නොනැවතී ගලායන ආදරය යනු කුමක්ද?

cmadurawala
15 Min Read

අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල නාහිමි

මලක සුවඳ දැනීමෙන් හෝ වෙනකෙකුගෙන් ලැබුණ ආරංචියක් අනුව හෝ මීමැස්සකු මලක් වෙත යන්නේ ආදරයක් නිසා නොව, තමාගේ ඕනෑකමක් ඉටු කරගැනීම සඳහාය. ආහාරයක් ලබාගැනීම උගේ අරමුණය. වසුපැටවකු හා උගේ මව අතර එයට වඩා වැඩි වූ බැඳීමක් ඇත. සීමිත කාලයක් තුළ පවත්නා එය ද සෙනෙහසක් වුවත් දිගට පවත්නා එකක් නොවේ. කුරුල්ලන් වැනි සතුන්ගේ අඹු – සැමියන් වශයෙන් ද ප්‍රේමයක් දක්නා ලැබේ. ඔවුනොවුන් සමග සිටීමේ කැමැත්ත හා ඔවුනොවුන්ගෙන් සතුටු වීමේ උනන්දුව ද ඇති හෙයිනි. එහෙත් එය මරණින් ඔබ්බට ගමන් කිරීම පිළිබඳව යමක් කතා කිරීමට ප්‍රමාණවත් සාධක නැත. ආදරය මනෝභාවයකි. කිසිවකුගේ සිතක තවත් කෙනකු අරමුණු කොට ඇතිවන ඇලුම් සහිත හැඟීම ආදරය නමින් හඳුන්වමු. මෙය පක්ෂ දෙකකට සම්බන්ධ වෙයි. මෙය එයින් එක පක්ෂයක සිතෙහි පමණක් පවතින තැන් ද දෙපක්ෂයේම සිත් තුළ පවත්නා තැන් ද ඇත.

මවු සෙනෙහස

දරුවකු අරමුණුකොට මවකගේ සිතෙහි ඇතිවන ආදරය, ඉහත හැඟීම සමග එක්කොට ගැනීම සුදුසු නැතැයි සිතමි. එය සත්ත්ව සන්තතියේ පැවැත්ම සඳහා ලැබී ඇති ස්වභාවධර්මයේ දායාදයකි. එයට වෙනත් ආදරයක් සමකරනු නොහැක. වෙනත් කෙනකු අරමුණුකොට සිතෙහි ඇතිවන ඇල්ම යන විග්‍රහය අනුව, එයත් මේ ගොඩට ඇතුළත් කළ හැකි බව සැබවි. සිග්මන් ප්‍රොයිඩ් ආදරය දුටුවේ ද එම කෝණයෙනි. එහෙත් එහි දක්නා වෙනස්කම් කිහිපයකි. කුරුල්ලන් හා කෘමීන් අතර ද මවු සෙනෙහස දක්නා දෙයකි. දෙවන පක්ෂය වන දරුවා මවගේ සෙනෙහස නොපිළිගන්නා අවස්ථාවකදී වුවත් දරුවාගෙන් සුදුසු ප්‍රතිචාරයක් නොලැබෙන අවස්ථාවකදී වුවත් මවගේ ආදරය නොවෙනස්ව පවතී. මෝහනය මගින් පුද්ගලයන්ගේ අතීත සම්බන්ධකම් ගැන දීර්ඝ පර්යේෂණයක් කළ ආචාර්ය හෙලන් වැම්බච් පවසන්නේ ප්‍රොයිඩ්ගේ සංකල්පය අනුව මෙය සමාන වුවත් අතීත භවවලින් සොයාගත් කරුණු අතර එයට ප්‍රමාණවත් උදාහරණ ලැබී නැති බවයි. දරුවකු අරමුණුකොට මවකගේ සිතෙහි ඇතිවන සෙනෙහස වඩා නැඹුරු ප්‍රේමය පැත්තට නොව මෛත්‍රිය පැත්තටය. සිතක මෛත්‍රිය දියුණු කළ යුතු තත්ත්වය පැහැදිලි කරන බුදුහාමුදුරුවන් වදාළේ, ‘එක පුතකු ඇති මවක යම් සේ ඔහු ගැන සිතයි නම් එම පමණට මෙත්තාව සිතෙහි වැඩිය යුතුය’ යනුවෙනි. උන්වහන්සේ ද එය මෙත්තාවට ආසන්නකොට සලකා ඇති බව එයින් පැහැදිලි වේ.

තවත් කරුණක් නම් මවගේ දරු සෙනෙහස සැමදාම බෙදෙන හා මාරුවන දෙයක් වීමය. මවගේ සෙනෙහසට අරමුණු වන්නේ පුද්ගලයා යන සංකල්පය නොව දරුවා යන සංකල්පයයි. පළමු දරුවාට ආදරය කරන අතර දෙවැනි දරුවා උපදී. දැන් මවගේ දරු සෙනෙහස දෙකට බෙදේ. තුන් වැනි දරුවා උපන් පසු තුනට බෙදෙන අතර සතර වැනි දරුවා උපන් කල සතරටත් බෙදේ. මරණින් මත්තේ ජාතියකදී ඇයට දරුවන් වන්නේ, බොහෝවිට පෙර ජාතියේ දරුවන්ව සිටි අය නොවේ. දෙවැනි ජාතියේ දරුවා වන්නේ වෙනත් ස්කන්ධ සන්තතියකි. තවත් ජාතිවලදී දරුවන් වන්නේ බොහෝවිට වෙනත් වෙනත් ස්කන්ධ සන්තතීහුය. මෙසේ මාරු වෙමින් යෑම මවු සෙනෙහසේ ඇති තවත් වෙනසකි. යම්විටක ආසන්න අතීත භවයක දරුවකුව සිටි කෙනකු නැවත එම මවගේම දරුවකු වුවහොත් සෙනෙහස වඩා බලවත් වෙයි. එසේ බොහෝ වාර ගණනක් එකම තැනැත්තා දරුවා වුවහොත් එය වඩා බලවත් තත්ත්වයකින් ගලාගෙන යාහැකි වෙයි.

සාමාන්‍ය තරමින් ඉගෙනගත් දෙයට වඩා, සිතට කාවදින සේ ඉගෙන ගත් දෙය වැඩිපුර කාලයක් මතකයෙහි රැඳී සිටී. එක්වරක් කියවූ දෙයට වඩා කීප වාරයක් කියවූ හෝ ඇසූ දෙය මතකයේ පවතී. එමෙන් ආදරය ද සාමාන්‍ය ප්‍රමාණයකින් ඇති වූවක් නම් එම ජීවිත කාලය තුළම වර්ෂ ගණනක් නොදැක සිටීමෙන් අමතක විය හැක. වැඩිපුර කාලයක් සිතක පැවත ගෙන ගිය ආදරයක් ලෙහෙසියෙන් නොමැකී දෙවන ජීවිතයේදී ද නැවත මතු වෙයි. මෙසේ ජීවිත බොහෝ ගණනක් දෙදෙනකු අතර නැවත නැවත අලුත් වෙමින් පැවැති ආදරයක් වුවහොත් එය ඉතා ගැඹුරට සිත්වල බලපවත්වයි. එයිනුත් වඩා තදින් ක්‍රියාත්මක වන්නේ අඹු – සැමියන් වශයෙන් හෝ පෙම්වතුන් – පෙම්වතියන් වශයෙන් ඇතිවන ආදරයයි. ආදරය ද පඤ්චස්කන්ධයට මිශ්‍රව සසර දිගටම ගමන් කරයි. පඤ්චස්කන්ධයන්ගේ පැවැත්ම නතර වනතුරු ගමන් කොට එතැනින් ආදරය ද නතර වෙයි.

බෞද්ධ වෘත්තාන්තයන්ට අනුව යශෝධරා මෙහෙණින් වහන්සේ රහත් වී පිරිනිවන් පෑමට යද්දී බුදුරදුන් හමු වී සදහටම සමුගත්තාය. එහිදී එතුමිය තමන් සසර සැරිසැරූ කාලයේ විවිධ තොරතුරු සඳහන් කළාය. (ථෙරී ආපදාන) එම විස්තරයට අනුව එතුමිය අපමණ ජීවිතවල බෝසතුන්ගේ භාර්යාව වී ඇත. අසීමිත ජීවිත සංඛ්‍යාවක එම දෙපළගේ ආදරය නතර නොවී ගලා අවුත් ඇත. එම දෙපළගේ එකතුව ගත කළ අතීත ජීවිත පිළිබඳ විවිධ තොරතුරු ජාතක කතාවල ද එයි. කෙනකු රාත්‍රි නින්දට යද්දී සිතක පැවැති මනෝභාවයක් පසුවදා අවදි වීමෙන් පසුවත් පැවැතෙන්නා සේ ජාතියෙන් ජාතියකට ද පැවතීගෙන යන බව පෙනේ.

මෙසේ පැවැතගෙන ගොස් ඇත්තේ අඹු – සැමියන් අතර පවත්නා ආදරය පමණක් නොවේ. දිනක බුදුරදුන් සාකේත නගරයේ පිඬුසිඟා වඩිනවිට එහි විසූ බ්‍රාහ්මණයෙක් වහා උන්වහන්සේ වෙත අවුත් දෙපා අල්ලා වැඳ, ‘පුතේ මවුපියන් මහලු වූ කල අප බලන්ට එන්නැ’ යි කියා උන්වහන්සේ වැඩමවාගෙන ගෙදරට ගියේය.

එහිදී බැමිණිය ඇමතූ බමුණා ‘පුතා ගෙදර ආවා. බලන්ට එන්නැ’යි දැන්වූ විට ඇය ද එළියට අවුත් ‘මගේ පුතා’ කියමින් දෙපා නමැද ‘නුඹලාගේ සහෝදරයා ගෙදර ආවා. බලන්ට එන්නැ’යි සිය දරුවන් ද කැඳවූවාය. එම බමුණු යුවළ එදින බුදුරදුන් වළඳවා, පසුවත් බොහෝ දිනවල ඉඩ ලැබුණු පරිදි බුදුරදුන්ට දන් පිළිගැන්වූහ. පුතා කියමින් අමතද්දී උන්වහන්සේ එය අනුමත කළ සැටිය දුටු භික්ෂුහු ‘ඔබවහන්සේගේ මවුපියෝ මහාමායා දේවිය හා සුද්ධෝදන රජතුමා නොවෙද්දැ’යි විමසූහ. පෙර ජීවිත බොහෝ ගණනක තමන් වහන්සේ ඔවුන්ගේ පුතාව සිටි බැවින් අතීත දරු සෙනෙහස මතුවීම නිසා ඔවුන් එසේ කතා කළ බව පැවසූ උන්වහන්සේ එය විශ්වධර්මතාව බව පැහැදිලි කළ සේක.

කෞෂම්බි නගරයේ සිටුවරයා දරුවකු හදා ගත්තේය. ඔහු අනාගතයේ එම නගරයේ සිටුවරයා වන බව දෛවඥයාගෙන් දැනගන්නට ලැබීම නිසා, සිටුවරයා ඔහු මැරවීමට උපායක් යෙදීය. එසේ කළේ සිය පුතණුවන්ට එම පදවිය හිමි කරදීම සඳහාය. හදාගත් පුතාට අකුරු උගන්වා තිබුණේ ද නැත. සිටුවරයාට අයත් වූ ඈත පිහිටි වත්තක් තිබිණ. එහි පාලකයා වෙත යවා තරුණයා අප්‍රසිද්ධියේ මරවා දැමීමට කටයුතු යොදන ලදී. මේ රැගෙන එන තැනැත්තා මරා සඟවා දමන්නැයි ලියුමක ලියා ඔහු අතම එම ලිපිය යවනු ලැබිණ. අකුරු නොදත් තරුණයා එම ලිපිය රැගෙන වතු පාලකයා වෙත යන්නේ අතරමඟදී දහවල් ආහාරය සඳහා එම සිටු පවුලේ නෑසබඳකමක් ඇතිව සිටි සිටු ගෙදරකට ගොඩවූයේය. එම නිවසේ බිම්මහලේ දවල් ආහාර ගෙන ඔහු මඳක් නින්දට වැටුණේය. එහි උඩුමහලේ සිටි එම සිටුහුගේ තරුණ දියණිය මෙම තරුණයා ගැන දැනගත් සැටියේම නොඉවසිය හැකි ප්‍රේමයකින් වෙළී ගියාය. එම තරුණයා එයට පෙර මනුෂ්‍යයකුව සිටි ජන්මයේදී මේ තරුණිය ඔහුගේ ආදරණීය භාර්යාව වූවාය. පෙර ජාතියේ පැවැති ප්‍රේමය වහා ඉස්මතු වී ක්‍රියාත්මක විය. ගෙදර සෑම දෙනාටම හොරෙන් බිමට බැස, එම තරුණයා බැලීමට ගිය ඇයට නිදා සිටි තරුණයා හා ලියුමක් දැක්ක හැකි විය. ඔහුටත් නොදැනෙන සේ ලියුම රැගෙන සිය කාමරයට ගොස් කියවූ ඇය, එම ලිපිය ඉරා දමා සිටුහුගේ අත්සනින් වෙන ලිපියක් ලියා තරුණයාටත් නොදැනෙන සේ පළමු ලියුම තිබූ තැනම තැබුවාය. ‘මාගේ දරුවකු වන මොහුට ගෙයක් සාදවා දී අසුවල් සිටුහුගේ දියණියන් සමග නොපමාව විවාහ කරවන්නැ’යි එහි තිබිණ. එම ලිපිය වතුපාලකයාට දුන් පසු ඒ සියල්ල එසේම ඉටුකරනු ලැබීය. ඇයගේ සිතෙහි පෙර ජාතියේ සැමියා කෙරෙහි පැවැති ආදරය සිටු දුවගේ සිතහෙි නැවතත් උද්දීප්ත විය. පසුව ඒ දෙදෙනා බුදුරදුන්ට උවටැන් කළ දායක පවුලක් ද වූහ.

ගැරී පෙනිංටන් දැනට කැලිෆෝනියාවේ වෙසෙන නෛතික මනෝවිද්‍යාඥයෙකි. එලිසබෙත් ඔහුට මුණගැසුණේ ඔහු පී.එච්.ඩී. උපාධිය සඳහා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු කරද්දීය. දෙදෙනා විවාහ වීමෙන් පසුව ඔවුන් දෙදෙනා අතර පැවැති ආදරය මිත්‍රයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවන තරම විය. 1982 නත්තල් සමයේ සාදයකදී හැරීට හදිසියෙන් කැරොලයින් මැක් විට් නමැති කාන්තාවක් මුණගැසුණාය. කැරොලයින් කිසිත් විශේෂ උත්සාහයක් නොකොටම, ගැරීගේ සිත අස්වාභාවික ලෙස ඇය වෙත ඇදී ගියේය. එයින් පසු ඔවුහු නිතර හමුවූහ. ගැරී මේ බව ඔහුගේ භාර්යාවට සැඟවූයේ නැත. කිසිවක් ඔවුනොවුන්ට නොසඟවන පෙම්වත් පවුලක් වී සිටි හෙයිනි. 1983 මැයි මාසයේ රාත්‍රියක ගැරී මැදියම් රැයේ ගෙදර එන විට එලිසබෙත් සියදිවි නසාගැනීමට නිදිපෙති බෝතලයක්ම ගිල, සිහි නැතිව ඇඳේ වැතිර සිටියාය. කෙසේ හෝ බොහෝ වෙහෙස ගෙන ඇයගේ ජීවිතය බේරාගත හැකි විය. සුවය ලැබීමෙන් පසුව ඇය එසේ කළේ තමාගේ වරද නිසා බව වටහාගත් ගැරීට නොදැරිය හැකි සිත්වේදනාවක් ඇතිවිය. කැරොලයින් වෙත නැවත නොයෑමට පොරොන්දු වූ ඔහු දැඩි අධිෂ්ඨානයෙන් එම පොරොන්දුව ඉටු කළේය. මෙසේ මාස කීපයක් යනවිට ගැරී තමාව අතහැර ඇති බව තේරුම්ගත් කැරොලයින් එල්ලී මියයෑමට සිය නිවසේම වහලේ එල්ලුණාය. එහෙත් සුදුසු වෙලාවට ඇයගේ සහෝදරයකු එතැනට පැමිණීම නිසා ඇයගේ ජීවිතය ද බේරාගත හැකි විය.

මේ පුවත දැනගත් ගැරී උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවිය. මෙයින් එක් කෙනකුවත් අතහැරීමට ඔහුට සිත සාදාගත නොහැකි විය. තමා ද මනෝවිද්‍යාඥයකු වී සිටින ගැරී වෙනත් මනෝචිකිත්සකයන් කීපදෙනකු ද හමුවීමට ගියේය. ඔවුන්ගේ පරීක්ෂණවලට ද හේතුවක් සොයාගත නොහැකි විය. 1984 මාර්තු මාසයේ ඔහු ජෝ එල් විටන් නමැති මනෝවෛද්‍යවරයා හමු වී මෝහනයට පත්වීමෙන් පෙර ජාතිවල තොරතුරු සොයන්නට විය. තුන් මසක් තුළ වරින්වර මෝහනයට පත්වීමෙන් රෝග නිදානය සොයාගත හැකි විය. දෙවන ලෝක සංග්‍රාමයේදී ගැරී ඇමෙරිකානු ගුවන් නියමු පයිලට් නිලධාරියෙකි. එකල හාග්‍රීව්ස් නම් වූ ඔහු 1944 වර්ෂයේ ඉතාලියට ගොඩබස්වන ලද මිත්‍රපාක්ෂික හමුදාවෙහි සේවයෙහි යෙදී සිටියේය. ඒ වනවිට ඉතාලි ජනයා මුසොලිනි පාලනයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනයමින් සිටියහ. ඔවුහු මිත්‍ර පාක්ෂික හමුදාවන්ට සහාය දුන්හ. එම සංවිධානයෙහි ක්‍රියාකාරිනියක්ව සිටි ඉලිනා නම් තරුණිය මොහු සමග පෙම්බැඳ සිටියාය. යුද්ධය අවසන් වූ පසු විවාහ වීමට දෙදෙනා තීරණය කරගෙන සිටියහ. දිනක් හාග්‍රීව්ස් තනිවම කුඩා යානයක් පදවාගෙන නට්සීන්ගේ ඔත්තු බැලීමට ගියේය. එහිදී නට්සි ප්‍රහාරක යානයකින් වෙඩි තබනු ලැබීම නිසා ගුවන් යානයත් සමග බිම වැටුණු ඔහු නට්සීන් විසින් අල්වාගනු ලැබීය. මිත්‍රපාක්ෂික හමුදාවේ විස්තර දැනගැනීම සඳහා නියපොතු ගලවා විවිධ වධ දී මරනු ලැබූ ඔහු ටික කලක් ඒ අසල භූතාත්මයෙන් සැරිසරමින් සිට කැලිෆෝනියාවේ උපත ලැබීය. සිය පෙම්වතාගේ මරණය ඇසූ ඉලිනා, කන්දකින් පැන සිය දිවි නසාගත්තාය. අද ගැරීගේ අනියම් භාර්යාව වී සිටින කැරොලයින් ඉන් පෙර ජාතියේ මොහු පතා සිය පණ නසාගත් ඉලීනාය. ඉලීනා කන්දකින් පනිනවිට භූතාත්මයක සිට ගැරී බලා සිටි බව මෝහනයේදී ඔහු පවසා ඇත. මෙකී තිදෙනාම මෝහනය කොට අතීත ජීවිතවල තොරතුරු පරීක්ෂා කිරීමේදී තවත් අතීත තොරතුරු හෙළි වී ඇත. අද අනියම් භාර්යාව වී සිටින කැරොලයින් පෙර ජාති පහක ගැරීගේ නියම භාර්යාව වී ඇත. අද ඔහුගේ නියම භාර්යාව වී සිටින එලිසබෙත් ජීවිත කීපයකම ගැරීගේ අනියම් භාර්යාව වී මෙම ජීවිතයේදී පළමු වරට ඔහුගේ නියම බිරිඳ වී සිටී. පෙර නීත්‍යනුකූල හිමිකාරිය මෙවර ද හරස් වී සිටී.

ගල්ගසා මැරවීම

මෙසේ අතීත ජාතිවලින් ගලා එන ප්‍රේම ප්‍රවාහයන්ට හසු වී ගසාගෙන යන අසරණ මනුෂ්‍යයන් ඇතැම් රටවල ගල් ගසා මැරීමට නියම වන අය අතරත් නැතැයි කාට කිව හැකිද? ප්‍රේමණීයයන් සමග එකතු වීමට ඉඩ නැතිවීම නිසා සිය පණ නසා ගන්නා බොහෝ මනුෂ්‍යයන් අතරත් මෙවැනි අතීත ජාතිවල බලපෑම් පැවැති අවස්ථා තිබිය හැක. නොමේරූ වයසත්, අත්දැකීම් අඩුකමත් නිසා ලෙහෙසියෙන් රැවටිලිවලට හා මුළාවන්ට භාජන වන තරුණ තරුණියන් බේරාගැනීම වැඩිහිටියන් සතු යුතුකමක් මෙන්ම වගකීමක් ද වෙයි. වැඩිහිටියන්ගේ මුහුකුරාගිය බුද්ධියේ හා අත්දැකීම්වල වැදගත්කම තරුණ තරුණියන් ද වටහා ගත යුතුය. එයින් ඔවුන් ප්‍රයෝජන ද ලබාගත යුතුය. මේ අතර පෙර ජාතිවල රැල්ලකට හසු වී ගසාගෙන යෑමකැයි සිතිය හැකි අවස්ථාවල වැඩිහිටියන් තමන්ගේ තීරණ නැවත සලකා බැලීම දරුවන්ගේ යහපතට හේතු වනු ඇත. කවර තත්ත්වයක් යටතේ වුවත් කාමමිථ්‍යාචාරය අනුමත කළ නොහැක්කකි. එබැවින් විවාහකයන් කල්පනාකාරීව එබඳු පෙර ජාතිවලින් ගලා ආ පෙම් සැඩපහරවලට වුවත් ඉඩ නොසැලසෙන පරිදි ජීවත්වීමට වගබලා ගත යුතුය. මේ ගැන අදහසක් දක්වන ටොරන්ටෝහි මානසික වෛද්‍ය ජොඑල් විටන් මෙසේ කියයි. වෙනත් ජීවිත සමග ළඟ ඇසුරට මේ අතීත පෙම්දහර පිබිදවීම ප්‍රධාන කාරණයකි.

ඉහත සඳහන් කළ පුවතේ ගැරීට වුවද තමා විවාහකයකු බව සිතා කැරොලයින් දෙස ඕනෑකමින් බැලීමෙන් වැළැකී සිටියා නම් මෙසේ කරදරයක් ඇති නොවන්නට ඉඩ තිබිණ. එවැන්නකින් සිත බේරා ගැනීමට උත්සාහ කොටත් නොහැකි වුවහොත් නැවත ඉපදීම පිළිබඳ ඉගැන්වීම අනුව සිතීමෙන් අවස්ථාවෙන් මිදිය හැක. තමාට තවත් සසර ඉපදීමට ඇති වාර ගණන අපමණය. ඉපදීමේ ආශාව ඇතිතාක්ම ඉපදීම නතර නොවේ. වර්තමාන ජීවිතයේදී යම් පෙම්වතකු හෝ පෙම්වතියක සමග එක්වීමට ඉඩක් නැති නම් එයට ඉඩ ලබාගත හැකිවන ජීවිත මෙයින් මත්තෙහි තවත් බොහෝ ලැබිය හැක. තමා වරදින් නිදහස්ව දැහැමි ජීවිතයක් ගත කළොත් වැරදී ගිය බලාපොරොත්තුව මීළගම ජාතියේ වුවත් ලැබීමට ඉඩ තිබේ. ‘සිල්වතාගේ පැතීම ඉටුවේමය’ යනුවෙන් බුදුරදුන් දේශනා කර ඇති බැවින් බුදුදහම විශ්වාස කරන කෙනකුට නම් ඒ පිළිබඳව සුළු සැකයක්වත් ඇති නොවේ. ඉහත සඳහන් පුවතේ එන ගැරී යුද සේවයේ යෙදී සිටි ඇමෙරිකානු ගුවන් යානා නියමු නිලධාරියකු වශයෙන් කෙතරම් දුරට සිල්වත් වූවාදැයි සඳහනක් නැත. එහෙත් 1944 වර්ෂයේ සිය මරණය නිසා එක්වීම වැරදීගිය එලීනා සමග 1983 වර්ෂයේ මාර්තු මාසයේ එකතු වීමට ලැබිණ. ඔහු අදත් ඇය සමග සතුටෙන් වෙසෙයි. අවුරුදුවලින් තබා කල්පවලින් ගණන් නොකළ හැකි අනාගතයක් තිබියදී අවුරුදු පනහක හැටක කාලයක් යම් දෙයක් ගැන බලාපොරොත්තු වෙමින් සිටීම සුළු දෙයකි. ‘ඉක්මන් කොටය’ යනුවෙන් ප්‍රස්තාව පිරුළක් ඇති වී තිබෙන්නේ සමාජයේ අත්දැකීම් නිසාය. අවශ්‍ය පමණ බලාපොරොත්තුවෙහි නොසිට ඉක්මන් වන තැනැත්තාට සිදුවන්නේ පාඩු විඳීමටය.

මෙලෙසින් සිතක ඇතිවන මනෝභාවයන් මේ ජීවිත කාලයේ නැව නැවතත් උපදින්නා සේ මෙයින් පසුව ලබන ජීවිතවලදී ද නැවත නැවතත් ඇති වෙයි. පෙර ජාතිවලදී ඒවාට සම්බන්ධ වූ අරමුණු හෝ ඒවාට සමාන අරමුණු හමුවීමෙන් එම මනෝභාවයෝ ඉක්මනින් හා වේගවත්ව උද්දීප්ත වෙති. එක ජීවිතයකදී තමා සමග ආදරයෙන් බැඳී සිටි කෙනකු නැවත ජන්මයකදී හමු වූ කල පෙර පැවැති ආදරය සිත්වල නැවත පිබිදෙයි. බොහෝදුරට සමානකම් ඇති වෙනත් කෙනකු දැකීමෙන් ද මෙය සිදුවීමට ඉඩ ඇත. මෙය වළකා ගැනීමට අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය දක්වන ප්‍රතිචාරය උපකාර වෙයි. තමා දුටු තැනැත්තා හෝ තැනැත්තිය දක්වන ප්‍රතිචාරය වෙනස් නම් තමාට වැරදීමක් සිදුවී ඇති බව වටහා ගත යුතුය. මෙහි සඳහන් කළ වෘතාන්ත එබඳු වැරදීම්වලින් තොර ඒවා බව දෙපක්ෂයම ඒකමතික බව වටහාගත හැක. මේවාට සමාන වූ බොහෝ කතාවන් බෞද්ධ සාහිත්‍යයේ සුලබව ඇත. මෑත කාලයේ සිටි හා අදත් ජීවත් වන පුද්ගලයන්ගේ අත්දැකීම් ද බොහෝ ඇත. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව මේ ආදරය දරා සිටින ආත්මයක් නැත. ක්ෂණයක් පාසා බිඳෙමින් හැදෙමින් පැවතගෙන යන ස්කන්ධ සන්තතියට මුසුවී ආදරය ද සමග ගලාගෙන යමින් තිබූ ස්කන්ධ සන්නතිය අද වනවිට අප්‍රමාණ වාර ගණනක් අලුත් වී ඇත. එහෙත් ඊයේ යමකුට ආදරය කළා නම් අදත් ඔහුට ආදරය කෙරෙයි. පෙර දිනයෙන් පසු දිනයට ආ දෙයක් නැත. එහෙත් ස්කන්ධ ගලායෑම සමග ආදරය ද ගලා අවුත් ඇත. මෙසේම ජීවිතයෙන් ජීවිතයට නොබිඳී යන අදහස් නැතත්, වර්තමාන ජීවිතයේ පවතින ආදරය ද මතු ජීවිතයට හා එයින් මතුව ඇති වන ජීවිතවලටත් ගලායයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *