වර්ෂ 1909 දී මොරටුව කොරළවැල්ල ග්‍රාමයෙහි උපත ලබා, වර්ෂ 1924 දී පැවිදි බිමට පත් අතිපූජ්‍ය මොරටුවේ සාසනරතන අනුනාහිමියෝ වර්ෂ 1930 දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ හ. රාජකීය පණ්ඩිත, ග්‍රන්ථ විශාරද, විද්‍යා විශාරද යන උපාධින් ගෙන් පිදුම් ලබා මහත් ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවරක යෙදී අවසන උන්වහන්සේ වර්ෂ 1981 දී අපවත් වූ හ.
ආරම්භයේ සිට ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයෙහි පාලි අධ්‍යයන අංශයෙහි සහ දර්ශන අංශයෙහි කථිකාචාර්ය ධුරයක් හෙබවූ අතිපූජ්‍ය සාසනරතන අනුනාහිමියෝ වර්ෂ ගණනාවක් දර්ශන අංශයෙහි අංශාධිපති ධුරය දැරූ හ. භාෂා, දර්ශන, ආගම්, පුරාවිද්‍යා, වාග්විද්‍යා ආදි විවිධ ක්ෂෙත්‍රයන් කෙරෙහි සිය පර්යේෂණ ඇස යොමු කළත් උන්වහන්සේගේ වඩාත් ප්‍රියතම විෂය ක්ෂේත්‍රය වූයේ මහායානයයි. මහායාන දර්ශනය සමකාලීන විද්වත් සමාජයට හඳුන්වාදීමේ පුරෝගාමී වූ අතිපූජ්‍ය මොරටුවේ සාසනරතන අනුනාහිමියෝ, එහි අග්‍රගණ්‍ය ඵලයක් ලෙස “ලක්දිව මහායාන අදහස්” නමැති ග්‍රන්ථය රචනා කළ හ. පුරාවිද්‍යාත්මක, දාර්ශනික, ඓතිහාසික ගැටලු රාශියක් නිරාකරණය කරගැනීමට එය මහෝපකාරී වූ අතර එම ග්‍රන්ථාරම්භයෙන් උපුටාගත් කොටසක් මෙසේ බුදුමඟෙහි පළ කෙරේ.
අතිපූජ්‍ය මහාචාර්ය මොරටුවේ සාසනරතන අනුනාහිමි
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ තුන් මසකින් ධර්ම සංගායනාවක් පැවැත්විණ. මේ ධර්ම සංගායනාවට හේතු වූයේ බුදුරදුන්ගේ පිරිනිවන් පෑම අසා හඬන වැළපෙන භික්‍ෂූන් වෙතට ගොස් සුභද්‍ර නම් භික්‍ෂුව කළ,
‘ඇවැත්නි ශෝක නොකර වා, නොහඬ වා, යහපත නපුර කියා අපට වෙහෙස දෙන මහ මහණු මළ පසු මෙවිට අප කැමැත්තක් ම ය. එසේ හෙයින් සොම්නස් වුවමනා තන්හි කුමක් පිණිස දොම්නස් ව හඬවු ද? මෙතැන් පටන් අප කැමැත්තක් කරම් හ. නොකැමැත්තක් නො කරම් හ’
යන දුර්විනීත ප්‍රකාශයයි. මේ අදහස් මෙසේ ම එදා තවත් භික්‍ෂූන් ද ප්‍රකාශ කළ බව හියු-එං-සියැං චීන තෙරුන්ගේ ගමන් විස්තරයෙහි සඳහන් වේ. සෙසු භික්‍ෂූන් හට ද මේ අදහස ඇති විය හැකි ය යි මහාකාශ්‍යප හිමියන් කල්පනා කළ බව සාරාත්‍ර්‍ථදීපනී විනය ටීකාවේ කියයි. මෙබඳු දුර්විනීතයන්ගේ දුර්භාෂිතයන්ට මෙන්ම අධර්ම අවිනයවාදීන්ට මතු අවකාශ නො තබනු පිණිස මේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ හ. එහෙත් පූජාවලියෙහි සඳහන් වනුයේ ධර්මය විසිරී පවත්නා බැවින් ධර්ම සංගායනා පවත්වන ලද බවයි. එහි මෙසේ සඳහන් වේ.
‘බුදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියෙහි මල් එක මලස්නෙක සැලුවා සේ ඒ ඒ සත්ත්වයන් උදෙසා දෙසා ලූ හෙයින් පිළිවෙළක් නැති ව අනාගතයෙහි නො පවත්නා ලෙස තුබුයේ ය. එසේ හෙයින් දැන් මම ධර්‍ම සංගායනාව කරවනු කැමැතියෙමි.’
මේ ධර්ම සංගායනාව විස්තරයෙහි දී පූජාවලී කර්‍තෘ, සුභද්‍ර භික්‍ෂුව ගේ පුවත අත්හළේ කුමක් නිසා ද? මහාසංඝිකයෝ ද සංගායනාවට හේතු වශයෙන් සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශය නො ගනිති. මේ පුවත සඳහන් ඉතා ම පැරැණි ග්‍රන්ථය වූ චුල්ලවග්ග පාලිය ඇතුළු බොහෝ ග්‍රන්ථවල සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශය ම ධර්‍ම සංගායනාවට හේතු වූ බව දක්නේ ය. පන් සියයක් මහරහතන් වහන්සේගේ සහායයෙන් පුරා සත්මසක් තුළ සංගායනා කළ ධර්ම ගණ සජ්ඣායනා කොට ධාරණය සඳහා පිළිගත් හ. මේ ධර්ම සම්මේලනය, ධම්ම සංගීති, ථෙරිකා, ථෙරවාද, විහජ්ජවාද යන නම්වලින් හඳුන්වති. මේ සංගායනාව පිළිබඳ මතභේද ඒ දවස ම පැවැත්තේ ය. ධර්ම සංගායනාවෙහි දී කවර කවර ශික්‍ෂාපද ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රක ද යන ප්‍රශ්නයේ දී බලවත් මතභේදයක් ඇති විය. එහෙත් ඒ පිළිබඳ අවසාන විනිශ්චයකට නො පැමිණ මහකසුප් හිමියන්ගේ බසට අවනත ව සියලු දෙනා වහන්සේ නිශ්ශබ්ද වූ හ.
ධර්‍ම සංගායනාව කරන්නට පළමුව ම එයට විරුද්ධ විශාල පිරිසක් සිටිය හ. ධර්‍ම සංගායනාව පවත්වන අතර සමහර විසභාග පුද්ගලයන් සඟ මැදට පිවිස එය අවුල් කර දමතැ යි සංගීතිකාරක මහරහතන් වහන්සේ කල්පනා කළ හ. රජගහනුවර දී මේ සංගායනාව පැවැත්වූයේ ද ඒ නිසා ම ය. විරුද්ධ පිරිසක් සිටිය බැවින් රජගහනුවරට වැඩ අජාසත් රජුට කරුණු පහදා දී රාජ බලය මෙන්ම රාජකීය ආරක්‍ෂා සංවිධානත් ඇති ව ම සංගායනාව පැවැත්වීමට සිතූ හ. ඒ වූ පරිදි රජුගේ ආධාරය මෙන්ම ආරක්‍ෂා සංවිධානය ද නොඅඩු ව ලැබුණේ ය.
බුද්ධ ජන්මයෙන් පූර්‍ව කාලයෙහි උත්තර භාරතයෙහි කෝශල රාජ්‍යය ම ප්‍රධාන විය. කාශි-මල්ල-පාඨෝත්තර-පංචාල දේශයෝ ද, එවක කෝශලයට ම අයත් වූ හ. මගධයන්ගේ බලය ද මේ කාලයේ ම වැඩෙන්නට විය. බිම්සර රජු විසින් අංග ජනපදය ද ඔහු පුත් අජාතශත්‍රැ විසින් විශාලාව ද යටත් කරන ලදි. ප්‍රසේනජිත් කොසොල් රජුගේ මරණින් ටික කලකින් ඔහු පුත් විරූඪක ද කාලක්‍රියා කළ බැවින් කෝශලය ද අජාසත් රජු යටතේ මගධ සිංහාසනයට අයත් විය. අජාසත් රජුගේ ආඥා බලය මෙවක මධ්‍ය දේශයෙහි ම පැතිරී පැවැත්තේ ය. මේ මධ්‍ය දේශය නම් වෛදික සූත්‍රයන්හි සඳහන් ආර්‍ය්‍යාවර්‍තයයි. එය පසු කාලයෙහි මධ්‍ය දේශය නමින් ප්‍රසිද්ධ විය. වෛදික මධ්‍ය දේශයට උතුරෙන් හිමාලය ද, දකුණින් වින්ධ්‍යා පර්වතය ද, පූර්‍ව-පශ්චිම දෙදිගින් සමුද්‍රය ද සීමා විය. මේ මධ්‍ය දේශය බෞද්ධ ග්‍රන්ථවල දක්නා මධ්‍ය දේශයට වඩා විශාල ය. බෞද්ධ ග්‍රන්ථයන්හි පැනෙන මධ්‍ය දේශයට නැඟෙනහිරින්, කජංගලය හා සලලවතී නදිය ද, දකුණෙන් සාත කර්ණිකය ද, බටහිරින් ථූන නම් බමුණු ගම ද, උතුරෙන් උසීරධ්වජය ද මායිම් වේ. බෞද්ධ මධ්‍ය දේශය දිගින් යොදුන් 500කිත පුළුලින් 250කිත අවටින් යොදුන් 900කි. අජාසත් රජුගේ බලය මෙබඳු විශාල ප්‍රදේශයක පැතිරී පැවැත්තේ ය. එබැවින් අජාසත් රජුගේ සහාය ලබා ගැන්ම විරුද්ධවාදීන් නිහඬ කරලීමට මෙන්ම ස්වකීය කාර්‍යය ඉටු වීමට ද බලවත් ආධාරයක් වූයේ ය. අජාසත් රජ ද සුදුසු ලෙස රාජකීය ආරක්‍ෂා සංවිධාන යෙදුවේ ය.
ධර්ම සංගායනාව අවසානයෙහි පන් සියයක් පමණ භික්ෂු පිරිසක් සිටි පුරාණ නම් ස්ථවිරයන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයට වැඩියා හ. එහි දී සංගීතිකාරක මහරහතන් වහන්සේ සමග පිළිසඳර කතාවෙහි යෙදුණු පුරාණ ස්ථවිරයන් වහන්සේට තමන් විසින් කරන ලද සංගායනාව ඒ හැටියට පිළිගන්නා මෙන් සංගීතිකාරක මහරහතන් වහන්සේ දැන්වූ හ. එහෙත් සංගායනාව භාරගැනීමට පුරාණ ස්ථවිරයන් වහන්සේ කැමැති නො වූ හ. තමන් බුදුන් හමුවෙහි ඇසූ දේ ම පිළිගන්නා බවත් එය ම ධාරණය කරන බවත් උන්වහන්සේ ගේ පිළිතුර විය.
‘ථේරේහි ආවුසෝ පුරාණ ධම්මෝච විනයෝච සංගීතෝ උපේහි තං සංගීතන්ති. සුසංගිතාවුසෝ ථේරේහි ධම්මෝච විනයෝච, අපි ච යථේව මයා භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං තථේවාහං ධාරෙස්සාමි’.
ධර්‍ම සංගායනාව කළ කාලය තුළ පුරාණ ස්ථවිරයන් වහන්සේ රජගහනුවර නො සිට සිය පිරිසත් සමග දක්‍ෂිණාගිරියෙහි සැරිසරා සංගායනාව අවසාන වූ පසු රජගහනුවරට පැමිණිය හ. පුරාණ ස්ථවිරයන් වහන්සේ සංගායනාව නො පිළිගත්තේ කුමක් නිසා ද?
පුරාණ ස්ථවිරයන් වහන්සේ පිළිබඳ මේ පුවත චුල්ලවග්ග පාලියේ මෙසේ සැකෙවින් දක්නා අතර චීනයාත්‍රික පාහියන් භික්‍ෂුව (ක්‍රි.ව. 399-414) ලක්දිවින් ගෙන ගිය මහීශාසක නිකායට අයත් විනය ග්‍රන්ථයක ද, ධර්‍මගුප්ත නිකායකයන්ගේ පොතක ද, හෛමවත නිකායිකයන් අයත් Pi ni min Louen නම් චීන ග්‍රන්ථයෙහි ද විස්තර වශයෙන් දක්නේ ය. පුරාණ ස්ථවිරයන් වහන්සේ සංගායනාව නො පිළිගත්තේ, 1. ආහාර තැන්පත් කළ නොහැකි වීම, 2. තැන්පත් කළ ආහාර තමන්ට ම පිසීමට නුපුළුවන් වීම යනාදි කරුණු සතක් නිසා ය යි මහීශාසකයන්ගේ විනය ග්‍රන්ථයේ සඳහන් වේ. උන්වහන්සේ සංගීතිකාරක මහරහතන් වහන්සේ විසිනුදු ගරු බුහුමන් කළ, පන් සියයක් පමණ භික්ෂු පිරිසක් සිටි උතුමෙකි. පුරාණ ස්ථවිරයන් වහන්සේ සංගායනාවට සහභාගි නො වූයේ එතෙක් සංගායනාවට නො පැමිණි ගවම්පති තෙරුන් කැඳවාගෙන ඊම පිණිස කුසිනාරාවට ගිය නිසා ය යි ද, ලෝකයේ ප්‍රඥාප්‍රදීපය නිවී ගිය බැවින් මම මෙහි වෙසෙමි යි ගවම්පති තෙරුන් කියූ බව ද සඳහන් වේ.
මේ ප්‍රථම ධර්ම සංගායනාවට එකඟ නො වූවෝ පුරාණ ස්ථවිරයන් වහන්සේ පමණක් නො වෙති. අනිකුදු විශාල පිරිසක් එකඟ නො වූ හ. ප්‍රථම සංගායනාව මෙන්ම ද්විතීය, තෘතීය සංගායනාවන් නිසා ශාසනය අලුත්වැඩියා කරන ලදැ යි උත්තරා පථකයෝ කී හ. ප්‍රථම සංගායනාවට ඇතුළත් කරගනු නො ලැබූ ලක්‍ෂයක් පමණ රහත් නොරහත් භික්‍ෂු සමූහයා එක් ව ආනන්ද ස්ථවිරයන් වහන්සේ රහත් වූ තැනට නොදුරු ව සංගායනාවක් පවත්වා බුද්ධ ධර්‍මය පිටක පසකින් සංගීතියට නැඟූ බව හියු-එං-සියැං ගේ ගමන් විස්තරයෙහි සඳහන් වේ. තව ද මහාසංඝික විනය ඒ ප්‍රථම සංගායනාවේ දී පිළිගත් බව ද පාහියන් කියයි.
මේ ප්‍රථම සංගායනාවට හෝ පසුව කළ සංගායනාවන්ට හෝ ඇතුළත් නොවූ කුලුම්ප සූත්‍රය-රාජෝවාද සූත්‍රය-තික්ඛින්ද්‍රිය-චතුපරිවට්ට-නන්දෝපනන්ද දමන-අපලාල දමන-මග්ග කථාදිධම්ම-සීලුපදේස-ධූතංග-පඤ්ඤාරම්මණ කතා බුද්ධකරණ්ඩ ආදි සූත්‍රාන්ත කීපයක් ම ඇත. මේ සූත්‍රාන්තයන් ප්‍රථම සංගායනාවේ දී ම බැහැර කරන ලද්දේ කුමක් නිසා ද? චරියාපිටකට්ඨ කතාවේ මේ කුලුම්ප සූත්‍රයේ ශේෂ වූ පාඨයක් දක්නේ ය:
‘පුන ච පරං භික්ඛවේ ඉධේකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ අඤ්ඤේස්සා කුච්ඡිගතං ගබ්භං පාපකේන මනසානුපෙක්ඛිතා හෝති අහෝ වත යං තං කුච්ඡිගතං ගබ්භං න සොත්තිනා අභිනික්ඛමෙය්‍යාති ඒවම්පි භික්ඛවේ කුලුම්පස්ස උපඝාතෝ හෝති’
බුද්ධ පරිනිර්වාණයට පෙරාතු ව ම ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන අග්‍ර ශ්‍රාවක දෙනම පිරිනිවියා හ. එබැවින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනභාරය උසුලන්නට සුදුසු ව සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ සංගායනාව ඉතා පිරිසුදු ව කළ යුතු ය යි සිතූ හ. එබැවින් අජාසත් රජු ඇතුළු එක ද ගිහියකු වත් ඇතුළත් කර නො ගත් හ. භික්‍ෂූන්ගෙනුදු සිව් පිළිසිඹියාපත් ක්‍ෂීණාශ්‍රවයන් ගෙන්ම තෝරාගත් හ.
අගතිගාමී විය හැකි ය යි සිතා ශෛක්‍ෂ පුද්ගලයන් තෝරා නො ගත් හ. එහෙත් මේ සංගායනාව අනඳ හිමියන් නැති ව කළ නොහැකි විය. එබැවින් සෙස්සන් චෝදනා කරන බැවින් පළමුවෙන් අනඳ හිමියන් නො තෝරා පසුව සෙසු දෙනා වහන්සේගේ ආයාචනයෙන් ම තෝරා ගත් හ. සංගායනාවේ දී ධර්ම-විනය දෙක පිළිබඳව ආනන්ද-උපාලි දෙදෙනා වහන්සේ ද, අභිධර්මයට (මාතිකා) මහා කාශ්‍යප හිමියන් ද ප්‍රමාණ කළ හ. සියලු ම කරුණුවල දී මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අවවාදයට සියලු දෙනා වහන්සේ එකඟ වූ හ. සංගායනාව කරන අතර මතභේදයක් හටගත්තේ ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රක ශික්‍ෂාපදයන් පිළිබඳ ප්‍රශ්නයේ දී පමණකි. එහි දී ද බුදුන් පිරිනිවන් පෑ විගස ශික්‍ෂාපද වෙනස් කිරීම සුදුසු නැත. එසේ වුව හොත් බුද්ධ ශ්‍රාවකයෝ බුදුන් වැඩ සිටින තුරු ශික්‍ෂාපද ආරක්‍ෂා කළ හත පිරිනිවන් පෑ විගස එය ආරක්‍ෂා නො කරති යි කියන්නෝ වෙත් ය යන උන් වහන්සේ ගේ වචනය ම පිළිගත් හ.
සංගායනාව අවසානයේ දී ආනන්ද ස්ථවිරයන් වහන්සේට කරුණු පසකින් චෝදනා කරන ලදි.
- ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රක ශික්‍ෂාපද කවරේ දැ යි බුදුන් ගෙන් නො ඇසීම,
- බුදුන්ගේ වැසිසළුව මැඬගෙන මැසීම,
- පිරිනිවන්පෑ බුදුන්ගේ ශරීරය පළමුවෙන් ස්ත්‍රීන් ලවා වැන්දවීම,
- පුරා කල්පයක් වැඩ සිටින මෙන් ආරාධනා නො කිරීම,
- ස්ත්‍රීන්ට බුද්ධශාසනයෙහි පැවිද්ද ලබා දීමට උත්සාහ කිරීම.
තමන් වෙත නැඟූ මේ චෝදනා වැරදි වශයෙන් පිළිගැනීමට අනඳ තෙරණුවෝ කැමැති නො වූ හ. එහෙත් සංගීතිකාරක ස්ථවිරයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිසා වැරැදි වශයෙන් පිළිගත් හ. බැලූ බැල්මට ම පෙනී යනුයේ මේ චෝදනාවන් මහායාන මුහුණුවරින් යුක්ත බවයි. බුදුරදුන්ගේ අංගජාතය දැකගැනීමට ස්ත්‍රීන්ට ඉඩ දීම, පිරිනිවන්පානා දිනයෙහි බුදුරදුන්ට පැන් ටිකක් නො පිළිගැන්වීම, බුද්ධ ශරීරය ස්ත්‍රීන් ලවා නැහැවීම, බුද්ධ ශරීරය ස්ත්‍රීන්ගේ කඳුළින් තෙත් කිරීම යනාදීන් මහාසංඝිකයෝ අනඳ හිමියන්ට තවත් චෝදනා ද නඟති. මහාසංඝිකයන් මේ චෝදනා අනඳ හිමියනට නඟන්නේ සංගායනාවට පෙර ය.
දෙව්දත් තෙරුන් බුදුරදුන් ගෙන් ඉල්ලූ පංච වරයෙන් එකක් නම් භික්‍ෂූන් මත්ස්‍ය මාංශ භක්‍ෂණයෙන් වැළකිය යුතු බවයි. එහෙත් උන් වහන්සේ එය නො පිළිගත් හ. මහායාන බුද්ධාගමේ හැටියට මත්ස්‍ය මාංශ භක්‍ෂණය සම්පූර්ණයෙන් තහනම් වේ. මාහායානිකයන්ගේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වූ ලංකාවතාර සූත්‍රයේ 8 වැනි පරිච්ඡේදයෙහි මත්ස්‍ය මාංශ භක්‍ෂණයේ දොස් සඳහන් වේ.
සංගායනාවෙන් ටික දිනකට පසු අනඳ තෙරුන් රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ සිටිය දී භික්‍ෂූන් කීප නමක් ගාථා කීපයක් වරදවා උච්චාරණය කරනු ඇසී වරද පෙන්වා දුන් නමුදු එය නො පිළිගත් බව ද, අනඳ තෙරුන් මහලු බැවින් සිහි කල්පනාව දුර්වල ය යි ද එබැවින් තම උච්චාරණය ම නිවැරැදි ය යි ඒ භික්‍ෂූන් පිළිගත් බව ද මහාසංඝිකයෝ කියති.
මේ සාධක සියල්ල පිඬුකොට ගත් කල්හි එයින් ලැබෙන නිගමනය නම්, කණිෂ්ක (ක්‍රි.ව. 120-160) අධිරාජ සමයෙහි හටගෙන පසු කාලයෙහි ශාඛා ප්‍රශාඛාවන් ඇති ව ලියලා ගිය මහායානයේ බීජය බුද්ධ කාලයේ දී ම රෝපණය වූ බවයි.