අයහපත් වචන භාවිත කරන්නාට අයහපත් වචනයෙන් සංග්‍රහ කිරීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයිත සාමාන්‍ය ලෝක ස්වභාවයයි.
බුදුදහම අනුගමනය කිරීමෙහි අවසාන ඉලක්කය දුකට සදහට ම තිත තැබීම ය. ඒ සඳහා අප සාමාන්‍ය ලෝක ස්වභාවය ඉක්මවා යා යුතු ය. මන්ද, සාමාන්‍ය ලෝක ස්වභාවය අවසාන වශයෙන් යොමු ව ඇත්තේ දුක දෙසට හෙයිනි.
එනිසා බුදුදහම අනුගමනය කරන්නන්ත සාමාන්‍ය ලෝක ස්වභාවය ඉක්මවා යෑමට වෙර දරන්නන් වශයෙන් අපි වචන භාවිතයෙහි දී ද කල්පනාකාරී වීමට වගබලාගත යුතු වෙමු. කල්පනාකාරී වීම යනු සිහි නුවණ පවත්වාගැනීම ය. මේ සඳහා මනා ඉවසීමක් ද අවශ්‍ය ය.
එය පහසු අභ්‍යාසයක් නො වේ. එහෙත් එම කුසලතාව ප්‍රගුණ නො කරන බෞද්ධකමෙන් කවර පලක් ද? එනිසා එය කළ හැකි ක්‍රම හා උපායමාර්ග ගැන අප දැනුවත් ව සිටිය යුතු ය.
බුද්ධ දේශනාවෙන් මේ සඳහා අපට පහසුවෙන් මඟපෙන්වීම් ලබාගත හැකි ය. එදිනෙදා ජන සමාජයේ කට වරද්දාගත් අයට අත් ව තිබෙන විපත්වලින් ද අපට පාඩම් උගත හැකි වෙයි.
වචනය සංවර කරගැනීම වඩාත් සාර්ථක වන්නේ මනා අවබෝධයකින් එය අනුගමනය කිරීමෙනි. ඒ අතරින් හොඳ ම අවබෝධයක් වන්නේ වචන වරදවාගත හොත් තමන්ට ම වන අවැඩ ගැන වන අවබෝධය ය.
නිවසේ, මඟතොටේ, වැඩපොළේ මෙසේ අමාරුවේ වැටුණු අය නිතර අපට දැකගන්නට ලැබෙයි. අප ද කට නිසා එවන් අමාරුවක නො වැටිය යුතු බවට නිහඬ ව අනතුරු හඟවන ඔවුන් එක්තරා ආකාරයකය දේවදූතයන් වැනි ය. අවාසනාවකට බහුතරයක් දෙනා මේවායින් පාඩම් ඉගෙනගන්නට පෙලඹෙන්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ අනතුර දැක දැකත් තමනුත් ඒ ආකාරයේ ම කරදරවල පැටලීම ය.
පාලනයකින් තොර ව හිතෙන හිතෙන හැටියට වචන භාවිත කිරීමෙන් ඒ ක්ෂණයේ දී තමන් තුළ වූ පීඩනය නිදහස් වූ බව දැනුණ ද එයින් පසුව තමන්ට අත්විඳින්නට වන අමිහිරි ප්‍රතිඵල නැවතත් තමන්ට ගෙන දෙන්නේ පීඩනයකි. ඔබේ වාග් ප්‍රහාරයකට ලක් වන සාමාන්‍ය මිනිසකු ඔබ අපහසුතාවට පත් වන අන්දමේ ප්‍රතික්‍රියාවක් නො දක්වා සිටීමේ සම්භාවිතාව ඉතා අවම ය. කිසිවක් ම නො කළ හැකි කෙනකු නම් සිතින් හෝ ඔබට විපතක් ප්‍රාර්ථනා කරනවා ඇත. ඔබට අනෙකා ගෙන් කිසිදු තර්ජනයක් එල්ල නො වන්නේ වුව ද අයහපත් වචන හරහා ඔබ අයහපත් වාග් කර්මයක් සිදු කරගෙන හමාර ය. එයින් ඔබට වන යහපතක් නැත්තේ ම ය.
අප අවට සමාජයේ ඇති වන ආරවුල් බොහොමයකට මුල දුරදිග නො බලා වචන භාවිත කිරීම ය. බොහෝ අය සිහි නුවණ පවත්වා නො ගැනීම නිසා අනිසි වචන භාවිත කර නො සිතූ විපත්වලට පාර කපාගනිති. අනෙක් අතට රළු වචන නිසා වරක් පෑරුණු සිතක් යළි පහසුවෙන් සුවපත් කළ නොහැකි ය. එහි විපාක මතු සංසාරයේ ද තමන් පසුපස හඹා එනවා ඇත.