මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
අංගුත්තර නිකායේ දසක නිපාතයේ යමක වග්ගයේ එන පඨම නළකපාන සූත්‍රයත්, දුතිය නළකපාන සූත්‍රයත් දේශනා කරනු ලබන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ විසිනි. ඒ බුදුන් වහන්සේගේ ඉල්ලීම පරිදිය. පඨම නළකපාන සූත්‍රයේ සඳහන් වන පරිදි, බුදුන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා සමග කෝසල ජනපදයේ නළකපානය අසල වූ පලාස වනයෙහි වාසය කරති. දිනක් සිය පිට රිදුම නිසා උන්වහන්සේ, මඳක් විවේක ගනු කැමැත්තෙන් සිය ශ්‍රාවකයන් වහන්සේලාට ධර්ම දේශනා කිරීම සැරියුත් මහ රහතන් වහන්සේට පවරති. ඒ අනුව සැරියුත් තෙරණුවෝ දම් දෙසති. බුදුන් වහන්සේ ද පහසු ඉරියව්වකින් හිඳ සිය සුකීර්තිමත් ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන සැරියුත් තෙරුන් වෙතින් දහම් අසති.
සැරියුත් මහ රහතන් වහන්සේ වදාරන්නේ යම් කිසිවකුට කුසල දහම් කෙරෙහි හිරි – ඔතප් – වීර්යය – ප්‍රඥා යන මේවා නොමැති නම් ඒ තැනැත්තා විසින් කුසල දහම් කෙරෙහි හානියක් ම කැමති විය යුතු බව යි. මෙහි දී උන්වහන්සේ පරිහානියට පත් වන පුරුෂ පුද්ගල වර්ග දහයක් ගැන සඳහන් කරති. පහත සඳහන් පරිද්දෙනි.
- අශ්‍රද්ධ පුරුෂ පුද්ගල
- අහ්‍රීක පුරුෂ පුද්ගල
- ඔතප් නැති පුරුෂ පුද්ගල
- කුසීත පුරුෂ පුද්ගල
- දුෂ්ප්‍රාඥ පුරුෂ පුද්ගල
- ක්‍රෝධන පුරුෂ පුද්ගල
- බද්ධවෛරී පුරුෂ පුද්ගල
- පාපෙච්ඡ පුරුෂ පුද්ගල
- පාපමිත්‍ර පුරුෂ පුද්ගල
- මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගල
පුරුෂ යන වචනය සඳහන් ව ඇති නිසා මෙය පුරුෂයනට පමණක් අදාළ ලෙස සැලකිය යුතු නැත. යට කී චරිත ලක්ෂණ ඇති පුරුෂ වේවා, ස්ත්‍රී වේවා කවර හෝ චරිතයකට ඒවා අදාළ වෙයි.
අශ්‍රද්ධ යනු ශ්‍රද්ධාවෙන් – සැදැහෙන් තොර වීමයි. අහ්‍රීක යනු ලජ්ජා නැති කමයි. ඔතප් නැති යනු වැරදි කිරීමට බිය නොවීමයි. කුසීත යනු අලස බවයි. දුෂ්ප්‍රාඥ භාවය යනු දැනුම අයහපත් දෙයෙහි ලා යෙදවීමයි. ක්‍රෝධන යනු කුපිත වන, ක්‍රෝධ කරන චරිත ලක්ෂණය යි. බද්ධවෛරී යනු කෙනෙකු කෙරෙහි ඇති කොටගත් වෛර සහගත හැඟීම අඛණ්ඩ ව එනම් දිගින් දිගට ම පවත්වා ගෙන යාමයි. පාපෙච්ඡ යනු පව්කාර දෙයට කැමැති වීමයි. පාපමිත්‍ර යන්නෙන් අදහස් වන්නේ අයහපත් දේ කරන චරිත මිතුරන් ලෙස ඇසුරු කිරීම යි. මිථ්‍යා දෘෂ්ටික භාවය යනු වැරදි දෙය නිවැරදි ලෙස ගෙන ඒ අනුව ජීවත්වීමයි.
යට කී කරුණු දහය එකකට එකක් සම්බන්ධ බව පෙනේ. පළමු වැන්න එනම් ශ්‍රද්ධාවෙන් තොරවීම – සිදුවීම අනෙක් කාරණා නවයේ ද උපතයි. ශ්‍රද්ධාවෙන් තොරවීම සමග ලැජ්ජා බය දෙක නැතිව යයි. ඔහු හෝ ඇය දැහැමි දෙය විෂයයෙහි කුසීත වෙයි. එචරිතය වෙත ඇති ඥානය වැරදි දෙය උදෙසා යෙදවෙයි. සිය අසත් අරමුණු ඉටු කර ගැන්මට නොලැබෙන තැන කෝපයට පත් වෙයි. ඇතැම් විට එක් පුද්ගයකු දෙදෙනෙකු කෙරෙහි පමණක් නොව මුළුමහත් සමාජය කෙරෙහි ම බද්ධවෛරී මනසකින් බලන ස්වභාවයක් එබඳු චරිතයකින් විද්‍යාමාන වෙයි. එසේම එබඳු කෙනා ප්‍රිය කරන්නේ අයහපත් දෙයටයි. ඔහුගේ කැමැත්ත ඇත්තේ ඒවාට බැවිනි. එසේම ඔහු කල්‍යාණ මිත්‍රයන් නොව පාප මිත්‍ර ඇසුර ප්‍රිය කරයි. තවද ඔහුට නිවැරදි ජීවන දෘෂ්ටියක් ද නොපිහිටයි. මෙබඳු චරිතයක් තමා පරිහානියට පත්වීමෙන් නොනැවතී සමාජයත් පරිහානිය වෙත කැඳවීමෙහිලා ද ප්‍රබල හේතු සාධකයක් වෙයි.
රුවන් බන්ධුජීව නම් සම්මානනීය තරුණ කවියාගේ “කුණ්ඩලකේසී” නම් පi නිර්මාණය “පරිහානි පුරුෂ පුද්ගල” හඳුනා ගැනීමෙහිලා අපට උපකාර කරයි. පහත සඳහන් වන්නේ එම නිර්මාණය යි.
කුණ්ඩලකේසී
“කෙස්ස උස් කරන් බැඳගෙන
රෙද්ද තදකරන් ඇඳගෙන
රතු බුනීල මල් පෙති
බිම අතුරපු දේවි
සත්තුක නිදි ඇඳ වටේට
තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු
කුණ්ඩලකේසි
මාල කඩනවා සත්තුක
කංස බෙදනවා සත්තුක
රාජ පුරුෂයන් නිතරම පැලට පනීවි
බතක් මාලුවක් බැඳගෙන
පියාඹා ගොහින් වැලිකඩ
කසෙන් තැලුම් කෑ සත්තුක
සනසපු දේවී
සූදු කෙළිනවා සත්තුක
මඩමෙ ළගිනවා සත්තුක
මොනව කළත් මේ වෙනකං ඉවසපු දේවි
“එපා තාත්තෙ කිය කිය”
දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරින්
විසිවුණු දේවි
සත්තුක නිදි ඇඳ වටේට
තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු
කුණ්ඩලකේසී”
මෙහි කියැවෙන්නේ අතීත කුණ්ඩලකේසිය ගැන නොව නූතන කුණ්ඩල කේසියක ගැන යි. අතීත කුණ්ඩලකේසී, ජීවිතයේ සැප දුක මැදින් වූ ගමනක දෝලනය ව, මරණීය දණ්ඩනයට නියම ව සිටි සත්තුක නම් සොර නායකයාට පෙම් කොට, සිටුවරයකු වූ සිය පියාට ඒ ගැන දන්වා, යටකී සොරා දණ්ඩනයට කැඳවාගෙන යමින් සිටි රාජපුරුෂයනට අල්ලස් දී ඔහු මුදා ගෙන ඔහු සමඟ විවාපත් වූවා ය. කුණ්ඩලකේසී සත්තුකට පෙම් කළත් සත්තුක ඇයට පෙම් කළ බවක් නොපෙනේ. ඔහුට අවශ්‍ය වන්නේ ඇය සතු රන් අබරණ ද ඇතුළු ධන සම්පත්තිය යි. මේසා ආදරය කළ ගැහැනිය කඳු මුදුනකින් පහතට හෙළා ඝාතනය කිරීමට, සැරසුණු සත්තුක රවටා, ඔහුට වඳින බවක් පෙන්වා, ඒ කන්දෙන් ඔහු පහළට හෙළා, සිය ජීවිතය ගලවා ගැන්මට කුණ්ඩලකේසිය සමත් වූවා ය. ප්‍රේමණීය යැයි සිතා සිටි චරිතවල ඇති ව්‍යාජත්වය – වංචනික්වය අවබෝධ කොට ගන්නා ඇයට අවසන පිහිට වන්නේ බුදුන් වහන්සේ ය. ඇය අවසානයේදී බුදු පිළිසරණ ලැබ රහත් මෙහෙණියක බවට පත්වීමට සමත් වූවාය. භාග්‍යවත් වූවාය.
නූතන කුණ්ඩලකේසිය ඇතැම් කරුණු අතින් අතීත කුණ්ඩලකේසියට සමාන වන අතර, ඇතැම් කරුණු අතින් අසමාන වෙයි. දෙදෙනාට ම ස්වාමි පුරුෂයන් ලෙස ලැබෙන්නේ “සත්තුකලා” ය. අතීත කුණ්ඩලකේසිය සැපවත් ජීවිතයකට උරුමකම් කී අතර නූතන කුණ්ඩලකේසියට උරුම වන්නේ දුක්බර දිවියකි. අතීත කුණ්ඩලකේසියට පිහිටවීමට එදා බුදුන් වහන්සේ ජීවමාන ව සිටි මුත් නූතන කුණ්ඩලකේසියට එබඳු වාසනාවක් හිමි නොවේ. ඒ කෙසේ වෙතත් මෙකී නිර්මාණය විමර්ශනය කිරීමේදී අතීත සත්තුක මෙන් ම වර්තමාන සත්තුක ලෙසත් අපට හමුවන්නේ පරිහානි පුද්ගල චරිත දෙකකි. මේ දෙදෙනාම අශ්‍රද්ධ ය. ආගමික දෙයට මතු නොව තමාට පිහිට වන – උදව් කරන බිරිඳ කෙරෙහි පවා බැතිබර සිතකින් බැලීමට දෙදෙනාම නොදනිති. මේ දෙදෙනාට ම ලජ්ජා – බය නැත. නූතන සත්තුක සහජාත ව උපන් සිය දියණිය පවා අනාථ කරන දුෂ්ප්‍රාඥයෙකි. අතීත සත්තුක ද දුෂ්ප්‍රාඥයකු මෙන් ම ක්‍රෝධ කරන මිනිසෙක් ද වෙයි. ඔහුගේ ක්‍රෝධය සිය බිරිඳ වෙත ද යොමු වෙයි. බද්ධ වෛරය ද මෙබඳු චරිත අතහැර නොයයි. එසේ ම මේ දෙදෙනා ම පාපාකාරී ආශාවන්ගෙන් යුතු පාප මිත්‍රයෝ ද වෙති. එසේ ම මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. දෙදෙනාගේ ම ජීවන දෘෂ්ටිය වැරදි සහගත බැවිනි.
සත්තුකලා නූතන සමාජයේ ද වෙසෙති. එහෙත් ඒ අල්පතරයක් බව ද අවධාරණ කළ යුතු වෙයි. බහුතරය සත්තුකලා නොවෙති. එසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ සුළුතරයක් සත්තුකලාට ඉඩදී බලා සිටීම ද? මෙහි දී බුදු මග පිළිපන් සැරියුත් මහරහතන් වහන්සේ කිවයුත්ත කියති. කළ යුත්ත කරති. උන්වහන්සේ දේශනා කළේ සත්තුකලා “වෙනස් කරවන” බණකි.
එසේ නම් සත්තුකලා නොවන ඔබ – අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක් ද? තමා ද සත්තුකලා වී එබඳු චරිත බිහි කිරීමෙහිලා කටයුතු කිරීමද ? නොඑසේ නම් ඊට සපුරා වෙනස් චර්යාවක් වෙත තමා යමින්, ලෝකය ද යහපත් වෙනසක් වෙත කැඳවීම සඳහා තමාට කළ හැකි දෙය කිරීම ද?
මතුසම්බන්ධයි

