සිවුසස් දහම උතුම් වන්නේ ඇයි?

rashi
By rashi
8 Min Read

අනුරාධපුර අභයගිරිය රාජමහා විහාරාධිකාරී,
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය

කල්ලංචියේ රතනසිරි හිමි

සාකච්ඡා සටහන : ආර්. ඒ. නයනානන්ද

චතුරාර්ය සත්‍යය (සිවුසස් දහම) බුදුදහමේ මූලික ඉගැන්වීම්වලින් එකකි. ඇතැම් විද්වත්හු චතුරාර්ය සත්‍යය බුදුදහමේ ‘හදවත’ ලෙසින් ද හඳුන්වති. චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින් අවබෝධ කර ගන්නා තුරු පුද්ගලයා භවයෙන් භවයට ගමන් කරයි. අපමණ වූ සංසාර දුක්වලට භාජනය වෙයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දී ඒ බව මෙසේ වදාළ සේක.

“චතුන්නං භික්ඛවේ අරිය සච්චානං අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච.”

“මහණෙනි, චතුරාර්ය සත්‍යය අවබෝධ නො කිරීම නිසා ඔබටත් මටත් දිගු කලක් සසර ගමන් කරන්නට සිදු විය.”

චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත් තැනැත්තා සසර ඉපදීම නිමා කරයි. මරණින් පසු නැවත ඉපදීමක් නො වේ. (මෙහි අවබෝධය යන්නෙන් අදහස් වන්නේ කියවීම, ඇසීම ආදියෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුම පමණක් ලබා ගැනීම නො වේ. අවබෝධය යනු ඇත්ත ඇති සැටියෙන් වටහාගැනීමයි.)

චතුරාර්ය සත්‍යය යන්නෙහි තේරුම ‘උතුම් ඇත්ත හතර’ යන්නයි. චතුර් හා ආර්ය යන පද දෙක එක් වී චතුරාර්ය යනුවෙන් සෑදී ඇත. චතුර් යනු හතරයි. ආර්ය යන්නෙන් ශ්‍රේෂ්ඨ, උතුම් යන අර්ථ ගෙන දෙයි. සත්‍යය යනු සැබෑව, ඇත්ත යන අර්ථ දෙන පදයකි. ඒ අනුව චතුරාර්ය සත්‍යය යන්නෙහි තේරුම ශ්‍රේෂ්ඨ වූ, උතුම් වූ ඇත්ත හතර (උතුම් සැබෑ හතර) යන්නයි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි පදනමත්, ඒ ධර්මයෙහි සම්පිණ්ඩනයත් මේ චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් වේ.

චතුරාර්ය සත්‍යය පාලි ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ මෙසේ ය.

දුක්ඛං අරිය සච්චං
දුක්ඛ සමුදයං අරිය සච්චං
දුක්ඛ නිරෝධං අරිය සච්චං
දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්චං

වර්තමානයේ ලියැවෙන බොහෝ සිංහල ධර්ම ග්‍රන්ථයන්හි විවිධ ස්වරූපයෙන් මෙම සත්‍ය සතර දැක්වෙයි. ඒ මෙසේ ය.

■ දුක්ඛ සත්‍යය, දුක්ඛාර්ය සත්‍යය, දුක්ඛ, දුක

■ සමුදය සත්‍යය, සමුදයාර්ය සත්‍යය, සමුදය, දුකට හේතුව

■ නිරෝධ සත්‍යය, නිරෝධාර්ය සත්‍යය, නිරෝධ, දුක නැති කිරීම

■ මාර්ග සත්‍යය, මාර්ගාර්ය සත්‍යය, මග්ග, දුක නැති කිරීමේ මාර්ගය

මෙසේ සඳහන් වුවත් මෙම කිසි ම අවස්ථාවක නිසි ලෙස චතුරාර්ය සත්‍යය සඳහන් වී නොමැත. වඩාත් නිවැරදි ලෙස සිංහල බසින් දැක්විය යුත්තේ මෙසේ ය.

● දුක්ඛ ආර්ය සත්‍යය

● දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

● දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

● දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය

චතුරාර්ය සත්‍යය තථ, අවිතථ, අනඤ්ඤථ යන ලක්‍ෂණ තුනෙන් යුක්ත වේ. තථ ලක්‍ෂණය යනු සත්‍ය ස්වභාවයෙන් යුක්ත වීම ය. අවිතථ ලක්‍ෂණය යනු වෙනස් නො වන ස්වභාවයෙන් යුක්ත වීම ය. අනඤ්ඤථ ලක්‍ෂණය නම් අන්‍ය ස්වභාවයකින් පෙනී නො සිටීම ය.

චතුරාර්ය සත්‍යය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඇසළ පුර පොහෝ දා බරණැස ඉසිපතනයේ මිගදායේ දී පස්වග තවුසන්ට පළමුවෙන් දේශනා කළ සේක. එම දේශනාව ධම්ම චක්කප්පවත්තන සූත්‍රය හෙවත් දම්සක් පැවතුම් සුතුර යන නමින් හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවයි. මෙම දේශනාව සමස්ත බුද්ධ දේශනාව ම හකුළා දැක්වූ දේශනාවකි.

චතුරාර්ය සත්‍යය, ආර්ය සත්‍යය හෙවත් උතුම් සත්‍යය ලෙස හැඳින්වීමට හේතු කීපයක් ඇත.

මෙම සත්‍ය සතර ලොව සදා කල්හි ම පවතී. එනමුත් ඇතැම් කාලවල ඒවා සත්‍ය බව අවබෝධ කර ගන්නා පුද්ගලයෝ නැත. එය අප්‍රකට ව සැඟවී පවතී. ඒ පිළිබඳව සත්ත්වයන්ට අවබෝධයක් නොමැති හෙයින් අඳුරෙන් වැසී පවතී. යළිත් එය සිය නුවණින් ම අවබෝධ කොට ගෙන ලොවට ප්‍රකාශ කරනු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක විසිනි. එනිසා මෙය සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ම විශේෂ වූ දේශනාවක් වශයෙන් සැලකේ. (බුදුරජාණන් වහන්සේලාට ම විශේෂ වූ දේශනා සාමුක්කංසික දේශනා නමින් හැඳින්වේ.) බුදුරජාණන් වහන්සේ ද ‘ආර්ය’ නාමයෙන් හැඳින්වෙති. එම ශ්‍රේෂ්ඨ, උතුම් ආර්යයන් වහන්සේ විසින් සොයාගන්නා ලද සත්‍ය සතරක් වන හෙයින් ‘ආර්ය සත්‍ය’ (ආර්යයන් වහන්සේගේ සත්‍යය) නම් වෙයි.

බුදුරජාණන් වහන්සේලා හැරණු විට පසේ බුදුරජාණන් වහන්සේලා ද, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගයට හා ඵලයට පත් පුද්ගලයෝ ද ආර්ය නාමයෙන් හැඳින්වෙති. උන්වහන්සේලා ද එම ආර්ය භාවයට පත් වන්නේ මෙම සත්‍ය සතර අවබෝධ කරගැනීම නිසා ය. මෙම සත්‍ය සතර අවබෝධ වීමෙන් ආර්ය භාවයට පත් වන බැවින් ද ඊට ආර්ය සත්‍ය ය යි කියනු ලැබේ.

ලොව සත්‍යය වශයෙන් පිළිගන්නා බොහෝ දේ ඇතත් ඒවා වෙනස් වේ. නිදසුනක් ලෙස සුදු ඇඳුමක් ගනිමු. එය පැහැයෙන්, වර්ණයෙන් සුදු වූ ඇඳුමක් බව සත්‍යයකි. එනමුත් එයට වෙනත් පැහැයක්, වර්ණයක් යෙදුව හොත් ‘සුදු ඇඳුම’ යැ යි කිව නොහැකි ය. ඒ අනුව ලෝකයෙහි සත්‍යය වශයෙන් සම්මත දේවල් වෙනස් වන බව පැහැදිලි වේ. එනමුත් ආර්ය සත්‍යය කිසි විටෙකත් වෙනස් නො වේ.

බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර හෙළි කරන ලද මෙම සත්‍ය සතර, සත්‍යය නො වේ යැ යි කියා කවර ම හෝ කෙනෙකුට වත් කරුණු සහිත ව පැවසිය නොහැකි ය. මෙම සත්‍ය සතර කිසි කලෙකත් වෙනස් කරන්නට නොහැකි ය. එසේ ම එයට බැහැරින් එකතු කරන්නට වෙනත් සත්‍යයක් ද නොමැත. එනිසා කිසි දිනෙක වෙනස් නො වන, බොරු නොවන උතුම් සත්‍ය යන අර්ථයෙන් ආර්ය සත්‍ය ය යි කියනු ලැබේ.

මෙම සත්‍ය සතරෙහි මුල් ම සත්‍යයෙන් එනම් දුක්ඛ ආර්ය සත්‍යයෙන් කෙරෙන්නේ සසර දුක නම් කුමක් දැ යි කියා නිවැරදි ලෙස විග්‍රහ කිරීම ය. එනම් සත්වයාගේ පැවැත්ම හෙවත් පවත්නා ස්වභාවය පහදා දීම ය. එම සසර දුක ඇති වීමේ හේතුව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් විස්තර කරයි. එනම් සත්ත්වයාගේ පැවැත්මට හේතුව තෘෂ්ණාව බවත්, තෘෂ්ණාව නිසා සත්ත්වයා සසරෙහි නැවත නැවත ඉපදී දුක්වලට භාජනය වන බවත් පැහැදිලි කරයි. සසර දුක නැති වීම නම් කුමක් ද කියා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් පෙන්වා දෙයි. එනම් තෘෂ්ණාව කිසිදු ඉතිරියක් නොමැති ව සම්පූර්ණයෙන් නැති වීම දුක්ඛ නිරෝධය බව එහි සඳහන් වේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයෙන් කෙරෙන්නේ සසර දුක නැති වීමට අනුගමනය කළ යුතු නියම පිළිවෙත එනම් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කිරීමයි. මේ අනුව චතුරාර්ය සත්‍යය, සත්ත්වයාගේ පැවැත්මේ හා නැවැත්මේ හේතුඵල සම්බන්ධය එනම් පටිච්ච සමුප්පාදය පදනම් කොට ගෙන ක්‍රමවත් ව දේශනා කරන ලද්දක් බව ද පැහැදිලි වේ.

පොදුවේ ගත් කල ජීවිතය පිළිබඳ මූලික ගැටලුවත්, එම ගැටලුවට හේතුවත්, ගැටලුව නිරාකරණය කර ගැනීමත්, ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයත් නිවැරදි ලෙස පැහැදිලි කෙරෙන්නේ චතුරාර්ය සත්‍යයෙනි.

චතුරාර්ය සත්‍යය අපගේ එදිනෙදා ජීවිතයට ද සම්බන්ධ කරගැනීමෙන් සැනසුම් සහගත ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබෙන බව ද සිතට ගන්න. පුද්ගලයාට ජීවිතයේ දී බොහෝ දුක් කරදර, විපත් ඇති වන්නේ තෘෂ්ණාව (ආශාව) නිසා ය. අයෙක් අන් සතු දේ තමා සතු කරගැනීමට ඇති තෘෂ්ණාව නිසා සොරකම, මුසාවාදය, ප්‍රාණඝාතය ආදි දුසිරිත්වලට සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙලඹෙයි. ඒ හේතුවෙන් නොයෙකුත් දුක් කරදර විපත්වලට භාජනය වෙයි. එය කොතරම් දුකක් ද? වේදනාවක් ද? මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරන පුද්ගලයා තෘෂ්ණාව මැඬපවත්වා ගෙන සතුටෙන් ජීවත් වෙයි.

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් සත්‍ය මිනිස් වර්ගයාට ලබා දුන්නේ අද වැනි ඇසළ පුර පොහොය දිනක දී ය. එවන් අති උතුම් දිනයක් වූ මෙම ඇසළ පුර පොහොය දින ධර්මයට අනුව නිසි අවබෝධයක් ඇති කර ගෙන තම ජීවිතය සාර්ථක කර ගැනීමට අදිටන් කර ගන්න.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *