පවුල් සහ පන්සල්

rashi
By rashi
8 Min Read

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි

න්‍යායක් වශයෙන් ගත්තහම අපි හැම කෙනකුටම එක ම නිවන් මඟ, එක ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නමුත් මේ දහම් මග බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුපූර්වගාමී ප්‍රතිපදාවක් හැටියට. තමන් ඉන්නා තැන ඉඳලයි පියවර නැඟිය යුත්තේ, අන් අය සිටින තැන ඉඳලා නො වෙයි. නිවන් මඟ පුහුණු කරද්දී පුද්ගලයන් අනුව වෙනස් වෙනවා වගේම, සම්මාසම්බුද්ධ, පච්චේකසම්බුද්ධ, ශ්‍රාවකබුද්ධ වශයෙන් ප්‍රාර්ථනාව අනුවත් වෙනස් වෙනවා. ඒ වගේම ගිහි පැවිදි වශයෙන්, ප්‍රතිපත්ති ක්‍රමය අනුවත් වෙනස් වෙනවා. අවස්ථාව අනුවත් වෙනස් වෙනවා. මේ හැම දෙයක් අනුව ම උස්පහත් වෙමින් අවස්ථාවට ගැළපෙන ආකාරයට හේතු සාධක සකසා ගත යුතු ගමන් මඟකුයි නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව. එහෙම නැති ව අච්චුවක් හදාගෙන රාමුවක් හදාගෙන පවත්වන්නට ගියොත් විකෘතියක් වෙනවා. කුමක් නිසා ද? එක් තැනකට එක් කාරණයකට යෝග්‍ය වුණු හේතු සාධක තවත් තැනකට තවත් කාරණයකට එලෙසින් ම යෝග්‍ය නො වන්නට පුළුවන් නිසා.

විටෙක දහම වන දේ විටෙක අදහම විය හැකියි. යම් තැනක සත්‍ය ප්‍රකාශ කිරීම වඩා අර්ථ සම්පන්න වෙන්නට පුළුවන්. තවත් තැනක ඒ සත්‍යය ම ප්‍රකාශ කිරීම මහ විනාශයක් ඇති කරන්නට පුළුවන්. එබඳු තැන සත්‍යය වුවත් ප්‍රකාශ නො කළ යුතු බවයි බුදුහාමුදුරුවො දේශනා කරන්නේ. ඒ කියන්නෙ බොරු කියන්න කියලා නෙවෙයි. එතැනට උචිත විදිහට කතා කරන්න ඕන, නැතිනම් නිහඬ වෙන්න ඕන. ඒ හැකියාව අප තුළ නො තිබුණොත් ‘මම කියන්නේ ඇත්ත නම් මොකට ද බය වෙන්නෙ. කාගෙ වැරැද්දක් දැක්කත් මම නම් මූණට ම කියනවා.’ මෙහෙම හිතන එක ඍජු බවක් කියලා අපට හිතුණට එතන තියෙන්නේ තමන්ට සංයමයක්, දමනයක්, නිවැරදි පුහුණුවක් නැතිකමේ දෝෂය විනා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙවෙයි. ඒ නිසා මේ දහම් මග පුහුණු කරද්දී පළමුව අපි එහි මූලික සිද්ධාන්ත නිවැරදි ව හඳුනා ගන්න ඕන. ඉන් පසුව පරමාර්ථයට, ප්‍රතිපත්තියට, අවස්ථාවට, පුද්ගලයාට යෝග්‍ය විදිහට එය ප්‍රගුණ කරන්න ඕන. එතකොටයි තමන්ට අනන්‍ය ක්‍රමය හඳුනාගෙන තමන් ඉන්නා තැන ඉඳලා ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.

අපි එක් උදාහරණයක් අරගෙන බලමු. ගිහි පැවිදි දෙපිරිස ම නිවන් දැකීම සඳහා අවබෝධ කළ යුත්තේ චතුරාර්ය සත්‍යය. ඒ සඳහා පුහුණු කළ යුත්තේ එකම ආර්ය අෂ්ටාංගික මාර්ගය. නමුත් ගිහියාට ධර්මය වන දේ පැවිද්දාට අධර්මය වෙන අවස්ථා තියනවා. පැවිද්දාට ධර්මය වන දේ ගිහියාට අධර්මය වෙන අවස්ථා තියනවා. ගිහියාට ශීලය වන දේ පැවිද්දාට දුශ්ශීලය විය හැකියි. පැවිද්දාට ශීලය වන දේ ගිහියාට දුශ්ශීලය විය හැකියි. ඒ කොහොම ද?

අපි එක් උදාහණයක් අරගෙන බැලුවොත්, ගිහියෙක් හැටියට අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඇසුරු නො කොට, තමන් නීත්‍යනුකූල ව වෙන් කරගත් බිරිඳ හෝ සැමියා සමග කම්සැප විඳිමින් ගුණ දහම් වැඩීම ගිහියාට ශීලයක්. ගිහි සාමීචි ප්‍රතිපදාව අනුව ඒක උසස් ධර්මයක්. එය කාම මිථ්‍යාචාරයෙන් වැළකීම නම් වූ ශීලයයි. දහමේ එය සඳහන් වෙන්නෙ සදාර බ්‍රහ්මචරියාව නමින්. බ්‍රහ්මචරියාව දෙයාකාරයි, ආර්ය බ්‍රහ්මචරියාව සහ සදාර බ්‍රහ්මචරියාව යනුවෙන්. සදාර බ්‍රහ්මචරියාව කියන්නේ තමන්ගේ කාමාශාවන් එක් බිරිඳකට එක් සැමියෙකුට පමණක් සීමා කරලා සංයමයෙන් දමනයෙන් ගුණ දහම් වඩන්නට යොමු වීම. ඒක උසස් ශීලයක්. දෙවි බඹුන්ගේ පවා වන්දනමානන ලබන්නට යෝග්‍ය වූ ශීලයක්.

නමුත් පැවිද්දෙක් කල්පනා කළොත්ත ගිහියා අවබෝධ කරන චතුරාර්ය සත්‍යය මයි පැවිද්දත් අවබෝධ කරන්නේ, ගිහියා අනුගමනය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි පැවිද්දත් අනුගමනය කරන්නේ. ගිහියාට එක බිරිඳක සමග එක සැමියකු සමග කම්සැප විඳිමින් නිවන් දකින්න පුළුවන්නම් ඇයි පැවිද්දාට ඒක අයෝග්‍ය? පැවිද්දාත් ඒ නිවන් මඟ නේ යන්නේ? එහෙම සිතලා පැවිද්දා ක්‍රියා කළොත් පැවිද්දාට එය ම දුශ්ශීලයක්. පැවිද්දාට එය ම අධර්මයක්. එකම දහම් මඟ, එක ම නිවන් මඟ, එක ම චතුරාර්ය සත්‍යය, එක ම ආර්ය අෂ්ටාංගික මාර්ගය. නමුත් පුද්ගලයා ගෙන් පුද්ගලයාට ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිපදාවට අනුරූප ව, අවස්ථාවට අනුරූප ව, පරමාර්ථයට අනුරූප ව, ප්‍රතිපදාව වෙනස් වෙනවා. එනිසා දහම පුහුණු කරද්දී තමන්ට අනන්‍ය ක්‍රමය හරියට හඳුනා නො ගෙන පවත්වන්නට ගියොත්, එයින් ම නිවන් මඟ ඇහිරෙනවා පමණක් නෙවෙයි මෙලොව ජීවිතයෙත් අර්බුද මතු වෙනවා.

හිතුවක්කාර බව දහම නොවෙයි

සමහර වෙලාවට අපි දකිනවා විවාහ ජීවිත ගත කරන අය භික්‍ෂූන් වහන්සේලා දිහා බලලා ‘ස්වාමීන් වහන්සේලා ආර්ය බ්‍රහ්මචර්යාව ආරක්‍ෂා කරන නිසයි ඉක්මනින් නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මමත් අද ඉඳලා බ්‍රහ්මචාරී වෙනවා’ කියලා බිරිඳගේ හෝ සැමියගේ අනුමැතියකින් තොර ව තමන්ගෙ තනි මතයට හිතුවක්කාර නිගමනයකට එනවා. ඒ තැනැත්තා කල්පනා කරනවා ‘දැන් මම බ්‍රහ්මචාරී ශීලයක් ආරක්‍ෂා කරනවා, මේ ජීවිතයේ දී ම සෝවාන් වෙන්න’ කියලා. එහෙම හිතාගෙන හිටියට ඒ ප්‍රතිපත්ති ක්‍රමය නිසා අනෙකාට මොකද වෙන්නේ? ඒ තැනැත්තා හෝ තැනැත්තී පර අඹුවන්, පර පුරුෂයන් සොයා යන්නට, විකෘති කාමයට දුරාචාරයට නැඹුරු වෙන්නට නිවස තුළින් ම මඟක් සකසලා දුන්නා වෙනවා. එය ම සමාජ සාරධර්ම දෙදරා යන්නට, අනාථ දරුවන් බිහි වෙන්නට, සමාජරෝග පැතිරෙන්නට හේතුවක් විය හැකියි. මේ මහා අනර්ථයට මූලික වුණේ, අර බ්‍රහ්මචර්යාවයි කියලා හිතාගෙන හිතුවක්කාර විදිහට ගත්ත තීරණය.

මේකෙන් අදහස් කරන්නේ ගිහියෙකුට බ්‍රහ්මචාරී වෙන්න බැහැ කියන එක නෙවෙයි. ගිහියෙකුට බ්‍රහ්මචාරී වෙන්නට ක්‍රම තියෙනවා. එක්කෝ විවාහ නො වී ඉන්නට ඕන. දැනට තමන් විවාහ වෙලා නම් දෙදෙනා සමගි ව සුහදශීලී ව සාකච්ඡා කරන්න ඕන දෙදෙනා ම බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න සූදානම් ද කියලා. අර භද්‍රාකාපිලානි සහ පිප්ඵලී මානවක වගේ. මාපියන්ගේ ඕනකමට දෙදෙනා විවාහ ගිවිසගත් නමුත් පිප්ඵලී මානවකයා තීරණය කළා මට විවාහ ජීවිතයක් ගත කරන්නට ඕන නැහැ. භද්‍රාකාපිලානිත් කියනවා මටත් ඕන නැහැ. නමුත් ඕන නැහැ කියන්නේ අනිත් කෙනා කියන නිසා ද ඇත්තට ම දෙදෙනාට ම එහෙම අවශ්‍යතාවක් නැති ද කියලා තීරණය කරන්න දෙදෙනා උපායක් යෙදුවා. නින්දට යනකොට සමන් පිච්ච මල්දම් දෙකක් ගොතලා දෙදෙනා අතරින් එලා තබනවා. සිහිනෙන් හෝ කාම සංකල්පනාවක් මතු වෙලා තමන්ගෙ සීමාව අතික්‍රමණය කළොත් ඒ තැනැත්තා සිටින පැත්තෙන් මල් දම තැලෙනවා. එහෙම නම් උදේට තීරණය කරන්න පුළුවන් අවංක ව ම ද මේ බ්‍රහ්මචාරී වෙන්නට කැමැත්ත පල කළේ කියලා. මෙසේ ඔවුන් තම තමන් ව අධ්‍යයනය කරලා පරීක්‍ෂා කරලා හරියට හඳුනා ගත්තා දෙදෙනා තුළ ම පිවිතුරු සංකල්පනා තියෙන බව. දෙදෙනාට ම බ්‍රහ්මචර්යාව ආරක්‍ෂා කරන්න අවශ්‍යතාව සහ හැකියාව තියන බව තේරුම් අරගෙන ඒ අය දිවිහිමියෙන් බ්‍රහ්මචාරී වුණා. එහෙම නැතිනම්, තමන්ට බ්‍රහ්මචාරී වෙන්න ඕන නම් අනෙකාට තමන් කැමති විදිහට විවාහ ජීවිතයක් ගත කරන්න අවසර දෙන්න ඕන. එහෙමත් නැතිනම් අනෙකාගෙ අවසරය ඇති ව තමන්ට ගිහිගෙයින් නික්මිලා මහණ වෙන්න පුළුවන්. ඒ කිසිවක් නැති ව විවාහ ජීවිතයක් ගත කරන බව ලෝකයට පෙන්වා සිටිමින්, නමුත් ඔවුනොවුන් අතර එබඳු පැහැදිලි සම්මුතියකින් තොර ව තමන් එවැනි හිතුවක්කාර තීරණයකට පැමිණෙනවා නම් එය ගිහි ජීවිතය තුළ විකෘතියක්.

පැවිද්දාට ආර්ය බ්‍රහ්මචර්යාව නිවන් දකින්නට උපකාර වන ප්‍රතිපත්ති ක්‍රමයක් වුණාට විවාහක ගිහියා එසේ තනි තීරණයකට එළඹුණොත් එය ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් වෙන්නේ නැහැ. මේ උදාහරණ කිහිපය මූලික වශයෙන් සිහිපත් කළේ අත්හැරීම පුහුණු කරද්දී ඔන්න ඔය වගේ පටලැවිලි අපට සමාජය තුළ පෙනෙන්නට තිබෙන නිසයි. අත්හරිනවා කියලා කිව්වම අර පවත්වන්නට ඕන දේවල් තමයි කප්පාදු කරගෙන කප්පාදු කරගෙන යන්නේ. බිරිඳ, සැමියා, දරුවා, ගේදොර, ඉඩකඩම්, යානවාහන, රැකීරක්‍ෂා, ව්‍යාපාර, රට, ජාතිය, ශාසනය, දන්දීම, පින්කම් කිරීම, මේවා තමයි අත්හැරගෙන අත්හැරගෙන යන්නේ.

නමුත් සැබැවින් ම අත්හළ යුතු කෙලෙස් ධර්ම මනසේ දෝරෙ ගලනවා.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *