දිමුතු පුන්සර කොළඹගේ
අගනුවර සුප්‍රකට හුණුපිටිය ගංගාරාම මහා විහාරස්ථානය පිහිටා ඇති මාර්ගය ශ්‍රී ජිනරතන මාවත වශයෙන් ද, විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ජිනරතන වෘත්තීය කාර්මික පුහුණු විද්‍යාලය වශයෙන් ද නම් කොට ඇත්තේ එම විහාරස්ථානයේ ආධිපත්‍යය හෙබ වූ දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ ගුණානුස්මරණය කරමිනි.
කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණෙහි ආදිකර්තෘභූත බෝධිසත්වගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ වෙතින් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ ශිෂ්‍ය පිරිස ශත සහස්‍ර සංඛ්‍යාත වුව ද නාහිමිපාණන් වහන්සේ වෙත පැවිදි වූ ශිෂ්‍ය හිමිවරුන් අතර ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යවරයා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමිපාණන් වහන්සේ ය.
වර්ෂ 1855 දෙසැම්බර් මස 22 වන දින ලංකාවේ දකුණු කෙළවර වූ දෙවුන්දර නගරයට ආසන්න අංගහවත්ත ග්‍රාමයේ දී ජන්ද්‍රිස් නමින් ජන්මලාභය ලද නාහිමිපාණන් වහන්සේ දොන් ප්‍රැන්සිස්කු මහානාම අභයවර්ධන මැතිතුමාගේ සහ අලහප්පෙරුම ආරච්චිගේ දෝන ගිමාරා මැතිනියගේ කනිටු පුත් රුවන වූහ. පිය පස ඥාතීහු දාපුළුසෙන් නමින් දෙවිනුවර පාලනය කළ දෙවන දප්පුල රජතුමාගේ මහානාම නම් අග්‍රාමාත්‍යවරයාගේ පරපුරෙන් පැවත එන බව සළකනු ලැබීය.
දෙවිනුවර ඓතිහාසික උපුල්වන් දේවාලය ආශ්‍රිත පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති අංගහවත්තේ රතනජෝති මාහිමිපාණන් වහන්සේ මෙම කුමරුන්ගේ දෙටු පියා වූයෙන් එම හිමියන් ඇසුරෙහි ජිනරතන නමින් පැවිදිව මූලික බණ දහම් හැදෑරීය. එවක ලක්දිව සුප්‍රකට විද්‍යාස්ථානය වූ ගාල්ලේ මේධංකර නාහිමියන් විසින් ආරම්භ කළ පැල්මඩුල්ල රජමහා විහාර පිරිවෙනෙහි අධ්‍යාපනය ලද විද්වතකු වූ ගල්කන්දේ විහාරාධිපති දොඩම්පහල දීපංකර මාහිමියන් වෙත එළඹි ජිනරතන හිමියන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.
පුරාකෘත පුණ්‍ය මහිමය නිසාවෙන් දහ නව වන සියවසේ මෙලක වැඩ සිටි අග්‍රගණ්‍ය සංඝ නේතෘවරයාණන් වහන්සේ වූ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ වෙත එළඹුණු ජිනරතන හිමියෝ 1878 වර්ෂයේ මැයි මාසයේ දී හික්කඩුවේ නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වශයෙන් නැවත පැවිදි බිමට පත්ව ඊට නුදුරු දිනක දී ම මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබීම නිසා හික්කඩුවේ නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යවරයාණන් වහන්සේ වීමේ භාග්‍යය උදා කර ගත්හ.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විවේක සුවයෙන් වැඩ සිටීමට භාවිත කළ, කුඩා ආවාසයක් වශයෙන් පැවති හුණුපිටියේ ගංගාරාමයට 1885 වර්ෂයේ දී වැඩම කොට අගනුවර බෞද්ධ කේන්ද්‍රස්ථානය බවට එම ස්ථානය දියුණු කරවීම පිණිස අඩිතාලම දැමුවේ ශ්‍රී ජිනරතන මාහිමියන් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. මඩ වගුරක්ව පැවති බිම ක්‍රමානුකූලව සංවර්ධනය කරමින්, එදා එම ප්‍රදේශයේ සිටි නොදැමුණු ජනතාව යහපතෙහි යොදවමින් එසේම බෞද්ධාගමික පුද සිරිත් සිදු කිරීමේ දී අන්‍යාගමික බි්‍රතාන්‍ය පාලකයන්ගේ විරෝධතා සංසිඳුවමින් සුවිසල් මෙහෙවරක් සිදු කරන ලද්දේ ශ්‍රී ජිනරතන නාහිමිපාණන් වහන්සේ ය. ඉංග්‍රීසි ආණ්ඩුව මගින් වරිපණම් බදු අය කිරීමේ දී විහාරස්ථාන බද්දෙන් නිදහස් කරවීමට ජිනරතන නාහිමියන් පුරෝගාමී විය.
පුස්කොළ ලේඛනය පිළිබඳ සමර්ථයක් දැක් වූ ජිනරතන නාහිමියන් ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ ඇතුළු ග්‍රන්ථ රාශියක් පිටපත් කළහ. එසේම ස්කොට්ලන්තයෙන් මෙරටට පැමිණි විදේශිකයකුගේ සහායෙන් ජිනාලංකාර මුද්‍රණාලය ආරම්භ කරවා ජාතක පොත, පූජාවලිය, සිදත් සඟරා සන්නය, රසවාහිනී, කම්මවාචා, පාලි නාම පද මාලාව, බාලාවතාර ටීකාව, සුශ්‍රැත නිදාන ස්ථානය ආදී ග්‍රන්ථ සමූහයක් සංශෝධනය කර මුද්‍රණය කරවීය.

බේරේ වැව මධ්‍යයේ පිහිටි සීමා මාලකය ගරා වැටුණු අවස්ථාවල දී එය මැනවින් ප්‍රතිසංස්කරණය කරවීමට ද නාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගත්හ. වැව මැද මෙම සීමා මන්දිරය පිහිටා තිබීම අන්‍යාගමික රජයේ නිලධාරීන්ගේ අසතුටට හේතු වුව ද ඒ සියල්ල අභිභවමින් එම ගොඩනැඟිල්ල මැනවින් පවත්වාගෙන ගියේ ජිනරතන නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි. එසේම අන්‍යාගමිකයකු වූ ශ්‍රීමත් එච්. ඇල්. ද මෙල් මැතිතුමාගේ සහායෙන් විහාර භූමිය පුළුල් කිරීමට හැකි විය. එසේම කොළඹ රත්නම් ආරෝග්‍යශාලාවේ අධිපති දොස්තර රත්නම් මැතිතුමා නාහිමියන් ඇතුළු ගංගාරාමයේ වැඩසිටි හිමිවරුන් වෙත නොමිලයේ ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.
විද්‍යොදය පිරිවෙනේ දක්ෂතම ශිෂ්‍යයා වෙත වාර්ෂිකව පිරිනැමෙන ස්‍යාමරාජ ත්‍යාගය පිරිනැමුණේ ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ සියම් හා බුරුම සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙනි. එවක සියම් රටේ රජකම් කළ චූලාලංකාර මහ රජතුමා විසින් බාපන, අටපිරිකර, වටාපත්, සියම් ත්‍රිපිටක ග්‍රන්ථ ආදී පරිෂ්කාර පූජා කොට ත්‍යාගය පිහිටුවීමට අදාළ මූල්‍ය ප්‍රතිපාදනය සිදු කරන ලදී. තවත් සියම් රජ කුමරකු විසින් නාහිමියන් මාර්ගයෙන් ලංකාවේ විහාරස්ථාන රාශියකට තායි ත්‍රිපිටකය බෙදා හරින ලදී. පෞරාණික වස්තූන් කෙරෙහි මහත් වූ ඇල්මකින් ක්‍රියා කළ ශ්‍රී ජිනරතන නාහිමියන් එකතු කළ දෙස් විදෙස් කෞතුක වස්තු අදත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දැක ගත හැකිය.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පාරම්පරික විහාරස්ථාන අතර වූ හික්කඩුවේ තිලකාරාමය, නලාගස්දෙණියේ විහාරය සහ විද්‍යොදය පිරිවෙන ද ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ විහාරාධිපතීත්වයෙන් පැවතුණි. ස්වකීය කනිෂ්ඨ පැවිදි සහෝදර නමක වූ විද්‍යොදය පිරිවෙණේ ද්විතීය පරිවේණාධිපති මහගොඩ ඤාණිස්සර නාහිමියන් සමග ද සුහදතාවයෙන් කටයුතු කළ ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිවරු අතර රත්මලානේ පරමධම්මචේතිය පරිවේණාධිපති වලානේ සට්ඨිස්සර නාහිමි, ශ්‍රීපාදස්ථානාධිපති මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි, ගංගාරාමාධිපති ධුරයට පත් දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමි සහ අවිස්සාවේල්ලේ විමලානන්ද හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වූහ.
ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ෂිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මල්වතු මහාවිහාරයීය සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව මගින් 1917 දී මහා මහෝපාධ්‍යාය කීර්ති ශ්‍රී සුමංගල යන ගෞරව නාමධෙය සහිතව කොළඹ නව කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ධුරය ජිනරතන මාහිමිපාණන් වහන්සේ වෙත පුද දෙන ලදී. එසේම හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත නාහිමියන් ඇවෑමෙන්, පෙර කාලයේ හික්කඩුවේ නාහිමියන් විසින් හොබවන ලද කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද ශ්‍රී ජිනරතන මාහිමිපාණන් වහන්සේ සම්ප්‍රසාදනය වූහ.
සිය වසකට ආසන්න කාලයක් ආයු වැළදූ දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමිපාණන් වහන්සේ 1954 මැයි මස 22 වන දා අපවත් වී වදාළ සේක.

