ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවූ පිරිසට වාර්ෂික ව පුණ්‍යානුමෝදනා කරන මහනුවර පිච්ච මල් පූජාව

rashi
By rashi
3 Min Read

එච්. එල්. සුගතපාල

සද්ධර්මය දේශනා කිරීමට දායක වූ හා බුද්ධ ශරීරයෙහි පූජනීය අංගයක් වූ දළදා වහන්සේලා වන්දනා කිරීමට ලැබීම තරම් භාග්‍යයක් මේ විශ්වය තුළ පවතී දැ යි සිතා ගැනීමටත් අපහසු ය.

දළදා වහන්සේ අප දිවයිනට වැඩමවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 854කට පසු දිනක ය. ඒ මහා භාග්‍යය අපේ ශ්‍රී ලාංකික ජනතාවට උරුම විය.

දඹදිව ගුහසීව රජු භාරයේ පැවැති දන්ත ධාතුන් වහන්සේ අප දිවයිනට භාර දිය යුතු ය යන අදහසට ගුහසීව රජු නිරායාසයෙන් ම එළඹිණි. ඒ ශ්‍රී ලාංකික අපගේ භාග්‍යයක් නිසාම ය යි සඳහන් කිරීම නිවැරදි ය. ගුහසීව රජු දළදා වහන්සේ අප දිවයිනට වැඩමවීම පිණිස භාර දුන්නේ තම දියණිය වන හේමමාලා කුමරියට හා බෑණනුවන් වූ දන්ත කුමරුට ය. මේ ඓතිහාසික මෙහෙවර වෙත ඔවුන් දෙදෙනා යොමු වන්නේ ඔවුන් ඒ සඳහා පතා පැමිණි අය වූ නිසා ය.

භාරතයේ තාම්‍රලිප්ත වරායෙන් නැව් නැඟි ඒ දෙදෙනා ශ්‍රී ලංකාවේ ලංකා පටුන තොටුපළට ගොඩබට හ. හේමමාලා කුමරිය දළදා වහන්සේ සිය කෙස් වැටිය අතර සඟවා වඩමවාගෙන ශ්‍රී ලංකාවට පා තැබූ මොහොතේ මුළු දිවයින ම ආලෝකයෙන් බැබළී ගියා සේ ය.

දළදා වහන්සේ වැඩි බව දැනගත් කිත්සිරි මෙවන් රජු දළදාව පිළිගැනීම සඳහා පෙර ගමන් කළේ ය. එතුමා දළදා වහන්සේ වැඩ හිඳුවීම සඳහා දළදා මාළිගාවක් තනවා දළදා වහන්සේ එහි වැඩම කරවන ලදි. දළදා වහන්සේට අනේකවිධ පුද සත්කාර සිදු කෙරිණ. 5 වැනි සියවසේ දී අප දිවයිනට පැමිණි පාහියන් තෙරුන්වහන්සේ දළදා පෙරහැර සියැසින් දැක ගත් හ.

රාජධානි මාරු වීම සමග පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ සහ මහනුවර වෙත දළදා වහන්සේ වැඩමවීම සිදු විය. වර්තමානය වන විට දළදා වහන්සේ වැඩ සිටින්නේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ය. I වැනි විමලධර්මසූරිය රජු දළදා වහන්සේ වෙනුවෙන් දළදා මාළිගාව ඉදි කර වඩා හිඳුවීම සිදු කෙරිණි.

රජු දළදා වහන්සේ වෙනුවෙන් උපරිම පුද සත්කාරය සිදු කළේ ය. දළදා වහන්සේ වැඩ සිටීම ගෞතම බුදුන් වහන්සේ වැඩ සිටීම සේ සලකා පුද සත්කාරය සිදු විය. දළදා වහන්සේ වැඩි අවස්ථාව බුදුන් වහන්සේගේ සතරවැනි ලංකාගමනය සිදු වූවා සේ සැලකිණි.

දළදා වහන්සේ අප දිවයිනට වැඩීම ශ්‍රී ලාංකික බෞද්ධයන් ලැබූ මහත් භාග්‍යයක් කොට සැලකිය හැකි ය. දළදා වහන්සේ වෙනුවෙන් පුද සත්කාර සිදු කිරීමේ ආවශ්‍යතාව තේරුම්ගත් රජවරු ඒ සඳහා විවිධ පුද සත්කාර සිදු කරමින් වාර්ෂික ව පෙරහැර මංගල්‍යයන් ද පැවැත්වූ හ.

මේ පූජෝපහාර සම්ප්‍රදායට තවත් පියවරක් එක් කරමින් දළදා වහන්සේ වෙනුවෙන් සුවඳ පුෂ්ප පෙරහැරක් පවත්වා නිර්මිත කුසල ශක්තිය දළදා වහන්සේ අප වෙනුවෙන් වැඩමවීමට කැප වී කටයුතු කළ හේමමාලා හා දන්ත කුමරු ප්‍රධාන සැමට අනුමෝදන් කිරීමේ වැදගත්කම ‘මහනුවර පිච්ච මල් පූජෝපහාර සංසදය’ විසින් ඒත්තු ගන්නා ලදි. දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා මෙවර දහ තුන් වැනි වරටත් ඇසළ පෙරහැරට කප් සිටුවූ අගෝස්තු මස 05 දින පෙ. ව. 8.00ට ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී පිච්ච මල් පූජාවක් පවත්වන ලදි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *