ආරවුල්, අඬදබර, සමාජයේ කොතෙකුත් ඇති වෙයි. කලකට ඉහත දී අප දුටුවේ අසල්වැසියන්ගේ හා දන්නා හඳුනන අයගේ එවැනි හැසිරීම් පමණක් වුව ද සමාජ මාධ්‍ය හරහා දැන් අපට රට පුරාත් ලොව පුරාත් ඇති වන මෙවැනි සිද්ධි නිතර දකින්නට ලැබේ.
සමාජ මාධ්‍ය හරහා මෙවැනි සිද්ධි ප්‍රසිද්ධ කරන අයගේ විවිධ අරමුණු තිබිය හැකි ය. අප මෙහි ලා අවධානය යොමු කරන්නේ ඒකපාර්ශ්වික, ආත්මාර්ථකාමී, පටු අරමුණු ගැන ය. මෙසේ ප්‍රසිද්ධ කෙරෙන ඇතැම් සිද්ධියක දකින්නට ලැබෙන්නේ එක් පාර්ශ්වයක් අගතියට පත් වන අයුරු ය. උදාහරණයක් ලෙස පාරිභෝගිකයකු කිසියම් ආයතනයකින් යම් සේවයක්
ලබාගැනීමට ගිය අවස්ථාවක ඔහුට රළු ලෙස ප්‍රතිචාර දක්වන අදාළ ආයතනයේ නිලධාරියකුගේ හැසිරීම පෙන්වන විඩියෝවක් ගැන සිතමු. මේ සිදුවීම දකින සියලු දෙනා ම පාහේ කම්පා වන්නේ පාරිභෝගිකයා පත් වූ අපහසුතාව ගැන ය.
දැන්, මේ සිද්ධියේ අනෙක් පාර්ශ්වය එවැනි ප්‍රතිචාරයක් දැක්වීමට යොමු වූයේ කුමක් නිසා ද යන්න සිතන්නට ඔබ මොහොතකට හෝ යොමු වූවා ද? එවැනි සිතිවිල්ලක් ඇති වන්නේ කලාතුරකින් කෙනෙකුට ය. මේ
පාරිභෝගිකයා ආයතනයට ගොඩවැදුණේ ම නිලධාරීන්ට තර්ජනය කරමින්, කෑගසමින් දැ යි දන්නේ කවුද? මුලින් ම නිලධාරීන් ඔහු සන්සුන් කිරීමට උත්සාහයක නිරත වූවා ද, එයින් කිසිදු පලක් නො වූවා ද යන්න අප දන්නේ ද? නිලධාරීන් ද සාමාන්‍ය මනුෂ්‍යයන් නිසා මෙවැනි අවස්ථාවක ඔවුන් ද රළු ප්‍රතිචාරයක් දක්වන්නට නො හැකිවා නො වේ.
පාරිභෝගිකයා නඟන චෝදනාවේ සැබෑ වැරදිකරුවන් වන්නේ ආයතන නිලධාරීන් ම දැ යි අප දන්නේත් නැත. අපට පෙන්වන්නේත් අප දකින්නේත් එක් පැත්තක් පමණි.
මඟතොට දක්නට ලැබෙන මේ ආකාරයෙන් දෙපැත්තක් තිබිය හැකි සිද්ධියකට උදාහරණයක් වන්නේ ඉවසීමකින් තොර රිය ධාවනයයි. අප ඒ දැක කලකිරීමෙන් හා කෝපයෙන් කතා කරන්නේ රියදුරාගේ නො හික්මුණු බව ගැන ය. සමහර විට ඒ වාහනයේ රියදුරු මහතා ඒ තරම් හදිසියෙන් රිය පදවාගෙන යන්නේ තමන්ගේ මවට, පියාට, බිරිඳට, දුවට, පුතාට හදිසි කරදරයක් වී ඇති බවට පණිවිඩයක් ලැබී විය හැකි ය. එවැනි සිද්ධියක් ඒ පිටුපස තිබෙන බව ඔබ දන්නේ නම් ඒත් ඔබ ඔහුට අර තරම් සාහසික ලෙස දොස් පවරන්නේ දැ යි තමන් ගෙන් ම විමසා බලන්න.
මධ්‍යස්ථ ලෙසත්, විචාරශීලී ලෙසත්, හැම කෝණයකින් මත් සිද්ධියක් විමසා බැලීම පහසු නැත. එසේ කිරීමට අප බොහෝ දෙනකු පුහුණු කරවා හෝ පුහුණු වී හෝ නැත. එසේ සිතීමට අපට කාල වේලාවක් නැත. අපේ මනස් නිදහස් ද නැත. එනිසා අප තෝරාගන්නේ පහසු ම මාර්ගයයි. දකින දෙයින් පමණක් සෑහී නිගමනයට එළඹීමයි.
අප අවට සිදු වන හැම දෙයක ම දෙපැත්තක් ඇත. ඊටත් වැඩි පැති ගණනක් ද තිබිය හැකි ය. සාධාරණ නිගමනයකට එළඹිය හැක්කේ මේ හැම පැත්තක් ම විමසා බැලීමෙන් පමණි. ඒ හැම දෙයක් ම සෙවීම ප්‍රායෝගික නැත්නම් අඩු තරමින් උපේක්ෂා සහගත ව එවැනි සිදුවීම් දෙස බැලීමට අප පුරුදු විය යුතු ය.