වැලමිටියාවේ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ

cmadurawala
3 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමුවැනි දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)

වැලමිටියාව ගම මෑතකාලීනව ලෝකයා හඳුනා ගන්නා ලද්දේ සම්භාවනීය යතීන්ද්‍රයන් වහන්සේලා දෙනමක් නිසාවෙනි. විද්‍යාලංකාර ගුරුකුලය ශෝභාවත් කළ ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ සහ සත්වැනි විද්‍යාලංකාර පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ එම නාහිමිපාණන් වහන්සේලා දෙනම වෙති.

විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය හෙබවීමේ වරම් ලද නවවැන්නා වූ වැලමිටියාවේ ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1974 ක් වූ ජුනි මස 29 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේරසිංහ මුදියන්සේලාගේ ගුණතිලක මැතිතුමන්ගේ සහ නවරත්න මුදියන්සේලාගේ සෝමාවතී කුමාරිහාමි මැතිනියගේ සයවැනි දරුවා ලෙස මෙලොව එළිය දුටහ.

සාර්වභෞම පාණ්ඩිත්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් ප්‍රථම වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකමේ දී එනම් 1987 මාර්තු මස පළමුවැනි දින ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලද අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පිරුවනින් වර්ග පටිපාටියෙන් අධ්‍යයන කටයුතු සිදුකොට පිරුණු විසිවයස් ඇතිව 1996 වර්ෂයේ දී මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගලෝපෝෂථාගාරයේදී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ජාතික හා ජාත්‍යන්තර තලයේ ශාසනික හා සට්මාජයීය කර්තව්‍යයන් හේතුවෙන් කාර්යබහුලත්වයට පත්වීම නිසා 1990 දශකයේ අගභාගයේ සිට නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් පිරුවනේ පරිපාලන කටයුතු සිදු කිරීම ඤාණරතන හිමියන් වෙත පැවරුණි.

විද්‍යාලංකාර පිරුවන්හි ආචාර්ය පදවියක් ද පුස්තකාලයාධිපති හා පරිගණක අංශ ප්‍රධානත්වය ද හොබවමින් අනුක්‍රමයෙන් අධ්‍යයන අංශ ප්‍රධානත්වයට ද පත්වීම් ලදහ. විද්‍යාලංකාර පිරුවන්හි පරිපාලනය හා සබැඳි විද්‍යාලංකාර සභාවේ ලේකම් පදවිය 2011 වර්ෂයේ ඤාණරතන හිමියන් වෙත පිරිනැමුණි.

තමන්වහන්සේගේ අනුප්‍රාප්තිකයා වශයෙන් වැලමිටියාවේ ඤාණරතන හිමියන් පත්කිරීම යෝග්‍ය යැයි ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකළ නිර්දේශ ප්‍රකාරව වර්ෂ 2017 ක් වූ ඔක්තෝබර් මස 22 වැනි දින විද්‍යාලංකාර සභාව විසින් වැඩබලන පරිවේණාධ්‍යක්ෂ පදවියට ඤාණරතන හිමියන් පත් කරනු ලැබීය.

වැලමිටියාවේ නාහිමියන් සහ නාවින්නේ නාහිමියන් ගිලන්භාවයට පත්වීමත් සමග සිදුකළ යුතු උපස්ථාන කටයුතු නොපිරිහෙළා ඉටු කරමින් පිරුවනෙහි පරිපාලනය පවත්වා ගනිමින් එසේම පිරුවනින් ලෝකයට ඉටු විය යුතු මෙහෙවර නොකඩ කොට සිදු කිරීමට නායකත්වය ගත්තේ ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු විද්‍යාලංකාර පිරුවන්හි අධ්‍යක්ෂ පදවියට සහ උපපරිවේණාධිපති පදවියට පත් ඤාණරතන හිමියන්, 2022 කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පුද ලැබීය. නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය වැලමිටියාවේ ඤාණරතන නාහිමියන් වෙත සම්මත කරන ලදි.

ගීතරචනයට සමර්ථකම් දක්වා ඇති අභිනව නාහිමිපාණන් වහන්සේ අතින් ලියැවී ඇති කවි සහ ගීත රාශියකි. එසේම විද්‍යාලංකාර සම්ප්‍රදායට අනුව සිවුරු දරමින් ආදි පාරිවේණික සම්ප්‍රදායට අනුව අනුශාසනා පැවැත්වීමෙහි සමර්ථභාවය නාහිමිපාණන් වහන්සේ සතු වෙයි. පොත්පත්වලින් කියැවීමට ලැබෙන ආදි විද්‍යාලංකාරික මහා යතීන්ද්‍රයන් වහන්සේලා තුළ ඇතැයි කියැවෙන කරුණා ගුණය, ඉවසීම සේම නායකත්ව ලක්ෂණයන්ගෙන් ද නාහිමිපාණන් වහන්සේ සමන්විත වෙති. පාරිවේණික ශිෂ්‍ය ප්‍රජාව වෙත දාරක ස්නේහයෙන් නිසි මඟ පෙන්වා දෙති.

තුරුණු වියේදීම ශාසනභාරධාරී මහා යතිවරයාණන් වහන්සේ නමක වශයෙන් වගකීම් ඉසිලීමට වරම් ලද අභිනව නාහිමිපාණන් වහන්සේ හට අතීත විද්‍යාලංකාර ගුරුකුලයේ අභිමානය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සකලාභිවෘද්ධි සාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *