කර්ම ඵලත් අපේ වසඟයේ නෑ ! ඉතින් මානයක් ඇයි !

cmadurawala
10 Min Read

කපිල පීරිස්

මිනිසා – සත්වයා යනු පංචස්කන්ධ ක්‍රියාවලියයි. එසේ නොමැති නම් නාම-රූප ක්‍රියාවලියයි. මෙහිදී ප්‍රසාද රූප ලෙස ගැනෙන ඉන්ද්‍රිය (ආයතන) ඇසුරුකරගත් නාම කොටසේ විවිධ දිට්ඨි-සංඛාර ආශ්‍රව පොදි බැඳී ඇත. එසේම මේ දිට්ඨි – සංඛාර වෙනුවෙන් ක්‍රියාත්මක ලෝභ ද්වේෂ මෝහ චෛතසිකයන් ද ඇත. සක්කාය දිට්ඨි යනු මෙහිලා ගැනෙන මූලිකම දිට්ඨියකි. “මම” යන හැඟීම ඇති වන්නේ මේ නිසාය මේ “මම” පිනවීමටය අනෙක් සංඛාර නිමැවී ඇත්තේ. සමස්ත සංඛතයෙන් (පංච නියාමධර්ම අනුව ක්‍රියාත්මක) වෙන්කර ගත් කොටසක් මේ “මම” ගේ ඕනෑ එපාකම්, කැමති-අකමැති නම් අනුව ක්‍රියාත්මක විය යුතුය. එසේම ඒ කොටස මගේය. එනම් මෙම කොටස මගේ වසඟයේ තිබිය යුතුය (මගේ ආත්මය ලෙස) යන ආස්ථානයක් මේ සක්ඛාය දිට්ඨියේ ඇත. “මම” යනු ඒ මගේ ඕනෑ එපාකම් අනුව සංඛතයේ යම් කොටසකට අණසක පැතිර විය හැකි ධර්මතාවයක් ලෙසය මෙහිදී සැලකෙන්නේ. සංඛතයේ ක්‍රියාත්මක පංචස්කන්ධ ක්‍රියාවලිය මෙහෙය විය හැකි “මම” ක් ගැන අදහසක් මේ සක්කාය දිට්ඨියේ ඇත. පංචස්කන්ධ ක්‍රියාවලිය පංචඋපාදානස්කන්ධයක් බවට පත් වන්නේ මේ නිසාය.

මේ සක්කාය දිට්ඨිය දිට්ඨියක් ලෙස වියැකෙන්නේ සෝවාන් වීමේදීය. මේ සක්කාය දිට්ඨියෙන් නිරූපිත ඕලාරික “මම” යන හැඟීම මුළුමනින්ම සංසිඳෙන්නේ රහත් වීමේදීය.

අපිරිසිදු දුඟඳ හමන ඇඳුමක් යම් රෙදි සෝදන ද්‍රව්‍යක් යොදා සේදූ විට ඒ අපිරිසිදු දුඟඳ ඉන් ඉවත් වුවද ඒ සේදූ ද්‍රවයේ යම් සියුම් ගන්ධයන් ඒ ඇඳුමේ ඉතිරි විය හැකි අකාරයට සෝවාන් වීමේදී සක්කාය දිට්ඨිය ඉවත් වුවද එහි ඡායා මාත්‍රයක් රහත් වනතුරු ශේෂවන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.

අපගේ සියලු සංඛාර සහ කෙලෙස්වලට මූලික වන්නේ සක්කාය දිට්ඨියයි. මෙතැන් පටන් මේ සක්කාය දිට්ඨිය මූලික කර ගෙන හටගෙන අපට ඉතා කටුක අත්දැකීම් වේදනා රාශියක් ඇති කරන එසේම සමස්ත සමාජයටම මහත් පිළිලයක් බදු මානය යන කෙලෙස් ධර්මය ගැන සලකා බලමු. මේ මානය එසේ නොමැති නම් අන් අය සමඟ සැසඳීමේ – මැනීමේ ගුණය හට ගන්නේ සක්කාය දිට්ඨියේ ඇති තම (මම ගේ) වසඟයේ තබාගත හැකිය යන ගුණයයි. “මම” නැමැති සංඛතයේ කොටසකට තම අණසක පැතිර විය හැති ගුණයක් ඇතිය යන මිථ්‍යාව, මායාව මෙහිදී පෙරදැරි වේ. මේ මායාකාරී සක්කාය දිට්ඨිය තමා තුළ මෙන්ම අන් අය තුළද මෙවැනි සක්කාය දිට්ඨි (එනම් ඒ ඒ අයටද ඒ ඒ අයට කැමති පරිදි යම් යම් දේ වසඟයේ පවත්වාගත හැකි ධර්මතාවයක්) ඇති බවට විශ්වාස කරයි. මේ මායාකාරී හැඟීම විශ්වාසය – ඇදහීම නිසාය මානය ඇති වන්නේ. “මම” නැමැති කෙරුම්කාරයෙක් “මම” තුළ මෙන්ම අන් අය තුළ ද සිටී ය යන හැඟීම නොමැති නම් මානයක් ඇති විය නොහැකිය. ලෞකික සාංසාරික ක්‍රියාවලීයේදී එය වසඟයේ තබාගත හැකි “මම” ක් නැත. එය අනාත්මීය හේතුඵල දහමකි. එහෙත් සසරින් -දුකෙන් මිදීමේ ක්‍රියාවලියේදී, මග වැඩීමේදී ඒ සඳහා ඉදිරිපත් විය හැකි “මම” ක් ඇත.

ලෞකික සාංසාරික ක්‍රියාවලියේදී එය වසඟයේ තබාගත හැකි “මම” ක් නොමැත. එහෙත් සම්මුතියේ “මම”ක් ඇත. එය සක්කාය දිට්ඨායයි. එය “මම”ට ලෞකිකව යම් යම් දේ කළ හැකි වුවත්, කිසිවක් තම වසඟයේ තබාගෙන දිගටම සොම්නස උපදවිය නොහැක. මෙය අනාත්මීය හේතුඵල දහමකි. එහෙත් සසරින් – දුකින් මිදීමේ ක්‍රියාවලියේදී, මග වැඩීමේදී ඒ සඳහා ඉදිරිපත් විය හැකි “මම”ක් ඇත. ඒ යෝනිසෝමනසිකාරයයි.

“මම” මෙන්ම අන් අය යනුද හුදු පංචනියාම ධර්ම තුළ ක්‍රියාත්මක පංචස්කන්ධ ක්‍රියාවලි (හේතුඵල දහම තුළ) ලෙස දකින විට මේ එකිනෙකා අතරේ සැසඳීමක්- මැනීමක් මානයක් ඇති විය හැකි නොවේ.

පංචනියාමධර්ම තුළ ක්‍රියාත්මක පංචස්කන්ධ ක්‍රියාවලියේ දී යම් ආකාරයකට හෝ පුද්ගලයානුබද්ධයක් (මමක්) ආරෝපණය කළ හැක්කේ කර්ම නියාමයටය. යම් පුද්ගල ක්‍රියාකාරිත්වයකදී ඔහුට යම් අකාරයකට අදාළ කොට දැක්විය හැක්කේ කර්මයයි. උදාහරණයක් ලෙස යම් ක්ෂේත්‍රයක යම් දක්ෂතාවක් දක්වන කෙනකු සැලකූ විට තවත් අයකු ඔහුට ඊර්ෂ්‍යා කරන්නේ ඒ දක්ෂතාව ඔහුගේ “මම” හි ආවේණික ලක්ෂණයක් ලෙස සලකන නිසාය. දැන් ධර්මය ඔස්සේ මේ පිළිබඳව විග්‍රහ කරන කෙනකු සඳහන් කරනු ඇත්තේ මෙය ඔහුගේ කර්මයක ප්‍රතිඵලයක් බවය. මේ අනුව කර්මය යන්න ඔහුගේම ක්‍රියාවක් නිසා මේ දක්ෂතාවය නමැති ගුණය ඔහුටම ආවේණික ඔහුගේ “මම” සමඟ බැඳුණු ධර්මතාවක් ලෙස සලකනු ඇති. මේ අනුව කර්මය කරන්නේ තමා නිසා සහ එහි ප්‍රතිඵල භුක්ති විඳින්නේද තමා නිසා මේ කර්ම – ඵල ක්‍රියාවලිය තම වසඟයේ පවතිනවාය ලෙස සැලකිය හැක! එහෙත් මේ කර්මඵල ක්‍රියාවලීය “මම” ට තම වසඟයේ පවත්වාගත හැක්කක් නොවේ. කිසිදු කර්මයකින් තමාට අවශ්‍ය පරිදි, තම වසඟයේ පවත්වාගෙන ප්‍රතිඵල ලද නොහැකිය. කර්මයෙන් ඵල ලැබෙන්නේ සක්‍රියව (Active) නොව අක්‍රියව ය (Passive). ඇතැම් කර්ම ඵල නොදීම අහෝසී වී යයි. ඇතැම් ඒවා අනෙක් නියාම ධර්මවල බලපෑමට යටත්ව ක්‍රියාත්මක වේ. මේ කිසිවක පාලනය “මම” අතේ නැත.

කර්මඵල ක්‍රියාවලිය තම වසඟයේ තබා ගත හැකි වූයේ නම් අපට දිගින් දිගටම යහපත් කර්ම කරමින් සුවපත් ඵල සසරක් ලබා ගත හැකිය. කර්මය යනු පංචනියාම තුළ ක්‍රියාත්මක එනම් සෘතු බීජ, ධර්ම, චිත්ත යන අනෙක් සතර ධර්මතා තුළ ක්‍රියාත්මක තවත් ධර්මතාවකි. පුද්ගල වෙනස්කම් වලදී මේ ධර්මතාවයේ විශේෂත්වයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. එහෙත් මෙයද තම වසඟයේ තබා ගත හැක්කක් නම් නොවේ. මේ අනුව, කර්ම-ඵල ක්‍රියාවලිය තුළද මම යන්න අර්ථශුන්‍ය වේ.

මේ අනුව කෙනකුගේ දක්ෂතාවක් හෝ වෙනත් සුවිශේෂත්වයක් සැලකූ විට එහි ඔහුගේ “මම” ට සක්කාය දිට්ඨියට ලඝු කළ හැකි කිසිවක් නැත. මේ අනුව ඔහුගේ සක්කාය දිට්ඨියේ “මම” පිළිබඳව සැලකීමට කිසිවක් නැත. ඔහුගේ දක්ෂතාවක් හෝ වෙනත් විශේෂත්වයක් ලෙස අප දකින්නේද හුදු පංචනියාමය තුළ ක්‍රියාත්මක පංචස්කන්ධ ක්‍රියාවලියක් පමණි. ඉතින් මමත් එලෙසම නම් “මම” සහ ඒ පංචස්කන්ධ ක්‍රියාවලි අතර සැසඳීමක් කරන්නේ කෙසේද? එවැනි සැසඳීමක් අර්ථාන්විතද? ඉතින් එසේ නම්, අප එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නේ ඇයි?

අපි සොබාදහමට, ගහ කොළවලට ඊර්ෂ්‍යා නොකරමු. සතා සිව්පාවාට පවා බොහෝවිට ඊර්ෂ්‍යා නොකරමු. එහෙත් අපගේ සක්කාය දිට්ඨිය පිනවන අදාළ නිර්ණායක යම් පමණකට හෝ ඇතැයි අපි සලකන අය සමග සැසඳෙමු!

ඔවුන් ඒ ගුණයන්ගෙන් අප ඉක්ම වන්නේ යැයි සිතෙන විට ඔවුනට ඊර්ෂ්‍යා කරමු. මේ ඇයි?

සක්කාය දිට්ඨිය යන්න එය පිනවීමට නිමවා ගත් තවත් දිට්ඨි සංඛාර විශාල ගොන්නක් මත පිහිටා ඇත. ඒ සියල්ලම අනිත්‍ය, පරඬැල් බඳුය. ඒවායේ කිසිදු හරයක් නැත. කිසිදු සදාකාලික සැනසිල්ලක්, නිවීමක් ඒවායින් ලැබෙන්නේ නැත. ඒ නිසාම ඒ සියල්ල අත්හළ යුතු ඒවායි. ඒ සමගම සක්ඛාය දිට්ඨියද අතහැරේ. මානය යනු අන් අය සමග සැසඳෙමින් තම සක්කාය දිට්ඨිය පිනවා ගැනීමට නිවැවූ කෙලෙස් සංඛාරයකි. මේ බැව් තේරුම් යන විට මානයද ඉබේම වියැකි යයි. මේ මානය නැමැති කෙලෙස් සංඛාරයද අනිත්‍යය. එයට වෙනස්වීමේ සීමා මායිම් නැත. අද එක් පුද්ගලයෙක් සමග යම් ආකාරයකට සැසඳෙන කෙනා ඒ සැසඳීම තුළ යම් සහනයක් ලබාගත්තත් හෙට ඔහු තවත් අයකු සමඟ තවත් ආකාරයකට සැසඳීමට උත්සාහ ගනු ඇත. මේ නම් මාන – සැසඳීම් පොරයකි. එනම් දිගින් දිගටම යන ඊර්ෂ්‍යා වැලකී. අප මේ තත්ත්වය තේරුම් ගෙන මාන සංස්කාරය දුරුකළ යුතුය. එය මහා දුකක් ගෙන දෙන්නකට වැඩි දෙයක් නොවන බව පසක් කළ යුතුය.

කෙනෙකුගේ සතුටේදී අප වැඩිය යුත්තේ ඊර්ෂ්‍යාව නොව මුදිතාවය. එනම් ඒ සතුට අපේ ද සතුටට පෙරළා ගැනීමය. කෙනකුගේ සතුට යනු ඔහුගේ ඊනියා සක්කාය දිට්ඨියේ හෝ ඔහු ලෙස ගැනෙන ආත්මයක නිසග ගුණයක් ලෙස ඇතිවන දෙයක් නොව පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය පංචනියාම ධර්ම තුළ ක්‍රියාත්මක වීම තුළ ඇති වන සමස්ත දුක් සාගරයේ තාවකාලික සතුටු-සොම්නස් අවස්ථාවක් පමණි. ඉතින් ඒ පිළිබඳව සතුටු වීම විනා වෙන කළ යුත්තේ කුමක්ද?

සක්කාය දිට්ඨිය සහිත අප නිරතුරුව බලා සිටින්නේ බාහිරින් සතුට-සොම්නස ලබා ගැනීමටය. ඒ සඳහා සකසා ගත් සුවිශේෂී මෙවලමකි- සංඛාරයකි- කෙලේසයකි මානය යන්න. අපේ සොම්නස වෙනුවෙන් සාදා ගත් විවිධ දිට්ඨි තුළ අප අන් අය සමග විවිධාකාරයට සැසඳෙමු. මේ ඔස්සේ සතුට සොම්නස ලබා ගැනීමට අපේ සිතට ඇත්තේ බලවත් තණ්හාවකි. තණ්හා දිට්ඨි මාන යනු මේ ක්‍රියාවලියයි. ප්‍රපංචකරණය මඤ්ඤණා කිරීම යනුද මෙයයි. එහෙත් මේ සංඛාර ක්‍රියාවලියේ හරසුන් අනිත්‍යතාව ප්‍රකට කර ගත්විට මේ බාහිර සතුට සොයා යෑමේ අභව්‍ය උත්සාහය නැවතෙනු ඇත. අප කළ යුත්තේ විවිධාකාර මෙවලම් ඔස්සේ බාහිරින් සතුට සොයා යාම නොව ඉන් මිදීමය. ආධ්‍යාත්මික – අභ්‍යන්තර සුවය – නිවීම යනු එයයි.

අපට බොහෝ විට විවිධ පුද්ගලයන් සමග තරහා – වෛර ඇති වන්නේද මේ මානය නිසාය. අපේ සක්කාය දිට්ඨියේ ඇති අපේ සොම්නසට අදාළ යම් කාරණයක් සම්බන්ධයෙන් වෙනත් අයකුගේ සක්කාය දිට්ඨිය ඔස්සේ යම් අභියෝගයක් ඇතැයි සිතෙන විට අපි නොසන්සුන් වෙමු, තරහ ඇති කර ගමු. පොල්ගසකින් ගෙඩියක් අපේ ඔළුවට වැටුණහොත් අපට ඒ ගස සමග තරහා යන්නේ නැත! එහෙත් ඒ ගසේ පොල් වෙලාවට කඩා නොගත් කෙනා සමග හෝ ඒ ගස එතැන සිටවූ කෙනා සමග නම් අපට තරහක් ඇති විය හැක! මෙසේ වන්නේ අපේ මානයට අභියෝගයක් විය හැක්කේ ඒ මිනිසුන් වන නිසාය. ගසින් එසේ අභියෝගයක් නැත!

අප මෛත්‍රිය වඩන්නේද සෑම විටම පණ ඇති සතුන් කෙරෙහිය මන්ද අපේ සොම්නසට අභියෝගයක් වේ යයි අපට තරහවක් ඇති වන්නේද එසේම දුකින් පෙළෙන්නේද පන ඇති සතුන් නිසාය. සියලු සතුන් පෙළෙන සංසාරගත දුක පිළිබඳව වැටහීමක් ඇත්නම් අපි කිසිදු සතකුට ද්වේශ – වෛර කරන්නේ නැත. ඒ වෙනුවට කරනු ඇත්තේ මෛත්‍රීය වැඩීම සහ කරුණාවෙන් කටයුතු කිරීමය. එවිට යමෙකුගේ සොම්නසකදී අපට ඇති වන්නේ මුදිතාවය. මේ සියල්ලට පසුබිම් වන්නේ උපේක්ෂාවය එනම් හොඳ – නරක සොම්නස් -දොම්නස් ආදිය අරුත් ගන්වන චිත්තාභ්‍යන්තර දිට්ඨි- සංකාර වලින් මිදීමය. මේ අනුව සකලවිධ චිත්තාභ්‍යන්තර දිට්ඨි- සංඛාරවල අනිත්‍ය සහ හරසුන් පරඬැල් සොබාවය පිළිබඳ අවබෝධය තුළ ඒවායින් මිදිය හැකි නම් සතර බ්‍රහ්ම විහරණය තුළ නිවුණ දිවියක් ගත කළ හැක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *