රුහුණ විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනංශයේ කථිකාචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
ඕපනායක උපේක්‍ෂා ධම්මධීරා මෙහෙණින්වහන්සේ
සටහන : ආර්. ඒ. නයනානන්ද
බුදුන් වහන්සේ ජීවමාන සමයෙහි භාරතීය සමාජයෙහි වනිතාවෝ කොන් කරන ලද පිරිසක් වශයෙන් ජීවත් වූ හ. බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව වනිතා පරපුරට සමාජයේ අයිතිවාසිකම් ඇහිරී තිබිණි. ඔවුනට ආගමික නිදහසක් ද නො වූ අතර මවක හෝ බිරිඳක වශයෙන් හිමි විය යුතු නිසි තැන වත් නො ලැබුණි. ගැහැනු දරුවෙකු ඉපදීම පවා මහත් අභාග්‍යයක් ලෙස සැලකිණි. එනමුත් දැමුණු සිත් ඇති, නුවණැති, ධෛර්යවත් වූ වනිතාව පුරුෂයන් මෙන් ම ශ්‍රේෂ්ඨත්වයේ ලා සැලකිය හැකි බව බුදුන් වහන්සේ පෙන්වා දුන් හ. බුදුන් වහන්සේ බෞද්ධ වනිතාවන්‘උපාසිකා’ නම් පිරිසට ඇතුළත් කොට ආගමික නිදහස ලබා දුන්නා පමණක් නො ව පැවිදි වීමට කැමැති වනිතාවන් සඳහා භික්‍ෂුණී ශාසනය ද ඇරඹූ සේක. එපමණක් නො ව බුදුන් වහන්සේ ගිහි-පැවිදි වනිතාවන් උදෙසා ශාසනික තනතුරු පවා පිරිනැමූ හ.
සංඝමිත්තා තෙරණිය වැඩම කිරීමට පෙර ලක්දිව වනිතාවන්ට උරුම වූයේ ද බුද්ධ කාලීන භාරතීය සමාජයේ වනිතාවට හිමි ව තිබූ තත්ත්වය ම යැ යි පැවසීම සාවද්‍ය නො වේ. මිහිඳු මාහිමියන් මෙරට බුදුසමය පිහිටුවීමට පෙර ලක්වැසියන් අතර බ්‍රාහ්මණ ආගම, ජෛනාගම, මළවුන් ඇදහීම, වෘක්‍ෂ වන්දනාව, ග්‍රහතරු විශ්වාසය වැනි විවිධ ආගමික විශ්වාස හා ඇදහිලි පැවැති බව පෙනේ. මින් බොහොමයක් භාරතීය සමාජයෙහි එකල පැවැති ඇදහිලි හා විශ්වාස විය. සමහරක් ලක්දිවට විශේෂ වූ ඒවා ය. මේ අතරින් බ්‍රාහ්මණ ආගම වැදගත් තැනක පැවැති බව මහාවංශයෙහි එන කරුණු අනුව පැහැදිලි වේ. විජය රජුගේ පුරෝහිතයා වූයේ උපතිස්ස නම් බ්‍රාහ්මණයායි. පඬුවස්දෙව් හා අභය රජවරුන්ගේ අගනුවර වූයේ උපතිස්ස බ්‍රාහ්මණයා නිර්මාණය කළ උපතිස්ස නුවර ය. පණ්ඩුකාභය රජු ශිල්ප උගත්තේ පණ්ඩුල බ්‍රාහ්මණයා ගෙනි. පණ්ඩුකාභය රජුගේ අගනුවර වූ අනුරාධපුරයෙහි බ්‍රාහ්මණයන්ට ගෘහයන්, සොත්ථි ශාලාවක් හා ශිවිකා ශාලාවක් ද විය. දේවානම්පියතිස්ස රජ දවස බ්‍රාහ්මණයෝ ‘විශේෂ තැනක’ සිටිය හ. දේවානම්පියතිස්ස රජු, දඹදිව ධර්මාශෝක මහාධිරාජයා වෙත තුඩුපඬුරු යැවූ නියෝජිතයන් අතර බ්‍රාහ්මණයෙක් ද විය. ජයසිරි මහා බෝධි ශාඛාව අනුරාධපුරයට ගෙන එද්දී තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි ද තැන්පත් කරන ලදි. එසේ ම තිවක්ක බ්‍රාහ්මණයා බෝධි රෝපණ අවස්ථාවට ද සහභාගි විය. මේ අනුව බ්‍රාහ්මණයන්ට එකල සමාජයේ විශේෂ තැනක් ලැබුණු බව පෙනේ. එනිසා බුද්ධකාලීන භාරතයේ වූ සමාජ සංස්කෘතිය ම හෝ ඊට සමාන සංස්කෘතියක් ප්‍රාග් බෞද්ධ ලංකාවෙහි ද පවතින්නට ඇත.
දේවානම්පියතිස්ස රජ දවස බු.ව. 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝ දා මිහිඳු මාහිමි ප්‍රමුඛ දූත පිරිස ලක්දිවට වැඩම කළේ සදහම් පණිවුඩය ද රැගෙන ය. මිහිඳු මාහිමි ලක්දිවට වැඩම කර දෙවැනි දින රජගෙදර දී දේශනා කළ දහම් අසා දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග යුවරජුගේ බිසව අනුලා දේවිය ප්‍රමුඛ අන්තඃපුර වනිතාවෝ පන්සියයක් පිරිසසෝවාන් ඵලයට පත් වූ හ. අනතුරුව මහමෙවුනා උයන සඟ සතු කළ දින මිහිදු මාහිමි දෙසූ දහම් අසා අනුලා දේවිය ප්‍රමුඛ එම වනිතා පිරිස සකෘදාගාමී ඵලයට පත් ව පැවිදි වීමට කැමැත්ත පළ කළ හ.
මිහිඳු මාහිමියන් වනිතාවන් පැවිදි කිරීම භික්‍ෂූන්ට අකැප හෙයින් ස්වකීය නැඟණිය වූ දඹදිව පැළලුප්නුවර වැඩ වෙසෙන සංඝමිත්තා රහත් තෙරණිය මෙරටට වැඩම කරවාගන්නා ලෙස දේවානම්පියතිස්ස රජුට දැන්වූ හ. ඒ සමග ම බුදුන් වහන්සේට බුදු වන අවස්ථාවේ දී සෙවණ දීමෙන් උපකාර කළ ජයසිරි මහා බෝසමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව ද වැඩම කරවන ලෙස අනුදැන වදාළ හ. දේවානම්පියතිස්ස රජු එය අසා, සංදේශයක් ද පිළියෙල කරවා ස්වකීය බැණනුවන් වූ අරිට්ඨ කුමරු ප්‍රධාන දූත පිරිසක් දඹදිව ධර්මාශෝක මහාධිරාජයා හමු වීම පිණිස යැවී ය. ඒ අනුව බු.ව. 236 වැන්නෙහි උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ජයසිරි මහා බෝසමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව සමග සංඝමිත්තා රහත් තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයා මෙරටට වැඩම කළ හ. ජයසිරි මහා බෝසමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව රෝපණය කිරීමේ උළෙලෙන් පසුව අනුලා දේවිය ඇතුළු වනිතාවෝ පන් සිය දෙනා පැවිදි බව ලබා නොබෝ දිනකින් රහත් ඵලයට පත් වූ හ. ලක්දිව භික්‍ෂුණී ශාසනය ද ස්ථාපිත විය. ඒ සමග ලක්දිව බුදුසසුන ද සිව්වණක් පිරිසෙන් (භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා) සම්පූර්ණ විය.
මෙහි දී සැලකිය යුතු කරුණ වන්නේ නුහුරු නුපුරුදු දහමක් ඇසූ පමණින් අවබෝධ කරගැනීමට තරම් අනුලා දේවිය ඇතුළු වනිතාවන් බුද්ධියෙන් මුහුකුරා ගොස් සිටීමයි. ධර්මාවබෝධයත් සමග වනිතාවට එම සමාජයේ නොතිබූ සහනයක්, පිළිගැනීමක්, නිදහසක් බුදුදහම තුළ ඇති බව අනුලා බිසව ඇතුළු වනිතාවන් නුවණින් වටහාගත්තා විය යුතු ය. ඔවුන් උතුම් පැවිදි බව අපේක්‍ෂා කළේ එබැවිනි. ඔවුහු සංඝමිත්තා තෙරණිය පැමිණෙන තෙක් දසසිල් සමාදන් ව කසාවත් හැඳ උපාසිකාරාමයක විසූ බව මහාවංශයේ සඳහන් වේ. අනුලා දේවිය වැනි රාජකීය වනිතාවක් පැවිදි වීම බමුණ බලය තිබූ සමාජයට එරෙහි ව රජගෙදරින් ම හඬ නැඟීමක් සේ විය. රාජකීය වනිතාවක් පැවිදි වීම සමාජයේ සෙසු වනිතාවන් ඒ සඳහා දිරිමත් කිරීමකි. එනිසා ‘වනිතා විමුක්තිය’ සඳහා රාජ අනුග්‍රහය ලැබීම පිළිබඳව ගැටලුවක් නො වුණු බව පෙනේ.
සංඝමිත්තා තෙරණියගේ පැමිණීම සිදුවන්නේ මිහිඳු මාහිමි මෙරටට වැඩම කර සය මසකින් පසු ව ය. ඒ අනුව බුදුදහම පිළිබඳ අවබෝධයක් සමාජය තුළ පැවතීම සංඝමිත්තා තෙරණියට මෙරට වනිතාව වෙනුවෙන් සේවය කිරීම පහසු කළ බව පෙනේ.
සංඝමිත්තා තෙරණිය ලක්දිවට වැඩම කොට පැවිදි හා ගිහි වනිතාවන් සඳහා ධර්ම විනය ඉගැන්වූ ආකාරය දීපවංශයේ දැක්වේ. සංඝමිත්තා තෙරණිය සමග මෙරටට වැඩම කළ උත්තරා, හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්මදියා, මහාදේවී, පදුමා, හේමාසා, උන්නලා, අඤ්ජලී හා සුමා යන භික්‍ෂුණීන් වහන්සේලා අනුරාධපුරයෙහි ධර්මය හා විනය ඉගැන්වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. මේ අනුව සංඝමිත්තා තෙරණිය මෙරට වනිතාවට යහපත් ජීවිතයක් ගත කරන ආකාරයත්, සම්‍යක් දෘෂ්ටියට අනුව සංසාරගත දුකින් මිදීමේ මගත් ඉගැන්වූ බව පැහැදිලි වෙයි. මෙම ඉගැන්වීම් එකල මෙරට තිබූ ආගමික විශ්වාස හා ඇදහිලි අනුව පැවැති සමාජයේ වනිතාවට හිමි කර දී තිබූ තත්ත්වය වෙනස් කිරීමට දායකත්වය ලබා දෙන්නට ඇත. බුදුදහම වැළඳගත් පුරුෂ පාර්ශ්වය ද එතෙක් කල් වනිතාව දෙස බැලූ ආකාරය වෙනස් කරමින් ඇයට ගරු කිරීමට, නිදහස ලබාදීමට පෙලඹෙන්නට ඇත.
මෙරට භික්‍ෂුණී ශාසනය පිහිටුවූ දා සිට පොළොන්නරුව රාජධානියේ අගභාගයේ පැමිණි සතුරු උපද්‍රව හේතුවෙන් අතුරුදහන් වන තෙක්ම එකල රාජ්‍යය විචාළ රජදරුවන් භික්‍ෂුණී ශාසනයේ උන්නතියට අනූපමේය සේවයක් සිදු කළ ආකාරය මහාවංශයේ සඳහන් වේ. මහසිළු මහතිස් රජු භික්‍ෂුණීන් දොළොස් දහසකට තුන් සිවුරු පූජා කිරීම, වළගම්බා රජතුමා භික්‍ෂූණීන් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය පූජා කිරීම, මහසෙන් රජතුමා මෙහෙණවර දෙකක් කරවීම, භාතියතිස්ස රජතුමා භික්‍ෂුණීන් වහන්සේලාට මහා දන් පිරිනැමීමඒ සඳහා නිදසුන් කීපයකි. මේ ආකාරයට පෙර රජ දරුවෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් භික්‍ෂුණී ශාසනයට සංග්‍රහ කළා පමණක් නොව, තම මව්වරුන්, බිසෝවරුන්, දියණිවරුන්භික්‍ෂුණී ශාසනයේ පැවිදි කළහ. නිදසුන් ලෙස අග්බෝසලමෙවන් රජුගේ දියණිය, මකලන්තිස්ස රජුගේ මෑණියන්, කාවන්තිස්ස රජුගේ මහිලා හා සමන්තා යන දියණියන් භික්‍ෂුණී ශාසනයේ පැවිදි බව ලැබීම සඳහන් කළ හැකිය.
භික්‍ෂුණී ශාසනය පිහිටුවා සියවස් එකහමාරක් පමණ ගත වනවිට ලක්දිව භික්‍ෂූණීන් වහන්සේලා සියදහස් ගණනින් වැඩ සිටි බව වංශකතාවල එන විස්තරවලින් පැහැදිළි වේ. ඇතැම් භික්‍ෂුණීහු විශිෂ්ට ධර්ම කථිකයෝ වූහ. දුටුගැමුණු රජ දවස සිටි සුමනා තෙරණිය විශිෂ්ට ධර්ම කථික තෙරණියකි.දුටුගැමුණු රජතුමාගේ මිරිසවැටිය චෛත්‍ය පූජෝත්සවයට භික්‍ෂුණීන් වහන්සේලා අනූදහසක් සහභාගි වූ බවත්, රුවන්වැලි සෑ පූජෝත්සවයට පැමිණි භික්‍ෂුණීන් වහන්සේලා අතරින් දහහතර දහසක් රහත් ඵලයට පත්වූ බවත් මහාවංශයේ සඳහන් වේ. එසේම භික්‍ෂුණීන් වහන්සේලා විනය ඉගැන්වීමෙහි ලා විශේෂ සාමාර්ථ්‍යයක් දක්වා තිබෙන බව වංශකථාවලින් පෙනේ. දේවානම්පියතිස්ස රජ දවස සද්ධම්මනන්දි, සෝමා, ගිරිද්ධිආදි භික්‍ෂුණීන් විනය ඉගැන්වූ බවත්, අනුරාධපුර මහාවිහාරයේ වැඩ සිටි භික්‍ෂුණීන් විනය ග්‍රන්ථ පහ, අභිධර්ම ග්‍රන්ථ හත ඉගැන්වූ බවත්, වළගම්බා රජු දවස භික්‍ෂුණීන් විසිදහසකට ප්‍රධාන වූ උත්තරා නම් භික්‍ෂුණිය ත්‍රිපිටකය ඉගැන්වූ බවත් දීපවංශයේ සඳහන් වේ.
හතරවන කාශ්‍යප රජතුමා කරවූ මහින්දාරාම නම් මෙහෙණවර ඉදිරිපිට වූ ආරෝග්‍ය ශාලාවෙහි රෝගීන් සුවපත් කිරීමේ කාර්යයහෙි භික්‍ෂුණීහු නියැලී සිටියහ. මේ අනුව පෙනී යන්නේ භික්‍ෂුණීහු ආධ්‍යාත්මික විමුක්තිය කෙරෙහි මෙන්ම සමාජ සුභසාධන කාර්යයෙහිත් නිරතව සිටි බවයි.
එපමණක් නොව ලක්දිව භික්‍ෂුණීන් වහන්සේලා විදේශයන්හි ද භික්‍ෂුණී ශාසනය පිහිටුවීමට දායක වූහ. ක්‍රි.පූ. 5 වන සියවසේ දී චීන අධිරාජ්‍යයාගේ ඇරයුමෙන් මෙරටින් වැඩම කළ දේවසාරා නම් භික්‍ෂුණිය ප්‍රධාන කණ්ඩායම විසින් චීනයේ භික්‍ෂුණී ශාසනය පිහිටුවන ලදී. ලංකාවේ සිට සැතපුම් දහස් ගණනක් දුරක පිහිටි චීනය වැනි අධිරාජ්‍යයකට නාවුක ගමනින් ගොස් එහි භික්‍ෂුණී ශාසනය පිහිටුවීමට තරම් ධෛර්යමත්,භාෂා දැනුමෙන් යුක්ත උගත් වනිතා පරපුරක් බිහිවූයේ සංඝමිත්තා තෙරණිය ඇති කළ මගපෙන්වීම නිසා බව අවිවාදයෙන් පිළිගත යුතුය.
සංඝමිත්තා තෙරණියගේ වැඩමවීමෙන් ලක්දිව භික්‍ෂුණී ශාසනය පිහිටුවා මෙරට රහත් භික්‍ෂුණීන් පිරිසක් ඇතිවූවා පමණක් නොව ශ්‍රේෂ්ඨ සිංහල වනිතා සමාජක් ද බිහිවීමට මං පෙත් විවර වූ බව පෙනේ.
සංඝමිත්තා තෙරණියත්, එතුමිය සමඟ පැමිණි භික්‍ෂුණීන් වහන්සේලාත්මෙරට වනිතාවට ධර්ම ශාස්ත්‍ර ඉගැන්විම් හේතුවෙන් උගත්, බුද්ධිමත්, සාරධර්ම රැකි වනිතා පරපුරක් බිහිවූවා නිසැකය. උගත් නැණවත් බුද්ධිමත් මාතාවන් බිහිකරන හා ඇති දැඩි කරන දරුවන් ද, යහපත් සමාජ ප්‍රගමනයට දායක වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙවන් වූ වනිතාවන් විවිධාකාරයෙන් මෙරට සමාජ සංවර්ධනයට දායක වූ බව පිළිගත යුතු කරුණකි. සංඝමිත්තා තෙරණිය බුදුදහම මගින් ඇති කළචින්තන විප්ලවය නිසා මෙරට වනිතාවට ඉදිරිපත්වීමේ හැකියාවත්, පිළිගැනීමත් ලැබිණි. එනිසා වනිතාව, ආගමික, අධ්‍යාපන, සමාජීය, සාහිත්‍ය කලා, රාජ්‍ය පාලනය ආදී වූ සෑම අංශයකින් ම ඉදිරියට ආවාය.
පොළොන්නරු සමයේදී ලීලාවතී, කල්‍යාණවතීයන බිසෝවරු දෙදෙනා රාජ්‍ය පාලනය බාරගැනීම, ඉළනාග රජුගේ මව රාජ්‍ය පාලන කටයුතුවලට උපදෙස් දීම පාලන තන්ත්‍රයෙන් වනිතාව ඉදිරියට ආ බවට නිදසුන් වේ. උගතුන්ගේ හා විචාරකයින්ගේ ප්‍රංශසාව ලැබූ සීගිරිගී වලින් සමහරක් ලියා ඇත්තේ වනිතාවන් ය.බතී හා නිදල මිහිදන්ගේ බිරිඳ වැනි කිවිඳියෝ ඒ අතර වූහ. කැලණියේ තිස්ස රජු දවස සිදු වූ මුහුද ගොඩගැලීමෙන් සිදු වූ විපතින් රට බේරා ගැනීමට රජකුමරියක් මුහුදට බිලි දිය යුතු බව රජුගේ උපදේශකයෝ කීහ. ඒ සඳහා තිස්ස රජුගේ දියණිය දේවි කුමරිය ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වූවාය. පසුව ඇය විහාර මහා දේවිය නමින් ප්‍රකට වූවාය. වළගම්බා රජු දමිළ ආක්‍රමණයෙන් පැරදී සිය බිසව සෝමාදේවිය සමඟ අශ්ව කරත්තයෙන් පළායන අවස්ථාවේ එහි වේගය වැඩි කිරීම සඳහාඇය ස්ව කැමැත්තෙන් මරියෙන් බැස ඉවත්වූවාය. එවිට ඇය ගැබිණි මාතාවකි.
මේ ආකාරයට රටට දැයටසමයට හිතැති වැඩැති මෙවන් වනිතාවන් පහළවූයේත්, මතුවට පහළ වන්නේත් සංඝමිත්තා තෙරණියගේ අනූපමේය සේවයේ විශිෂ්ට ප්‍රතිඵල නිසාමය. සිංහල වනිතාව ලැබූ ප්‍රගතියේ එක් එක් අංශය ගෙන නුවණින් විමසා බැලුවහොත්, ඒ සියල්ලම සංඝමිත්තා තෙරණිය නිසා හිමි වූ දායාද බව පැහැදිලිය.
දරුවන් හදා වඩා ගනිමින් නිවසේ කටයුතු අනලස්ව කරමින් ‘පැමිණි දුකත් පැණි රසය’ යන කියමනට අනුව දිවි ගෙවූ වනිතාවට සිතීමේ සහ විමසීමේ නිදහස හිමිකර ගැනීමටත්, සමාජ මෙහෙවරෙහි නිරතවීමටත්, ආධ්‍යාත්මික දියුණුව ලබාගැනීමටත් මග විවර වූයේ සංඝමිත්තා තෙරණිය දුරදිග බලා කටයුතු කළ නිසාවෙනි.
විහාරස්ථානය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමට විවෘත විය. එසේමදැනුම, අධ්‍යාපනය ලබාදෙන මධ්‍යස්ථානයක් පමණක් නොව ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරන මූලස්ථානයක් බවට ද පත්විය. විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගොඩනැගුණු සමිතිසමාගම්වල කටයුතු කිරීමටත්, ආගමික හා සමාජයීය කටයුතුවල නියැලීමටත් නොපැකිළිවවනිතාවෝ ඉදිරියට පැමිණියහ.සංඝමිත්තා තෙරණියගේ පැමිණීමත් සමඟ ආරම්භ වූ මේ සමාජ සංවර්ධනය වත්මන් වනිතා පරපුරද භුක්ති විඳිනු ලබයි. වර්තමානයේ වනිතාවෝ ප්‍රධානපෙළේ ආයතනයන්හි ආයතන ප්‍රධානීන්, කළමනාකරුවන් මෙන්ම හිමිකරුවන් බවට ද පත්වෙමින් දස්කම් පෙන්වමින් සිටිති.
සංඝමිත්තා තෙරණිය විසින් මෙරට වනිතාවට ලබා දුන් උතුම් වූ පැවිද්ද මූලික කොටගත් වනිතා ශික්‍ෂණයත්, චින්තන ධාරාවන්හි පෙරළියත්, ආධ්‍යාත්මික සංවර්ධනය හා සමාජ ප්‍රගමනය කෙරෙහි දායකත්වයත්ලාංකේය වනිතාවගේ මේ උසස් සමාජ පිළිගැනීම උදෙසා හේතු වූ බව පැහැදිලි ය.