කපිල පීරිස්
සත්වයා යනු සංසාරගත නාම රූප ක්‍රියාවලියයි. පංචස්කන්ධ ක්‍රියාවලිය යනු ද එයයි. ෂඩ් ඉන්ද්‍රිය ඇසුරුකර ගෙන ඵස්ස, වේදනා, චේතනා, සඤ්ඤා මනසිකාර යන පුමුඛනාමයන් මගින් බලගැන්වෙන චෛතසික සමූහයකින් අපේ චිත්ත සන්තානය සමන්විතය. මේ චෛතසික ධර්මයන් ශෝභන (කුසල), අකුසල, ප්‍රකීර්ණක ආදී ලෙස අභිධර්මයේ වර්ගීකරණය වේ. මේ අකුසල චෛතසික නිසාය සක්ඛාය දිට්ඨිය පෙරටු කරගත් විවිධ දිට්ඨි – සංඛාර ගොඩනැඟී ඇත්තේ. කුසල චෛතසිකයන් යනු මේ සංඛාර දිට්ඨි වලින් සිත මුදා ගැනීමෙහිලා ඉවහල් වන ඒවාය. ලෝභ, ද්වේෂ, මාන යනු මෙහිදී මූලික අකුසල චෛතසික තුනකි. මේවායේ මෙහෙයවීමෙන් කෙළවරක් නොමැති දිට්ඨි සංඛාර සිතේ සොම්නස ඇතිකර ගැනීමේ අරමුණෙන් අපේ සිත් සතන්වල ගොඩනැඟී ඇත. අනිත්‍ය සහ පරඬැල් බදුවන්නේ මේ සංඛාර – දිට්ඨීන්ය. මේ සංඛාර-දිට්ඨීන් නිසා සිතේ නිරතුරුවම විවිධ අරමුණු (ධම්ම, විතර්ක) ඇති වේ. මේ අරමුණු සිතේ සංඛාර – දිට්ඨි සමඟ පෑහීම, නොපෑහීම අනුව සොම්නස්ස, දෝමනස්ස වේදනා ඇතිවේ. මේවා පංචේන්ද්‍රිය සංවේදන ඇසුරුකරගෙනද, මනීන්ද්‍රිය ඇසුරුකරගෙනද හටගනී. කෙසේ වුවත් මේවා අවසානයේ සිතට දැනෙන්නේ මනෝ සංවේදනා ලෙසය. සොම්නස, දොම්නස, උපේක්ෂාව (මනෝ) ඇති කරන්නේ මේවාය. හුදු පංචේන්ද්‍රිය සංවේදන එනම් ප්‍රධාන වශයෙන් කායික සංවේදන සැප, දුක්, උපේක්ෂා මට්ටමෙන් කෙළවර වේ. සොම්නස් දොම්නස් හා අදාළ උපේක්ෂා වේදනා ඇති වන්නේ සිතේ සංඛාර -දිට්ඨි ඇති නම් පමණය. රහතන් වහන්සේට මේවා නැත. උන්වහන්සේගේ වේදනා කායික සැප, දුක් උපෙක්ෂා මට්ටමෙන් කෙළවර වේ.
අප ඇත්තටම දුක් විඳින්නේ මේ සංඛාර- දිට්ඨි නිසා ඇති වන අරමුණු පෙරළා මේ සංඛාර- දිට්ඨි සමඟ ස්පර්ශයේදීය. මේ මූලික ස්පර්ශයේදී සියුම් සොම්නස් – දොම්නස් උපෙක්ෂා වේදනාවන් ඇති වන අතර ඒ අනුව එය රාගයෙන් වැළඳ ගැනීමට ද්වේෂයෙන් පිටමං කෙරුමට හෝ උපේක්ෂාව තුළ මෝහයෙන් මුලාවීමට පෙළඹේ. අප වේදනාව තීව්‍ර කරගනිමින් තවත් සංඛාර – දිට්ඨි – කර්ම රැස් කරන්නේ එහිදීය. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු උල ඇනීම සහ දෙවන උල ඇණගැනීම ලෙස වදාරන්නේ මේ සිද්ධියයි. මේ සංඛාර-දිට්ඨි අරමුණු චක්‍රය අනිත්‍ය, පරඬැල් බඳු හරසුන්ය, අපේ වසඟයෙන් තබාගත නොහැකිය. එයයි දුකේ උපත. මේ සිතෙන-සිතන ක්‍රියාවලිය තමයි ගැටලුව. චේතනා නිසා ඇති වන්නේ සංස්කාර-කර්මයන්ය, ඒවා දැඩි ලෙස සිතේ කිඳා බැස්ස විට දිට්ඨි බවට පත් වේ. මේව පැසෙමින් වැගිරෙන අවස්ථාව ආශ්‍රව – අරමුණු ක්‍රියාත්මක වීම වේ.
අපට සාමාන්‍යයන් පංචේන්ද්‍රියනට ලැබෙන සංවේදන යම් පමණට හෝ අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. උදාරහණයක් ලෙස යම් අප්‍රසන්න රූපයක් දකින විට ඇස ඉන් ඉවත් කරගත හැක. අප්‍රසන්න ගන්ධයන් දැනෙන විට නාසය ඉන් ඉවත් කර ගත හැක. කයට දැඩි උණුසුමක් දැනෙන විට ඉන් ඉවත් විය හැක. එහෙත් මනීන්ද්‍රියට විවිධ අරමුණු (ධම්ම) පැමිණෙන විට ඉන් මිදීම එතරම් පහසු නැත. ඇසට අප්‍රසන්න රූපයක් ගැටෙන විට ඒ රූපය මගේ නොවේ, පිටස්තර එකක් ලෙස ගෙන ඉන් ඉවත් වීම එතරම් අපහසු නැත. එහෙත් සිතට මනීන්ද්‍රියට දෝමනස්සය ඇති කරන අරමුණක් පැමිණෙන විට ඉන් මිදීම පහසු නැත. අපට ඇස ගැටෙන රූපය බාහිර ලෙස වැටහුණත් මනීන්ද්‍රියට ගැටෙන අරමුණු බාහිර ලෙස දැනීම පහසු නැත. අපට දැනෙන්නේ මේ අරමුණ “මම” ලෙසය. “මගේ” ලෙසය. මගේ ආත්මය (මගේ වසඟයේ තබාගත හැකි) ලෙසය! එහෙත් මේ අරමුණුවලද මගේ මම යැයි ගත හැකි කිසිවක් නැත. අප කරන්නේ අහක යන දිට්ඨි-සංඛාර-අරමුණු චක්‍රය මැදට පැන ඉන් සතුට සොම්නස (දෝමනස්සය පලවා හරිමින්) ලබා ගැනීමට අභව්‍ය උත්සාහයක නිරත වෙමින් අනිවාර්තයේ දුක් විඳීමය. මේ ධර්මතාවය පිළිබඳ දැනුමක් නොමැති විට සහ සතිය නොමැති විට දිගින් දිගටම සත්වයා මේ දුක් චක්‍රය තුළට වී එයම ලුහුබඳී. එහෙත් මේ ධර්මතා පිළිබඳ දැනුමක් ඇති සතියක් සහිත කෙනා මේ චක්‍රය පිට සිට දැකීමට උත්සාහ ගනී. එයයි යොනිසෝමනසිකාරය මේ යොනිසෝමනසිකාරය සහිතව සිටින විට මේ චක්‍රයේ සොබාවය දැකිය හැකි අතර, ඒ සමගම මේ චක්‍රය තුළ සොම්නස් වීමට වලිකන මම මගේ මගේ ආත්මය යන දිට්ඨි ඇති කරවන සක්කාය දිට්ඨිය නමැති මූලික සංඛාරයේ හරසුන්, ව්‍යාජ සොබාවයද දැකිය හැකිය.
මේ සංඛාර – දිට්ඨි අරමුණු චක්‍රයේ පිටත සිට එය බැලීමට උත්සාහ ගනිත්ම ඒ චක්‍රය ක්‍රමයෙන් වියැකී යයි. එයයි අතහැරීම යනු. එනම් බාහිර ලෞකිකත්වයෙන් සොම්නස සොයමින් දොම්නස පලවා හරිමින් උපේක්ෂාව තුළ විවිධාකාරයට මුලා වෙමින් සංඛාර දිට්ඨි ගොඩනගමින් කටයුතු කිරීමෙන් වැලකීමයි. භාග්‍යවතුන් වහන්සේ අපට නිරතුරුව උපදෙස් දෙන්නේ මේ තත්ත්වය ඇතිකර ගැනීමටය. සතර සති පට්ඨානය වැඩීම යනු මෙයයි.
ලෞකික එදිනෙදා කටයුතු වලින් මිදීමත් මින් අදහස් නොවේ. මින් අදහස් කෙරෙන්නේ සොම්නස උදෙසා ලෞකික කටයුතු වල නියැලීමෙන් වැලකීමයි.
අප දැඩි ලෙස දුක් විඳින්නේ දොම්නස් සහගත අරමුණු සිතේ දිට්ඨි – සංඛාරවල ගැටීමේදීය. මෙහිදී අප අපට පාලනය කළ නොහැකි අපේ වසඟයේ නැති ඇත්තටම මේ බාහිර අරමුණු අපේ චිත්තාභ්‍යන්තර සංඛාර – දිට්ඨි සමඟ සසඳමින්, තවත් ගැලපෙන පරිදි සංඛාර-දිට්ඨි පොදි බඳිමින් මේ දොමනස්සයෙන් මිදීමට උත්සාහ ගමු. මෙයයි ඇත්තටම මූලික ගැටලුව! අප්‍රසන්න රූපයකින් ඇස් ඉවත් කරගන්නා පරිදිම මේ අරමුණු නොසලකා සිටිය හැකි නම් එයයි දුකින් මිදීම. යොනිසෝමනිසිකාරයෙන් කළ යුත්තේ මේ දුක් චක්‍රය මගහරිමින්, අතහරිමින් ඒ මෙහොතේදී ලෞකිකව කළ යුත්ත කිරීමය. එහෙත් අප කරන්නේ එය නොව බාහිර වූ අපේ නොවූ මගේ වසඟයේ නොමැති මේ සංඛාර දිට්ඨි අරමුණු චක්‍රය නමැති ගිනි ගොඩට පැනීමය.
මේ දේවල් මේ මේ ආකාරයට විය යුතුය ලෙස වන දිට්ඨි – සංඛාර පොදි අපේ සිත් සතන්වල අකුසල චෛතසික සමඟ ගැටගැසී ඇත. සොම්නස දොම්නස ගෙන දෙන අරමුණු පැන නගින්නේ මේ පොදියෙනි. මේ දිට්ඨි – සංඛාර පොදිය මම, මගේ, මගේ ආත්මය ලෙස සලකන්නේද තවත් දිට්ඨියකි. එය සක්කාය දිට්ඨියයි. නාම ධර්මවල යම් පාලනයක් විමසීමක් හිමි “මනසිකාරයට” මේ තත්ත්වය දකිත හැකි නම් මේ අනිත්‍ය වූ පරඬැල් බඳු හරසුන් වූ “අපේ දුකට” පමණක් හේතු වන්නා වූ මේ සංඛාර- දට්ඨි අරමුණු චක්‍රය පිරිසිද දැකිය නම් එකෙනෙහිම මේ දුක් චක්‍රය නිවී යයි. එයයි නිවණ. එවිට “මම” අතුරුදහන් වන්නේ නැත. සිදු වන්නේ විවිධ දිට්ඨි – සංඛාර ගොඩනගමින් ලෞකිකව සොම්නස සොයා ගිය සක්කාය දිට්ඨිය සහ අස්මිමානය අහෝසි විමය. මේ නිවීම තුළ එදිනෙදා ලෞකික කටයුතු ඉතා හොඳින් ආධ්‍යාත්මික සුවයෙන් කළ හැකි මම (සම්මුති මම) පමණක් ඉතිරි වේ. සොම්නස වෙනුවෙන් බාහිර ලෞකිකත්වයට කිසිදු බැඳීමක් උපාදානයක් නැති මේ මම මේ සිරුර මිය ගිය විට තවත් තැනක ප්‍රතිසන්ධියක් ලබන්නේ නැත.
නිවෙසක් තුළ ගින්නක් හටගනෙ ඇත්නම් කළ යුත්තේ එය මගේ නිවස තුළ හටගත් නිසා එය මගේ කරගෙන ඉන් කෙසේ හෝ සුවයක් ලැබීමට (ආලෝකය ලැබීම වැනි) යැයි සිතමින් විවිධාකාරයේ ද්‍රව්‍ය ඒ ගින්නට යොදමින් එය සුවදායි කර ගැනුමට උත්සාහ ගැනීම නොව අවසානයේ එහි ඇති බියකරු බව දැනගෙන එය නිවා දැමීමය. ඒ සඳහා කළ යුත්තේ පිළිස්සෙන දෑ ගින්නට සැපයීම වැලැක්වීමය. අපේ චිත්තාභ්‍යන්තරයේ ඇති සංඛාර- දිට්ඨි අරමුණු ගින්නද එපරිදිමය. එය මම, මගේ, මගේ ආත්මය නොවේ. එය ගින්නකි. එය නිවිය යුතුය. මේ නිවීමෙන් අප වලකාලන්නේ මේ දිට්ඨි- සංඛාර අරමුණු චක්‍රයෙන් අප තාවකාලිකව ලබන්නාවූ ව්‍යාජ සුවයයි. එනම් දුකෙහිම සියුම් වූ සැපයයි! ආලෝකයේ කෙටිකාලික සුවය ලබන පලඟැටියා ගින්නට පැනීම මීට සමය!
මේ සංඛාර දිට්ඨි – අරමුණු චක්‍රය පිරිසිඳ දැකිය හැකි එක් ආකාරයක් වන්නේ අපට දෝමනස්ස වේදනාවන් පැමිණි අවස්ථාවය. එවිට එම දෝමනස්සය තුළ ගිලී විවිධාකාරයට සිතමින්, විවිධ දේවල් (බාහිරව) කිරීමට උත්සාහ ගැනීම වෙනුවට මේ දෝමනස්ස වේදනාවේ මුල සොයා යමින් එය පිරිසිඳ දැකිය හැකි නම් මේ දෝමනස්සය යම් අකාරයකට හෝ දුරු කරගත හැක. එවිට ඒ දෝමනස්සයේ ව්‍යාජය හෙළිදරව් වනු ඇත. මෙය විවිධ කතා කියා (විවිධ තවත් සංඛාර-දිට්ඨි ගොඩනගා) සිත සාදා ගැනීමක් නොවේ. ප්‍රශ්නය – දොම්නස වසා දැමීමක්, මග හැරීමක් නොව දොම්නසේ හිස් බව තේරුම් ගැනීමකි. සිතේ දොම්නස ඇතිවීම නැවැත්විය හෝ අවම වශයෙන් සමනය කළ හැක්කේ එලෙස පමණය. එය ආධ්‍යාත්මික ව්‍යායාමයකි. භාග්‍යවතුන් වහන්සේ දිගින් දිගටම පෙන්වා වදාරන්නේ මෙයයි.
එහෙත් සියලු සතාට ඇති වන කායික දුක් අඩුකර ගැනීමට විවිධ ලෞකික දැනුම් තාක්ෂණ ආදිය භාවිත කළ යුතුය. ගැටලුව වී ඇත්තේ අද අපි මේ ලෞකික දෑ ඔස්සේ ද මානසික සොම්නස (තණ්හා, දිට්ඨි, මාන ආදිය එලෙසම තබාගෙන) සෙවීමට උත්සාහ ගැනුමය. සමාජයේ විවිධ කැරලි කොලහල පාරිසරික ගැටලු ආදී මෙකී නොකී සියලු ගැටලු ඇති වන්නේ මේ නිසාය.
සියලු සත්වයා ක්‍රියාත්මක වන්නේ වේදනාව ඔස්සේ යනුවෙන් භග්‍යවතුන් වහන්සේ වදාරති. එහෙත් මේ වේදනාවේ අතිශය වැදගත්ම කොටස වන මානසික සුවය සඳහා කළ යුත්තේ චිත්තාභ්‍යන්තර පර්යේෂණයකි. එයයි ආර්ය පර්යේෂණය. එහෙත් අද අප මේ ආර්ය පර්යේෂණය යන්න පසෙකලා මානය තණ්හාව ආදියෙන් කුළුගැන්වෙන විවිධ දිට්ඨි – සංඛාර ඔස්සේම බාහිරින්ම මානසික සුවය සෙවීමට වලිකමු. බාහිර ලෞකිකත්වයෙන් මානසික සුවය සෙවීම තොර වුවහොත් මිනිසා ක්‍රියාත්මක වනු ඇත්තේ හුදු සොබාදහමේ න්‍යාය තුළය. එවිට මිනිසා ඒවා තම හුදු කය පවත්වා ගැනීමට මිස ඉන් ඔබ්බට ගොස් තම සිතැඟි පරිදි මානය, ඊර්ෂ්‍යාව වැනි කෙලෙස් මුදුන් පත් වන පරිදි සොබාදහම තුළ ක්‍රියාත්මක නොවනු ඇත.
ඇත්තටම අප විඳිනා සියලු මානසික ගැටලු (දුක්ඛ, දෝමනස්ස) හුදෙක් මනසින්ම, මනසේම නිර්මාණය වූ දෑය. ඒවාට විසඳුම ඇත්තේම මනසේමය. එනම් දිට්ඨි-සංඛාර අමුණු චක්‍රය නැවැත්වීමය. ඒ සඳහා බාහිර කිසිවක් අදාළ නැත. මේ දුකින් මිදීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කිසිදු ආකාරයක බාහිර කොන්දේසී සැපිරීමක් දේශනා කර නැත. ඒ වෙනුවට සතර සතිපට්ඨානය අදාළ පරිදි වැඩූ විට අදාළ නිවීම පිහිටන බවට ඇප වෙති. ඉතින් මේ අප පෙලනා අනේකවිද දුක්ඛ දෝමනස්සයන් දුරු කර ගැනීම ඇත්තේ මේ අප තුළමය යන්න දැන ගැනීම ම කොපමණ සහනයක්ද? ඒ පිළිබඳ බාහිර, අපේ පාලනයේ නැති බලවේග, පුද්ගලයන් කෙරේ විශ්වාසය තියා කටයුතු කිරීමෙන් ඵලක් නැති බව දැන ගැනීම ම කොපමණ සහනයක්ද? (මින් අදහස් කරන්නේ ලෞකික ගැටලු වෙනුවෙන් බාහිර ආචරණ වල පිහිට (සරණනොවේ) පැතීමේ වරදක් ඇති බව නොවේ). මේ පරිදි අපට සරණ වූ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

