සිරිමහ බෝධිය, සඟමිත් තෙරණිය, මෙහෙණි සසුන සමග අසිරිමත් වූ උඳුවප් පොහොය

rashi
By rashi
12 Min Read

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනසූරී
නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්‍ෂුණින්වහන්සේ

සටහන : ආර්. ඒ. නයනානන්ද

වර්තමානයේ භාවිත කරන ග්‍රෙගරියානු දින දර්ශනය අනුව වසරේ අවසන් මාසය වන්නේ දෙසැම්බර් මාසයයි. මෙම මාසය චන්ද්‍ර මාස ක්‍රමය අනුව උඳුවප් මාසය ලෙස හඳුන්වයි. මෙම මාසයේ යෙදෙන පුර පසළොස්වක පොහොය, උඳුවප් පුර පසළොස්වක පොහොය නම් වෙයි.

ලක්දිව මෙහෙණි සසුන ඇරඹීම පිණිස සංඝමිත්තා තෙරණිය වැඩම කිරීම, ඒ සමග රැගෙන ආ සිරි මහ බෝ සමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව රෝපණය කිරීම, සිරිපා වන්දනා සමය ආරම්භ වීම යන ලක්දිව සම්බුදු සසුනේ විශේෂිත සිදුවීම් කීපයක් ම උඳුවප් මාසය හා බැඳී පවතී. සිරි මහා බෝ සමිඳුන් පිළිබඳ කතා පවත මහාවංශය, දීපවංශය, බෝධිවංශය, ආදි වංශකථාවල මෙන්ම සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ ද සඳහන් වේ.

බුද්ධ වර්ෂ 236 වැන්නෙහි ලක්දිව රාජ්‍ය විචාළේ දේවානම්පියතිස්ස නිරිඳු ය. එම වර්ෂයේ එළඹි පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිඳු මාහිමියන් ප්‍රමුඛ දූත පිරිස ලක්දිවට වැඩම කිරීමෙන් පසු ලක්දිව බුදුදහම ස්ථාපිත විය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට දෙවැනි දින රජ මාළිගයෙන් දහවල් දන් වළඳා, මාළිගාවේ සිටි පිරිසට පේතවත්‍ථු විමානවත්‍ථු, සච්චසංයුක්තය දේශනා කළ හ. මෙම දේශනාවසානයෙහි දේවානම්පියතිස්ස රජුගේ මලණු මහානාග යුවරජුගේ දේවිය අනුලා බිසව ඇතුළු පන් සියයක් අන්තඃපුර කාන්තාවෝ සෝවාන් ඵලයෙහි පිහිටි බව වංශකථාවල සඳහන් වේ. ඉක්බිති මිහිඳු මාහිමියෝ මහමෙවුනා උයන පිළිගන්නා දින දේශනා කළ බණ අසා අනුලා බිසව සකෘදාගාමී ඵලයට පැමිණ, පැවිදි වනු කැමැති ව ඒ බව දේවානම්පියතිස්ස රජතුමාට දැන්වී ය.

දේවානම්පියතිස්ස රජතුමා කාන්තාවන්ට පැවිද්ද ලබා දීම පිළිබඳව මිහිඳු මාහිමියන් සමග කථා කළේ ය. කාන්තාවන් පැවිදි කිරීම භික්‍ෂූන්ට නුසුදුසු බවත් ඒ සඳහා දඹදිව පැළලුප්නුවර වැඩවෙසන තම නැඟණිය වූ සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයා ගෙන්වා ගන්නා ලෙසත්, ඒ සමග ම බුදුන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමේ දී උපකාර කළ සිරි මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව ද වැඩම කරවා ගන්නා ලෙසත් මිහිඳු හිමියෝ වදාළ හ.

දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගේ වචනය පිළිගෙන ස්වකීය බෑනණුවන් වූ අරිට්ඨ නම් අමාත්‍යවරයා කැඳවා, ‘ධර්මාශෝක මහ රජතුමා සමීපයට ගොස් මහා බෝධීන් වහන්සේ සමග ආර්ය වූ සංඝමිත්තා තෙරණිය කැඳවාගෙන එන්නට හැකි ද’ යි කියා විචාළේ ය. අරිට්ඨ අමාත්‍යවරයා, “නුඹ වහන්සේ මට මහණ වන්නට අනුදන්නා සේක් වී නම් කැඳවා ගෙන එන්නට පිළිවන” යි පැවසී ය. එවිට දේවානම්පියතිස්ස රජතුමා “සංඝමිත්තා තෙරණිය කැඳවාගෙන අවුත් මහණ වෙව” යි කීවේ ය.

ඒ අනුව දේවානම්පියතිස්ස රජතුමා, සන්දේශයක් ද පිළියෙල කරවා තම බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ධර්මාශෝක මහ රජතුමා හමු වීම පිණිස දඹදිව පැළලුප්නුවර වෙත පිටත් කර යැවී ය.

මේ අතර අනුලා බිසව ඇතුළු පන් සියයක් අන්තඃපුර කාන්තාවෝ දසසිල් සමාදන් ව කාෂාය (කසට පැහැති) වස්ත්‍ර දරමින් පැවිදි වනු කැමැති ව සංඝමිත්තා තෙරණියගේ පැමිණීම අපේක්‍ෂාවෙන් අනුරාධපුරයට සමීපයේ උපාසිකා විහාරයෙහි (ගිහි උපාසිකාවන්) වාසය කරන්නට වූ හ.

නොබෝ දිනකින් ලක්දිව රාජකීය දූත පිරිස ධර්මාශෝක මහ රජතුමා බැහැ දැක සන්දේශය පිළිගැන්වූ හ. ධර්මාශෝක මහ රජතුමාගේ පුත්‍රයා වූ මහින්ද කුමරුත්, මුණුබුරා වූ සුමන කුමරුත් (සංඝමිත්තා දේවියගේ පුත්) පැවිදි ව ලක්දිවට වැඩම කොට සිටියෙන්, සංඝමිත්තා තෙරණිය නිසා සැනසී සිටිය ධර්මාශෝක මහ රජතුමා උන්වහන්සේ ලංකාවට වැඩම කරවීම ගැන කැමැත්තක් නො දැක්වූයේ ය.

එහෙත් සංඝමිත්තා තෙරණියගේ කරුණු පැහැදිලි කිරීම නිසා ධර්මාශෝක මහ රජතුමා, සංඝමිත්තා මහ රහත් තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයා ලංකාවට වැඩම කරවීම පිණිස කටයුතු සම්පාදනය කරවී ය. අනතුරු ව රජ මාළිගයේ දී මහා සංඝයා විෂයෙහි දන් පිරිනමා අවසන මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගෙන් ‘මහා බෝධි ශාඛාව ලක්දිවට යා යුතු ද, නො යා යුතු ද’ යි විමසී ය. එවිට මොග්ගලීපුත්තතිස්ස තෙරණුවෝ බුදුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිට කරන ලද අධිෂ්ඨාන පහ පිළිබඳව ධර්මාශෝක මහ රජතුමා දැනුවත් කොට, මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළ යුතු බව වදාළ හ.

බුදුන් වහන්සේ විසින් පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිට කරන ලද අධිෂ්ඨාන පහ මෙසේ ය. ‘ලංකාද්වීපයෙහි මහා බෝධිය පිහිටුවනු පිණිස ධර්මාශෝක මහරජතුමා දක්‍ෂිණ බෝධි ශාඛාව ගන්නා පිණිස එළැඹුණ කල්හි දක්‍ෂිණ බෝධි ශාඛාව තෙමේ ම සිඳී රන් කටාරමෙහි පිහිටා වා’, මේ පළමු අධිෂ්ඨානයයි. ඉක්බිත්තෙන් ‘පත්‍රයෙන් හා ඵලයෙන් ද සවණක් රැස් විහිදේ වා’, මේ දෙවැනි අධිෂ්ඨානයයි. ඉක්බිත්තෙන් ‘මහා බෝධිය වලාගැබට වැද සතියෙක් මුළුල්ලෙහි සිටී වා’, මේ තුන්වැනි අධිෂ්ඨානයයි. ‘ථූපාරාම චෛත්‍යයෙහි මාගේ දකුණු අකු ධාතු පිහිටන කල්හි යමක මහා ප්‍රාතිහාර්ය කෙරේ වා’, මේ සතරවැනි අධිෂ්ඨානයයි. ‘ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතු රුවන්වැලි මහසෑයෙහි පිහිටන දවස සර්වඥ වේශය මවාගෙන අහසට පැනනැඟී යමක මහා ප්‍රාතිහාර්ය කෙරේ වා’, මේ පස්වැනි අධිෂ්ඨානයයි.

මෙම අධිෂ්ඨාන පහ අසා සතුටට පත් ධර්මාශෝක මහ රජතුමා දහස් ගණන් මහ රහතන් වහන්සේලා ද, අභිෂේක ලත් රජ දරුවන් ද, චතුරංගනී සේනාවන් ද, දහස් ගණන් ජනතාව ද පිරිවරා මහ පෙරහැරින් සිරි මහා බෝධීන් වහන්සේ වෙත එළඹුණ හ.

ධර්මාශෝක මහ රජතුමා සිරි මහා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා දෑත් බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලුවේ ය. එකෙණෙහි ම දක්‍ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ කොටස ඉතිරි කොට තබා සියලු ශාඛාවන් අතුරුදන් විය. මේ අසිරිමත් පෙළහරින් සතුටට පත් මහ රජතුමා “දඹදිව සියලු රාජ්‍යයෙන් පුදමි” යි බෝධීන්වහන්සේ අභිෂේක කළේ ය. නැවත සුගන්ධාදිය පූජා කොට තුන් වරක් පැදකුණු කොට අට තැනක දී ඇඳිලි බැඳ බෝධීන් වහන්සේ ප්‍රදක්‍ෂිණා කරමින් නමස්කාර කොට සත්‍ය ක්‍රියා බලයෙන් බෝධිය ගනු පිණිස මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රනින් කළ කටාරමක් තැබ්බවී ය. අනතුරු ව රන් පුටුවකට නැඟී තෙලිකූරක් ගෙන බෝධි ශාඛාවෙහි ඉරක් ඇඳ “මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම විය යුතු නම්, එසේම සර්වඥ ශාසනයේ මාගේ සැකයක් නැති බව සත්‍යයක් නම් බෝධි ශාඛාව තමා ම බිඳී රන් කටාරමෙහි පිහිටා වා” යි සත්‍ය ක්‍රියා කළේ ය. සියල්ල සත්‍ය ක්‍රියාව අනුව ම සිදු විය.

වප් පුර පොහෝ දින සවස් යාමයෙහි බෝධි ශාඛාව තමා ම අයත්නයෙන් බිඳී රන් කටාරමෙහි පිහිටි සේක. රැස් ව සිටි මහා සංඝරත්නය සාධු නාද පැවැත්වූ හ. ධර්මාශෝක මහ රජතුමා ඇතුළු පිරිස ප්‍රීතිඝෝෂා කළ හ. මහ පොළොව කම්පා විය. නානාප්‍රකාර ප්‍රාතිහාර්ය පහළ විය. ධර්මාශෝක මහ රජතුමා දෙවැනි වතාවට ද බෝධිය සියලු දඹදිව රාජ්‍යයෙන් පුදා රාජ්‍යයෙහි අභිෂේක කොට මහා බෝධි පූජා පැවැත්වී ය.

සිරි මහා බෝධීන් වහන්සේට ආරක්‍ෂාව පිණිසත්, බෝධි පූජාව ක්‍රමවත් ව සංවිධානය කරනු පිණිසත් ධර්මාශෝක මහ රජතුමා බෝධිගුත්ත, සුමිත්ත යන රාජ කුමාරවරුන් ප්‍රධාන කුල රාශියක ජනයා ද සංඝමිත්තා තෙරණිය සමග ලක්දිවට එවීමට කටයුතු යෙදී ය. සංඝමිත්තා තෙරණිය සමග භික්‍ෂුණීන් එකොළොස් නමක්, අරිට්ඨ අමාත්‍යවරයා ඇතුළු ලංකා දූත පිරිස, බෝධිගුත්ත කුමරු ප්‍රධාන දේව කුලයට අයත් ප්‍රධාන පිරිස සරසන ලද නැවකට නංවා, අවශේෂ කුලවැසියන් සෙසු නැව්වලට නංවා දෙවියන්ගේත්, මිනිසුන්ගේත්, නාගයන්ගේත් හරසර පුදපූජා මධ්‍යයේ ගංගා නම් නදියෙහි ගමන් කොට සත් දිනකින් වින්ධ්‍යා වනය පසු කොට තාම්‍රලිප්ත නම් නැව් තොටට පැමිණිය හ.
එහි දී ධර්මාශෝක මහ රජතුමා සමුද්‍ර තීරයෙහි කරවූ අලංකාර මණ්ඩපයක බෝධීන් වහන්සේ වඩා හිඳුවා සියලු දඹදිව රාජ්‍යයෙන් පුදා සතියක් මුළුල්ලෙ පූජා සත්කාර කළ හ. අනතුරු ව උඳුවප් මස පුර පෑළවිය දින බෝධීන් වහන්සේ ඔසවාගෙන කරවටක් ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. ඉක්බිති සංඝමිත්තා තෙරණිය සමග භික්‍ෂුණී පිරිසත්, ලංකා දූත පිරිසත් ඇතුළු රාජකීයයෝ නැවට නංවා, අන්‍ය කුලවැසියන් ද සෙසු නැව්වලට නංවා, බෝධිගුත්ත – සුමිත්ත කුමාරවරු දෙදෙනාට අනුශාසනා කොට අරිට්ඨ අමාත්‍යවරයා කැඳවා “දරුව, මම බෝධිරාජයාණන් තුන් වරක් සියලු දඹදිව රාජ්‍යයෙන් පූජා කළෙමි. මාගේ මිත්‍ර දේවානම්පියතිස්ස රජතුමා ද එපරිද්දෙන් බෝධීන් වහන්සේට පූජා කෙරෙත් වා” යි ප්‍රකාශ කළේ ය.

නාවික ගමන අතරතුර දී ද මහා බෝධි ශාඛාව දෙවියන්ගේත් නාගයන්ගේත් පුදපූජා ලබමින් ලක්දිව දඹකොල පටුනට ළඟා විණි. දේවානම්පියතිස්ස රජතුමා, සුමන සාමණේරයන්ගේ අනුදැනුම ඇති ව අනුරාධපුර උතුරු දොරටුවේ සිට දඹකොල පටුන දක්වා මඟ සරසා සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණීන් ද සිරි මහා බෝධිය ද පිළිගැනීමට කටයුතු යොදා තිබිණි. දේවානම්පියතිස්ස රජතුමා කරවටක් ජලයෙහි බැස බෝධි ශාඛාවත්, සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී පිරිසත් ගෞරවයෙන් පිළිගෙන, සමුද්‍ර තීරයෙහි අලංකාර මණ්ඩපයක තැන්පත් කරවා, ලංකාද්වීප රාජ්‍යයෙන් මහා බෝධීන් වහන්සේට පූජා කොට තුන් දිනක් මුළුල්ලෙහි අනේකවිධ පුද පූජා පැවැත්වී ය. අනතුරු ව සරසන ලද රථයක බෝධීන් වහන්සේ තැන්පත් කොට පුදසත්කාර කරමින් මහ පෙරහරින් අනුරාධපුරය මහමෙවුනා උයනට වැඩම කරවී ය. එම ගමන අතරතුර දී බෝධින් වහන්සේට තිස්ස විහාරය පිහිටන තැන හා තිවක්ක බමුණු ගම්දොර දීත් පුදපූජාවන් ලැබිණි.

ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේ දී නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි, පෙර තුන් බුදුවරයන් වහන්සේලාගේ (කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරු) බෝධි ශාඛා පිහිටි ස්ථානයෙහි එනම් මහමෙවුනා උයනෙහි උඳුවප් පුර තුදුස්වක දින සවස් යාමයේ වූ රෙහෙණ නැකතින් පොළොව මත බෝධි ශාඛාව පිහිටි සේක. එකෙණෙහි ම මහ පොළොව කම්පා විය. සවණක් ගණ බුදු රැස් විහිදුවමින් සිදු වූ අසිරිමත් ප්‍රාතිහාර්ය දුටු දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු මහා පිරිස අප්‍රමාණ වූ බුද්ධාලම්බන ප්‍රීතියට පත් වූ හ. සිරි මහ බෝධිය අනුරාධපුර මහමෙවුනා උයනේ මුල් බැස ගත්තේ ය.

සිරි මහ බෝධි රෝපණයෙන් පසු හටගත් අෂ්ට ඵලරුහ බෝධි අංකුරත්, ඉනික්බිති ව ජනිත වූ දෙතිස් ඵලරුහ බෝධි අංකුරත් දිවයිනේ ස්ථාන හතළිහක රෝපණය කෙරිණි. ඒ අනුව මහා බෝධිය පදනම්කරගත් සංස්කෘතියක් දීපව්‍යාප්ත ව පැතිරීම නිසාවෙන් බුදුදහම තවතවත් ජනතාවට ළං විය.

උත්තරා, හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසකා, ථෙග්ගු, පබ්බතා, මන්තා, ධම්මදාසියා, මල්ලා යන තෙරණිවරු දස නම සංඝමිත්තා තෙරණිය සමඟ ලක්දිවට වැඩම කළ බව දීපවංශයේ සඳහන් වේ. මේ උතුම් තෙරණිවරු ලක්දිව පැවිදි වීමට බලාපොරොත්තු ව සිටි අනුලා බිසව ඇතුළු පන් සියයක් කාන්තාවන් පැවිදි කොට ලක්දිව මෙහෙණි සසුන පිහිටුවා ලූ හ. අනුලා බිසව සමග පැවිදි වූ පිරිස අතර සෝමා, ධම්මපාලා, මහිලා, සණ්හා, කාලි, උත්තරා, ධම්මතාපසා, සෝබනා, නරමිත්තා යන කාන්තාවන් ද සිටි බව වංසකථාවල දැක්වේ. මෙසේ ලක්දිව ඇරඹි මෙහෙණි සසුන කාන්තාවන් අතර ජනප්‍රිය වූ ආකාරයත්, කෙටි කලකින් ලක්දිව පුරා ම ව්‍යාප්ත වූ ආකාරයත් ඉතිහාස තොරුතුරුවල සඳහන් වේ. මෙහෙණි සසුන ඇරඹීම තුළින් ලක්දිව වනිතාව එතෙක් නො ලද ජාතික ආගමික නිදහසක් ලද බව පැහැදිලි ය.

ලක්දිව බොහෝ ප්‍රදේශවල සංඝමිත්තා පෙරහැර පැවැත්වීම ද උඳුවප් පොහෝ දින සිදු කෙරෙයි. සංඝමිත්තා තෙරණිය ගෙන් ලක්වනිතාවට සිදු වූ සේවය අගයමින් ද, සිරි මහ බෝධියේ දක්‍ෂිණ ශාඛාව වැඩම කළ අවස්ථාව සිහිපත් කරමින් ද එතුමින්වහන්සේගේ ප්‍රතිමාවක් වැඩම කරවීම සංඝමිත්තා පෙරහැරේ අනිවාර්ය අංගයක් බවට පත් ව ඇත.
ගෞතම බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩම කළ ගමනේ දී සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාවෙන් සමන්තකූටයෙහි (සමනොළ කන්දෙහි) වාම සිරිපා සටහන පිහිටුවන ලද බව වංසකථාවල සඳහන් වේ. එතැන් පටන් සමන්තකූටය, ශ්‍රී පාදස්ථානය නමින් ද ප්‍රසිද්ධියට පත් විය. උඳුවප් පොහෝ දා පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුන් වහන්සේත්, සමන් දේව ප්‍රතිමාවත් මහ පෙරහරින් සිරිපා මළුව වෙත වැඩම කිරීමෙන් සිරිපා වන්දනා සමය ආරම්භ වේ. සිරිපා වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පොහොය දිනයෙනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *