සුගත මුනිඳුන් වඳිමු සැදැහෙන්

rashi
By rashi
13 Min Read

අශෝකා අබේවර්ධන

මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයෙහි එන බ්‍රහ්මායු සූත්‍රය ඇසුරිනි.

උතුම් මනුෂ්‍යත්වයේ මාහැඟි අග්‍ර ඵලය නම් ලොව්තුරා බුද්ධත්වයයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ ම විශිෂ්ට වූ සර්වඥතා ඥානයෙන් පෙර නො ඇසූ විරූ ධර්මයක් අවබෝධ කොටගෙන ලොවට ම සෙත ශාන්තිය සලසා දුන් වෙසක් පුන් පොහෝ දිනය අදයි. “පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි”‍ (දම්සක් පැවතුම් සූත්‍රය) තුන් ලෝකය ම අතැඹුල සේ ප්‍රත්‍යක්ෂ කොට දැන වදාළ බුදුවරයෙකු විසින් අනිත්‍ය දුක්ඛ අනත්ත ආදී ත්‍රිලක්ෂණ දහම, පටිච්ච සමුප්පාද දහම, සත්තිස් බෝධිපාක්ෂික දහම ආදී අභිධර්ම විග්‍රහයන් ද සිදු නො කොට කල්පයක් පුරාවට ම බුදු ගුණ පමණක් වර්ණනා කරනු ලැබුව ද එසේ වර්ණනා කරන අතරතුරේ දී කල්පය ගෙවී ගිය ද බුදුගුණ අවසන් නො වේ. තවත් බුදු ගුණ බොහෝ ඉතිරි වී තිබේ. අචින්ත්‍ය වූ අසිරිමත් වූ බුද්ධ විෂයය වර්ණනා විෂයාතික්‍රාන්ත කරුණක් බව ඉන් පැහැදිලි වේ.

බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං කප්පම්පි චේ අඤ්ඤමභාසමානෝ
ඛීයේථ කප්පෝ චිරදීඝමන්තරේ වණ්ණෝන ඛීයේථ තථාගතස්ස

බුදු ගුණ ඉතා බොහෝ ය. ආකාසය සේ අනන්ත ය. මහ සයුර සේ ගැඹුරු ය. කියා නිම කළ නොහැකි ය. පෘථග්ජනයනට අවිෂය වූ බුදු ගුණ සයුරෙහි ගාම්භීරත්වය නම් අසිරියකි. සර්වාකාරයෙන් ම බුදුගුණ ප්‍රත්‍යක්ෂ කොට වදාළේ ලොව්තුරා බුදු වරුන් ම පමණි. ලොව්තුරා බුදුවරයෙකු ගේ රූපකාය මෙන්ම ධර්ම කාය ද වෙසෙසා ගත හැක්කේ ලොව්තුරා බුදුවරයෙකුට පමණි. බුදුවරයෙකු සමස්ත සත්ත්ව ප්‍රජාව කෙරෙහි හිතානුකම්පිත ව දේශනා කොට වදාළ නව ලොවුතුරු දහම තම තම නැණ පමණින් වුව දැන ගන්නා කල්හි ස්වකීය ඤාණ මහිමයේ පමණට අප අපට ද අසිරිමත් වූ බුදු ගුණ වටහාගත හැකි ය. එය කළ හැක්කේ අන් ක්‍රමයකින් නො ව අමා රස පිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් ම පමණි.

බුදු ගුණ මැනවින් දැන වදාළ මහ රහතන් වහන්සේ අතර අග්‍රස්ථානයේ වැඩ සිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය. ඒ නමුත් උන් වහන්සේගේ අවබෝධය ද ලොව්තුරා බුදුවරයෙකු ගේ අවබෝධයේ පමණට ම ගැඹුරු නො වේ. පසේබුදුවරයෙකුගේ පමණට ද නො වේ. එසේ වුව ද සැරියුත් හිමිසඳුන්ගේ බුදු ගුණ දැන ගැනීම අන් හැම රහතන් වහන්සේ අභිබවා සිටියි. අප ද මේ කඨෝර වූ දුක්බර වූ අනවරාග්‍ර වූ සංසාර ගමන නිමා කොටලීම උදෙසා බුදු ගුණ අනුමානයෙන් නමුත් දැන ගත යුතු ය. සංසාර ස්වභාවය ද පටිච්ච සමුප්පාද ධර්මය ද අවබෝධ කොටගත යුතු ය. බුදු ගුණ මැනවින් වැටහෙන්නේ එවිට ය.

මහ බෝසතාණන් වහන්සේ අනවරාග්‍ර වූ සංසාරය පුරාවට ම සුගත වූ ගති ස්වභාවයකින් පාරමීදම් පූරණය කොට ලොව්තුරා බුදු බව දක්වා පැමිණි ගමන් මඟ සැබැවින් ම සුන්දර ය. නිවුණු ගති ස්වභාවයෙන් යුතු ය. සසර ගමනේ කොතරම් කරදර අභියෝග බාධා පැමිණිය ද උන්වහන්සේ සියල්ල මැඬ ජයගත් ආකාරය සැබැවින් ම සුන්දරය, අපූරු ය. ඉවසීමේ ගුණය ද මෛත්‍රී ගුණය ද ප්‍රඥා සම්පන්න බව ද අපරිමිත ය. ගෙනහැර පෑම අසීරු ය.

අසංඛ්‍ය සූවිස්සකටත් වඩා වූ අසරණයන් මේ සංසාර සාගරයෙන් එගොඩ කොට ලන්නට හැකි වූයේ එම අසිරිමත් බුද්ධ මහිමයෙනි. අද ද මතු ද ලොව සුන්දර කොට කෙලෙස් ගිනි නිවා සත්ත්වයාට සැනසීම ගෙනදෙන්නේ ද එම බුදු ගුණ අසිරිය හේතුවෙන් ම වේ.

යහපත් කොට යෙතැයි
සුන්දර තැනට සැපතැයි
සොඳුරු බස් කියතැයි
කියති ඒ මුනි රජුට සුගතැයි

සියලු‍ මවුවරු තම දරුවනට කරුණාභරිත වන්නා හ. එසේ ම සියලු‍ පියවරු ද තම දරුවන්ට කරුණාභරිත වන්නා හ. කෝටියක් මවුවරුන්ගේ ද කෝටියක් පියවරුන්ගේ ද කරුණාව එක පිඬක් කළ මුත් බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාවට උපමා කළ නොහැකි බව බොදුනුවන් දන්නා කරුණකි.

මහා කාරුණිකයන් වහන්සේගේ කරුණාව රාහුල පුතුට මෙන්ම දේවදත්තයනට ද සම ය.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් පරිපූර්ණ වූ බුදු පියාණන් වහන්සේ ගේ ගති පැවතුම්, ගමන, බිමන, දේශනා විලාසය ද සිවුර අඳින පොරවන ආකාරය ද, දන් පිළිගන්නා ආකාරය ද සුනම්‍ය ය. සුන්දර ය. සියලු‍ දෙව් මිනිසුන්ගේ පැහැදීමට හේතු වෙත් ම ය.

බුදු රජාණන් වහන්සේ වහන්සේ සුගත චීවරය පොරවන ආකාරය අසිරිමත් ය. උන් වහන්සේ සුගත චීවරය එක කොණක් උඩට එසවෙන පරිදි හෝ පහළට එල්ලා වැටෙන සේ හෝ නො පොරවන සේක. මනා සිහි නුවණින් යුතු ව ප්‍රත්‍යවේක්ෂා කොට සිවුර පොරවන සේක. තදින් කයෙහි සිර කොට හෝ ඉතා බුරුල් ලෙස නො පොරවන සේක. තථාගතයන් වහන්සේ පොරවා සිටින සිවුර සුළඟින් ගසාගෙන නො යන ස්වභාවයෙන් යුතු ය. පොරවා සිටින චීවර ධාතුව එක ම උසෙකින් යුතු ව බුද්ධ කාය ධාතුවට රැකවරණය සලසන්නේ ය. එසේ ම සංවර බවද ශෝභමාන බව ද උද්දීපනය කරනු ලබන්නේ ය.

උන්වහන්සේ අරමෙන් පිටතට වඩින විට පළමුවෙන් ම පෙරට තබන්නේ දකුණු ශ්‍රීපාදයයි. ඉතා දුරින් හෝ ඉතා ළඟින් හෝ පියවර තබමින් වැඩම නො කරන උන්වහන්සේ ඉතා වේගයෙන් හෝ ඉතා හෙමින් පියවර නො තබන සේක. පිටුපස හැරී බලද්දී හිස පමණක් හරවා නො බලන සේක. මුළු කය ම පිටුපස හරවා බලන සේක. උන්වහන්සේ වඩිනා විට උඩ නො බලන සේක. යට ද නො බලන සේක. කලබලයෙන් වික්ෂේපයෙන් නො බලන නිදුකාණන් වහන්සේ වියදඬු පමණ දුර බලා වඩින සේක. උන්වහන්සේගේ සාමාන්‍ය බැලීම එසේ වුවත් බෝමැඬ දී සර්වඥතා ඥානයෙන් අවබෝධ කොට වදාළ ඥාන දර්ශනය නම් සීමා සහිත නො වේ. අනාවරණ දස්සාවී ඥාන සම්පත්තියෙන් යුතු වන්නා හ. කෝටි ලක්ෂයක් සක්වළ තලයෙහි කිසිදු ධර්මතාවයක් ලොව්තුරා බුදු නුවණට ආවරණය නො වුණු බව ම සත්‍යයකි.

උන්වහන්සේ ඇතුළු ගමට පිවිසුණ විට හස්ත විකාර පාද විකාර ආදී නො ගැළපෙන දේ කිසිත් නො කරන සේක. පය පිට පය ලා වැඩ හිඳින්නේ ද නැත. ගොප් ඇටයෙන් ගොප් ඇටය වද්දමින් හිඳ ගන්නේද නැත. නිකටෙහි අත්ල තබාගෙන හිඳින්නේ ද නැත. කම්පා වෙන්නේත් නැති ව සැලෙන්නේත් නැති ව ශාන්ත වූ විවේකයට නැමුණු සිතින් ම වැඩ හිඳිනා සේක.

එසේ ම උන්වහන්සේගේ දන් පිළිගන්නා ආකාරය ද අසිරිමත් ය. පාත්‍රයට දිය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නේ ද යටට පහත් කරන්නේ ද නැත. පාත්‍රය තද කොට ගන්නේ ද නැත. ඔබ මොබ සොලවන්නේ ද නැත. දිය පිළිගනිද්දී ඉතා ස්වල්පයක් හෝ බොහෝ කොට පිළිගන්නේ ද නැත. උන්වහන්සේ හඬ නැඟෙන සේ ජලය කළඹමින් පාත්‍රය සෝදන්නේ ද නැත. පාත්‍රය යළි යළිත් සෝදන්නේ ද නො වේ. පාත්‍රය බිම තබා දෙඅත් සෝදන්නේ නැත. පාත්‍රය සේදූ කල දෙඅත් ද සෝදන ලද්දේ වේ. අත් සෝදන කල පාත්‍රය ද සෝදන ලද්දේ වේ. සුගතයන් වහන්සේ පාත්‍රය සේදූ දිය ඉතා දුරට හෝ ඉතා ළඟට හෝ දිය විසිරෙන සේද විසි නො කරති.

එසේම දානය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නේ හෝ යටට නමන්නේ ද නැත. දානය ඉතා ස්වල්පයක් හෝ බොහෝ කොට පිළිගන්නේ ද නැත. මධ්‍යස්ථ ප්‍රමාණයෙන් පිළිගන්නා සේක. එසේම දානයට ප්‍රමාණවත් වන පරිදි පමණක් වෑංජන පිළිගන්නා සේක. වෑංජනවලින් බත ඉක්මවා යන්නේ ද නැත.

බුදු රජාණන් වහන්සේ බත් පිඬු පමණට මිශ්‍ර කොට මුවට ගෙන දෙතුන් වරක් සපා ගිලින සේක. මැනවින් මිශ්‍ර නො වූ බත් සහ වෑංජන උන්වහන්සේ ගේ කයට ඇතුළු නො වේ. එසේම උගුරට සම්බන්ධ වූ හත් සියයක් පමණ වන රසනහර ජාලයෙන් වහ වහාම ආහාරයේ ඇති රස ධාතුව ශරීරයට උරා ගනී. නො දිරූ ආහාර ද උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට ඇතුළු නො වේ. ආහාරය කයට ඇතුළු‍ වූ පසු මද උණුසුම් ජලයෙන් සෝදා ලූ කලෙක සේ ශ්‍රී මුඛ පද්මය පිරිසිදු භාවයට පත් වේ. ඉඳුල් අංශු මාත්‍රයකදු ඉතිරි නො වේ. දෙවන බත් පිඬ මුවට නැඟෙන්නේ ඉන් පසු ව ය.

භගවා ගුණ සපිරි බුදුන් වහන්සේ දන් වළඳද්දී ආහාරයේ ඇති ලු‍ණු ඇඹුල් රස විඳිමින් දන් වළඳන සේක. එසේ වුවත් යළි යළිත් එබඳු දාන ප්‍රාර්ථනා කරමින් රස රාගයෙන් දන් නො වළඳන සේක. දායකයාට පින් උපදවාලීම සඳහා අංග අටෙකින් සමන්විත වී දන් වළඳන සේක.

  1. ජවය පිණිස නො වේ
  2. සවි ශක්තියෙන් මත් වීම පිණිස නො වේ.
  3. සිරුර තර කරගැනීම පිණිස නො වේ.
  4. අඩු තැන් මසින් පුරවා ගැනීම පිණිස නො වේ.
  5. කයෙහි පැවැත්ම පිණිස පමණක්
  6. කයෙහි යැපීම පිණිස පමණක්
  7. වෙහෙස දුරු කර ගැනීම පිණිස
  8. කුසගිනි වේදනා නැති කිරීම පිණිස, අලු‍ත් වේදනා නූපදවීම පිණිස, ජීවිත යාත්‍රාවව නිවැරදි ව පහසුවෙන් පවත්වන්නෙමි යි යන අදහස ඇති ව උතුම් බඹසර දිවියට අනුග්‍රහ පිණිස පමණක් දන් වළඳන සේක.

දානය වැළඳූ බුදු පියාණන් වහන්සේ පසුව පාත්‍රය බිම තබන්නේ නැත. ඉතා දුර හෝ ඉතා ළඟ තබන්නේ නැත. පාත්‍රයකින් පලක් නැති පරිද්දෙන් සිටින්නේත් නැත. බොහෝ වේලා රැක බලා ගන්නේත් නැත.

දානය වළඳා මොහොතක් නිහඬ ව වැඩ සිටින බුදු පියාණන් වහන්සේ අනුමෝදනා බණට බොහෝ කල් නො ඉක්මවා එළඹෙන සේක. එසේ ම වළඳන ලද දාන වස්තුව කෙතරම් ප්‍රණීත වුවත් පසසන්නේ ද නැති ව, කෙතරම් නීරස කටුක වුවත් ගරහන්නේ ද නැති ව වෙනත් දානයක් ද නො පතමින් ඒකාන්තයෙන් දැහැමි කතාවෙන් පිරිසට කරුණු දක්වන සේක. දාන වස්තුවෙහි ගුණ දොස් විවේචනය නො කරන නමුදු දානය හෙවත් දීම පසසන සේක. උනන්දු කරවන සේක. සතුටු කරවන සේක. පිරිස දහමෙහි සමාදන් කරවා උනන්දු කරවා හුනස්නෙන් නැඟී නික්ම වඩිනා සේක.

උන්වහන්සේ ඉතා වේගයෙන් හෝ ඉතා සෙමින් ද නො වඩිනා සේක. පිරිසෙන් නිදහස් වනු කැමැත්තෙන් මෙන් වහ වහා නික්ම නො වඩිනා සේක.

අරමට වඩින බුදු පියාණන් වහන්සේ තම දෙපා සෝදාගෙන අසුනෙහි වැඩ හිඳින සේක. උන්වහන්සේ ශ්‍රී පා පද්මයන් සෝදන්නේ සැරසීම පිණිස නො වේ. පසුව පළඟක් බැඳ කය ඍජු කොට තබාගෙන භාවනා අරමුණකට සිහිය යොදවා වැඩ හිඳින සේක. තමන්ට හෝ අනුන්ට හෝ පීඩා පිණිස සිතුවිලි නො පවත්වන උන්වහන්සේ දෙපසට ම හිත සුව පිණිස ද සකල ලෝක සත්ත්වයාට හිත සුව පිණිස උතුම් සිතුවිලි සිතමින් වැඩ හිඳිනා සේක. පැමිණ සිටින පිරිසට දහම් දේශනා කරන සේක. පිරිස හුවා දක්වමින් වර්ණනා නො කරන සේක. එසේ ම හෙළාදකිමින් කරුණු දක්වන්නේ ද නො වේ. ඒකාන්තයෙන් ම දැහැමි කතාවෙන් ම පිරිසට කරුණු දක්වන සේක. උනන්දු කරවන සේක. උන්වහන්සේ සුවඳ හමන ශ්‍රී මුඛ ධාතුවෙන් අංග අටෙකින් සමන්වාගත බ්‍රහ්ම ස්වරයෙන් නිවනට යොමු වුණා වූ මිහිරි මධුර දහම් හඬ නංවන සේක.

  1. විස්සට්ඨෝ – ගොතගැසීමක්, බාධාවක්, උගුර පෑදීමක් නැති ව සුව සේ වචන නික්මෙයි.
  2. විඤ්ඤෙය්‍යෝ- අවබෝධය ඇති වන පරිද්දෙන් වචන නිකුත් වෙයි.
  3. මඤ්ජූ – මධුර හඬින් යුතු ය.
  4. සවනීයෝ – සවන් යුග ඒ හඬට ඇදී යයි.
  5. බින්දු – ඒ ස්වරය වචන හා හොඳින් කැටි වී තිබේ.
  6. අවිසාරී – ඒ ස්වරය පිරිසෙන් බැහැරට විසිර නො යයි.
  7. ගම්භීරෝ – ඒ ස්වරය ගම්භීර හඬකින් යුක්ත ය.
  8. නින්නාදී – ඒ ස්වරය දෝංකාර දෙයි.

මහාකාරුණික බුදුපියාණන්වහන්සේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොටගත් නිර්මල ධර්මය දේශනා කරන බවත් මුල මැද අග යහපත් වූ පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ පිරිසිදු පිරිපුන් නිවන් මඟ ප්‍රකාශ කරන වගත් දඹදිව් තලය පුරා පතළ විය.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින් වත් පවු නො කරන හෙයින් ද, සියලු‍ දෙව් මිනිසුන් ගේ පූජාවන් ලබනට සුදුසු වන හෙයින් ද අරහං නම් වන සේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වකීය විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොටගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. පසළොස් චරණ ධර්මයන් අනුගමනය කොට අෂ්ට විද්‍යාවන් උපදවා ගත් බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුන්දර වූ නිවැරදි සුගත ගමන් මඟෙහි බුදු බව දක්වා ම පැමිණි බැවින් සුගත නම් වන සේක. සියලු‍ ලෝකයන් අවබෝධ කොටගත් බැවින් ලෝකවිදු නම් වන සේක. දමනයට අපහසු සත්ත්වයන් දමනය කිරීමට සමත් බැවින් අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක. සියලු‍ දෙව් මිනිසුනට නිවන් මඟ පහදා දෙන ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්තා දේව මනුස්සානං නම් වන සේක. තමන් වහන්සේ විසින් අවබෝධ කොටගත් ධර්මය සත්ත්වයනට අවබෝධ කරවන්නට සමත් බැවින් බුද්ධ නම් වන සේක. සියලු‍ කෙලෙස් නසා ලූ බැවින් ද සියලු‍ භග ධර්මයන් ගෙන් පරිපූර්ණ ව භාග්‍යවන්තභාවයෙන් යුතු වන බැවින් ද භගවා නම් වන සේක.

මුළු මහත් සක්වළ ම දහමින් සනසා වදාළ තුන් ලෝකයට ම සෙත ශාන්තිය සලසා දුන් අමා නිවන් රසය සැමට ම දෙවා වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට අපගේ උත්තමාංග නමස්කාරය වේ වා!

සැමට තෙරුවන් සරණයි!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *