ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
විනය හා සංවරය අපට අවශ්‍ය වන්නේ අප සාමාජීය සත්ත්වයන් වන නිසා ය. අපගේ සමාජය යනු ජීවී අජීවී දෙකොටසින් ම සමන්විත අපට බාහිර ලෝකයයි. ජීවත් වීම යනු අප හා පරිසරය අතර පවතින සබඳතාවකි. මෙම සබඳතාව බිඳවැටුණු විට අප මරණයට පත් වෙයි. අප හා බාහිර ලෝකය අතර පවත්වන සබඳතාවෙහි දී අප කරන සෑම ක්‍රියාවකට ම ඊට අදාළ ප්‍රතිඵලයක් තිබේ. එය හොඳ දෙයක් නම් එහි ප්‍රතිපලය හොඳ ය. නරක දෙයක් නම් එහි ප්‍රතිඵලය නරක ය. මෙය ලොව පවතින න්‍යාය ධර්මයයි. නිදසුනක් ලෙස මේ දිනවල අප රටක් ලෙස පමණක් නො ව ලොවක් ලෙස ම අධික උෂ්ණත්වයෙන් පීඩා විඳින්නෙමු. මෙම පීඩාවට හේතුව අප පරිසරය හා පවත්වා ගත යුතු සබඳතාව ගැන සැලකිලිමත් නො වී, අප කැමැති ලෙස ක්‍රියා කිරීම ය. වරදක් කළ විට දඬුවමක් හිමි වීම ස්වභාව ධර්මයේ පිළිවෙතයි. මෙම පිළිවෙතින් බැහැර වීමට අපට නොහැකි ය. අප කරන සෑම ක්‍රියාවකට ම අදාළ ප්‍රතිඵලය කුමක් දැ යි ඉතා පැහැදිලි ව බුදුරජාණන්වහන්සේ අපට පැහැදිලි කරති. එය අනුමාන වශයෙන් නො ව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තමන්වහන්සේ විසින් ම පරික්ෂා කර බලා අවබෝධ කරගෙන අපට කරන පැහැදිලි කිරීමකි. එම නිසා ම බුදුරජාණන්වහන්සේ කර්ම පල විපාක පිළිබඳව කරන පැහැදිලි කිරීම ඒ ආකාරයෙන් ම සිදු වන බව අපි දනිමු. එම පැහැදිලි බව අපට එම වරදවලින් බැහැර ව සිටීමට උපකාරයක් හා මඟපෙන්වීමක් ලබා දෙයි. නිදසුනක් ලෙස අප ප්‍රාණඝාතය කළ හොත් එහි ප්‍රතිඵලයක් ලෙස අප අපාගත විය හැකි බව අපි දනිමු. එසේ ම අපගේ ආයුෂ කෙටි වීම ද ප්‍රාණඝාත අකුසලය නිසා සිදු වේ. බුදුන් ප්‍රමුඛ සංඝයාවහන්සේට දන් දීමට පවා සතකු මැරුව හොත් එයින් ද ප්‍රාණඝාතය නිසා වන අකුසලයන් සිදු වන බව බුදුරජාණන්වහන්සේ මජ්ක්‍ධිම නිකායෙහි, මජ්ක්‍ධිම පණ්ණාසකයෙහි, ගහපති වග්ගයෙහි, ජීවක සූත්‍රයෙහි දී, ජීවක වෙදතුමාට ප්‍රකාශ කරති.
අවට ලෝකය හා ගනුදෙනු කිරීමේ දී අප එය නිවැරැදි ව නො කළ හොත් ඉන් අප මෙන්ම, අප අවට පරිසරය ද පීඩාවට පත් වේ. මෙසේ සාමාජීය ව පීඩාවන් ඇති කළ අවස්ථාවල ඊට අදාළ ප්‍රතිඵලය එම වරදෙහි බරපතළකම නිර්වචනය කරයි. අප පරිසරය හා සබඳතා පැවැත්වීමේ දී, අප කළ නො කළ යුතු, ක්‍රියාවන් පිළිබඳව දැන සිටිය යුතු ය. ඕනෑ ම සමාජයක සිටින්නකුට එම සමාජය තුළ සිටිය යුතු ආකාරය පැහැදිලි කරන රාමුවක් පවතියි. එය එම සමාජයේ නීතිරීති පද්ධතියයි. සෑම නීතියක ම බරපතළකම එය කඩ කළ විට අත්විඳීමට වන දඬුවම මඟින් නිර්වචනය කර ඇත. නීති පද්ධතියක් මඟින් සමාජයක් සංවර කිරීම කෙසේ කළ යුතු ද යන්න පිළිබඳ හොඳ ම උදාහරණය විනය පිටකයයි. එහි සෑම වරදක් ම ඉතා පැහැදිලි ව නිර්වචනය කර ඇත. එසේ ම එම වරදෙහි බරපතළකම පැහැදිලි කරගත යුතු ආකාරය, වරද වන නො වන අවස්ථා, එක් එක් තත්ත්වයේ දී ක්‍රියා කළ යුතු ආකාරය, මෙන්ම වරදෙහි ස්වභාවය අනුව ලබා දිය යුතු දඬුවම ඉතා පැහැදිලි ව දක්වා ඇත. විනය පිටකය වරදෙහි බරපතළකම අනුව විනය නීති කොටස් හතකට වර්ග කර දක්වයි.
- පාරාජිකා ආපත්ති – මෙම ඇවැතින් නිදහස් වීම සඳහා කිසිදු පිළියමක් නැත. මෙම ඇවැතකට පැමිණිම සංඝ සමාජයෙහි සමාජිකත්වය අහිමි වීමට හේතු වේ.
- සංඝාදිසෙස ආපත්ති – පාරිශුද්ධිය ලබාගැනීම දුෂ්කර ම ආපත්තින් ය. පරිවාස, මානත්ත, මූලයපටිකස්සන ආදි පිළිවෙත් රාශියකට මුහුණ දීමට මෙම ඇවැතට පැමිණි පුද්ගලයාට සිදු වේ.
- අනියත ආපත්ති – අවිනිශ්චිත හෙවත් ස්ථිර වශයෙන් නො දත් වරදට හසු වන භික්ෂුවට සිදු වූ ඇවැත ඔහු විසින් ප්‍රතිඥා කරනු නො ලැබූ විට අසවල් ඇවැත ය යි නිගමනය කළ නොහැකි ආපත්තීන් ය. එය පාරාජිකා සඝවෙසෙස් හෝ පාචිත්ති ඇවැතක් විය හැකි ය.
- නිස්සගීය පාචිත්තිය ආපත්ති – කිසියම් වස්තුවක් පිළිබඳව දක්වා ඇති නියමයන් ඉක්මවීම නිසා, එම වස්තුව පිළිබඳ අයිතිය අත්හැරීම හෙවත් නිස්සර්ජනය මඟින් පිරිසිදු විය හැකි ආපත්තීන් ය.
- පාචිත්ති ආපත්ති – ආපත්ති රොචණයයෙන් හෙවත් භික්ෂුවකට හෝ භික්ෂුණියකට පැවසීමෙන්, පිරිසිදු බව ලද හැකි ආපත්තීන් ය.
- පාටිටද්සනීය ආපත්ති – අනෙකකු වෙත දෙසීමෙන් පිරිසිදු විය හැකි ය.
- සේඛියා ආපත්ති – කඩ කරන්නා දුක්කටාපත්තියට පත් වේ.
මේ ආකාරයට කරන ක්‍රියාවෙහි ස්වභාවය අනුව පත් විය හැකි ආපත්තිය හා එයට අදාල දඬුවම පැහැදිලි ව දක්වා ඇත. භික්ෂු භික්ෂුණින් ස්ත්‍රී පුරුෂ්‍යන් සමග පැවැත්විය යුතු සබඳතාවල ස්වභාවය පැහැදිලි කරන ශික්ෂාපද මෙයට එක් නිදසුනකි. එයට අයත් ශික්ෂාපද කිහිපයක් පහත දැක්වේ.
■ භික්ෂුවක හෝ භික්ෂුණියක, තිරිසන්ගත සතකු සමග හෝ මෙවුන්දම් සෙවීම පාරාජිකා ආපත්තියකි (පළමුවැනි පාරාජිකා පත්තිය). එසේ ම,
■ භික්ෂුණීයක රාගී අදහස් ඇති ව, රාගී අදහස් ඇති පිරිමියකුගේ අකු ඇටයෙන් යට දණමඬලෙන් උඩ සිරුර ඇල්ලීම, පිරිමැදීම, අතින් ගැනීම, ස්පර්ශ කිරීම හා පෙළීම හෝ රාගී අදහස් ඇති පුරුෂයකුගේ අත ගැනීම, සිවුරු කෙළවර ඇල්ලීම, එම පුරුෂයා සමීපයෙහි සිටීම ඉවසීමත්, ඔහු හා කථා කිරීමත්, සලකුණු කළ තැනකට යෑමත්, ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වීමත්, ඔහු හා මුවා වූ තැනකට පිවිසීමත්, මෙවුන්දම් සේවනය පිණිස කය එළවීමත්, පාරාජිකා ආපත්තීන් ය (භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය, 5 හා 8 පාරාජිකාපත්ති).
■ කිසියම් භික්ෂුවක් හෝ භික්ෂුණියක්, ස්ථිර අඹුසැමි බවකින් හෝ සොර සැමි බවකින් පුරුෂයාගේ කැමැත්ත ස්ත්‍රියට ද, ස්ත්‍රියගේ කැමැත්ත පුරුෂයාට ද යටත් පිරිසෙයින් එකෙණෙහි අභිරමණය කරනු කැමැති ස්ත්‍රී පුරුෂයන්ගේ අදහස් ඔවුනොවුන් වෙතට ද ගෙන යෑම සඟ වෙසෙස් ආපත්තියකි (භික්ෂු ප්‍රාතිමෝක්ෂය, 5 සංඝාදිසේසාපත්තිය). එසේ ම,
■ භික්ෂුණීයක රාගී අදහස් ඇති ව, රාගී අදහස් ඇති පිරිමියකු අතින් කෑ යුතු බිඳිය යුතු දෙයක් සියතින් ගෙන වැළඳීම හා තමන් තුළ රාගී අදහස් නැති බැවින්, රාගී අදහස් ඇති පිරිමියකු අතින් කෑ යුතු බිඳිය යුතු දෙයක් සියතින් ගෙන වැළඳීම සුදුසු ය යි සෙසු භික්ෂූණීනට අනුබල දීම ද සංඝාදිසේස ආපත්තීන් ය (භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය, 5 හා 6 සංඝාදිසේසාපත්ති).
■ යම්කිසි භික්ෂුවක් (භික්ති ආදියෙන්) මුවහ වූ මෛථූන සේවනයට යෝග්‍ය වූ රහසිගත අසුනෙක්හි හුදෙකලා ව හුදෙකලා වූ ස්ත්‍රියක සමඟ හිඳීම, හා ආසනය (භික්ති ආදියෙන්) මුවහ නො වූවක් වෙයි ද මෛථූන සේවනයට ද නුසුදුසු වූයේ වෙයි ද, (එහෙත්) ස්ත්‍රියක සමග අසභ්‍ය ව්‍යවහාරයෙන් කථා කිරීමට ප්‍රමාණවත් වෙයි ද, යම්කිසි භික්ෂුවක් හුදෙකලා වූයේ එබඳු අසුනෙක්හි හුදෙකලා ස්ත්‍රියක සමග රහසිගත ව හිඳීම, ඇදැහිය යුතු වදන් ඇති උවැසියක් එය දැක පරිජි, සඟ වෙසෙස්, පචිති යන තුන් ඇවත් අතුරෙන් යම්කිසි ඇවතකින් චෝදනා කරයි ද, භික්ෂුව තමා හුන් බව පිළිගන්නේ (නම්) පරිජි, සඟ වෙසෙස්, පචිති යන ඇවත් තුන අතුරෙන් ඒ ඇදහිය යුතු වදන් ඇති උවැසිය චෝදනා කරන ඇවතකින් එම භික්ෂුව ආරෝපණය කළ යුතු ය (භික්ෂු ප්‍රාතිමෝක්ෂය, අනියතාපත්ති 1-2).
එසේ ම භික්ෂුවක් හෝ භික්ෂුණියක්
■ අනුපසම්පන්නයකු හා දෙතුන් රැයකට වඩා එක සෙනසුනක විසීම
■ අඹුසැමියන් දෙදෙනකු (පමණක්) ඇති ගෙයකට පිවිස හිඳීම
■ යම්කිසි භික්ෂුවක් ස්ත්‍රියක සමග හෝ භික්ෂුණියක් පුරුෂයකු සමග රහසිගත ව පිළිසන් අසුනෙක්හි හුදකලාව හිඳීම
■ භික්ෂුවක් ස්ත්‍රියක සමග හෝ භික්ෂුණියක් පුරුෂයකු සමග එක සෙනස්නක විසීම
■ යම්කිසි භික්ෂුවක් නුවණැති පුරුෂයකු නැති ව හුදකලා ව සිටි ස්ත්‍රියකට හෝ භික්ෂුණියක් නුවණැති ස්ත්‍රියක නැති ව හුදකලා ව සිටි පුරුෂයකුට හෝ වචන හතර පහකට වඩා දහම් දෙසීම
■ යම්කිසි භික්ෂුවක් හුදකලා වූයේ තනි වූ ස්ත්‍රියක සමග හෝ භික්ෂුණියක් හුදකලා වූයේ තනි වූ පුරුෂයකු සමග රහසිගත ව හිඳීම
පාචිත්තිය ඇවැත් වේ (භික්ෂු භික්ෂුණි ප්‍රාතිමෝක්ෂ පාචිත්තිය ශික්ෂාපද).
ප්‍රාණඝාතය පිළිබඳ ශික්ෂාපද ද මේ ආකාරයට ම පැහැදිලි කර ඇත.
■ භික්ෂු භික්ෂුණීන්, මිනිස් ජීවිතයක් හානි කරගැනීම, හානි කිරීමට උපකාරී වීම, දිවි නසාගැනීමට අනුබල දීම, (මරණයෙහි අගය පවසමින්) පාරාජිකාපත්තියකි.
■ දැන දැන සතකුගේ දවි තොර කිරීම, දැන දැන ප්‍රාණීන් සහිත ජලය පානය කිරීම, පනුවන් සහිත ජලය තෘණ හෝ මැටි මත ඉසීම, සතුන්ගේ කොටස්වලින් කළ ඉඳිකටු ගුළාවන් භාවිතය, පොළොව කැණීම හෝ කැණවීම, වැඩෙන ගහකොළ විනාශ කිරීම මෙන්ම
■ අත්‍යවශ්‍ය කරුණක් නොමැති ව යුද්ධයට නික්මුණු සෙනඟ බැලීමට යෑම
■ අත්‍යවශ්‍යතාවකට යුදයට නික්මුණු සෙනග බලන්නට ගිය අවස්ථාවල දෙතුන් රැයකට වඩා සේනාව සමග විසීම
■ එසේ දෙතුන් රැයක් සිටින අතරතුර බල පිරිස ගණින තැනට, බලසෙන් නවත්වන තැනට හෝ බලඇණි දැකීමට හෝ යෑම
පාචිත්තිය ඇවැත් වේ (භික්ෂු භික්ෂුණි ප්‍රාතිමෝක්ෂ පාචිත්තිය ශික්ෂාපද).
මේ ආකාරයට ම, භික්ෂු භික්ෂුණීනට අදාල සියලු ක්‍රියාකරාකම් එහි ස්වභාවය අනුව නිර්වචනය කර ඇත.
මෙහි දී වැදගත් ම කරුණ වන්නේ වරදකට අදාළ දඬුවම නිර්ණය කරන ආකාරයයි. බුදුදහමට අනුව වරදකට දඬුවම් කිරීමෙහි අරමුණ වරද කළ පුද්ගලයා පීඩාවට පත් කර පළිගැනීම නො වේ. බුදුදහම වරදක් කරන පුද්ගලයා දකින්නේ රෝගියෙකු ලෙස ය. එම නිසා එම වරද කරන්නාට ලබා දෙන දඬුවම වරදකරු එම රෝගී තත්ත්වයෙන් මුදවාගැනීමට කරන ප්‍රතිකාරයක් විය යුතු ය. වරදට අදාළ දඬුවමට ලක් වූ පුද්ගලයා දඬුවම අවසන් වන විට පත් ව සිටි රෝගී තත්ත්වයෙන් මිදී සිටිය යුතු ය.
එසේ ම තමා සමාජය තුළ හැසිරීමේ දී පවත්වාගත යුතු සීමාවන් දෙසතියකට වරක් මතක් කර දීමටත්, සීමාවන් බිඳ දමා ඇත්නම් තමාව ප්‍රකෘති කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සාමූහික ව තීරණය කිරීමටත් විනය පිටකය උපදෙස් දෙයි. පැවිදි සමාජය පමණක් නො ව ගිහි අප ද, අපගේ සීමාවන් නිවැරදි ව වටහා ගැනීමත්, සීමාව බිඳ දැමීමෙහි බරපතළකම නිර්ණය කරගැනීමත්, නිරතුරු අපගේ චර්යාව පරික්ෂා කිරීමත්, වැරැදි ඇත්නම් එය නිවරැදි කරගැනීමට පියවර ගැනීමත්, තුළින් සංවර වෙමු.