රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ

rashi
By rashi
9 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වන දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)

සියවස් ගණනාවක් පුරා අවනතියට පත් වෙමින් පැවති ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර සහ බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රවල උන්නතියක් ඇති කිරීමට විදුදය විදුලකර මහා පිරුවන් විද්‍යාස්ථාන දෙකට හැකියාව ලැබුණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් උදා කළ ධර්මශාස්ත්‍රෝද්දීපනය උපරිම ස්ථානයට ළඟා වූයේ මෙම මහා විද්‍යාස්ථාන පිහිටුවීමෙන් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

දස දෙස පතළ කිත් යසසින් අනූන වූ අග්‍රගණ්‍ය ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙසින් සම්භාවිත පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන දෙස, බස, දැය, සමය උද්දීපනය කරවීම උදෙසා සිදු කළ මෙහෙවර අනල්ප වෙයි. එබඳු සුවිශේෂී අනන්‍යතාවයකින් හෙබි විද්‍යාලංකාර පිරුවන පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත ගණාචාර්ය, ත්‍රිපිටකාචාර්ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සකල ලෝවාසීන්ගේ ගුණකීර්තනයට භාජනය වන ශ්‍රේෂ්ඨ යුගකාරක යතිවරයාණන් වහන්සේ නමකි.

පශ්චිම ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ රත්මලානෙහි විසූ රයිගම විදානේලාගේ දොන් කොරනේලිස් අප්පුහාමි පියතුමන්ගේ සහ අඹේපිටියගේ දෝන අද්‍රියානා හාමිනේ මව්තුමියගේ දෙවන පුතනුවන් වශයෙන් වර්ෂ 1828 මැයි මස 28 වන දින ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුටහ. මාහිමියන්ගේ පියතුමාණෝ රයිගම උප රාජධානියෙහි වැව් බැඳවීමට නායකත්වය ලබා දුන් එසේම ධනුද්ධරයෙකු වශයෙන් සමර්ථ වූ හෙයින් තල්පිටියේ රාජකීය උද්‍යානය නින්දගම් වශයෙන් ලද සද්ද විද්ද රාජපක්ෂ දඩයක්කාර මුහන්දිරම් පෙළපතට අයත් වූහ.

වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරෙන් කොළොම්පුරයට වැඩමවා ශාසනාභිරතිය සමෘද්ධිමත් කරවූයේ ආසිදෙණියේ ශ්‍රී ධර්මකීර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ධර්මකීර්ති මාහිමියන් වහන්සේ සංඝරාජ හිමියන්ගේ තෘතීය ශිෂ්‍ය වූ ගිනිගත්පිටියේ සංඝරක්ෂිත නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකි. ආසිදෙණියේ ධර්මකීර්ති හිමියන් පළමුව වැඩ සිටි විහාරස්ථානය රත්මලානේ පුරාණ විහාරයයි. එම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ යුගයට අයත් විහාරස්ථානයක් වශයෙන් සළකන අතර තවත් මතයකට අනුව මහා ජල්ලික නම් කෙවුල්ගම පිහිටි දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයයි. ආසිදෙණියේ මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර තලංගම සෝභිත මාහිමි, මරළුවාවේ සෝභිත මාහිමි, සහ අඬුපේ සෝණුත්තර මාහිමි වශයෙන් සඳහන් කළ හැකිය.

දහර වියට එළඹුණු කල්හි මව්පියන් විසින් රත්මලාන පුරාණ විහාරයට පමුණුවනු ලදුව අඬුපේ සෝණුත්තර මාහිමියන්ගේ සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරවාසී ගම්පහ රේවත හිමියන්ගේ ඇසුරට පත්ව අක්ෂරෝද්ග්‍රහණය කරන කල්හි එම ගුරු හිමිවරුන්ගේ බලවත් ආයාසය නිසා ම දෙමාපියන්ගේ සිත් පහන් වී තලංගම සෝභිත මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ අඬුපේ සෝණුත්තර හිමියන්ගේ ආචාර්යයත්වයෙන් 1837 දී රත්මලානේ ධර්මාලෝක නමින් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලදහ. එදින තුන් යම් රෑ මුළුල්ලෙහි එවක මහා පඬිරුවනක වශයෙන් වැජඹුණු බෙල්ලන්විල බෝධිසමීපාරාමාධිපති උඩුගම්පොළ රතනපාල හිමියන් සමග යුගාසන ධර්මදේශනාවක් පැවැත්වීමට ධර්මාලෝක හෙරපාණෝ සමත්කම් පෑහ.

කෝට්ටේ රජමහා විහාරාධිපතිව වැඩ සිටි මලිගස්පේ මංගල කොළඹ පළාතේ සංඝනායක හිමියන් ඇසුරේ ඉගෙනීම් කටයුතු සිදු කළ ධර්මාලෝක තෙරණුවන් ඉනික්බිතිව රත්මලාන පුරාණ විහාරයේ වස් විසීමට පැමිණ එහි සිසුන් වෙත ඉගැන්වීම් කටයුතු සිදු කළ, පසුව පරමධම්මචේතිය පිරුවන පිහිටු වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කළහ. උඩුගම්පොළ රතනපාල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ෂිත හිමි, හික්කඩුවේ සුමංගල නාහිමි වැනි මහා තෙරවරු ධර්මාලෝක හිමියන් සමග සමකාලීනව අධ්‍යාපනය ලැබුවෝ වෙති.

වර්ෂ 1849 දී ස්වකීය ආචාර්ය පරපුරට අයත් බෝගහවත්තේ මාහිමියන්ගේ ආධිපත්‍යයේ පැවති සත් කෝරළයේ බඹරගල රජමහා විහාරස්ථානයට වැඩම කොට පල්ලේවත්තේ මහ තෙරුන් වෙතින් ජ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කළ ධර්මාලෝක හිමියන් එම වකවානුවේ සිට ම ශිෂ්‍යයන් හට ඉගැන්වීම් කටයුතු සිදු කළහ. චිත්‍ර කර්මාන්තය කෙරෙහි යොමු වී එම ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක බිතු සිතුවම් නිර්මාණය කිරීමට යොමු වූයේ මතු නොව පුස්කොළ පොත් පිටපත් කිරීම් වලට ද යොමු වී ක්‍රියා කළහ.

නැවත 1854 දී රත්මලානට වැඩම කොට සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින කාලයේ ස්වකීය දෙතිස් වන වියේ දී එනම් 1860 දී ස්වකීය ආචාර්යයන් වහන්සේලා සහ දායක පිරිස සමග මහනුවර මල්වතු මහා විහාරයට වැඩම කොට පාලි භාෂාමය අෂ්ටකයක් ඉදිරිපත් කිරීමෙන් පරකුඹුරේ විපස්සි මහ නාහිමියන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාවේ ප්‍රසාදයට පත්ව රාජකීය ගෞරව ලබමින් උපසම්පදාව ලැබීය.

උපසම්පදාවෙන් පසු ධර්මාලෝක හිමියන් රත්මලානට වැඩි පුවත ඇසූ පළාත්වාසී යතිවරුන් ශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස ස්වකීය ශිෂ්‍ය පුත්‍රාදීන් ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ වෙත භාර කරන ලදින් 1860 වර්ෂයේ රත්මලාන පුරාණ විහාරයේ පිරුවනක් ආරම්භ කොට සිසුන්ට ඉගැන්වීම සිදු කළහ. විචිත්‍ර ධර්ම කථිකයෙකු වශයෙන් කැලණියේ පටන් මාතර දක්වා ම ධර්මාලෝක හිමියන් ප්‍රසිද්ධියට පත් විය.

ශ්‍රී ධර්මාලෝක මාහිමියන්ගේ දිවි ගමනෙහි 1864 වර්ෂය සුවිශේෂී වන්නේ ස්වකීය අග්‍රෙසර ශිෂ්‍ය රත්නය වූ ශ්‍රී ධර්මාරාම මාහිමිපාණන් වහන්සේ ස්වකීය ශිෂ්‍යයෙකු වශයෙන් පැවිදි බිමට පත්වීම නිසාවෙනි. සිසුවාගේ දක්ෂතා හඳුනාගත් ඇදුරු හිමියන් දහර වියේ සිටි ධර්මාරාම හිමියන් උගතුන් මැද උගතෙකු කරවීමට උනන්දු විය. සකු බස හා පාලි භාෂාවේ මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදාය හැදෑරීමට තත්කාලීන උගතුන් මන්දෝත්සාහී වනු දුටු ධර්මාලෝක හිමියෝ තම සිසු හිමියන් එම විෂයයන්ගේ කුශාග්‍රයෙකු වීමෙන් සිදුවන ප්‍රතිලාභය මෙනෙහි කොට ඊට උනන්දු කරවූයේ මතු නොව සකු බස හැදෑරීම පිණිස ඉන්දියානු බ්‍රාහ්මණයන්ගේ ඇසුරට යොමු කරවූහ.

බටුවන්තුඩාවේ පඬිතුමා පැමිණි විටෙක තමා ශාස්ත්‍රශාලාවක් හා ධර්මශාලාවක් තනනා බව ධර්මාලෝක හිමියෝ පැවසූහ. ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ විදුලකර හැඳින්වූයේ විද්‍යාලංකාර ශාස්ත්‍රශාලාව වශයෙනි. මතු දිනෙක පැමිණි බටුවන්තුඩාවේ පඬිඳුන් ශාස්ත්‍රශාලාව තනා අවසන් බැවින් ධර්මශාලාව තැනවීම පිළිබඳ විමසීය. අසලින් සිටි ස්වකීය අග්‍රෙසර ශිෂ්‍ය රත්නය වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන් පෙන් වූ ධර්මාලෝක හිමියන් තමා තැන වූ ධර්මශාලාව එම සිසු රුවන බැව් පැවසීය.

1867 වර්ෂයේ පැල්මඩුල්ල විනය සංගායනාව සඳහා ශ්‍රී ධර්මාලෝක හිමියන් යැවූ ලිපියක් වියතුන්ගේ ප්‍රසාදයට හේතු වූ බව සඳහන් වෙයි. එසේම පානදුරාවාදයේ දී පසුබිමේ වැඩ සිටිමින් ඊට සහය වූ යතිවරුන් අතර ශ්‍රී ධර්මාලෝක හිමියන්ගේ නාමය ද දක්වා තිබේ.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් වහන්සේ සහ තත් ශිෂ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් වහන්සේ කැලණි ප්‍රදේශවාසී හිමිවරුන්ගේ සහ දායකයන්ගේ ඇරයුම පරිදි 1874 වර්ෂයේ දී පෙතියාගොඩ විහාරයේ ද 1875 වර්ෂයේ දී දළුගම ග්‍රාමයේද වස් විසූහ. මෙම කාලයේදී දොන් ආබ්‍රහම් සමරතුංග රන්දුනු බස්නායක මුහන්දිරම් රාළහාමි ප්‍රමුඛ පළාතේ ප්‍රභූන්ගේ දායකත්වයෙන් විද්‍යාලංකාර දායක සභාව පිහිටුවා ගන්නා ලද අතර, එම සභාව විසින් මිලට ගත් පෑලියගොඩ තොරණ හන්දියට යාබද ගාලගොඩවත්ත නම් වූ බිම් කොටසෙහි වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවන දින විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන ලදී. ආරම්භයේ දී අවම පහසුකම් මධ්‍යයේ කටු මැටි ගැසූ බිත්ති සහ පොල් අතු සෙවිලි කළ පිරිවෙන් ශාලාවකින් සහ ඊටම යාබද එවැනි ම කාමර දෙකක පරිවේණාධිපති ශ්‍රී ධර්මාලෝක මාහිමියන් සහ ශ්‍රී ධර්මාරාම නාහිමියන් වැඩ සිටිමින් ඉගැන්වීම් කටයුතු සිදු කළහ. ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු දිනවල දී ලක්දිව ඉපැරණි රජමහා විහාරවල පොත්ගුල් පිරික්සමින් පැරණි පුස්කොළ පොත් සෙවීමටත්, සති අන්තවල දී රත්මලානේ පුරාණ විහාරයේ වැඩ විසීමත් සිදු කොට තිබේ. පුස්කොළ පොත් සොයමින් වඩිනා අතර සැදැහැතියන්ගෙන් ලද තොරතුරු ඔස්සේ ඒ වන විට නටබුන්ව පැවති කෑරගල පද්මාවති පිරුවන් විහාරස්ථාන හඳුනා ගෙන ඊට පුනර්ජීවය සැලසීය.

විද්‍යාලංකාර පිරුවන පිහිටුවීමෙන් නොනැවතී ගිහි බෞද්ධ දරුවන් වෙනුවෙන් 1878 දී රත්මලාන ග්‍රාමයේ ශ්‍රී ධර්මාලෝක බෞද්ධ පාඨශාලාව පිහිටුවන ලදි. විටින් විට ලක්දිවට පැමිණි මහා බි්‍රතාන්‍යයේ රාජකීයයන් වෙත පිරිනමන ලද රාජචරිතය වැනි පාලි පද්‍ය ප්‍රබන්ධයන් සේ ම විවිධ හිමිවරුන් සමග ලිපි ලිවීමේ දී හුවමාරු කරගත් පාලි භාෂාමය සංදේශයන් රාශියක් ධර්මාලෝක හිමියන් වෙතින් ලියවී ඇත. මල්වතු මහා විහාර විනය කතිකාවත, ඇස්. මැන්දිස් නමැත්තෙකු බුදු දහමට සිදු කළ අපහාසයන්ට පිළිතුරු වශයෙන් ලියූ සත්‍යවිලාසිනී කෘතිය, ශ්‍රී ධර්මාරාම හිමියන් සමග සංස්කරණය කළ සංස්කෘත ශබ්දමාලාව, ධර්මප්‍රදීපිකා සංස්කරණය ආදී ග්‍රන්ථ සම්පාදනය කිරීමටත් සත්‍යසමුච්චය සඟරාව ආරම්භ කිරීමටත් ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ දායක වී තිබේ.

පාරුපන වාදයෙහි ඒකාංස පාරුපන පිළෙහි නායකත්වය හොබවන ලද්දේ ද ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ විසිනි. බොම්බායේ එල්ෆින්ස්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහාදේව මොරේශ්වර කුංටේ මැතිතුමා වැනි විදෙස් උගතුන් ද ධර්මාලෝක මාහිමියන් වෙත පැමිණ ඉගෙනීමෙහි නිරත විය.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි, වඩුවාවේ සෝභිත හිමි, රත්මලානේ රේවත හිමි, නාවින්නේ සුමංගල හිමි වැනි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ශ්‍රී ධර්මාලෝක මාහිමියන්ගේ පැවිදි ශිෂ්‍යවරුන් වූ අතර වාදීභසිංහ බැදිගම රතනපාල නාහිමියන් වැනි ශත සංඛ්‍යාත ශිෂ්‍ය පිරිසක් වෙත ඉගැන්වීම් කටයුතු සිදු කොට තිබේ. එමතු නොව පරාධීන යුගයේ ස්වදේශිකයින්ගේ නායකයා වශයෙන් සම්භාවනාවට පත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක, ස්වදේශ කටයුතු ඇමැති ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාණෝ ප්‍රධානතම ගිහි සිසුවාණෝ වෙති. අවශේෂ දෙස් විදෙස් ගිහි පැවිදි සම්භාවනීය ශිෂ්‍යවරුන් සංඛ්‍යාව සුවිශාල ය.

උපතින් සැට විය සපිරීමට ආසන්න වත්ම වාත රෝගයක් නිසා ගිලන් වූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ වර්ෂ 1887 අගෝස්තු මස 15 වන දින අපවත් වී වදාළ සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *