණන්වහන්සේට ඉදිරිපත් කළහ. ‘බෙහෙවින් සමෘද්ධිමත් වූ කිඹුල්වත්පුර බොහෝ කලබලකාරී බවින් යුක්ත හෙයින්, තමන් සිත දියුණු කළ භික්ෂුවක් ඇසුරු කර සවස් කාලයෙහි නුවරට පිවිසුන කල, තමන් ඉදිරියට කලබල වූ මිනිසුන්, අසුන්, ඇතුන්, රිය, ගැල්, ආදිය පැමිණෙන බවත්, එවිට තමාගේ භාග්‍යවතුන්වහන්සේ, ධර්මය හා සංඝයා අරබයා පවතින සිහිය නැති වන බවත්, එවැනි අවස්ථාවක තමන් මියගියහොත් තමාගේ පරලොව ගතියට කුමක් වන්නේ ද යන අදහස ඇතිවූ බව මහානාම ශාක්‍යයෝ බුදුරජාණන්වහන්සේට ප්‍රකාශ කළහ.

මහානාම ශාක්‍යයනට ඇතිවූ මෙම ගැටලුව සම්බන්ධයෙන් පැහැදිලි කරන බුදුරජාණන්වහන්සේ එතුමනට ඒ සම්බන්ධයෙන් බිය විය නැති බවත් ළාමක මරණයක් වන බව ප්‍රකාශ කරන සේක. පුද්ගලයකුගේ මව්පියන්ගෙන් උපන්, සතර මහා භූතයන්ගෙන් හටගත්, ආහාරයෙන් එක්වූ, රූපයක් සහිත, පිරිමැදීම්, බිඳීම්, විනාශවීම්, සහිත කය බොහෝ සතුන්ට ආහාරයක් වුවත්, එම පුද්ගලයා බොහෝ කාලයක්, ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන් හා ප්‍රඥාවෙන් වඩනා ලද සිතක් සහිත නම් එම එම සිත උඩට යන්නාවූ විශේෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි. බලවත් පුරුෂයෙක්, ගිතෙල් සැළියක් හෝ තෙල් සැළියක් හෝ ගැඹුරු වූ දියක ගිල්වා බිඳින කල කැටකැබලිති යට ගියත් එහි පැවැති ගිතෙල් උඩට මතුවන ලෙස, බොහෝ කාලයක්, ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, හා ප්‍රඥාවෙන් වඩනා ලද සිත උඩට යන්නාවූ විශේෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.

මෙලෙසම බොහෝ කාලයක් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, හා ප්‍රඥාවෙන් වඩනා ලද සිතක් සහිත මහානාම ශාක්‍යයන්ගේ මරණය උතුම් කාලක්‍රියාවක් වන බව බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළහ.

සංයුත්ත නිකායෙහි මහාවග්ගපාලියෙහි සෝතාපත්ති සංයුත්තයෙහි සරකානිවග්ගයෙහි දුතීය සූත්‍රය, මහානාම සූත්‍රය බුදුරජාණන්වහන්සේ මහානාම ශාක්‍යයනට මෙසේ ප්‍රකාශ කිරීමට හේතුව වඩාත් පැහැදිලි කරයි. සතර ධර්මයකින් යුක්ත යම් ආර්ය ශ්‍රාවකයකු නිවනට හැරුණ, නිවනට බරවූවකු වන බවත්, මහානාම ශාක්‍යයන් එම ධර්ම සතරින් යුක්ත බවත් ප්‍රාකාශ කරති.

බුදුරජාණන්වහන්සේ අරහත්ය, සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදුය, පුරිසධම්මසාරථිය, දෙවි මිනිසුන්ගේ ශ්‍රාස්තෘය,බුද්ධය භගවත්ය, යනුවෙන් භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම.

භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනා කොට දේශනා කරන ලද්දේය, තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට තමා විසින්ම දැකිය හැකි ය, කල් නොයවා විපාක දෙන්නේය, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් තුළ පහළ කර ගැනීමට වර්ධනය කර ගැනීමට සුදුසුය, නුවණැත්තනට එහි යහපත් බව තමා විසින්ම දැන හැඳින ගත හැකිය, යනුවෙන් ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම.

භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ශාසන ප්‍රතිපත්තියෙහි; මනාව පිළිපන්නේය; සෘජුව පිළිපන්නේය; නිවනට සුදුසුව පිළිපන්නේය; ගරු බුහුමනට සුදුසුව පිළිපන්නේය; යුගල වශයෙන් සතරක් හා පුද්ගලයන් වශයෙන් අටක් වශයෙන් වූ ආර්ය සංඝයා ආගන්තුකයනට පිළියෙල කළ දෙය, තුටුපඬුරු පිණිස පිළියෙල කළ දෙය, කර්ම පල අදහා දෙන දෙය පිළිගැනීමට සුදුසු වූයේය; ඇඳිලි බැඳ වැඳීමට සුදුසු වූයේය; ලෝකයාගේ උතුම් පින් කෙතය; යනුවෙන් සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම.

නොකැඩුණා වූ, සිදුරු නොවූ, පුල්ලි නැති, කැළැල් නොවූ නිදොස් වූ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ස්පර්ශ නොකළ සමාධිය පිණිස පවත්නා වූ ආර්යයන් කැමැති ශීලයෙන් යුක්ත වීම.

යනු එම ධර්ම සතරයි. එම නිසා නැඟෙනහිරට නැමුණු ගසක් මුලින් කැපූ විට එය නැඟෙනහිර දෙසටම වැටෙන ලෙස, මෙම ධර්ම සතර සහිත ආර්ය ශ්‍රාවකයා නිවනට නැමුණු නිවනට හැරුණු නිවනට බරවූවෙක් වන බව බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළහ.මෙවැනි සහතිකයක් බුදුරජාණන්වහන්සේගෙන් ලබන්නට තරම් මහානාම ශාක්‍යයෝ භාග්‍යවත් වූයේ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට එතුමන් තුළ තිබුණු උත්සාහවත් බව නිසාය. මහානාම ශාක්‍යයන් මෙන් ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අපත් උත්සුක වෙමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *