ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
සෑම පුද්ගලයකුගේ ම සංවේදීතාව එක ආකාර නො වේ. කෙනකු යමක් ඉතා ඉක්මනින් වටහා ගනිද්දී තව කෙනකුට එම දෙය වටහා ගැනීමට යම් කාලයක් ගත විය හැකි ය. තව කෙනකු බොහෝ කාලයක් ගෙන බොහෝ අපහසුවෙන් වටහා ගනිද්දී කෙනකුට එය කිසිසේත් වටහා ගැනීමට නොහැකි විය හැකි ය. මෙසේ යමක් වටහා ගැනීමට පුද්ගලයන් අතර ඇති හැකියාවෙහි වෙනසට අප සංවේදී විය යුතු ය.
මේ ආකාරයට ධර්මය විෂයෙහි පවතින සංවේදීතාවයෙහි විවිධත්වය අනුව පුද්ගලයන් වර්ගීකරණය කරමින් කළ විග්‍රහයක් අංගුත්තර නිකායෙහි, චතුක්ක නිපාතයෙහි, කේසි වග්ගයෙහි, අස්සාජානීයපාතෝද සූත්‍රයෙහි දැක්වේ. සංවේදී බව අනුව අජානීය අශ්වයන් වර්ග හතරක් වන බව හා එම අශ්වයනට සම ගුණ ඇති පුද්ගල වර්ග හතරක් සිටින බව එම සූත්‍රයෙහි දැක්වේ. සංවේදී බව අනුව වන පුද්ගල වර්ග හතර පහත පරිදි වේ.
- කෙවිට දැක සංවේදී වන, අශ්වයන් හික්මවන්නාගේ උපදෙස් පිළිපැදීමට යුහුසුලු වන අජානීය අශ්වයා මෙන් වන පුද්ගලයා. මොහු යම් ගමක හෝ නියම් ගමක කෙනකු දුකට පත් වූ බව, හෝ මරණයට පත් වූ බව, අසා සංවේගයට පත් වේ. මෙසේ උපන් සංවේගයෙන් යුතු ව නිවනට යොමු වූ සිතැති ව නුවණින් ප්‍රධන්වීර්යය වඩයි.
- කෙවිටෙහි ඡායාව දැක සංවේදී නො වන, කෙවිට ලොම් අතර ඇනීමෙන් අශ්වයන් හික්මවන්නාගේ උපදෙස් පිළිපැදීමට යුහුසුලු වන අජානීය අශ්වයා මෙන් වන පුද්ගලයා. මොහු යම් ගමක හෝ නියම් ගමක කෙනකු දුකට පත් වූ බව, හෝ මරණයට පත් වූ බව, අසා සංවේගයට පත් නො වුණ ද, දුකට පත් වූ හෝ මරණයට පත් වූ කෙනකු තමන් ම දුටු විට සංවේගයට පත් වේ. මෙසේ උපන් සංවේගයෙන් යුතු ව නිවනට යොමු වූ සිතැති ව නුවණින් ප්‍රධන්වීර්යය වඩයි.
- කෙවිටෙහි ඡායාව දැක හෝ, කෙවිට ලොම් අතර ඇනීමෙන් හෝ, සංවේදී නො වුණ ද, කෙවිට හමෙහි වැදුණ විට අශ්වයන් හික්මවන්නාගේ උපදෙස් පිළිපැදීමට යුහුසුලු වන අජානීය අශ්වයා මෙන් වන පුද්ගලයා. මොහු යම් ගමක හෝ නියම් ගමක කෙනකු දුකට පත් වූ බව, මරණයට පත් වූ බව, අසා හෝ දුකට පත් වූ හෝ මරණයට පත් වූ කෙනකු තමන් ම දුටු විට හෝ සංවේගයට පත් නො වුණ ද, දුකට පත් වූ හෝ, මරණයට පත් වූ ඥාති මිත්‍රයකු දැක හෝ, සංවේගයට පත් වේ. මෙසේ උපන් සංවේගයෙන් යුතු ව නිවනට යොමු වූ සිතැති ව නුවණින් ප්‍රධන්වීර්යය වඩයි.
- කෙවිටෙහි ඡායාව දැක හෝ, කෙවිට ලොම් අතර ඇනීමෙන් හෝ, කෙවිට හමෙහි වැදුණ විට හෝ, සංවේදී නො වුණ ද, කෙවිට ඇටවල වැදීමෙන් අශ්වයන් හික්මවන්නාගේ උපදෙස් පිළිපැදීමට යුහුසුලු වන අජානීය අශ්වයා මෙන් වන පුද්ගලයා. මොහු යම් ගමක හෝ, නියම් ගමක කෙනකු දුකට පත් වූ බව, මරණයට පත් වූ බව, අසා හෝ, දුකට පත් වූ හෝ, මරණයට පත් වූ කෙනකු තමන් ම දුටු විට හෝ, දුකට පත් වූ හෝ, මරණයට පත් වූ ඥාති මිත්‍රයකු දැක හෝ,
සංවේගයට පත් නො වුණ ද, තමන්ට ම දරාගත නොහැකි තරම් වූ කටුක වූ මරණමාත්‍ර වූ දුකට පත් වූ විට සංවේගයට පත් වේ. මෙසේ උපන් සංවේගයෙන් යුතු ව නිවනට යොමු වූ සිතැති ව නුවණින් ප්‍රධන්වීර්යය වඩයි.
යමක් වටහා ගැනීමට පුද්ගලයන් තුළ පවතින හැකියාව පිළිබඳව වැටහීමක් අපට නොමැති වුව හොත් අපගේ සන්නිවේදනය අසාර්ථක විය හැකි ය. එසේ ම වටහා ගැනීමට හැකියාව නොමැති පුද්ගලයන් නිසා කළකිරීමට ද පත් විය හැකි ය. එහෙත් ධර්මය විෂයෙහි පුද්ගලයාගේ සංවේදීභාවය එම පුද්ගලයාගේ මානසික ස්වභාවය මත රඳා පවතී. ප්‍රිය වියෝගය විෂයෙහි එක් එක් පුද්ගලයා ක්‍රියාකළ ආකාරයත්, ධර්මය විෂයෙහි එම පුද්ගලයාගේ සංවේදීතාව පිළිබඳවත්, ත්‍රිපිටකයෙහි දැක්වෙන තොරතුරු මෙයට නිදසුන් ලෙස දැක්විය හැකි ය. ුසිය ප්‍රිය දියණිය මියගිය ශෝකයෙන් සොහොනට වී අඬමින් සිටි උබ්බරී බිසවට බුදුරදුන් කළ එක් අවවාදය ම ධර්ම මාර්ගයට යොමු වීමට ප්‍රමාණවත් විය. තමා පළමුව දැනගන්නා ලෙසත්, සුවාසු දහසක් ජීවන්තිය යන නාමය සහිත ඇයගේ ම දරුවන් මේ සොහොනෙහි දවන ලද බවත්, ප්‍රකාශ කළ බුදුරජාණන්වහන්සේ කිනම් ජීවන්තිය වෙනුවෙන් හඬන්නේ දැ යි, උබ්බරී බිසවගෙන් කළ විමසීම එම අවවාදය විය (ඛුද්ධක නිකාය, ථෙරිගාථා පාලි, තික නිපාතය, උබ්බරීථෙරිගාථා).
එසේ ම තම සැමියාත්, දරු දෙදෙනාත්, මවුපියනුත්, මියගිය කම්පනයෙන් සිහි විකල් ව ගිය පටාචාරාවට සිහි එලවා ගන්නා ලෙස බුදුරජාණන්වහන්සේ කළ අවවාදය ම, ඇයට සිහි එලවාගැනීමට ප්‍රමාණවත් විය (මනොරථඵුරණි). එහෙත් සිය පුතු මියගිය ශෝකයෙන් සිහි විකල් ව පුතුගේ මළ සිරුරද රැගෙන පුතුන් සුවපත් කළ හැකි වෙදැදුරකු සොයමින් පැමිණි කිසා ගෝතමියට එකවර එවැනි අවවාදයක් පිළිගැනීමේ සංවේදී බවක් නො තිබිණි. එම නිසා ම බුදුරජාණන්වහන්සේ නො මළ ගෙයකින් අබ මිටක් ගෙන ආවොත් පුතු සුවපත් කර දෙන බව කිසාගෝතමියට පැවසූ සේක. නො මළ ගෙයකින් අබ මිටක් සොයා ගිය ගමනේ දී මරණය කාහටත් පොදු ධර්මතාවක් බව කිසාගෝතමිය අවබෝධ කර ගත්තා ය. එම වැටහීම සහිත ව පැමිණි කිසාගෝතමියට දහම් දේශනා කළ බුදුරජාණන්වහන්සේ ඇයව ධර්ම මාර්ගයට යොමු කළ සේක. (මනොරථපූරණි). මේ ආකාරයට ධර්මාවබෝධය ලබාගැනීමට එක් එක් පුද්ගලයා දක්වන සංවේදීභාවය විවිධ ය. එසේ ම ධර්මය දේශනා කළ ද එය වටහාගැනීමට සමත් නො වන පුද්ගලයෝ ද සිටිති. පිය ජාතික සූත්‍රයෙහි දැක්වෙන සිය ප්‍රියමනාප එක ම පුතු මිය යෑමෙන් වික්ෂිප්ත ව සොහොනට ගොස් අඬා වැළපෙමින් කල් ගෙවූ ගෘහපතියා එවැන්නෙකි. තමා පුත්‍ර වියෝගයෙන් වික්ෂිප්ත ව, සියලු වැඩ අතපසු කරමින් සොහොනට ගොස් පුතු වෙනුවෙන් හඬා වැළපෙන බව, එම ගහපතියා බුදුරජාණන්වහන්සේට ප්‍රකාශ කළේ ය. එවිට බුදුරජාණන්වහන්සේ ශෝක පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාසයන්, ප්‍රිය දෙයින් උපදන ස්වභාව ඇති බව එම ගහපතියාට ප්‍රකාශ කළ සේක. ඔහු එය නො පිළිගෙන එය පිළිකෙව් කොට, එයට ගර්හා කොට, නික්ම ගියේ ය. එමෙන්ම තමන්ගේ ප්‍රිය ජනක පුත්‍රයාට ඇති කැමැත්ත නිසා ම තමා දුකට පත් වූ බව බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කිරීම ගැන අප්‍රසාදයට පත් ව බුදුරජාණන්වහන්සේගේ ප්‍රකාශය ගැන තමාට හමු වන අන් අය සමග ද නොසතුටින් පැවසී ය. අසන්නෝ ද ගහපතියාගේ අදහස නිවැරැදි බවත්, බුදුරජාණන්වහන්සේගේ ප්‍රකාශය වැරැදි බවත්, පැවසූ හ. අවසානයෙහි කොසොල් රජතුමාගේ රාජ සභාව දක්වා ම මෙය ප්‍රචාරය විය. කොසොල් රජතුමා ද බුදුරජාණන්වහන්සේගේ ප්‍රකාශය විය නොහැක්කක් බව පැවසී ය. මෙම සිදුවීම පිළිබඳව රජතුමා ගෙන් දැනගත් මල්ලිකා දේවිය බුදුරජාණන්වහන්සේ සිදු නො වන කිසිවක් නො පවසන බව පැවසුවා ය. බුදුරජාණන්වහන්සේගේ ප්‍රකාශය නිවැරැදි බව රජු පිළිගත්තේ, මල්ලිකා දේවිය බුදුරජාණන්වහන්සේ ගෙන් ම ඒ පිළිබඳව පැහැදිලි කරගෙන කොසොල් රජුට පැහැදිලි කළ විට ය. ගහපතියාගේ යථාර්ථය අවබොධ කර ගැනීමට පැවැති නොහැකියාව බොහෝ දෙනා තුළ බුදුරජාණන්වහන්සේ පිළිබඳ අපැහැදීමක් ඇති කිරීමට පවා හේතු විය (මජ්ක්‍ධිම නිකාය, මජ්ක්‍ධිමපණ්ණාසපාලි, රාජ වග්ගය, පිය ජාතික සූත්‍රය). මේ ආකාරයට අප සන්නිවේදනය කරන දෙය වටහා ගැනීමට නොහැකි පුද්ගලයන් ද සිටින බව අප මතක තබා ගත යුතු ය.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලෝක සත්ත්වයාව සසරින් එතෙර කිරීමෙහි අරමුණින් ම සම්මා සම්බුදු බව ලැබූ අප මහා බුදුරජාණන්වහන්සේට පවා සියලු දෙනාට ම දහම් අවබෝධ කරවීම කළ නොහැකි වූ බව අප අමතක නො කළ යුතු ය. වේළුවනාරාමයෙහි මායිමෙහි ම සිටිය ද චුන්ද සූකරට දහම් ඇසීමෙහි උවමනාවක් හෝ සංවේදී බවක් නො තිබිණි. මරණින් මතු ඔහු අපාගත වන බව දැන සිටිය ද ඔහුගේ උපත වෙනස් කිරීමට බුදුරජාණන්වහන්සේ හෝ ශ්‍රාවක සංඝයා උත්සාහ නො කළේ ඒ නිසා ය. සිය පළමු බිරිය නිසා ධාර්මික දිවියක් ගත කළ ධනඤ්ජානි බමුණා එම බිරියගේ ඇවෑමෙන් වෙනත් බිරියක පාවා ගත්තේ ය. එම බිරියගේ බලපෑම නිසා අධාර්මික ව ධනය ඉපයීමට බමුණා පෙලඹිණි. පසුව ගිලන් ව මරණාසන්න වූ බමුණාගේ ආරාධනයෙන් බමුණාගේ නිවසට වැඩි සැරියුත් කෙරුන්වහන්සේ ඔහුගේ සුව දුක් විමසා බැලූ සේක. අනතුරු ව පියවරින් පියවර නිරයෙහි සිට එක් එක් ලෝක තලවල සිත පිහිටුවා බ්‍රහ්මලෝකයෙහි උපත ලබන තත්ත්වයට පත් කළ සේක (මජ්ක්‍ධිම නිකාය, මජ්ක්‍ධිමපණ්ණාසපාලි, බ්‍රාහ්මණ වග්ගය, ධනඤ්ජානි සූත්‍රය). මේ ආකාරයට එක් එක් පුද්ගලයාගේ සංවේදී භාවය හා වටහා ගැනීමේ හැකියාව පිළිබඳ අවබෝධය වර්ධනය කර ගත හැකි නම් අපට අපගේ සන්නිවේදනය සාර්ථක කර ගත හැකි ය.