අධ්‍යාපන අමාත්‍යංශයේ
සමස්ත ලංකා මෙහෙණි අධ්‍යාපන ආයතන සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා
පාදුක්ක ශ්‍රී චන්දෝදය ද්විභාෂා මෙහෙණි අධ්‍යාපන ආයතනාධිපති
ශාස්ත්‍රපති
හාල්පන්දෙණියේ සුපේෂලා මෙහෙණින් වහන්සේ
සාකච්ඡා සටහන : ආර්. ඒ. නයනානන්ද
මෙම ලිපියේ මුල් කොටස පසුගිය කලාපයේ පළ විය.
කාම වස්තූන් කෙරෙහි ම නො සිට ඒවා අත්හැරීමට සිත සකස් කර ගත යුතු ය. ඇතැමෙක් අත්හරිති. ඒ කෙසේ ද? උදාහරණයක් ගෙන බලමු. අයෙක් තමා ආහාරයට ගෙන ඉතිරි වූ මස් කටුව හෝ මාළු කටුව හෝ කරවල කටුව හෝ සතෙකුට දෙති. තමාට ආහාරයට ගත නොහැකි දෙය සතෙකුට දී තමා සතුන්ටත් කෑම දුන්නා යැ යි කියා සතුටු වෙති. තවත් නිදසුනක් බලමු. සමහරෙක් තමාට ඇඳීමට නොහැකි නම් හෝ එය ලස්සන නොමැති නම් හෝ ඇඳුම් පැළඳුම් වෙනකෙකුට දෙති. මේ අවස්ථා දෙකේ දී ම සිදු ව ඇත්තේ තමාට පරිහරණය කළ නොහැකි දෙයක් වෙනකෙකුට දීම ය. එනිසා සිදු ව ඇත්තේ අත්හැරීම නො ව අත්හැරීම යන සංකල්පයේ පිහිටා ඉවත් කළ දෙයක් ලබා දීම ය.
මස් වැදැල්ලක් ඩැහැගත් කපුටෙකු මස් නො ලැබූ උකුස්සන් ගෙන් වැනසෙන්නා සේ කාමය නිසා පෘථග්ජන මිනිසා ද විවිධ මත ගැටුම් කලකෝලාහල ඇති කරගෙන දුකට පැමිණෙයි. සියලු ඇලීම් ගැටීම් කාමය නිසා ය. එනිසා අප කාම ලෝකයෙන් නික්මිය යුතු ය. කාමය සසර ගමන තුළ අප අතරමං කර ඇත.
මෙසේ ගිහිගෙයි ඇති සැපසම්පත්වල ඇලී ගැලී විසීමෙහි දොස් දැක ඒවා අත්හැර දමා ගොස් නුවණ දියුණු කර ගැනීමට කල්පනා කිරීම නෙක්ඛම්ම සංකප්පය බව ඔබට පැහැදිලි ව ඇත. බුදු වීමට බලාපොරොත්තු වන බෝධිසත්වවරු මෙම කල්පනාව පාරමිතා ධර්මයක් වශයෙන් පුහුණු කරති. ලෝකයෙහි බුදු, පසේබුදු, මහරහත් යන උතුමන් පහළ වන්නේ ගිහි සැප අත්හැර දැමීමේ කල්පනාව (නෙක්ඛම්ම සංකප්පය) නිසා ය.
සම්මා සංකප්පයට අයත් දෙවැනි යහපත් කල්පනාව අව්‍යාපාද සංකප්පයයි. මෛත්‍රී කල්පනාව අව්‍යාපාද සංකප්ප නම් වේ. එනම් සියලු සත්ත්වයන් විෂයෙහි මෛත්‍රි සිතුවිලි පතුරුවන කල්පනාවයි. තණ්හාව, ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මදය, මානය යනාදි ක්ලේශ ධර්ම සමග අපි අපේ ජීවිත අඳුරෙන් අඳුරට ගෙන යමු; දුගතියෙන් දුගතියට ගමන් කරමු. ‘ඉවසලා ඉවසලා බැරි ම තැන එහෙම වුණේ… ඒ වගේ අපරාධයක් වුණේ’, අයෙක් මෙසේ කියනු ඔබ අසා ඇත. ඉවසලා ඉවසලා බැරි ම තැනත් කළ යුත්තේ ඉවසීම ය. ‘අපව කියතෙන් කැපුවත් අප ඉවසීම පුරුදු කළ යුතු ය’ යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ක්‍ෂාන්තිවාදී ජාතක කථාවේ එන පරිදි කලාබු රජතුමා ක්‍ෂාන්තිවාදී තවුසාට අපමණ වදහිංසා හිරිහැර කළත් තවුසාණෝ ඒ සියල්ල ඉවසූ හ.
නහී වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
ඒස ධම්මෝ සනන්තනෝ
‘මේ ලෝකයේ වෛරයෙන් වෛරය කිසි කලෙකත් නො සන්සිඳේ. මෛත්‍රියෙන් ම සන්සිඳේ. මෙය සනාතන දහමකි’ යනු මෙම ගාථා පාඨයේ අර්ථයයි.
ඉහත ගාථා පාඨය අනුව නො සිඳෙන වෛරයක් තුළ අනාදිමත් කාලයක් සසර සැරිසරන්නාට සුගතියක් නැත. එනිසා ද්වේෂ සිතුවිල්ලක්, වෛරී සිතුවිල්ලක් සිතට ආ විගස එය හඳුනා ගත යුතු ය. යහපත් කල්පනාව එයයි. කළ යුත්තේ මෛත්‍රිය වර්ධනය කිරීම ය. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ දී එහි සඳහන් කරණීය ධර්ම (මෛත්‍රිය කිරීමට පෙර පුරුදු පුහුණු කළ යුතු ධර්ම) තුළින් මෙම උතුම් වූ ධර්ම මාර්ගය (මෛත්‍රිය) පහදා දුන් සේක.
සමහරෙක් අන් අය ගැන නො ව තමා ගැන ම තරහෙන්, වෛරයෙන් සියදිවි හානි කර ගනිති. අනුන් කෙරෙහි මෙන් ම තමා කෙරෙහි ද නපුරු අදහසක් පහළ කර නො ගෙන මිතුරු අදහස් ඇති කරගැනීමට සිත සකස් කර ගත යුතු ය. මිතුරු අදහස් ඇති කර ගැනීමෙන් ප්‍රියමනාප බව, සුහදතාව හට ගනී. තමාට හිතවත් වූත්, මැදහත් වූත්, අහිතවත් වූත් සැම දෙනා කෙරෙහි ම හිතවත්කම් දැක්වීම මෛත්‍රී කල්පනාවයි. ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ දී පාරමිතා ධර්මයක් වශයෙන් මෛත්‍රිය පුරුදු කළ සේක. බුදු බව පතන බෝධිසත්වවරු පාරමිතා ධර්මයක් වශයෙන් මෛත්‍රිය පුරුදු කරති. අව්‍යාපාද සංකල්පය (මෛත්‍රී කල්පනාව) ඇති පුද්ගලයාට සතුරෙක් නැත.
සම්මා සංකප්පයට අයත් තුන්වැනි යහපත් කල්පනාව අවිහිංසා සංකප්පයයි. හිංසාවෙන් තොර අහිංසක කල්පනාව අවිහිංසා සංකප්පයයි. එනම් අනුන්ට හිංසා පීඩා පැමිණවීමේ ආදිනව නුවණින් විමසා බලා එම හිංසක සිතුවිලිවලින් තුරන් වූ කරුණා සහගත කල්පනාව අවිහිංසා සංකප්ප නම් වේ.
අන්‍යයන්ට හිංසා පීඩා නො කර ඔවුන් කෙරෙහි දයානුකම්පාවෙන් කරුණාවෙන් ලෙන්ගතුකමින් සහකම්පනයෙන් කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ
‘සියලු සත්ත්වයෝ ම දඬුවමට බිය වෙති. සියලු සත්ත්වයෝ ම මරණයට බිය වෙති. තමා උපමා කොට කිසිදු සත්ත්වයෙකු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.’
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ
‘සියලු සත්ත්වයෝ ම දඬුවමින් තැති ගනිති. සියල්ලන්ට ම ජීවිතය ප්‍රියයි. එබැවින් තමා උපමා කොට නුවණැත්තේ කිසිදු සත්ත්වයෙකු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.’
ඉහත ගාථා පාඨයන් අනුව, තමා තමාට ආදරය කරනවා සේ තමාව උපමාවට ගෙන අන් අයට හිංසා පීඩා කිරීමෙන් වැළකීමට අප කටයුතු කළ යුතු ය. කිසි විටකත් හිංසාවට ජය ගැනීමට ඉඩ නො දිය යුතු ය. හිංසාව අවබෝධයෙන් බැහැර කළ යුත්තකි.
බුදුදහමේ එන පන්සිල්, අටසිල්, දසසිල් ආදි සීලයන්හි මුලින් ම දැක්වෙන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වීමේ ශික්‍ෂා පදයයි. මෙම ශික්‍ෂා පදය නිසා බෞද්ධයා සත්ත්ව ඝාතනයෙන්, සත්ත්ව හිංසාවෙන් ඈත් වෙයි. සත්ත්ව හිංසාවෙන් වෙන් වෙන පුද්ගලයා තුළ පහළ වන්නේ සත්ත්වයන් කෙරෙහි අනුකම්පා සහගත කල්පනාවයි. බුදුදහමේ කරුණාව නමින් හැඳින්වෙන්නේ ද එම යහපත් කල්පනාවයි. බුදුරජාණන් වහන්සේ සෑම විට ම සත්ත්වයන් කෙරෙහි කරුණාව දක්වීමට ශ්‍රාවකයන්ට අනුශාසනා කළ සේක. උන්වහන්සේ ද ඒ අනුව ක්‍රියා කළ සේක.
වස්තුකාම ක්ලේශකාමයන් ගෙන්, ව්‍යාපාදයෙන්, හිංසාවෙන් සිත කිලිටි වීමට ඉඩ නො දී යහපත් කල්පනාවෙන් සියලු ම කටයුතු සිදු කිරීමට අප අදිටන් කර ගත යුතු ය. එවිට නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් වැඩිදියුණු කර ගැනීමටත් හැකියාව ලැබෙයි.
දුකෙන් නිදහස් වීමට නම් පුද්ගලයෙකුගේ කල්පනාව නිවැරදි විය යුතු ය. අධික ලෙස ඉඳුරන් පිනවීමේ ආශාව ඇති තැනැත්තාට දුක් කෙළවර කළ නොහැකි ය. අනුන් නැසේ වා, අනුන් වැනසේ වා යන කල්පනාව ඇති තැනැන්තාට ද දුකෙන් මිදීමක් නැත. අනුන්ට හිංසා කිරීමේ චේතනාවෙන් යුක්ත තැනැත්තාට ද විමුක්තියට පත් විය හැකි නො වේ. එනිසා වස්තුකාම ක්ලේශ කාමයන් ගෙන් වෙන් වූ තැන එනම් රාගය නැති තැන ඇත්තේ (රාගක්ඛයෝ නිබ්බානං) නිවනයි. ද්වේෂයෙන් මිදුණ තැන ඇත්තේ (දෝසක්ඛයෝ නිබ්බානං) නිවනයි. මෝහයෙන් මිදුණ තැන ඇත්තේ (මෝහක්ඛයෝ නිබ්බානං) නිවනයි.