දිමුතු පුන්සර කොළඹගේ
මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගෙන් පසු විදුදය පිරිවෙනට නායකත්වය ලබාදුන් මහගොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ පරමාදර්ශී දිවිපැවැත්මෙහි පිහිටා කටයුතු කළ අනභිභවනීය පාණ්ඩිත්‍යයෙන් ද සුපේශල ශික්ෂාකාමී ගතිගුණයන්ගෙන් ද ශෝභමානිත මහා තෙර නමකි.
දකුණු – බස්නාහිර දෙපළාතේ මායිම වූ බෙන්තරට නුදුරෙහි බෙන්තර වලල්ලාවිට කෝරළයේ මහගොඩ ගමේ ප්‍රභූ පවුලක ගෘහ ස්වාමියා වූ බාල වෙදමහත්මයා නමින් ප්‍රකට වූ වෛද්‍යාචාර්යවරයාණන්ගේ දෙටු පුතු වූ දොන් ආබ්‍රහම් ගුණවර්ධන වික්‍රමආරච්චි වෙද මහතා මහගොඩ ඤාණිස්සර නාහිමියන්ගේ පියතුමා විය. වර්ෂ 1864 මැයි මස 17 වැනි දින උපත ලද අප කතානායකයාණන් කුඩා අවධියේ ම මව්තුමිය කලුරිය කළ අතර මරණාසන්න අවස්ථාවෙහි ඇගේ ඉල්ලීම වූයේ සිඟිති පුතු පැවිදි කරවන ලෙස යි.
කෙසේ නමුත් මව්තුමියගේ සහෝදරයකු ඉංග්‍රීසි භාෂාව හැදෑරීමෙන් දියුණුවට පත්ව සිටියෙන් කුඩා දරුවා ද ඒ මග යවනු රිසිව බෙන්තර සිය නිවසට කැඳවාගෙන ගොස් බෙන්තර වනවාස විහාරාධිපතිව වැඩ සිටි, මහා පඬිරුවනක වූ යාත්‍රාමුල්ලේ ධම්මාරාම මාහිමියන් ලවා දරුවාට අත්පොත් තැබවීය. මඳ කලෙකින් එම මාමා අභාවයට පත් වූයෙන් දරුවාට පැවිදි වීමට ඉඩ හසර ලැබුණි.
පියපස මුත්තණුවන් වූ බාල වෙදමහත්මයාගේ සහෝදරයකු වූ අළුත්ගම් බද්දේ ඛෙත්තාරාමය හෙවත් සුප්‍රකට අළුත්ගම කන්දේ විහාරයේ අදියුරුව වැඩ සිටි ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක මහගොඩ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ ද එසේම වනවාස විහාරාධිපතිව වැඩ සිටි මව්පසින් ඥාති වූ කෝම්මල ඉන්දසර හිමියන් ද සමීප ඥාතිත්වයේ පසුවූ නිසා කුමරා කිනම් ස්ථානයක පැවිදි කරවන්නේ දැයි කුකුසක් ඇති විය. එහිදී මහගොඩ නාහිමියන්ගේ අවසරය ලැබුණෙන් කෝම්මල මාහිමියන් වෙත පැවිදි කරවීමට නියම කෙරුණ ද එය පියපස ඥාතීන්ගේ සතුටට හේතු නොවීය. එබැවින් දරුවා කලක් යනතුරු ඉඳුරුවේ ගුරුකන්දේ නිවසක සඟවා තැබුණ ද, මව්පස ඥාතීන් දරුවා සොයා ගැනුණෙන් බෙන්තර වනවාසයේ දී අට හැවිරිදි දරුවා පැවිදි කරවීය. පොතුවිල ඉන්දජෝති මාහිමියන් විසින් කුසපත් ඇදීමෙන් ඤාණිස්සර යන නාමය තබන ලදි.

සාමණේර හිමියන්ගේ දක්ෂතා දුටු ගිහි පැවිදි පිරිස ඤාණිස්සර හිමියන් හට වැඩිදුර ඉගැන්වීම පිණිස ගුරු හිමියන් උනන්දු කරවූ අතර එම කාලයේ ආතර් ජයවර්ධන මුදලිතුමා බෙන්තර වලල්ලාවිට කෝරළයේ මුදලි තනතුරට පැමිණියෙන්, බලපිටියේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ පෙලඹවීමෙන් 1883 මැයි මස 4 වැනි දින හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත භාර දෙන ලදි.
විද්‍යොදය පිරිවෙනේ දී හික්කඩුවේ ශ්‍රි සුමංගල නාහිමියන්ගේ චිත්තාරාධනය ලබමින් අධ්‍යාපනය ලබන අතරවාරයේ ප්‍රව්‍රජ්‍යාචාර්ය කෝම්මල මාහිමියන් අපවත් වූයෙන්, හික්කඩුවේ නාහිමියන්ගේ සඟ පරපුරෙහි චිරරාත්‍රඥයන් වූ මාබොටුවන සිද්ධාර්ථ මාහිමි,
වෙහෙරගොඩ බුද්ධරක්ඛිත නාහිමි වැනි මහා යතිවරුන්ගේ ද, බටුවන්තුඩාවේ පඬිතුමා, හේවාවිතාරණ මුදලිතුමා ආදී ගිහි ප්‍රභූන්ගේ ද ආශීර්වාදයෙන්, හික්කඩුවේ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1889 මැයි මස 29 වැනි දින මල්වතු මහා විහාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.
ඉගෙනීම් කටයුතු නිමවීමෙන් පසු 1893 ජනවාරි මස 7 වැනි දින විද්‍යොදය පිරිවෙනේ උපාචාර්ය ධුරයට ද, 1899 දී උප ප්‍රධානාචාර්ය ධුරයට ද පත් මහගොඩ ඤාණිස්සර හිමියන් වෙත 1910 දෙසැම්බර් මස 28 වැනි දින මල්වතු විහාරයෙන් සපරගමු දිශාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමන ලදි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් 1911 අප්‍රේල් මස 29 වැනි දින අපවත් වීමෙන් පසු මැයි මස 15 වැනි දින විද්‍යාධාර සභාව මගින් විද්‍යොදය පරිවේණාධිපති පදවිය ශ්‍රී ඤාණිස්සර හිමියන් වෙත සම්ප්‍රසාදනය කරවන ලදි. එසේම රත්මලානේ ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගෞරව නාමධෙය සහිතව කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ද පිදුම් ලැබීය.
සයිමන් හේවාවිතාරණ ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ සංශෝධනය ඇතුළු එවක පළ වූ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ බොහෝමයක් ද අවසාන ශෝධ්‍යපත්‍ර පරීක්ෂාව සිදු කරන ලද්දේ ශ්‍රී ඤාණිස්සර නාහිමියන් විසිනි. පාලි හා සංස්කෘත භාෂාවන්ගෙන් විචක්ෂණ අන්දමින් කථා පැවැත්වීමේ හැකියාවක් ඤාණිස්සර නාහිමියන් සතු විය.
ආචාර්ය බැතියෙන් අනූන වූ ඤාණිස්සර නාහිමියන් සිය ගුරු හිමියන් වූ හික්කඩුවේ නාහිමියන් හඳුන්වා ඇත්තේ දෙවියෝ යන ගරු නාමයෙනි. හික්කඩුවේ නාහිමියන් ද සිය සිසුවා වෙත යම් අවනතභාවයකින් පසුවූ බව පෙනේ. වරක් අනගාරික ධර්මපාලතුමා ඉංග්‍රීසි ආණ්ඩුවේ වැරදි සඳහන් කොට හික්කඩුවේ නාහිමියන් නමින්, බි්‍රතාන්‍ය යටත්විජිත ලේකම්වරයාට ලිපියක් යැවූ කල ඊට කරුණු විමසා රජයෙන් එවූ ලිපියෙන් හික්කඩුවේ නාහිමියන් වික්ෂිප්ත වූ අවස්ථාවේ සංසිඳුවන ලද්දේ ශ්‍රී ඤාණිස්සර නාහිමියන් විසිනි.
එසේම සිසු හා දායක පිරිස් හික්මවීමේ දී ප්‍රායෝගික උපායන් අනුගමනය කළ බව පෙනේ. පිරිවෙනේ දෛනික බුද්ධ වන්දනාවෙන් පසු නාහිමියන් නමැදීම මගහරින සිසු හිමිනමක වෙත ගොස් නාහිමියන් පත්කඩය හෙළුෑ කල සිසුවා වරද පිළිගෙන නිසි මගට පැමිණ තිබේ. එසේම විද්‍යාධාර සභාවේ මහත්වරුන් අතින් නාහිමියන්ගේ කුටියට අඩු එළියක් ඇති විදුලි පහනක් සවි කළ අවස්ථාවෙහි එය එම මහතුන්ට හඳුනා ගැනීමට සැලැස්සුවේ රාත්‍රියේ දොස්තර සයිමන් හේවාවිතාරණ මැතිතුමා පැමිණි කල ලිපියක් කියැවීමට අතට දීමෙනි.
උදාර භික්ෂු ජීවිතයක් ගතකළ ශ්‍රී ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ අවසාන භාගයේ බහුමුත්‍ර (දියවැඩියා රෝගයෙන්) ද පිටෙහි හටගත් පිළිකා රෝගයකින් ද එසේම ග්‍රහ අපලවලින් ඇති වූ උපද්‍රවයන්ගෙන් ද පීඩිතව 1922 නොවැම්බර් මස 6 වැනි දින රාත්‍රියේ දී අපවත් වී වදාළ සේක.

