දිමුතු පුන්සර කොළඹගේ
තිරිකුණාමලය ගෝමරන්කඩවල රන්ගිරි උල්පත රාජමහා විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායක, සිරිසද්ධම්මවංසපාල ගණාචරිය, අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ අද්‍යතන ශාසනාම්බරයේ සුදීප්තිමත් ශාසන භාරධාරී මහ යතිවරයන් වහන්සේ නමකි.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට අයත් නිකාය, පාර්ශ්ව විසි දෙක අතුරින් වැඩි ම විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේලා අයත් නිකාය සිරි සද්ධම්මවංස මහා නිකායයි. අමරපුර මහා නිකායේ ආදි කර්තෘ හිමිනමක වූ කපුගම ධම්මක්ඛන්ධ මහ නාහිමියන්ගේ ශිෂ්‍ය වූ බෝපාගොඩ සිරි සුමන මහ නාහිමියන්ගේ ශිෂ්‍ය වූ ලංකාගොඩ ධීරානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් සීමා සංකරවාදය ඉපදවීමෙන් පසු ඇරඹුණු මෙම නිකාය බුලත්ගම ධම්මලංකාර සුමනතිස්ස මාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, වස්කඩුවේ සුභූති මාහිමි, කොස්ගොඩ ධම්මවංස මහනාහිමි, තලල්ලේ ධම්මානන්ද මහනාහිමි බඳු සම්භාවනීය යුගකාරක තෙරුන් වහන්සේලා රාශියක් නියෝජනය කළ සම්භාවනීය සඟ පසකි. අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ මෙම නිකායේ මහානායක පදවිය හොබවන දහ අටවැනි මහ නාහිමිපාණන් වහන්සේ වෙති.
දක්ෂිණ ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියට නුදුරු අහුන්ගල්ලේ විසූ බ්‍රිතාන්‍ය රාජකීය යුද්ධ හමුදා නිලධාරියකු වූ ඒ. ටී. පී. එම්. අබේසේකර මැතිතුමාගේ සහ මුණසිංහ මිලිනෝනා අබේසේකර මැතිණියගේ දරු පිරිස අතර දෙවැන්නා වශයෙන් වර්ෂ 1955 ඔක්තෝබර් මස දස වන දින මහ නාහිමිපාණන් වහන්සේ උපත ලැබූහ.
පුරාකෘත පුණ්‍ය මහිමය නිසාවෙන් ම දහර වියේ දී ම පැවිද්දට සිත් යොමුව කොස්ගොඩ, ගල්වෙහෙර, බෝගහපිටියේ සිරි විජයබෝධිරාජාරාමාධිපතිව වැඩ සිටි වැලිතර ඤාණවංස මහ නාහිමිපාණන් වහන්සේ වෙතින් ඉගෙනුම ලබා අහුන්ගල්ල කැකිරිවත්ත සිරි විජයාරාමාධිපති වැලිතර සුමනසිරි මාහිමිපාණන් වහන්සේගේ සහ නුරුගල ගංගාරාමාධිපති අහුන්ගල්ලේ සීලවංස මාහිමියන්ගේ ආචාර්යයත්වයෙන්, කොස්ගොඩ ගොඩපිටියේ සිරි නිවේසාරාමාධිපති, රාජකීය පණ්ඩිත කොස්ගොඩ සිරි විසුද්ධි නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1965 ජූලි 7 වන දින කැකිරිවත්තේ විජයාරාමයේ දී පැවිදි බිමට පත් වූහ.
ආචාර්යපාදයන් වහන්සේලා වෙතින් මූලික බණ දහම් හදාරා රන්දොඹේ ශික්ෂාලංකාර පිරුවනට ඇතුළත්ව රාජකීය පණ්ඩිත කොස්ගොඩ පඤ්ඤාසීහ අනුනාහිමි, අග්ගමහාපණ්ඩිත කොස්ගොඩ ජිනාලංකාර මහනාහිමි වැනි ආචාර්යපාදයන් වහන්සේලා වෙතින් අධ්‍යාපන ලබා වර්ෂ 1974 ජූනි මස 7 වන දින වැලිතර මහා කප්පින වලව්ව යාබද මාදු නදී ශ්වේජින් සීමාවේදී අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සිරි සද්ධම්මවංස නිකායික සුධර්මා කාරක මහා සංඝසභාව වෙතින් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.
විශේෂයෙන් කොස්ගොඩ පඤ්ඤාසීහ අනුනාහිමියන් වෙතින් ලද විනය කර්ම පිළිබඳ දැනීමත්, ඇන්දානේ දයානන්ද මහ නාහිමියන් වෙතින් ලද ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනීමත් මාහිමියන්ගේ දිවි ගමනට මහත් ආලෝකයක් ගෙන දුනි.
ඇන්දානේ දයානන්ද මහ නාහිමියන් සහ ගිංතොට අනෝමදස්සි අධිකරණ නායක හිමිපාණන් වහන්සේලා සමග කිහිප විටක් වාර්ෂික සේරුවිල නිකිණි පූජෝත්සවයට සහභාගි වීමේ දී නැගෙනහිර පළාතේ බොදු උරුමයන්ට එවක අත් වී තිබූ ශෝචනීය ඉරණම දැක සංවේගයට පත්ව එම උරුමය සුරක්ෂිත කරනු පිණිස කැපවීමට අධිෂ්ඨාන කළහ.
එම අධිෂ්ඨානය අනුව 1970 දශකයේ මැද භාගයේ දී තිරිකුණාමලයට වැඩමවා එළඳකුලම මසන්වැව පුරාණ රජමහා විහාරය, සෙම්බිමලේ කිණිහිරියාකන්ද පුරාණ රජමහා විහාරය, තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බට බව කියවෙන කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් රජමහා විහාරය, ගෝමරන්කඩවල රන්ගිරි උල්පත රාජමහා විහාරය ඇතුළු වනගතව තිබූ පෞරාණික සිද්ධස්ථාන රාශියක් හඳුනාගෙන එම ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත ස්මාරක වශයෙන් නම් කරවා එම පුදබිම් වෙත නවෝදයක් උදා කරවීමට සමත් වූහ. දහවල් කාලයේ පොල් අතු මඬුවකත් රාත්‍රී කාලයේ ගසක් මුදුනක තැනූ අට්ටාලයකත් වැඩ හිඳිමින් යටිතල පහසුකම් කිසිවක් නොමැති වනාන්තරවල වැඩ සිටිමින් විනාශයට පත් වී තිබූ පෞරාණික උරුමය සුරක්ෂිත කරවූහ.
අසූව දශකයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ උප්පුවේලි බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිමින් නැඟෙනහිර පළාතේ අසරණව සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වෙත මහත් සේවයක් සිදු කළහ. එක් අවස්ථාවක ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් මාහිමියන්ගේ සුරතට එල්ල වීමෙන් ගිලන්ව ප්‍රතිකාර ලැබීමට සිදු විය. සිය උපන් ගම් පියසට වැඩම කොට ජීවිත ආරක්ෂාව ස්ථිර කොට ගන්නා ලෙසට කෙතරම් ඉල්ලීම් සිදු කෙරුණ ද නැඟෙනහිර පළාතේ බොදු උරුමය පවත්වා ගෙන යාමටත්, අසරණව සිටි ජනතාව වෙනුවෙන් සිදු විය යුතු මෙහෙවර නොකඩ කොට සිදු කිරීමටත් සිත් යොමු කොට නැඟෙනහිර පළාතේ ම වැඩ සිටියහ. ත්‍රස්තවාදී උවදුරු සමනය වීමෙන් පසු ඒ ඒ වකවානුවල පැවති රජයන් වෙත කරුණු දක්වා විනාශ වී ගිය වැව් ප්‍රතිසංස්කරණය කරවා නැඟෙනහිර පළාත විධිමත් ජනාවාසකරණයට ලක් කිරීමට කැප වූහ.
අහුන්ගල්ලේ සීලවිසුද්ධි මාහිමියන්ගේ මෙම ශාසනික මෙහෙවර අගය කරමින් අමරපුර සිරි සද්ධම්මවංස මහානිකාය මගින් සුධර්මා කාරක සංඝ සභික පදවියක්, උතුරු නැඟෙනහිර තමන්කඩු තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය, අනුනායක පදවියක් වැනි සම්භාවනීය පදවි රාශියකින් සම්මානිත කරවූහ. මෙලෙස ගෘහස්ථ ප්‍රවෘජිත චිත්තාරාධනය ලබමින් උභය ලෝක ශාසන අර්ථ චර්යාවෙහි පිළිපන් අහුන්ගල්ලේ සීලවිසුද්ධි නාහිමියන්ගේ මෙහෙවරට කෘතෝපහාර ස්ව නිකායස්ථ සුධර්මා කාරක මහා සංඝසභාව මගින් අතිපූජ්‍ය බලන්ගොඩ සුධම්මවංස මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පඩු වූ මහානායක පදවියෙන් 2013 පෙබරවාරි මස 19 වන දින අහුන්ගල්ලේ සීලවිසුද්ධි අනු නාහිමිපාණන් වහන්සේ සිරි සද්ධම්මවංසපාල ගණාචරිය යන ගෞරව නාම සම්මුතිය සහිතව සම්ප්‍රසාදනය කරවූහ. එසේම දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති පදවියක් ද ශෝභාවත් කරවූහ.
අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ සුපේශල, ශික්ෂාකාමී, නිරහංකාර, සංඝශෝභන ගුණධාරී මහා යතිවරයන් වහන්සේ නමකි. කවරකු ඉදිරියේ වුව ද කිව යුත්ත නොබියව ප්‍රකාශ කරන උතුමන් වහන්සේ නමකි. ශාසනික සම්ප්‍රදාය මැනවින් හඳුනා ගනිමින් සැම දෙනාට ම සමානාත්මතාවයෙන් යුතුව සළකන අනතිමානී ගුණයෙන් අනූන මහා යතිවරයන් වහන්සේ නමකි.
අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික සංග්‍රහයෙහි නිරතවීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.

