ගුණතිලකක මැටියගනේ
මීට වසර දහයකට පමණ පෙර අපගේ ඥාතිවර මුල් ගුරුතුමෙකුට ක්‍ෂණික මාරකයකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ ඔහු තම ඇඹෙණියත් සමග උදෑසන සේවය සඳහා ගම්බද පාසලට යතුරුපැදියෙන් යන අවස්ථාව් එක්වන ම සොලොප්පුවෙන් මතු වූ එක් හැඩ ඉලන්දාරියෙක් ලොකු මුගුරකින් දෑත බදා ඔහුගේ හිස මතට ප්‍රහාරයක් එල්ල කිරීම. පැළඳ සිටි හෙල්මටය නො වන්නට එදයි මුල්ගුරුතුමාගේ දිවි ගමන නිමා වන්නට නියමිත ව තිබුණේ.
වටපිටාවේ අය වහා ඔහුගේ උදව්වට පැමිණ කරුණු විමසා බලන විට හෙළි වූයේ අර ඉලන්දාරියා ඊට වසර හත අටකට පෙර ගැටවර සිසුවෙකු ව සිටිය දී මුල් ගුරුතුමාගේ යතුරුපැදියේ රෝදයක හුළං ඇරියා යැ යි යන චෝදනාව පිට ඔහුට නොසෑහෙන්නට දඬුවම් ලබා දුන් සිද්ධියක්.
තමා කෙසේ වත් එවන් තක්කඩිකමක් නො කළ බවට ඔහු හත්පොළේ දිවුරුවා. ඇතු හත්තේ පොල් ගෙඩිය සඟවා තබා සිටියාත් මෙන්, අවස්ථාවක් උදා වූ විට ඔහු ඊට වාඩුව ඇල්ලු විදිය.
සමාජ සංස්ථා ධූරාවලියට සමගාමී ව පුරවැසියන් හැටියට අප කාටත් අන්‍යයන් අරබයා තීන්දු තීරණ ගන්නට සිදු වනවා. ගෘහයක් තුළ අම්මයි තාත්තයි නඩුකාරයන්, ගම්මුලාදෑනියාගේ සිට අගමැති ජනපති දක්වා විවිධාකාර තීන්දු තීරණ (ගැසට්) නිකුත් කරන බලධාරීන්.
අධිකරණ පටිපාටිය ගත්තාම ගරු විනිසුරන්ට නීති සංග්‍රහ ප්‍රකාර ව ම ඒ බලාධිකාරය පැවරිලා. (උදා. මරණීය දණ්ඩනය නියම කිරීම පවා. ඔවුන් චුදිතයකුට මරණ දඬුවම දී අහකලා එම තීන්දුව කෙටුම්පත් කළ පෑන දෙකට වඩා විසි කොට දමන්නේ කම්පනය දරා ගන්නට අමාරුවෙන් වෙන්ටැති)
අද අපේ රටේ දඟ ගෙවල් ඇතුළෙ ඊස් මීස් නැතුව පොදිකන සිරකරුවන් සියලු දෙනා ම සැබෑ වරදකරුවන් ම දැ යි යන පැනයකුත් මතු වෙන ගානයි. ලෝ පතල ගත්කරු ලියෝ තොල්ස්තෝයි ලියූ ‘පිටුවහල් කිරීම’ (සබඳකම් අත්හැරීම) කෙටිකතාවේ එන ඇක්සිනොව් නම් තරුණ සෙල්ලක්කාර කෙළෙඹි පුත්‍රයා ද තමන් සිහිනෙන් වත් නො කළ මිනීමැරුමකට වරදකරු වී සයිබීරියාවට ම නාකි වී අන්ත දුකක් විඳ විඳ මරණය අබියස. අන්තිමට සැබෑ මිනීමරුවා පාපොච්චාරණයක් කරමින් වරද පිළිගන්නා විට ඇක්සිනොව් මිය ගිහින්. ලංකාවේත් මේ මෑතක ඊට සමාන සිදුවීමක් සිරගෙදරකින් වාර්තා වුණා.
දහ අටක් පොරොන්දු ඇද බා බලය අතට ගන්නා අයගේ උද්ධච්ඡ තීන්දු තීරණ නිසා මුළු රට ම ලෙහෙසියෙන් ගැලවී ගත නො හෙන ව්‍යසනවලට ගොදුරු වෙලා. ඒත් උන්නැහේලා නම් තෝන් ලණුව අතාරිනවා බොරු. මතක ඇති නෙ පහුගිය ඛගඔගඔගෑ භීෂණය වෙලාවෙ නීත්‍යනුකූල ව අවි අත දැරූ නැඟෙනහිර පළාතේ සේවය කළ පොලිස් නිලධාරීන් හය සීයකට ‘අවි පහත හෙළා කොටින්ට භාර වෙනු’ යන නියෝගය (ආරක්ෂක බලධාරින්ගේ දැඩි විරෝධය නො තකා) නිකුත් කළේ තනි පුද්ලයෙක්ලු නෙ. දින දෙකකට පසු අමු අමුවේ වෙඩි කා මියැදෙන්නට සිදු වූ ඒ හය සිය දෙනාගෙ ම අනාථ වූ පවුල්වල ඉරණම? හැබැයි යාබද රටේ දුම්රිය අනතුරකින් තුන් සියයක් පමණ මියැදුණ වෙලාවෙ ප්‍රවාහනය භාර ඇමැතිවරයා ඉල්ලා අස් වෙනවා.
පුද්ගල ජීවිතයක මතු දවස ඉහළට යවනවා ද පහළට ඇද දමනවා ද යන ඉරණම තීන්දු කරන බලගතු ම ආයතනය ගුරු ගෙදර. එහි දී ගුරු භවතා, විනය කමිටුව, මුල් ගුරුවරයා විනිශ්චයකරුවන් වෙනවා. බටහිර ගැති අධ්‍යාපන ක්‍රමය තුළ ගුරු ගෙදරින් දුන් ඇතැම් තීන්දු නිසා අනාගතය අඳුරු කරගත් අයත් බොහොමයි. එලෙස මෙලොව අපායෙන් කෙරවල් වන්නට නම නියම වූ දරුවන් රැසක් මානව දයාව ප්‍රතිපත්තිය කොට ගත් ශිෂ්‍ය උපදේශක තනතුර දැරූ ගුරුවරයකුගේ දූරදර්ශී කැප කිරීම නිසා නිසි මඟට පිවිස අද දෙස් විදෙස්හි ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය විශේෂඥ ආදි මහ පුටුවලට පත් ව සිටින අයුරු වටිනා ග්‍රන්ථ කිහිපයකට ගොනු කළ වයඹ සත්කෝරළ වැසි විශ්‍රාමික දිසාපාමොක් ඇදුරෙකුගේ නිර්භීත අනාවරණය සමස්ත ගුරු සංහතියට ම පාඩමක්.
බුද්ධ ශාසනය තුළ උද්ගත වූ යම් යම් අර්බුදකාරී අවස්ථාවන්හි දේශනා කළ විශේෂ ධර්ම පර්යාය හඳුන්වන්නේ ‘අත්තුප්පතික දේශනා’ නමින් මජ්ඣිම නිකායේ එන අත්ථකරණ සූත්‍රය අභිතකර තීන්දු තීරණ විනිශ්චයන්හි ආදිනව පෙන්වා දෙනවා.
එක්තරා වස්සාන සෘතුවක පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන භික්ෂු පිරිසක් වැස්සෙන් මුවා වන්නට අධිකරණ ශාලාවක් වෙත කිට්ටු කරනවා. ඒ එහි යුක්තිය පසිඳලන අවස්ථාවක්. ඉන් පිටතට එන ඇතැමෙක් තමන්ට ලැබුණු තීන්දු ගැන නොමනාපෙන්, හැඬූ කඳුලින් ශාප කරනවා. දෙයියන්ට කියනවා. පලි දරනවා. සාධාරණ විනිශ්චයක් නො ලැබුණු බවට චෝදනා නඟනවා.
භික්ෂුන් වහන්සේලා සවස දම්සභා මණ්ඩපයේ දී මෙපුවත බුදුන් වෙත සැළ කරනවා. බුදුරදුන් මෙහි දී ‘න තෙ හොති ධම්මස්සං” යනාදී වශයෙන් ගාථා දෙකක් මුල් කොට පැහැදිලි කර දෙන්නේ යමෙක් සතර අගතියට ගොස් නඩු විභාග කොට වැරදි තීන්දුවක් දෙන්නේ නම් හෙතෙම විනිශ්චයාසනයට සුදුස්සෙක් නො වේ යනුවෙනුයි.
තවත් අවස්ථාවක පසේනදි කොසොල් රජු ගිනි මද්දහනේ කලබලයෙන් මෙන් පූර්ව දැනුම් දීමකින් තොර ව බුදුන් බැහැ දැක්මට විහාරයට පැමිණෙනවා.
“මහරජතුමනි, මේ අරුමැක්කෙ?, හදිසි ගමනක් වගේ කලබලයෙන්. දැනුම් දීමක් වත් නැතිව?” බුදුන් විමසා සිටිනවා.
“බුදු හිමියනි, මං මේ අධිකරණ ශාලාවෙ ඉඳලා එන ගමන්. එතැන සිදු වන අගතිගාමි තීන්දු තීරණ බලා ඉන්න ම බැරි තැන තමයි හනික ගසා බසා දමා මෙහි පැමිණියේ. වරප්‍රසාද ලත් පංතියක්, අතමිට රන් කහවණු ගැවසෙන අයත්, කටේ හයිය ඇති උදවියත් පෙරමුණේ හුදී ජනයා බයෙන් මිරිකෙනවා.
“මහරජ, ඔබ ඉන් කලබල වෙන්ට කාරණාවක් නැහැ. ඔවුන් අගතිගාමී වී පක්ෂග්‍රාහී වී අහිංසකයන් හිරේ දඹේ දංගෙඩිය වෙතට යවන්නේ වේ ද එහි අනිටු පල විපාක ආදිනව එලොව දී මතු නො ව මෙලොව දීත් ඔවුන් කරා පැමිණෙනවා. (දඹදිව් තලයේ අදත් මුල් බැසගත් විශ්වාසයක් වන්නේ යම් විනිශ්චයකරුවෙක් අසාධාරණ තීන්දු ලබා දෙන තාක් ඔහුට අංගවිකල, මන්ද බුද්ධික දරුවන් ලැබෙන බවයි.) යමෙක් ඡන්දා, දෝසා, භයා, මෝහා යන සතර අගතියෙන් මුලා නො වී හරිහැටි සාක්ෂි විචාරා හරස් ප්‍රශ්න නඟා සත්‍යය පිරිසිඳ දැක විනිශ්චය ලබා දෙන්නේ නම් එයයි යුක්තිය පසිඳලීම.
බුදුන් වහන්සේ ශාසන අර්බුදවල දී බැලු බැල්මට පෙනෙන වැරදි සලකා බලා නො ව ඇතැම් විට ඊට වඩා සුදුසු ම විද්වතුන් ගෙන් සමන්විත කමිටු ද පත් කොට තියෙනවා. (එක්තරා භික්ෂුණි නමක් දරු ගැබක් දරන බව දැනගත් විට පත් කළ කමිටුව ඉතා වැදගත්. හැබැයි ඒ කමිටු හමස් පෙට්ටිවල ලතැවුණේ නෑ.) සංඝ ශාසනයේ භික්ෂුන් අතින් සිදු වන ඇවැත් ආපත්ති වග විභාග කොට විනිශ්චය කරනු වස් අධිකරණ සංඝනායක පදවි ප්‍රතිෂ්ඨාපනය කොට තිබෙනවා. භික්ෂු විනය සම්බන්ධයෙන් තවදුරටත් සුක්ෂ්ම ලෙස සොයා බලනු පිණිස ‘අනුවිජ්ජක’ නමින් ධුරයක් ද පනවා ඇත්තේ වඩාත් සාධාරණ විනිශ්චයක් සහතික කරනු පිණිස.
යම් අසාධාරණ තීන්දුවක් ලැබුණොත් ඇතැම් විට විනිශ්චයකරුවාට ද දඬුවමකට යටත් වන්නට සිදු වනු ඇති. ශාසන ප්‍රතිපදාවෙ ලොකු ම වරද පරාජිකාව නෙ. එනම් භික්ෂුභාවයෙන් පැරදීම. එහි දී තමන් නිවැරදි බවට විශ්වාස නම් අභියාචනයකට යා හැකියි. මුල් තීන්දුව බල රහිත කොට (උත්ක්‍රෝෂණය කොට) චූදිතයාගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරනු වස් බුදු සස්න තුළ අවස්ථා සලසා දී ඇත්තෙ ඒ විදියටයි.
අධ්‍යාපනපති පූජ්‍ය නෙලුවාකන්දේ ඤාණානන්ද නාහිමියන්ගේ ධර්ම දේශනාවක් ඇසුරිනි.

