මා ඔබවහන්සේට ගරු කරන්නේ ඇයි?

cmadurawala
8 Min Read

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

අංගුත්තර නිකායේ මහා වග්ගයේ අන්තර්ගත එක් සූත්‍රයකි, ද්විතීය කෝසල සූත්‍රය. එහි සඳහන් වන පරිදි බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවත නම් අනේපිඬු සිටු අරමෙහි වැඩවෙසෙද්දී යුද්ධයෙන් නැවති, දිනූ සංග්‍රාම ඇති, ලද අභිප්‍රාය ඇති පසේනදී කොසොල් රජු උන්වහන්සේ දැකීමට යයි. රජු සිය රථය ආරාම භූමියට පිටතින් නවත්වා පා ගමනින්ම අරමට පිවිසෙයි. ඒ මොහොතෙහි බොහෝ භික්ෂුන් වහන්සේලා අභ්‍යවකාශයේ සක්මන් කරති. රජු, උන්වහන්සේලාට බුදුන් වහන්සේ හමුවන්නට ඇති සිය කැමැත්ත ප්‍රකාශ කරති. වැසූ දොර ඇති, ගඳ කුටිය වෙත අල්ප හඬ නැඟෙන සේ පිවිස දොරට තට්ටු කරන්නැයි ද එවිට බුදුන් වහන්සේ ඔබට දොර විවිර කරනු ඇතැයි ද උන්වහන්සේලා පවසති. දොර විවර වූ පසු රජු බුදු කුටියට පිවිස බුදු පාමුල හිසින් වැටී එ සිරිපා මුවින් සිඹ, දෙඅතින් පිරිමැද, තමා පසේනජිත් කොසොල් රජු බව පවසයි. එවිට බුදුන් වහන්සේ ඔබ කවර කරුණක් නිසා මේ සිරුරට මෙබඳු වැඳවැටීමක් මෙත් පෙරටු කොට ඇති උපහාරයක් දක්වන්නේදැයි අසති. එවිට රජු තමා බුදුන් වහන්සේට මේ සා ගෞරවයක් දක්වන්නේ උන්වහන්සේ චරිතයේ විද්‍යාමාන දස ලක්ෂණ හේතුවෙනැයි දන්වා එම කරුණු ප්‍රකාශ කරයි. මෙකී සූත්‍රයේ සඳහන් වන්නේ එම කාරණා දහයයි.

එම කරුණු දහය ගැන සාකච්ඡා කිරීමට කලින් යථෝක්ත සූත්‍රයේ සමාරම්භක ඡේදයේ එන දෙවැනි වැකියට අවධානය යොමු කරනු වටී.

“තෙන ඛො පන සමයෙන රාජා පසේනදී කොසලො උය්‍යොධිකාය නිවත්තො හොති, විජිතස`ඩ්ගාමො ලද්ධාධිප්පායො…”

පාලි ශබ්ද කෝෂයනට අනුව ‘උය්‍යොධිකාය’ යනු ව්‍යාජ යුද්ධයයි. එසේ නම් රජු නැවතුණේ එම ව්‍යාජ යුද්ධයෙන් ද? ‘විජිතසංගාම’ යනු භෞතික යුද්ධවලින් නොව ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය ජය ගැනීම විය නොහැකි ද, ලබන ලද අභිප්‍රාය යනු භෞතික සංග්‍රාමය නොව ජීවිතය ජයගැනීම පිළිබඳ අදහස විය නොහැකි ද? බුදුන් වහන්සේ හමුවීමට සිතෙන්නේ භෞතික යුද්ධයෙන් නොව ක්ලේශ යුද්ධයෙන් ජය ගැනීම පිළිබඳ වන උපදෙස් ලබාගැනීමට විය නොහැකි ද; ආදී වශයෙන් වන ප්‍රශ්න කිහිපයක් ද යථෝක්ත පාඨය කියවන අප තුළ ඇති වෙයි.

යටකී ප්‍රශ්න අපට සාධාරණීකරණය කොට ගැන්මට බුදුන් වහන්සේ ඉදිරියෙහි රජු හැසිරෙන ආකාරය, ප්‍රකාශ කරන වචන උපකාර කරනු පෙනේ. රජු යනු සමස්ත රාජ්‍යයේම පාලකයා ය; දේශයේ කිරුළ හිමි තැනැත්තාය. රජු ඉදිරියේ දෘශ්‍යමාන වන්නේ භෞතික රාජ්‍යයේ ඔටුන්න අතහැර බුද්ධ රාජ්‍යයේ අබිසෙස් ලද ශ්‍රේෂ්ඨයාය. රජුගේ මේ චර්යාව ගැන කියවද්දී අපගේ සිහියට නැඟෙන විමලරත්න කුමාරගම කවියාගේ එක් කවියක් ද වංග ලේඛක විභූතිභූෂණ බන්ධ්‍යොධපාධ්‍යායන්ගේ එක් ප්‍රකාශයක් ද කෙලෙස් දිය බිඳුවලට නොව දම් දිය බිඳුවලට ප්‍රිය කරන සහෘදය පාඨක ඔබ සමග බෙදා ගැන්මට සිතෙයි.

කුමාරගම කවියා පවසන්නේ නිතරම සිය උගත්කම් ගැන පුරසාරම් දොඩන, පියාපත් පිලිස්සී ගිය උතුන් අතර සිටින විට දයා, කරුණාවෙන් හිස් වූ පුහුදුන් උමතු ලොවක අතරමං වනවිට ව්‍යාකූල ගමනක යෙදෙන පවට බර ජනතාවට නිසි මඟ පෙන්වන බුදුන් වහන්සේ සිහිපත් වන බවයි. එසේම උන්වහන්සේ තමා අබියස වැඳ වැටෙන මහ රජවරුන්ගේ කිරුළු අග, සිය පා දූවිලි රැඳවීමට සමත් වූ මහා භික්ෂුව වූ බව යි.

‘පියාපත් දා වැටුණු ගිරවකු පරිදි නිතරම
දනුව නැන් වූ
දයා කරුණා වඳව ගිය පුහු
උමතු ලෝකෙක අතරමන් වූ
වියාකූල දිගු ගමන් යන පාපියකු හට
නිසි හසර පෙන් වූ
පියාණෙනි, මහ හිඟන්නාණෙනි,
කිරුළු අග පා රජස ගැන් වූ’

විභූතිභූෂණ බන්ධ්‍යොධපාධ්‍යාය, ‘අපරාජිතෝ’ නම් නවකතාවේදී සඳහන් කරන්නේත් මෙයට තරමක් දුරට සමාන ප්‍රකාශයකි. ඒ ප්‍රකාශය අපට දැනගැන්මට ලැබුණේ, වංග බසින් එම නවකතාව “අපූගේ ලෝකය” නමින් සිංහලයට නැඟූ, අද අප අතර නැති ප්‍රවීණ පරිවර්තිකා චින්තා ලක්ෂ්මී සිංහාරච්චි නිසාවෙනි. යථෝක්ත පාඨය මෙහිලා උපුටා දක්වනු ලබන්නේ විභූතිභූෂණයනට මෙන් ම චින්තා ලක්ෂ්මියට ද අපගේ ගෞරවය පළ කරමිනි.

“සියවස් නමැති ගන කැලෑව පසු කොට පැරණි දෑ සියල්ල විනාශ කොට පෙරළා දමා, මෝටර්රථ සහිත නව යුගයක් දැන් පහළ වී ඇත. සුද්ධෝදන රජතුමාගේ කපිලවස්තුව ද මහා යුගයන්හි කාල ප්‍රවාහයට අසු වූ පෙණ පිඬක් මෙන් පාවී සලකුණකුදු නොතබා යන්නට ඇත. එසේ වුවත් ඔහුගේ ජයග්‍රාහී පුත්‍රයාණෝ තමාගේ අදෘශ්‍යමාන සිංහාසනය නොයෙක් දිසාවල පිහිටුවා තබා ගියහ. එතුමාගේ උත්තරීතර භාවයට අවුරුදු දෙදහස් පන්සියයකට පසුවත් හිස නොනමන්නේ කවුද?

මෙයිනික්බිති අපගේ අවධානය යොමු වන්නේ කොසොල් රජු, බුදුන් වහන්සේට අප්‍රමාණ ලෙස ගෞරව කිරීමට හේතු වූ කාරණා දෙසට යි. බුදුන් වහන්සේ කලණ දහමින් ද, කුසල දහමින් ද, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස විත් බොහෝ දෙනා ආර්යඥාන මාර්ගයෙහි පිහිටුවන බැවින් තමා මෙසේ උන්වහන්සේ වෙත පරමාභිවන්දනය – මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාරය පුද දෙන බව රජු පවසයි. මේ රජු සිත, බුද්ධ ගෞරවය ඇතිවීමට හේතු වන පළමු කරුණ යි. එක ම භාෂා ආකෘතියකින් යට කී කාරණා දහය දිගින් දිගට ම පෙළ ගස්වා තිබේ. ප්‍රථම කාරණයට අදාළ පාලි පාඨය පමණක් මෙහිලා උපුටා දක්වනු ලැබේ. ඒ පාඨක සහෘදයනට අර්ථ සෞන්දර්යය මෙන් ම භාෂා සෞන්දර්යය විඳීමට ද ඉඩ ලබා දිය යුතු බැවිනි.

“භගවා හි භන්තෙ බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය, බහුනො ජනස්ස අරියෙ ඤායෙ පතිට්ඨාපිතා යදිදං කල්‍යාණධම්මතාය කුසල ධම්මතාය, යම්පි භන්තෙ භගවා බහුජනහිතාය පටිපන්නො බහුජන සුඛාය බහුනො ජනස්ස අරියෙ ඤායෙ පතිට්ඨාපිතා යදිදං කල්‍යාණ ධම්මතාය කුසල ධම්මතාය, ඉදම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි, මෙත්තුපහාරං උපදංසෙමි.”

බුදුන් වහන්සේ සිල්වත් බැවින් ද වැඩුණු සිල් ඇති බැවින් ද ආර්ය ශීල හෙවත් උතුම් සිල් ඇති බැවින් ද අනවද්‍ය එනම් නිවැරදි සිල් ඇති බැවින් ද කුසල ශීලයෙන් සමන්විත බැවින් ද තමා උන්වහන්සේට ගරු කරන බව පසේනදී කෝසල කියයි. මේ ඔහු බුදුහිමියනට ගරු කරන දෙවන හේතුව යි. මේ වූ කලී රාජ්‍ය පාලකයකු විසින්, රජකම වෙනුවට සිල්වත්කම තෝරාගත් උත්තම මනුෂ්‍යයකු වෙත පුදනු ලබන ගෞරවයක් ද වෙයි. මිනිසකු විසින් එළැඹිය හැකි උතුම් ම පදවිය රාජ්‍යත්වය නොව බුද්ධත්වය ය යන හැඟීම කොසොල් රජු තුළ වූ බව පෙනේ. රජුගේ ප්‍රකාශය අපට සිහිපත් කොට දෙන්නේ ජයසේන ජයකොඩි ලේඛකයා විසින් සිය “අමාවැස්ස” නවකතාවේ දී උදායි තෙරුන් අමතා, අනේ පිඬු සිටුවර මුවට නංවන පහත සඳහන් ප්‍රකාශය යි.

“තෙරණුවන් වහන්ස, ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වුව, ඔබ මෙතෙක් උන්වහන්සේ දැක නැත්තාහ. එහෙත් මම රජගහනුවර වේළුවනාරාමයේ දී උන්වහන්සේ නෙත පුරා දැක ඇත්තෙමි. ධර්මය ද ශ්‍රවණය කළෙමි. ඔබ සඳහන් කරන ආශ්චර්ය කිසිත් උන්වහන්සේ වෙත නුදුටුවෙමි. උන්වහන්සේ පිළිබඳව මට ඇති වූ හැඟීම නම්, බුදුන් වහන්සේ වනාහි මනුෂ්‍යයන් අතර සිටින ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා බව ය. එ ද උන්වහන්සේට ම සීමා වූ කතාබහ හැසිරීම් හා ඒ අනුව පිහිටි සංවර ඉන්ද්‍රියයන් හා සද්ධර්මය සම්බන්ධයෙන් මිස, දෙවි දේවතාවුන් පාතියි කියැවෙන මහ පෙළහර නිසා නොවේ. කාව්‍ය භාෂාවෙන් බුදුන් වහන්සේ වර්ණනා නොකරනු මැනවි. ඔබට අවශ්‍ය නම් මූඪ ශ්‍රද්ධාවන්තයන්ට එසේ කියනු මැනවි. එවැනි වර්ණනා මම නො ඉවසන්නෙමි.

දිවා රෑ දෙක පුරා අප කටයුතු කරන්නේ අපගේ භෞතික සැප පහසුකම් සපුරා ගැන්ම සඳහා ය. අපි අපේ කය හා මනස වෙහෙසට පත් කරවතියි සිතන බොහෝ දෙයින් වෙන් ව සිටීමට කටයුතු කරමු. අපට ජීවත් වීම සඳහා සුව පහසුකම් ඇති ගෙදරක් අවශ්‍ය ය. ඒ ගෙදර නිදාගැන්ම සඳහා සුව යහන් ද අවශ්‍ය ය. ගෙදරක් නොව මැඳුරක් ඇති අපමණ සුව යහන් ඇති කොසොල් රජු, ඒ සියල්ල අතහැර වන අරණ – අරණ සෙනසුන් – වන පෙත් – සෙනසුන් මෙන් ම ඉතා දුර වන සෙනසුන් සොයා ගිය හේතුව කරණකොට ගෙන ද බුදුහිමියන්ට ගරු කරයි. මෙත් උවසර දක්වයි. ඒ වූ කලී රජු, බුදුහිමියනට ගෞරව දැක්වීමට හේතු වූ තෙවන කරුණ යි.

බුදුන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සයනාසන, ගිලන්පස, බෙහෙත් ආදිය ලද පමණින් සතුටු වෙති. කිසිවකින් සෑහීමට පත් නොවන ලොවක් තුළ ජීවත් වන, මනුෂ්‍යයන් වෙතින් එබඳු හැසිරීම් නොදකින කොසොල් රජුට, මේ බුද්ධ චරණය මහත් ආශ්චර්යයකි. පසේනදී කොසොල් රජු, බුදුන් වහන්සේට ගරු කිරීමට බලපෑ සිවුවන හේතුව මෙය යි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *