අනාත්මය සහ විශ්වාසය

cmadurawala
8 Min Read

ටාශි සේරිං හිමියන් විසින් රචිත Emptiness:The Foundation of Buddhist Thought කෘතිය ඇසුරිනි

අනුවාදය – ආලෝක ෆර්ඩිනැන්ඩු

මමත්වයෙහි මුල් සිඳීමෙන් තොර ව – අනාත්මය අවබෝධ කරගැනීමෙන් තොර ව – ශුන්‍යතාව අවබෝධ කිරීමෙන් තොර ව, දුකෙන් හෝ දුකෙහි මූලයන්ගෙන් හෝ මිදෙන්නට බැරි බව බුදුන් වහන්සේ ද පසු කාලීන බෞද්ධ ආචාර්යවරු ද අවධාරණය කළ හ. එබැවින් පරම සතුට උදා කරගැනීමෙහි ලා උදවු වන තියුණු ම අවිය නම්, ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කිරීම හෙවත් ‘අනාත්මය’ ය.

එසේ නම් අනාත්මය යනු බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ ශුද්ධ වූ සංකල්පයක් යැ යි කෙනකු සිතන්නට ඉඩ තිබේ. එය බුදුන් වහන්සේ විසින් අපේ විමුක්තිය උදෙසා නිර්මාණය කළ හෙයින් වන්දනීය වූ සංකල්පයක් ද? නැත. අනාත්මය යනු ශුද්ධ වූ යමක් නො වේ. එය බුදුන්වහන්සේගේ හෝ බෞද්ධ ආචාර්යවරුන්ගේ හෝ නිර්මාණයක් ද නො වේ. අනාත්මය යනු ලොව ඕනෑ ම දෙයක ඇති ස්වාභාවික තත්ත්වයක් බව සූත්‍රවල සහ ශාස්ත්‍රවල නිරන්තරයෙන් සඳහන් වෙයි.

නිදසුනක් ලෙස දසභූමික සූත්‍රයෙහි මෙසේ එයි. “කවර දෙයක වුව ස්වභාවය වූ ධර්මධාතුවෙහි සැටි මෙසේ ය: බුදුවරුන් පහළ වුව ද නැත ද, බුදුවරුන් දේවල්වල යථා ස්වරූපය හෙළි කොට ධර්මය දේශනා කළ ද නො කළ ද, ලොව සියලු‍ දෙයක ම තථ්‍ය ස්වභාවය වන ධර්මධාතුව – එනම්, කිසිවකට ස්වයං පැවැත්මක් නො පවතින බව – එසේ ම වෙයි.”

එමෙන් ම චන්ද්‍රකීර්තිපාදයෝ මාධ්‍යමකාවතාරයෙහි මෙසේ පවසති.

“බුදුවරුන් උපන්න ද නැත ද සියල්ලෙහි ශූන්‍යභාවය එසේ ම ය.”

ස්වාභාවික තත්ත්වයක් වන අනාත්මය ගැන බොහෝ පාඨ ඔබට බෞද්ධ ආචාර්යවරුන්ගේ ඉගැන්වීම්වලින් සොයාගන්නට හැකි ය. මන්ද, අනාත්මය යනු අපේ ශූන්‍යතා ගවේෂණයෙහි තීරණාත්මක පියවරකි. මෛත්‍රිය ආචාර්යපාදයන්ගේ අභිසමයාලංකාරයෙහි සහ උත්තරතන්ත්‍රයෙහි එන පාඨවලින් ද තහවුරු වන්නේ, ශූන්‍යතාව යනු ද බුදුන්වහන්සේ නිර්මාණය කළ දෙයක් නො ව, උන්වහන්සේ අවබෝධ කළ දෙයක් බවයි. අප යථාව ලෙස හඳුනාගන්නා දේ අපගේ අවබෝධයේ මට්ටම අනුව වෙනස් වන්නකි. බුදුන් වහන්සේ අවබෝධ කළ දේ යනු, අලු‍ත් සංකල්පයක් හෝ නිර්මාණයක් හෝ නො ව, අවබෝධයේ මින් පෙර ප්‍රත්‍යක්ෂ්‍ය නො කළ තරම් ගැඹුරු මට්ටමකි. එම මට්ටම තෙක් අපේ අවබෝධය දියුණු කළ නො හැකි නම්, අපට විමුක්තිය උදා කරගන්නට ද නො හැකි ය. අනාත්මය හෝ ශූන්‍යතාව යනු එවන් යථාවක් මිස, බුදුන් වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබූ ආගමික සත්තාවක් නො වේ.

මෛත්‍රිය ආචාර්යපාදයෝ අභිසමයාලංකාරයෙහි මෙසේ පවසති.

“ඉවත් කරන්නට කිසිවක් නැත.

එක් කරන්නට කිසිවක් ද නැත.

ඇති සැටියෙන් දකින්නට සමත් වූවෝ ම විමුක්තිය ලබන්නෝ ය.”

මේ පාඨයෙන් ඉතා පැහැදිලි ව කියවෙන පරිදි, අප අවසාන අදියරට ළඟා වන විට අත්දකින යථාවට අලු‍තෙන් එකතු කරන්නට හෝ එයින් ඉවත් කරන්නට හෝ කිසිවක් නැත. අනාත්මය ඇති සැටියෙන් දැකීම ම අප සියලු‍ දුක් වේදනාවන්ගෙන් මුදවයි. භක්තිය, විශ්වාසය යන සියල්ලට වඩා වැදගත් වන්නේ දේවල් ඇත්ත වශයෙන් ම පවතින්නේ කෙසේ ද යන්න වටහාගැනීම ය. එය බුදුන් වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබූවක් නො වන හෙයින් ම, යථා ස්වභාවය පිළිබඳ උන්වහන්සේගේ අවබෝධයේ ගැඹුර අසමසම ය.

ඇතැම් විට අපට කරන්නට අපහසු ම කාර්යයක් වන්නේ යථාව ඇති සැටියෙන් ‘සරල ව’ තේරුම් ගැනීමයි. ලොව පෙනෙන දේවල් ඒ සැටියෙන් ම ඇතැ යි ද ඒවාට ස්වාධීන පැවැත්මක් ඇතැ යි ද සිතමින්, පෙර ජාතිවල ද මේ ජාතියෙහි ද පුරුදු කරනු ලැබූ මනෝමය කාවැද්දීම් ගණනාවකින් අපි කොටු වන්නෙමු. මේ ඇබ්බැහිවීම් නිසා, අනාත්මය හෝ ශූන්‍යභාවය ඕනෑ ම මොහොතක පවතින නමුත්, එය දකින්නට අපි අපොහොසත් වන්නෙමු.

යථාව දකිනු පිණිස අපගේ ප්‍රඥාවේ සියුම් ම ආකාර යොදාගත යුතු ය. කෙසේ වුවත් මේ මොහොතේ අපේ ප්‍රඥා ඇස නොයෙක් දූවිලිවලින් වැසී ඇති නිසා, අපට මුල් අදියරේ දී අන්‍යයන්ගේ වචන පිළිබඳ විශ්වාසය තබන්නට සිදු වෙයි. අන්‍යයන්ගේ මතවාද අප අන්ධයන් සේ පිළිගත යුතු බවක් (ඔවුන් කොතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වුවත්) මෙයින් අදහස් වන්නේ නැත. පසුකාලීන බෞද්ධාචාර්යවරුන් විසින් නිතර යළි සඳහන් කරන්නට යෙදුණු බුද්ධ වචනයකි, මේ:

“මහණෙනි, රන්කරුවකු ගින්නෙහි පිළිස්සීමෙන් ද සැතින් කැපීමෙන් ද පිරිමැදීමෙන් ද රත්‍රන් පරීක්ෂා කර බලන්නේ කෙසේ ද, මගේ වචනය ද එසේ පරීක්ෂා කොට පිළිගත යුතු ය; උදක් මා කෙරෙහි වූ ගෞරවය මත විශ්වාස නො කළ යුතු ය.”

සංඛපා ලාමාතුමන් සිය ‘සැබෑ චාතුර්යයෙහි සාරය’ කෘතිය අරඹන්නේ මේ බුදු වදන සිහි කරමිනි. එහි ලා පරම නිෂ්ඨාව අත් කරගැනීම උදෙසා කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න පහදන්නේ මේ ඇසුරිනි. රන්කරුවා කහ පැහැ කවර ලෝහ කැබැල්ලක් වුව පරීක්ෂාවෙන් තොර ව රන් යැයි පිළි නො ගන්නා සේ, අපේ ආධ්‍යාත්මික ගමනේ මේ අදියරේ දී අපට උදක් ම අපගේ තර්ක ඥානය මත පමණක් විශ්වාසය තැබිය නො හැකි ය. එබැවින් අපට අන්‍යයන්ගේ ආධාරය අත්‍යවශ්‍ය වෙයි. මෙහි දී තීරණාත්මක වන්නේ, අප අන් අයගේ ආධාරය ලබාගන්නේ කෙසේ ද යන්නයි. අප ඔවුන්ගේ බස පිළිගත යුත්තේ ඔවුන් ප්‍රසිද්ධ පුද්ගලයන් නිසා හෝ ආගමික සංස්ථාවක ඉහළ ධුරයක් දරන්නන් නිසා හෝ නො ව, අප ඔවුන්ගේ ඉගැන්වීම් සියුම් පරීක්ෂාවකට බඳුන් කොට උරගා බලා ඇති නිසා ය. මෙය ඉතා වැදගත් කාරණයකි. ශූන්‍යතාව අවබෝධ කරගනු පිණිස අප බුදුන් වහන්සේගේ හෝ ශ්‍රේෂ්ඨ ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය තබන්නට අවශ්‍ය වේ. එසේ කළ යුත්තේ සියුම් පරීක්ෂාවකින් පසුව ය. උන්වහන්සේලාගේ ඉගැන්වීම් අප මුළා කරවන දිශාවට නො වන බව මනා ව තහවුරු වූ පසු අපට ඒ පෙන්වූ මඟ ඔස්සේ යා හැකි ය. මීළඟ පියවර වන්නේ, අප ඒ ඉගැවීම් සහ අප අතර පරතරයක් නො පවතින තෙක් ඒවා පුහුණු කිරීම යි. මෙවිට අපි ධර්මයට මුහුණට මුහුණ ලා සිටින්නෙමු.

මේ කරුණ අරබයා, මහායාන සම්ප්‍රදායයේ එන විශ්වාසයේ ප්‍රභේද හතර ගැන දැන ගැනීම උපකාරී වෙයි.

ගුරුවරයා ගැන නො ව ගුරු වදන් ගැන තබන විශ්වාසය

ගුරු වදන් ගැන නො ව එම වදන්වල අර්ථය ගැන තබන විශ්වාසය

බාහිර අර්ථය ගැන නො ව එහි ගැඹුරුම අර්ථය ගැන තබන විශ්වාසය

ඥානය ගැන නො ව ගැඹුරු භාවනාමය ප්‍රඥාව ගැන තබන විශ්වාසය

පළමුවැන්නෙන් අදහස් වන්නේ, ගුරුවරයාගේ කීර්තියට හෝ ප්‍රභාවට වසඟ නො වී එම ඉගැන්වීම්වල සාරය උකහා ගැනීමයි. මෙය ආධුනිකයන්ට ඉතා වැදගත් ය. දෙවැන්නෙන් අදහස් වන්නේ දේශන විලාසය ගැන, නො එසේ නම්, ඉගැන්වීම ඉදිරිපත් කරන ආකාරය – අනුපිළිවෙළ ගැන නො ව ඉගැන්වීම ගැන උනන්දු විය යුතු බවයි. යමක් කාව්‍යාත්මක ව හෝ න්‍යායාත්මක ව හෝ ඉදිරිපත් වී තිබිය හැකි ය. වැදගත් වන්නේ ඒ කවර විලාසයක් තුළින් වුව සොයාගත හැකි මූලික ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.

බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික මට්ටම් සලකමිනි. ආධ්‍යාත්මික ගමනේ එවැනි විවිධ මට්ටම් තිබෙන අතර, ඒ කවරකට වුව ගුරුවරයකුගේ සහාය අවශ්‍ය ය. ඇතැම් ඉගැන්වීම් උදවු වන්නේ ආධ්‍යාත්මික ගමනේ කිසියම් විශේෂ මොහොතකට ය. යෝගියා ඊළඟ මට්ටමට නැඟගත් පසු එම ඉගැන්වීමෙන් උපකාරයක් නැති වන්නට ඉඩ තිබේ. මේ නිසා, තෙවැන්නෙන් අදහස් වන පරිදි, යම් ඉගැන්වීමක් විවිධ මට්ටම්වල දී විවිධ අර්ථ දනවයි. අප පුහුණු විය යුත්තේ එහි ගැඹුරු ම අර්ථය දකිනු හැකි වනු පිණිසයි.

අවසාන වහයෙන්, අපට අවශ්‍ය වන්නේ බුද්ධිමය ගනුදෙනුවක් නොව ශූන්‍යතාව සමග මුහුණට මුහුණ ලා ලැබිය යුතු ආධ්‍යාත්මික අත්දැකීමකි. මේ අදියර කරා එන්නට අපට සංකල්පීය ඥානය අත්‍යවශ්‍ය ය. අප මනසෙහි නොයෙක් මුළාවන් උදුරා දමන්නට එම සංකල්පීය ඥානය උදවු වෙයි. එහෙත් මෙම අදියරේ දී එන ඉතා සියුම් මුළාවන් ගෙන් අප ගලවනු වෙනුවට, එය අප තවදුරටත් එහි සිර කොට තබයි. අපට ශූන්‍යතාව සමඟ ඒකාත්මික වන භාවනාමය අත්දැකීමක් අවශ්‍ය වන්නේ එබැවිනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *