දර්ශනපති සමීර ගයාෂාන් රුබසිංහ,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
rsgayashan@gmail.com
සංසාරය, සංසාර ගමන හා සංසාරයෙන් අත්මිදීම ආගමික ඉතිහාසයෙහි ඒ ඒ ආගමික හා දාර්ශනික ඉදිරිපත් කිරීම්හි නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ. එම සාකච්ඡාවන් ආගමික සම්ප්‍රදායන් දෙකක් ඔස්සේ සිදු වී ඇති බව බ්‍රහ්මජාල සූත්‍රයෙන් පැහැදීළි වේ. ඒ අනුව
- ශාස්වතවාදී ( ආත්මවාදී)
- භෞතිකවාදීන් (උච්ඡේදවාදී)
වශයෙන් ඔවුනොවුන්ගේ ඉගැන්වීම් හැටදෙකක් එහි සඳහන් වේ. ශාස්වතවාදී ඉගැන්වීම් ද නිර්මාණවාදී ආගම් හා පුද්ගලවාදී ආගම් වශයෙන් ද්විවිධ ය. නිර්මාණවාදී සර්වබලධාරී ආගමික ඉගැන්වීමට අනුව පුද්ගලයාගේ විමුක්තිය සලසාගනු ලබනුයේ දෙවියන් වහන්සේගේ ප්‍රදානයක් වශයෙනි. ඒ සඳහා ඔවුහු දෙවියන් සතුටු කිරීම උදෙසා භක්තිපූර්වකව යාගහෝම, බලිබිලි, පුදපූජා සිදුකිරීම විමුක්ති මාර්ගය වශයෙන් අනුගමනය කළහ. අනෙකුත් පිරිස ආත්ම තාපනය හෙවත් ආත්මයෙහි බැඳී පවත්නා පාපයන් ගෙවාදැමීම සඳහා විවිධ සීල ව්‍රත සමාදානය හා සිරුරට දැඩි දුක්දීමේ ප්‍රතිපදාව විමුක්ති මාර්ගය වශයෙන් යොදා ගෙන තිබේ. එය අත්තකිලමතානු යෝගය වශයෙන් දම්සක් දේශනාවෙහි සඳහන් වේ. උච්ඡේදවාදීන් භෞතිකවාදී, පධාර්ථවාද, ඉගැන්වීම් ඉදීරිපත් කළ සංසාරික විමුක්තියක් පිළිබඳ එතරම් තැකීමක් නොකළ කවර හෝ ක්‍රමයකින් සැපවිඳීම අපේක්‍ෂා කළ කාමසුඛල්ලිකානුයෝගීව දීවිගෙවූ පිරිසකි. කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමතානුයෝගය යන මාර්ගද්වය ම ධම්මචක්ඛප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සේවනය නොකළයුතු හීන වූ සංසාරවර්තී වූ මාර්ගද්වමයක් ලෙස බැහැර කළහ.
චතුරාර්ය සත්‍යාවබෝධය උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය මූලික කොටගත් මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්‍ෂණානුබෝධය මඟින් සංසාර විමුක්තියක් දේශනා කළහ. එලෙස දේශනා කරන ලද මාර්ගය නිර්වාණගාමී මාර්ගය ලෙස පෙන්වා දී තිබේ. එම ධර්ම මාර්ග සියල්ල පොදුවේ සතිස් බෝධිපාක්‍ෂික ධර්ම ලෙස සංග්‍රහකර දක්වා ඇත. එලෙස පෙන්වා දී ඇති නිර්වාණය සංසාරයෙන් එතෙර වූ ජාතියක්, ජන්මයක්, ව්‍යාධියක්, ජරාවක්, මරණයක් නැති අජරාමර වූ ස්වභාවයක් ලෙස බුද්ධදේශනයෙහි සඳහන් වේ. එනම් සසර දුක අවසන් කිරීම යි.
සත්ත්‍වයා සංසාරයෙහි ගමන්කිරීමත් ඒ සඳහා බලපාන හේතු සාධක හා එම හේතු ප්‍රහීන කර නිර්වාණයට පත්වන ආකාරය පිළිබඳවත් තමන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව මඟින්ම ලොවට හෙළිකළහ.
නිර්වාණය ලබාගැනීම සඳහා පිරියයුතු, වැඩියයුතු, ලබාගතයුතු අත්‍යවශ්‍ය ගුණාංග, ස්වභාවයන් හා කාලයන් ද පවතින බව ඛුද්දක නිකායේ ධම්මපදයෙහි පෙන්වා දී තිබේ. එම කරුණු සත්ත්‍වයෙකු හට ලබාගැනීමට අපහසු දුර්ලභ කරුණු සතරක් වශයෙන් සඳහන් වේ.
“කිච්ඡො මනුස්සපටිලාභො කිච්ඡං මච්ඡාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවනං කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්මපදය 182 ගාථාව)
මිනිසත්බව ලැබීම ද ලබාගත්තා වූ ජීවිතය යහපත්ව පවත්වා ගැනීම ද සද්ධර්මය ඇසීමට ලැබීම ද බුදුවරයෙකුගේ පහළ වීම ද දුර්ලභ කරුණු වන බව එහි අදහසයි. ඒ අනුව ධම්මපදයෙහි දුර්ලභව ලද අවස්ථාවන් අවබෝධකරගත යුතු බව
“නගරං යථා පච්චන්තං ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථඅත්තානං ඛණො වො මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා” (ධම්මපදය. 315 ගාථාව)
ප්‍රත්‍යන්තයෙහි ඇතුළතින් හා පිටතින් සොරුන් ඇතුළුවිය නොහැකිසේ ආරක්‍ෂා කොට ඇති නුවරක් පරිද්දෙන් තම සිත ආරක්‍ෂාකර ගතයුතුය. යම් ලෙසකින් ලද ක්‍ෂණ සම්පත්තිය විපතක් කර ගන්නේද හෙතෙම නිරයෙහි දුකවිඳින්නේය එබැවින් ලැද ක්‍ෂණ සම්පත්තිය ඉක්මයාමට නොදී වහ වහා ධර්මය අවබෝධකොට ගෙන නිර්වාණය ලබාගැනීමට උත්සාහ කළ යුතු බව බුදුරජානන් වහන්සේ දේශනා කලහ.
නිර්වාණාධිගමනය විෂයෙහි පැවතිය යුතු අත්‍යවශ්‍ය ධර්මතාවක් වන ක්‍ෂණ සම්පත්තිය ධර්මය විවිධ විග්‍රහ ඔස්සේ ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍ෂණ සම්පත්තිය පිරිහීමට පත්ව සසරට පිවිසෙන සත්ත්‍වයාගේ ක්‍ෂණ පරිහානීය ධර්ම අටක් බුද්ධ දේශනයෙහි විස්තර වේ. එම ධර්ම අෂ්ටදුෂ්ටක්‍ෂණ හෙවත් අක්ඛණ ලෙස හඳුන්වා තිබේ. අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයේ ගහපති වග්ගයේ නවවන සූත්‍ර දේශනාවෙහි එම අට්ඨදුට්ඨඛණ ගැන මෙසේ සඳහන් වේ.
“ඛණකිච්චො ලොකෙ ඛණකිච්චො ලොකොති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො භාසති, නො ච ඛො සො ජානාති ඛණං වා අඛණං වා. අට්ඨිමෙ භික්ඛවෙ, අක්ඛණා අසමයා බ්‍රහ්මචරියවාසාය” (අං.නි v, 2006).
“රහත්වීම, නිවන් දැකීම, මගඵල පසක්කිරීම නමැති බඹසර වසනු සඳහා කුසල්දහම් ඉපදවීමට අවකාශ නොවූයේ හෙවත් නොකල් වූයේ “අක්ඛණ” නම් වෙයි. එබඳු අක්‍ෂණ හෙවත් නොකල් අටෙකි….” යනුවෙන් පෙන්වා දෙන පරිදි සංසාරගත සත්ත්‍වයා සසරින් මිදීම සඳහා අවස්ථාව නොලැබෙන්නා වූ ස්ථාන, භව හා අවස්ථා අටක් වෙයි. ඒවා අක්ඛණ හෙවත් ක්‍ෂණවිපත්ති ස්ථාන වශයෙන් දහමෙහි හඳුන්වා තිබේ.
අෂ්ට දුෂ්ටක්‍ෂණය
මේ අනුව බලන කල ධර්මාවබෝධය සඳහා බඹසර විසීමට අනවකාශය වූ ආර්යමාර්ගයට අන්තරායකර වූ අක්‍ෂණ හෙවත් අකාල අටකි. ලොවුතුරා සම්මාසම්බුද්ධයන් වහන්සේලා ලොව පහළවනුයේ මෙම ක්‍ෂණ විපත්තීන් ලොවට ප්‍රකට කිරීම සඳහාය. ඒ අනුව බලන කල බුදුවරුන් ලොවට ප්‍රකට කරන්නා වූ අක්‍ෂණ මෙසේය.
- බුද්ධෝත්පාද කාලයක සිදුවන එක්සිය සතිසක් වූ අපායෙහි උපත
- බුද්ධෝත්පාද කාලයක සිදුවන තිරිසන් යෝනියෙහි උපත
- බුද්ධෝත්පාද කාලයක සිදුවන ප්‍රේතවිෂයෙහි උපත
- බුද්ධෝත්පාද කාලයක සිදුවන දීර්ඝයුෂ ඇති අසංඥ බ්‍රහ්මතලයෙහි හා අරූපී බ්‍රහ්මලෝකයන්හි උපත
- බුද්ධෝත්පාද කාලයක බුදුහිමියන් හා සිව්වනක් පිරිසෙහි වාසයක් නොමැති ම්ලේච්ඡ වූ අපරන්ත (ප්‍රත්‍යන්ත දේශය) දේශයක සිදුවන උත්පත්තිය
- බුද්ධෝත්පාද කාලයක බුදුහිමියන් වාසය කරන්නා වූ මධ්‍යම ජනපදයෙහි උත්පත්තිය ලබා මිථ්‍යාදෘෂ්ටිකයකු බවට පත්වීම.
- බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලබා යහපත අයහපත දැනගත නොහැකි ර්‍ණප්‍රඥාහීන පුද්ගලයකු බවට පත්වීම.
- අබුද්ධෝත්පාද කාලයක සිදුවන මිනිස්ලොව ඇතුළු සුගතිලෝක උත්පත්තිය.
බුද්ධ දේශනාවට අනුව ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන පුද්ගලයනට ලෝකයෙහි ක්‍ෂණකෘත්‍යයක් ඇත්තේ ය. එනම් යමක් සිදුකරන්නේ අවකාශ, ඉඩප්‍රස්තාව ඇතිව ම කරන්නා වූ කාර්යයක් ම කරන්නේ ය. එම තැනැත්තා ලැබුණා වූ ක්‍ෂණය (අවකාශය) හෝ අක්‍ෂණය (අනවකාශය) හෝ පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කරනු ලබයි. එනිසාම උතුම් වූ නිර්වාණය උදෙසා බඹසර විසීමට අනවකාස හෙවත් සුදුසු අවස්ථාවක්, කාලයක් නොලබයි.
සූත්‍ර දේශනාවෙහි දී බ්‍රහ්මචර්යාව විසීමට අපහසු, අවස්ථාව නො ලැබෙන්නා වූ උත්පත්ති පළමු අක්ඛණය වන එක්සිය සතිසක් වූ නරකය පිළිබඳව මෙසෙ සඳහන් වේ.
“මහණෙනි, අර්හත් වූ සම්මා සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුන්ට ශාස්තෘ වූ සිව්සස් පිළිවිඳි භාග්‍යවත් තථාගත තෙමේ ලෝකයෙහි උපන්නේ වෙයි. කෙලෙස් සන්සිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවීම කරන්නා වූ (චතුර්මාර්ගඥාන සංඛ්‍යාත) සම්බෝධිය කරා යන්නා වූ සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දා වූ ධර්මය ද දෙසනු ලැබේ. (එකල) මේ පුඟුල් තෙමේ ද නිරයෙහි උපන්නේ වෙයි. මහණෙනි මේ බඹසර විසීමට මේ පළමු අනවකාශය වේ. අකාලය වේ”(අං.නි v, 2006:128).
බුදුකෙනෙකුන් ලොව පහළ වූ කාලයක නිර්වාණය උපදවාගැනීම පිණිස උතුම් සද්ධර්මය දේශනා කරනු ලබන, ත්‍රිවිධරත්නයම පහළවන සමයක සත්ත්‍වයා තිරිසන් යෝනියෙහි උපන්නේ ද එවිට නිර්වාණ අපේක්‍ෂාවෙන් බඹසර වාසයට අවස්ථාව නොලැබෙන බැවින් එය දෙවන අනවකාශයයි.
බුද්ධෝත්පාද කාලයක නිර්වාණය පිණිස පවතින්නා වූ උතුම් සද්ධර්මය දේශනා කරනු ලබන කාලයක සංසාරගත සත්ත්‍වයා ප්‍රමාණයක් නියම කළ නොහැකි තරම් වන ප්‍රේත විෂයෙහි උපන්නේද එවිට ද නිර්වාණ අපේක්‍ෂාවෙන් බඹසර විසීමට අවකාශය නොලබයි. ඊට හේතුව ප්‍රේත ලොකයන්හි විඳින්නාවූ කර්ම විපාකයන්හි බලවත් බව හේතුවෙන් ධර්මය ඇසීමටවත් අවස්ථාවක් නොමැතිවීමයි. එය තුන්වන අකාලය වේ.
බුද්ධෝත්පාද කාලයක හා නිර්වාණය පිණිස පවතින්නා වූ උතුම් සද්ධර්මය දේශනා කරනු ලබන කාලයක සත්ත්‍වයා (පුද්ගලයා) ඉතා දීර්ඝායුෂ ඇති අසඤ්ඤසත්ත බඹතලයන්හි උත්පත්තිය සිදුවෙයි. එවිට කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා පඤ්චේන්ද්‍රයන්ගෙන් සඤ්ඤා ගැනීමක් නොමැති බැවින් ධර්ම ශ්‍රවණයට අවකාශයක් නොලැබෙයි. තවද දීර්ඝායුෂ ඇති අරූපතල බඹලොව සතරෙහි ද ධර්මශ්‍රවණයට අවශ්‍ය වන්නා වූ භෞතික පඤ්චේන්‍ද්‍රිය කයක් නොතිබීම හේතුවෙන් ධර්ම ශ්‍රවණයට අවකාශ නොලැබෙයි. එනිසා ම බුද්ධෝත්පාද කාලයක දීර්ඝ කායික බඹලොවක උත්පත්තිය සිදුවීම නිර්වාණය ලැබගැනීමට බාධාවක් වන බැවින් අක්‍ෂණයක් වේ, අකාලයක් වේ.
බුදුවරයකු ලොව පහළව නිර්වාණය පිණිස පවතින්නා වූ උතුම් සද්ධර්මය දේශනා කරනු ලබන කාලයක සංසාරගාමී සත්ත්‍වයා (පුද්ගලයා) භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවූ පිරිස වාසය නොකරන ම්ලේච්ඡ වූ ප්‍රත්‍යන්ත ජනපදයන්හි උත්පත්තිය සිදු වේ ද එය නිර්වාණය පිණිස බඹසර වීසීමට අවකාශ නො ලැබෙන පස්වන ස්ථානයයි. අකාලයයි. ඊට හේතුව වන්නේ එහි උත්පත්තිය ලබන්නා වූ මනුෂ්‍යයනට බුදුන් දැකීමට හෝ සද්ධර්මය අසා දැනගැනීමට අවස්ථාව නොලැබීමත් ඔවුන්ගේ මිථ්‍යා සංකල්පනාවන්ගෙන් යුක්ත ආගමික පරිසරයක ඔවුනට වාසය කිරීමට සිදුවීමත්ය.
බුද්ධෝත්පාද කාලයක බුදුන් වහන්සේ ධර්මය දේශනා අසනු ලබන සත්ත්‍වයා මධ්‍යම ජනපදයෙහි හෙවත් බුදුසසුන පවත්නා ප්‍රදේශයක උපන්නේ වෙයි. ඔහු විසින් දෙන ලද්දෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත. අමුත්තනට පිළියෙල කළ සත්කාරයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්මයන්ගේ (කුසලාකුසලයන්ගේ) ඵලයෙක් විපාකයෙක් නැත. (පරලොව සිටියහුට) මෙලොවක් නැත, (මෙලොව සිටියහුට) පරලොවක් නැත. මව් නැත, පියා නැත (එනම් මව්පියනට කළ යහපත් අයහපත් පිළිවෙතින් ඵලවිපාක නැතැයි යන අදහස), ඕපපාතික සත්ත්‍වයෝ නැත, යමෙක් මෙලොව ද පරලොව ද තමා විසින් ම අභිඥාඥානයෙන් අවබෝධ කොට පවසන්නේ ද එබඳු මනා මාර්ගයට පිළිපන් සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ලෝකයෙහි නැතැයි ආදී විපරීත දැකීම් ඇත්තා වූ මෙම දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය ඇති ව කටයුතු කරයි. හොඳ නරක, කුසල අකුසල කර්ම විපාක නො පිළිගනියි. එය ද නිර්වාණය සඳහා උතුම් බඹසර විසීමට අවකාශය නොලැබෙන සයවන අවස්ථාව යි. අකාලය යි.
බුද්ධෝත්පාද කාලයක උතුම් සද්ධර්මය ඇසීමට ලැබෙන කාලයක සත්ත්‍වයා (පුද්ගලයා) බුදුදහම පවත්නා වූ මධ්‍යම ජනපදයෙහි, ප්‍රදේශයක උපදියි. හෙතෙම මූඪ වූ කෙළ තො ලු වූයේ සද්ධර්මයෙහි අසත්ධර්මයෙහි අරුත් දැනගැනීමට අසමත් වූ දුෂ්ප්‍රාඥයකු (ප්‍රඥානැත්තෙක්/හීන බුද්ධිකයෙක්) වෙයි. එලෙස බුද්ධිහීන පුද්ගලයකු බවට පත්වීම ධර්මාවබෝධය සඳහා අවශ්‍ය ප්‍රඥාව නොමැති බැවින් බඹසර විසීමට සත්වන අනවකාශය යි. අකාලය යි.
දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ සිව්සස් ධර්මය අවබෝධ කරගත් භාග්‍යවත් වූ තථාගත බුදුරජාණන්වහන්සේ කෙනෙක ුන් ලෝකයෙහි නූපන්නේ වෙයි. කෙලෙස් සන්සිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවන්නා වූ සම්බෝධියට යන සු ලු වූ සුගතයන් වහන්සේ විසින් පවසන ලද උතුම් ධර්මය ද නොදෙසනු ලැබේ. මන්ද යත් බුදුවරයකුගේ පහළ වීමෙන් පමණක් සද්ධර්මය පහළවන බැවිනි. එකල සත්ත්‍වයා, පුද්ලයා ද මධ්‍යම ජනපදයෙහි හෙවත් සෑම බුදුවරයකු ම පහළවන්නා වූ දේශයෙහි උපදියි. එලෙස ඉපදුනා වූ පුද්ගලයා ද ඉතා නුවණැත්තේ අජඩ වූයේ කෙලතො ලු නොවූයේ සුභාෂිත දුර්භාෂිතයන්ගේ අර්ථ
දැනගැනීමෙහි දක්‍ෂයෙක් ද වෙයි. එසේ වුවද බුද්ධශූන්‍ය කාලයක් වන බැවින් නිර්වාණයත් එහි මාර්ගයත් හෙළි නොවීම නිසා එම සත්ත්‍වයාට නිවන් ලබා ගැනීමේ හැකියාව නොමැත. එනිසාම එය ද නිවන අපේක්‍ෂාවෙන් බඹසර වාසයට සුදුසු අවකාශය නොවෙන අටවන අක්ඛණය ද අකාලය ද වේ. (අං.නි v, 2006:128-130)
ක්‍ෂණ සම්පත්තිය
අට්ඨදුට්ඨඛණයෙන් වෙන් වූ නවවන ක්‍ෂණය, ක්‍ෂණ සම්පත්තිය වන බව ද මෙම සූත්‍රයෙහි දේශනා කොට තිබේ. එම ක්‍ෂණ සම්පත්තිය ලබා උත්පත්තිය සිදුවීම නිර්වාණය විෂයෙහි අත්‍යවශ්‍ය වන බව අක්ඛණ සූත්‍ර දේශනාවෙහි දී බුදුහිමියන් දේශිත ය.
“එකොච භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ්මචරියවාසාය. කතමො එකො: ඉධ භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති, අරහං සම්මාසම්බුද්ධො ….පරිනිබ්බායිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ් ච පුග්ගලො මජ්ක්‍ධිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙලමුගො පටිබලො සුභාසිත දුබ්බාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අයං භික්ඛවෙ, එකොව ඛණො චසමයො ච බ්‍රහ්මචරියවාසායාති”(අං.නි v, 2006).
නිර්වාණාවබෝධය සඳහා බ්‍රහ්මචර්යාවෙහි වාසය කිරීමට එකම අවකාශයෙක් ද කාලයක් දවෙයි. එනම් අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකයෙහි උත්පත්තිය සිදුවීම. උන්වහන්සේ විසින් කෙලෙස් සන්සිඳුවන කෙලෙස් පිරිනිවන චතුර්මාර්ගඥානාවබෝධයට පත්වීමට උපකාර වන්නා වූ ධර්මය දේශනා කිරීම. පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි, බුදුන් වැඩවාසය කරනු ලබන ප්‍රදේශයෙහි උපදියි. එම තැනැත්තා ද නුවණ ඇත්තේ උත්පත්තියෙන්ම අඳගොළුබිහිරි ආදී විකල භාවයන්ගෙන් තොරවූවේ ද ජඩ නොවූයේ කෙලතො ලු නොවූයේ සුභාෂිත දුර්භාෂිතයන්ගේ අරුත් දැනගැන්මෙහි ප්‍රතිබල ප්‍රඥාවෙන් යුක්ත ව උපත සිදුවෙයි. එනම් බුද්ධෝත්පාද කාලයක ත්‍රිහේතුක පටිසන්ධියකින් බුදුසසුන පවතින්නා වූ ප්‍රදේශයක මිසදිටු බවින් තොරව සිදුවන උත්පත්තිය යි. එය නිර්වාණය සාක්‍ෂාත් කරනය සඳහා බඹසර වාසය කිරීමට ඇත්තා ර්‍ණවූ එක ම අවකාශය ද කාලය ද ක්‍ෂණය ද වේ. එනිසාම එම ක්‍ෂණය, ක්‍ෂණ සම්පත්තිය ලෙස දහමෙහි පෙන්වා දී ඇත.
“මනුස්සලාභං ලද්ධානං සද්ධම්මෙ සුප්පවෙදිතො,
යෙ ඛණං නාධිගච්ඡන්ති අතිනාමෙන්ති තෙ ඛණං” (අං.නි v, 2006)
යම් කෙනෙක් මනුෂ්‍යාත්මභාවය ලැබ මැනැවින් දෙසූ සදහම්හි අවකාශය නොලබත් ද, ඔහු අවකාශය (ක්‍ෂණය) ඉක්මවා යන්නෙකි. නිර්වාණගාමී මාර්ගයට අන්තරායකර වූ බොහෝ අනවකාශයෝ දේශනා කරන ලද තථාගතයන් වහන්සේ කෙනෙකුන්ගේ කිසියම් කලෙක ලොවෙහි උපත සිදුවන්නේ ද එකල මිනිසත් බව ලැබීම ද සදහම් දෙසීම ද යන යමක් ලොව අතිශය දුර්ලභ වේ ද, එම දුලබ අවස්තාව යමෙක්ට හමු වෙයි. එවිට තමාගේ විමුක්තියක් අපේක්‍ෂා කරන්නා වූ හිත කැමති මිනිසා විසින් ධර්මාවබෝධය සඳහා උත්සාහ කිරීමට සුදුසු ම කාලයක් හිමි වූ බව දැන ධර්මාවබෝධය සඳහා උත්සාහ කළ යුතුය.
“තස්සිදං සම්මුඛීභූතං යං ලොකස්මිං සුදුල්ලභං,
මනුස්සපටිලාභො ච සද්ධම්මස්ස ච දෙසනා
අලං වායමිතුං තත්ථ අත්තකාමෙන ජන්තුනා” (අං.නි v, 2006)
යම් කෙනෙක් මනුෂ්‍යාත්මභාවය ලැබ මනා ලෙස දේශනා කරන ලද සද්ධර්මයෙහි නොහැසිරී ධර්මාවබෝධය නො කරයි ද, ඒ තැනැත්තේ උතුම් වූ අතිදුර්ලභ වූ ක්‍ෂණ සම්පත්තිය, එළැඹි අවස්ථාව ඵල රහිත කරගත්තකු වන බව බුද්ධ දේශනාවෙහි සඳහන් වේ. මනුෂ්‍යභව, දිව්‍යභව, රූපීභවයන්හි ත්‍රිහේතුකව උත්පත්තිය ලැබීමෙන් ක්‍ෂණ සම්පත්තිය උපදවා ගැනීමට අවකාශය හිමි වේ.
අභිධර්ම පිටකයෙහි විග්‍රහ වන අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක ප්‍රතිසන්ධි චිත්ත අතුරින් ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබූවන්ට නිර්වාණ සාක්‍ෂාත් කරණයෙහි ලා ක්‍ෂණ සම්පත්තිය උපදවාගැනීමට පූර්ණ හැකියාව තිබේ. ද්විහේතුකයාට ත්‍රිහේතුක කුසලයක් සිදුකොට එය චුතිපටිසන්ධි වශයෙන් ලබන්නා වූ දෙවන භවයෙහි ත්‍රිහේතුකව සිදුවන උපතින් නිවන් දැකීමේ අවකාශය හිමිවේ.මට්ඨකුණ්ඩලී, බක බ්‍රහ්ම ආදීන් ඊට උදාහරණයකි. පුද්ගල වේමත්තතාව මත ද යමෙක් ක්‍ෂණ සම්පත්තිය උපදවා ගන්නේ ද නැද්ද යන්න තීරණය කරන බව බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරුවලින් පැහැදිලි වේ.
“බුද්ධාදිච්චේ අනුදිතෙ මග්ගං නිබ්බානසාධකං
බ්‍රහ්මින්දචන්දාදිච්චාපි න සක්කොන්ති විභාවිතුං” (සද්ධම්මෝපායනය)
බුද්ධෝත්පාදය මෙන් ම ක්‍ෂණ සම්පත්තිය ද ඉතා දුර්ලභ වූවක් බවත් එය ලද නුවණැත්තා සිය ඇට ලේ මස් නහර වියළී ගිය ද නිර්වාණය නොදැක තම උත්සාහය අත්නොහරින බව පෙන්වාදෙයි. එසේ දුර්ලභ ව ලද ක්‍ෂණ සම්පත මගහරවා නොගතයුතු ය. එම ක්‍ෂණ සම්පත ඇති ව මිනිස් ලොව මනුෂ්‍යයකු වශයෙන් සිදු වන උත්පත්තිය ද අතිදුර්ලභ වූ කරුණක් වන බව සද්ධම්මෝපායනයෙහි දී පෙන්වාදෙයි.
ධර්මය පිළිබඳ යථාවබෝධයක් ලැබගැන්ම විෂයෙහි අත්‍යවශ්‍ය ම ගුණාංගය ලෙස ක්‍ෂණ සම්පත්තිය සඳහන් වේ. උත්පත්තීන් අතර පරම දුර්ලභ උත්පත්තිය වන්නේ ක්‍ෂණ සම්පත්තිය ඇති ව උත්පත්තිය ලැබීම යි. එලෙස දුර්ලභ ක්‍ෂණ සම්පත්තිය ඇති ව උපන් සත්ත්වයා/පුද්ගලයා එම ක්‍ෂණයෙන් ප්‍රයෝජන නොගෙන ක්‍ෂණ විපත්තියක් කරගන්නේ ද, ඔහු නැවත නැවත සසරට පිවිස අනන්ත අප්‍රමාණ සංසාර දුක්‍ඛයන්ට ගොදුරු වෙයි. එහෙත් ක්‍ෂණ සම්පත්තිය උපදවාගත් තැනැත්තා උත්තරීතර විදර්ශනාවබෝධය ලබා නිර්වාණයට පත් වන බව බුද්ධ දේශනාව යි.
“අට්ඨක්ඛණ විනිම්මුත්තො ඛණෙ පරමදුල්ලභං
තං ලද්ධා නො පමජ්ජෙය්‍ය සබ්බසම්පත්තිසාධකං”(සද්ධම්මොපායනය, 1984)
අට්ඨදුට්ඨක්ඛණයෙන් විනිර්මුක්ත වූ නවවන පරම දුර්ලභ වූ ක්‍ෂණ සම්පතිතිය අවබෝධකොට ගැනීම උදෙසා සුදුසුම දේශයක, දහමක, ජාතියක උපත ලබා ඇති බොදුනුවන් කටයුතු නොකරන්නේ ද ඔවුන සියල්ලෝම ලද ක්‍ෂණය විපතක් කරගත්තා වූ සංසාරගාමී සත්වයන් ම වන්නේය.
නිර්වාණය සෑම කෙනකුට ම පොදු වූවක් නොවන බව අක්ඛණ දේශනාවෙන් මෙන් ම සත්ත්‍වයා නෙළුම් විලකට උපමා කර දැක්වීමෙන් පැහැදිලි වේ. එහි දී අවධාරණය කරනුයේ උත්පත්ති ප්‍රඥාවෙන් යුක්ත ප්‍රඥාවන්තයාට ම (පඤ්ඤාවන්තස්සයං ධම්මො නායං දුප්පඤ්ඤස්ස) තමන් වහන්සේගේ ධර්මය පවතින බව යි.
මෙසේ ප්‍රඥාව සහිත ව උපත ලැබුව ද ඇතැම් පුද්ගලයන්ගේ සිත තුළ ජනිත වන චිත්ත දුබ්බලීකරණ ධර්ම, චිත්තෝපක්ලේශ, වඤ්චක ධර්මාදී ක්ලේශ ධර්මයන්ගේ මතු වීමෙන් නිවන සඳහා අවස්ථාව බොහෝ දෙනකුට මඟහැරෙයි. එසේ සිත දුබල කරන මුළා කරන ධර්ම සමුදායක් ත්‍රිපිටක දේශනාවන්හි විවිධ විග්‍රහ ඔස්සේ පෙන්වාදී තිබේ. එම සිත දුබල කරන ක්ලේශ ධර්ම හඳුනාගැනීමෙන් සිත යෝනිසෝමනසිකාරයෙන් ශක්තිමත් කොට සිත වැඩෙන සත්තිස් බෝධිපාක්‍ෂිකාදී ධර්ම මාර්ගය නිර්වාණය කෙරෙහි උපයුක්ත කරගැනීමට හැකි වේ.
සංසාරය සමග ගත් කල අප ලද මේ භවය එක් ක්‍ෂණයකි. එය බුද්ධෝත්පාදයක අට්ඨක්ඛණයෙන් තොර ව ධර්මය පවත්නා දේශයක, නිරන්තරයෙන් දහම් ඇසීමට හැකියාව ඇති, ධර්මය ඉගෙනීමට පරිශීලනයට, අනුගමනයට අවකාශය පවත්නා ස්ථානයක සිදු ව ඇති උත්පත්තිය සුවිශේෂී වූවකි. එය කණ කැසබුවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනි වූ අතිදුර්ලභ ව ලද්දකි. බුදුදහමේ පෙන්වාදෙන බුද්ධෝත්පාදය, සද්ධර්මය, මනුෂ්‍ය භවය හා ක්‍ෂණ සම්පත්තිය යන සතර දුර්ලභ කාරණයන්ගේ ම පහළ වීමකි. එසේ පවතිදදී ඒ බව නොදැනීම හෝ නිසි ලෙස අවබෝධ කර නොගැනීම පුද්ගල දෝෂයක් ම මිස ධර්මයෙහි හෝ සාසනයෙහි දෝෂයක් නො වේ.